2017 ජුලි 29 වන සෙනසුරාදා

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ගෙදරට ගිය ගමන

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

බර්ලීනය මාගේ ප්‍රියතම නගරය හැටියට සැලකීමට හේතු කිහිපයක්ම තිබේ. ඒවා අතුරින් වැදගත් තැනක් ගන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නෘත්‍යාගාරය එම නගරයේ පිහිටා තිබීමයි.  නෘත්‍යාගාරය පමණක් නොව බ්‍රෙෂ්ට් අවසන් වරට විසු නිවාසය හා ඔහු සාමදානයෙන් සැතපෙන මිනි පිටියද පිහිටා තිබෙන්නේ එක ළඟය. ඉස්සර කොමියුනිස්ට් බර්ලිනයේ කොටසක් වු පෙදෙස දැන් ඒකාබද්ධ බර්ලින් නගරයට ඇතුළත් නිසා ලෝකයේ සියලුම රටවල්වලින් රසිකයෝ මේ ස්මාරක නැරඹිමට පැමිණෙති. එසේ වුවද නව බර්ලීනයේ වෙනත් කොටස් මෙන් නොව මේ පෙදෙස නවීකරණයට ලක්වී නැත. මා මුලින්ම 1970 දී දුටු එම වීදීන් හා නෘත්‍යාගාරය සුවිශේෂ විපර්යාසයකට ලක් වී නැති බව මට පෙනී ගියේය.

ගිය වසරේ මා බර්ලීනයට ගිය විට මා බ්‍රෙෂ්ට්ගේ නෘත්‍යාගාරයේදී දුටුවේ “දිරිය මව”නැමති ඔහුගේ සුප්‍රසිද්ධ නාට්‍යයයි. ඇත්ත වශයෙන් එම නාට්‍යය “දිරිය මව” ලෙස හෙන්රි ජයසේන විසින් පරිවර්තනය කිරීම ජර්මන් බස වරදවා තේරුම් ගැනීමකි. බ්‍රෙෂ්ට්ගේ “මුටර් කුරාජ්” යැයි නම්කර ඇති නාට්‍යය දක්වන්නේ වෙනත් අරුතකි. කුරාජ් යන්න ඇගේ නමයි. දිරිය යන නමින් එය ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනය කළද එහි ගැබ්වී ඇති වීරත්වය පමණක් දැනවීමෙන් බ්‍රෙෂ්ට්ගේ ව්‍යාංගයෙන් යෙදෙන අරුත හෙළි නොවේ. කුරාජ් නමැති මව යුද්ධයෙන් වාණිජ ලාබයක් ගත්තියකි. නාට්‍යය දිගහැරීම තුළ ඇගේ පිරිමි දරුවන් දෙදෙනා හා කැට්රින් නැමති ගොලු දියණිය යුද්ධය විසින් ගිල ගන්නා හැටි අපට පෙනේ.

එහෙත් නැවතත් සිය කරත්තයට කරගහමින් සොල්දාදුවන් පසුව ඇය යන්නීය. එයද එක්තරා වර්ගයේ ධෛර්ය සම්පන්න බවක් බවට අපට උපකල්පනය කළ හැකිය. බ්‍රෙෂ්ට්ගේ වදන් තුළින් රස ගැන්වූ උත්ප්‍රාසය “දිරිය මව” යන්නෙන් දැනෙන්නේ නැත. 

