2017 ජුලි 29 වන සෙනසුරාදා

අරගල අනාගැනීම

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

ශ්‍රී ලංකාව උද්ඝෝෂණ බහුල රටකි. ඇතැම්විට සාධාරණ හේතු ඇතිවත් සමහරවිට යුක්ති සහගත හේතු නැතිවත් උද්ඝෝෂණ සිදුවෙයි. පසුගියදා සිදුවූ ඛනිජ තෙල් සේවක උද්ඝෝෂණය ජනතාව පීඩාවටත්, රජය අපහසුතාවටත්, උද්ඝෝෂකයන් ආවේගයටත් පත්වූ සංසිද්ධියකි.

උද්ඝෝෂණය ජනතා සුබසෙත පිණිස හේතුවෙයි නම් එයින් කාට කෙසේ අපහසුකම් ඇතිවුවද කම් නැත. එහෙත් වෘත්තීය අරගලවල අවසන් අවිය වන වර්ජනය භාවිත කළ යුත්තේ ඉතාමත් පරෙස්සමිනි. වර්ජනය සාධාරණ වුවත් අසාධාරණ වුවත් එය විසඳීම සඳහාද යහපත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වගකීමකි. මෙවර වැඩ වර්ජනයේදී පොලු මුගුරු සංස්කෘතිය කළඑළි බැස ඇති බව අපි මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. එය අප අනුමත නොකරන බව පවසන අතර වෘත්තීය සමිතිවල සංයමය බිඳ වැටීම ගැනද අසතුට පළකරමු.

කෙටි කාලසීමාවක් තුළ වැඩවර්ජන සහ විරෝධතා මේ තරම් ප්‍රමාණයක් සිදුවන විට එයින් අපතේ යන මිනිස් ශ්‍රමයේ වටිනාකම ගණනය කළ නොහැකි තරම් විශාල බව ඉතාම පැහැදිලිය. මේ ආකාරයට අපතේ යන්නේ වැඩවර්ජන, උද්ඝෝෂණවල යෙදෙන්නන්ගේ ශ්‍රමය පමණක් නොවේ. මෙම වර්ජනවල ප්‍රතිඵල හැටියට මහමග දත්මිටිකමින් හිරවෙන මහජනතාවගේද කාලයත් ශ්‍රමයත් දියවී යයි. අවසානයේ මේ සියල්ල එකතුවන්නේ රටේ ජාතික ධන විනාශයේ මකර කටටය. විසඳුමක් නොපෙනෙන මානයක පිහිටි රටේ ණය බර ගැටලුව තවත් වැඩි කරන තැනකය.

අකුණු ගසන්නාක් මෙන් වරින් වර හිටිහැටියේ සිදුවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජන රටේ පොදු කටයුත්තක් තරමට සාමාන්‍ය සිද්ධියක් වී තිබේ. රජයේ රෝහල්වලින් බෙහෙත් ගැනීමට පැමිණෙන, සායනවලට සහභාගී වීමට නියමිත අහිංසක දුප්පත් රෝගී ජනතාව රෝහල් කරා පැමිණෙන්නට පෙර අදත් දොස්තර මහත්තුරැ ස්ට්‍රයික් දැයි අසා ගෙයින් එළියට අඩිය තබන තත්ත්වයකට රට පත්ව ඇති බව පවසන්නේ කනගාටුවෙනි. මේ තෙල් ස්ට්‍රයික් එක මැද්දේත් වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයක් ද සිදුවිය. පැය 24කට නියම කරගනිමින් ආරම්භ වූ එකී වැඩවර්ජනය රෝගීන්ගේ වාසනාවකට මෙන් පැය කිහිපයකදී අවසන් විය. රටට අවශ්‍යවන්නේ එවැනි තාවකාලික පැලැස්තර විසඳුම් නොවේ. මුළු රටම පෙළන, රෝගීන්ගේ දිවි ප්‍රාණඇපයට ගන්නා වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන සම්පූර්ණයෙන්ම නවතා දැමෙන ස්ථිරසාර විසඳුම්ය. ඒ සඳහා වෛද්‍ය සංගමයේ මෙන්ම රජයේද කිසියම් කැපකිරීමක් අවශ්‍යය. රෝගීන්ගේ ජීවිත හැමදාම අවදානමකට ඇද දැමිය යුතු නැත.