මෙවර ද  බ්‍රෙෂ්ට්ගේ නෘත්‍යාගාරයේ රඟ දක්වනු ලැබුවේ “දිරිය මවයි”.  ඒ සඳහා ප්‍රවේශ පත්‍ර සියල්ලම විකුණා අවසන් වූ නිසා මට එම නාට්‍යය බැලීමට නොහැකි විය. එසේ වූවද මම බ්‍රෙෂ්ට්ගේ පැරුණි නිවසට ගියා පමණක් නොව ඩොරතීන් නම් වු සුසානභූමියට ද ගියෙමි. එම කුඩා සුසානභූමියේ බ්‍රෙෂ්ට් අසලින් නිදන්නේ ඔහුගේ බිරිය වන හෙලින් වයිපල් මෙන්ම කාල්මාක්ස්ගේ දර්ශනයේ පෙර ගමන්කරුවා ලෙසට සැලකිය හැකි හේගල්ය. මාක්ස් හේගල් ඔලුවෙන් සිටෙවුවා යන්නද එකල බටහිර දර්ශනය උගන්වන පංතියේ නිතර කියවුන පාඨයකි. මම බර්ලීනර් ඔන්සෝමබල් නමැති නාට්‍ය කණ්ඩායමේ ප්‍රචාරක පත්‍රිකා කීපයක් ද මිලදී ගතිමි.  එය නාට්‍යය ගැන උනන්දුව දක්වන මාගේ මිතුරන්ට දියහැකි වටිනා තෑග්ගක් වන්නේය. ඊට අමතරව මම බ්‍රෙෂ්ට්ගේ ජීවිත කතාව කියැවෙන පොතක් ද මිලදී ගතිමි. බ්‍රෙෂ්ට්ගේ නට්‍යයක් රස විඳීමට ඔහුගේ ජීවිතය පිළිබඳ පසුබිම් පුවත් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

බ්‍රෙෂ්ට් කලක් ජීවත් වූයේ හිට්ලර්ගේ පාලන සමයේය. ඊට පෙර තිබූ සමාජ ප්‍රජාතාන්ත්‍රික රජය කාලයේ කලාවට සුවිශේෂ නිදහසක් තිබුණේය ඇතැම් අය එය වගකීමෙන් තොර අදහස් ප්‍රකාශ කිරීමේ හා කලා නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ යුගයක් හැටියට සලකති. බර්ලින් නුවර රාත්‍රී සමාජ ශාලා හා නෘත්‍යාගාර මෙන්ම නව සිනමාව තුළින් කාමාශාව හා විකෘති හැඟීම් උලුප්පා දක්වන ලදී.  බ්‍රෙෂ්ට් ද මේ නිදහසින් සම්පූර්ණ ප්‍රයෝජනය ගත්තේය. මීට පෙර හතරුස් වේදිකාව හෙවත් ඇතැම් අය කී අඹ ලෑලි වේදිකාවට සීමාවූ නාට්‍ය නිෂ්පාදන ක්‍රමය ඔහු වෙනස් කළේය.  එමෙන්ම මීට පෙර වේදිකාවට ආගන්තුකවූ නව සම්ප්‍රදායන්ද ඔහු ඇති කළේය. 