තෙල්, වෛද්‍ය පමණක් නොව ඊළඟට වරාය සේවකයෝද වැඩවර්ජන කරන බව පසුගිය සතියේ රජයට රතු එළි නිකුත් කළහ. එම වර්ජන තර්ජනය ද තාවකාලිකව අත්හිටැවුණ ද එයද ඩෙංගු රෝගියකුගේ උණ බැසයාමට සමාන බව පැවැසීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඩෙංගු රෝගියකුගේ උණ බැස්සත් ලෙඩේ සනීප නැත. රෝගය ඇඟ ඇතුළේම පැවැතිය හැක. නිසි සත්කාර නොලැබුණොත් යළි ලෙඩේ හිස ඔසොවන්නේ රෝගියා දැඩි අනතුරක හෙළමිනි. වරාය සේවකයන්ගේ වැඩවර්ජනය ද කොයි මොහොතේ හෝ කොතැනකින් හෝ මතුවිය හැකිය. තෙල් සංස්ථාව, රෝහල් සහ වරාය යනු රටක ජනජීවිතයට ඍජුවම බලපාන කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතු ප්‍රධානම ආයතන තුනකි. කොයිවෙලේ නවතින්නේදැයි කිවනොහැකි බරපතළ හෘද රෝගියකුගේ හෘදයවස්තුවක තත්ත්වයෙන් එම ආයතන පැවැතීම රටේ අවාසනාවක් බව පැවැසිය යුතුය.

සැමදාම වැඩවර්ජනවලට දේශපාලනය ඈඳී තිබිණි. මෙරට ක්‍රියාත්මක වන සෑම වෘත්තීය සමිතියක්ම දේශපාලන පක්ෂයකට සම්බන්ධය. ඒ නිසා සෑම වෘත්තීය අරගලයකටම දේශපාලන වර්ණ පින්තාරු වීම වැළැක්විය නොහැක. එහෙත් සැබෑ වෘත්තීය සංගම්වල වගකීම විය යුත්තේ වෘත්තීයමය අරගල අස්සේ දේශපාලන න්‍යාය පත්‍රයක් සැඟව තිබේදැයි විමසිලිමත්ව ක්‍රියාකිරීමයි. එහෙත් එවැන්නක් සිදුවන බවක් නම් දැනගන්නට නැත. එයින් හෑල්ලු වන්නේ වෘත්තීය අරගලයේ ජීවගුණයටයි.

මෙහිදී රජය ක්‍රියාකළ යුත්තේද ඉවසිල්ලෙනි. විපක්ෂයේ සිටියදී වෘත්තීය සමිති ප්‍රේමීන් වන බොහෝ දේශපාලන ලොක්කන්ට බලය ලැබුණ පසු අරගලය අමතකය. මැති ඇමැතින්ට රුපියල් කෝටි සිය ගාණක් වැයකොට වාහන ආදී සැප සම්පත් සපයන්නට තිබෙන උනන්දුව වෘත්තීය අරගල සමනය කරන්නට ආණ්ඩුවට නැත. එයින් සිදුවන්නේ ප්‍රශ්නය ඔඩු දිවීමයි. සයිටම් ප්‍රශ්නය මෙසේ ඔඩු දුවන ලද ප්‍රශ්නයකි. හැමදාම මහ පාරේ සයිටම් උද්ඝෝෂණය. ඒ නිසා ආණ්ඩුව මෙන්ම වෘත්තීය සමිතිද වඩාත් මානුෂිකව හා ප්‍රායෝගිකව කල්පනා කොට තමන්ගේ තීන්දුවලින් හා ක්‍රියාදාමයන්ගෙන් රටේ හාම්පුතුන් වන ජනතාවට අවැඩක් නොවන ලෙස ක්‍රියාකරනු වටී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00