නිදසුනක් වශයෙන් ගතහොත් ඔහු කැස්පාර් නේහාර් නමැති වේදිකා සැරසිලි විශේෂඥයා සමඟ එක්වී ශාලා තිරය අහක් කළේය.  ආලෝකකරණය තුළින් එක් පසෙක නාට්‍ය පෙන්වන අතර, එම වේදිකාවේම තවත් කොටසක නළු නිළියන් ඊළඟ ජවනිකාවට ලකලැහැස්ති වෙමින් සිටියෝය.  සංගීතය, විහිළු තහළු, සර්කස් පිමි ආදීය ඔහු තම නාට්‍යයට අන්තර්ගත කළේය. ඔහුගේ මතය වුයේ එක් සංකීර්ණ චරිතයක් තුළ රජෙක් මෙන් විකටයෙක් සිටිය හැකි බවයි.  ඔහුගේ “හුණු වටයේ කතාවේ” අසඩක් එවැනි චරිතයකි. මේ අත්හදා බැලීම නිසා බ්‍රෙෂ්ට් යුරෝපීය නාට්‍ය කලාව උඩු යටිකුරු කළ අතර ඔහු ෂේක්ස්පියර් සමඟ සම කරන විචාරකයින් ද සිටියහ.  එම නව ශෛලියට අවශ්‍ය හැකියාවන් ඇති හෙලන් වයිජල් හා ලොටි ලැන්යා වැනි නිලියන් ඔහු කරළියට ගෙනාවේය. බ්‍රෙෂ්ට් නිවස බැලීමට මා ගියවිට එය ඔහු වෙනුවෙන් කෞතුකාගාරයක් බවට පත්කර තිබුණි. මා 1970 දී එතනට ගියවිට  තිබූ අයුරින්ම එය පවත්වාගෙන යනු ලැබේ. වෙනස නම් දැන් ජර්මනියේ සෑම තැනකින්ම තරැණ තරැණියන් එම ස්ථානය නැරඹීමට බුරුතු පිටින් පැමිණීමයි. කොමියුනිස්ට් පාලනය තිබු කාලයේ එය රාජ්‍ය අනුග්‍රහය ලබන අයට පමණක් සීමාවූ ස්ථානයක් විය. බ්‍රෙෂ්ට් ඉහළ තට්ටුවේ විසූ අතර ඔහුගේ බිරිය වූ හෙලීනා වයිජල් පහත මහල ඇයට අවශ්‍ය හැටියට සරසවා පදිංචි වුවාය. බ්‍රෙෂ්ට් ගැන සැක හිතු නැගෙනහිර ජර්මන් රජය නෘත්‍යාගාරය පවරා තිබුණේ වඩාත් විශ්වාසවන්ත කොමියුනිට්ස් පාක්ෂිකාවක්වූ වයිජල්ටය.

හිට්ලර්ගේ ආගමනයෙන් පසු බ්‍රෙෂ්ට් හා ඔහුගේ නාට්‍ය කණ්ඩායමට නොයෙක් කෙනහෙලිකම් කරන ලදී. යුදෙව්වකුවූ වයිජල්ට මරණ තර්ජන පවා එල්ල විය. ඔහුගේ නෘත්‍යාගාරයට  මැරයන් කඩාපැන්නෝය. එසේ තාඩන පීඩනවලට ලක්වෙමින් සිටි ඔහු අන්තිම මොහොතේ අමෙරිකාවට පැනගත්තේය. 

එකල ජර්මන් කලාකරැවන් බොහෝදෙනෙක් හිට්ලර්ගේ උදහසින් බේරීමට වෙනත් රටවලට ගියෝය. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යුදෙව්වෝ වූහ. හොලිවුඩ් සිනමා කර්මාන්තයට නව පණක් දීමට මොවුන් බොහෝසේ ඉවහල් වූහ. බ්‍රෙෂ්ට් ද හොලිවුඩ් නුවරට පැනගොස් එහි තිර රචකයෙක් මෙන් කටයුතු කළේය. උසස්ම වේතනවලට කලාකරැවන් බඳවා ගැනීමට හොලිවුඩ් බලධාරීන් සමත්වූහ. ඔහු තිර නාටක රචකයෙකු වශයෙන් හොලිවුඩ් හි එතරම් සාර්ථක නොවූවද එහිදී වැදගත් නාට්‍ය කිහිපයක් ලිවීමට අවශ්‍ය පරිසරය සකසා ගත්තේය. ඔහු හිට්ලර් විරෝධි ජර්මන් සංවිධානවල සාමජිකයෙක්ද විය. එම කාලයේදී ඔහු විසින් රචිත “ගැලීලියෝ” නමැති නාට්‍යය ඔහුගේ උසස්ම කෘතියක් සේ දැන් සැලකේ. එය ලෝක කීර්තියට පත් අමෙරිකන් නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් නගරයේ වේදිකා ගත කරන ලදී. එහෙත් කොමියුනිට්ස්වාදීන් අමෙරිකාවේදී දඩයම් කරන ලදින් බ්‍රෙෂ්ට් හැකි ඉක්මනින් නැවතත් නැගෙනහිර ජර්මනියට පැමිණ සිය පරණ නෘත්‍යාගාරයේ කටයුතු ආරම්භ කළේය.

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00