2017 ජුලි 22 වන සෙනසුරාදා

ජූලියේ කැරලි

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

ජූලි මාසය සැලකෙන්නේ මේ රටේ දේශපාලන කරළියේ පෙරළිකාර මාසයක් හැටියටය. ජූලි මාසය රටේ දේශපාලන ඉතිහාසය වෙනස්කම් රැසකට කැඳවාගෙන ගියේය. රට ගිනියම් කළේය. බිහිසුණු සිදුවීම් ගණනාවක් සනිටුහන් කළේය. අදටත් කතාකරන කොපමණ කතා කළත් ඉවරයක් නොවන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමට මග පෑදුණු ඉන්දු  - ලංකා ගිවිසුම අත්සන් කෙරුනේද ජූලි මාසයේ 27 - 28 දිනවලදීය. රජීව් ගාන්ධි මෙරට ආචාර පෙළපාළියේ සිටි භටයකුගෙන් පහර ලැබුවේද ඒ සමඟය. ජූලි මාසයේ හැටි එහෙමය.

මේ ඉතිහාසය අනුව 13 වැනි සංශෝධනයටද ඉන්දු - ලංකා ගිවිසුමට ද මේ මාසයේ දී වසර 30 පිරෙන්නේය. නමුත් ඒ සඳහා සැමරුම් නම් සිදුනොවනු ඇත. ගිවිසුමට අත්සන් කළ නායකයන් දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත. හැබැයි ඒ ගිවිසුමේ අක්මුල්, මේ රටේ දේශපාලනයේ හැමතැනම දකින්නට තිබේ. අද රටේ වැඩිපුරම කතාබහට ලක්වෙන එක අඩියක් ඉස්සරහට අඩි දෙකක් පස්සට න්‍යායෙන් ක්‍රියාත්මක වන නව ව්‍යවස්ථා කෙටුම්පතද එහි එක් අග්‍ර ප්‍රතිඵලයකි. තිබුණු ආණ්ඩුව ගෙදර යවා අලුත් ආණ්ඩුවක් ගෙනඒමටත් එහි බලපෑමක් තිබුණි. ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීම අලුත් ආණ්ඩුවේ එක් ප්‍රධාන පොරොන්දුවක් වීම හේතුවෙනි. මේ අවුරුද්දේ ජූලි මාසය රත්වීමට එක් හේතුවක් වී ඇත්තේද ව්‍යවස්ථාව හා සම්බන්ධ කතාබහය. මහ සඟරුවන අලුතින් ගෙන්න හදන ව්‍යවස්ථාව ගැන ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම ඇරඹුවේද මේ ජූලි මාසයේදීමය. මේ අදහස්වල ප්‍රතිඵලයක් හැටියට විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයේ අදහසට විරුද්ධව යමින් ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත් වන්නේද ජූලි මාසයේය.

විමල් මේ පක්ෂ ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත් කරගත්තේ අට වැදෑරුම් ප්‍රකාශයක් කතානායකට බාරදීමෙන් පසුවය. එහි මුල් අංක තුනෙන්ම ප්‍රකාශ වූයේ නව ව්‍යවස්ථාව පිළිබඳව මේ රටේ මහා සඟරත්නය දරණ අදහස්වලට තමන් එකඟවන බවය. එම කාරණාවලට තමන් පිටුනොපාන බවය. මේ ප්‍රකාශ භාරගැනීමේදී කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ තීන්දු ගැනීමේ අයිතියට තමන් ගරැකරන නමුත් මෙවැනි තීන්දුවක් ගැනීමට පෙර මීටවඩා ඒ පිළිබඳ සිතන්නට අවශ්‍ය බවය. විමල්ගේ තීරණයට ඒකාබද්ධ විපක්ෂයේ සෙසු නායකයන් එකඟනුවූවද ඔවුන් ඒ ගැන ප්‍රසිද්ධියේ විවේචනය කළේද නැත. දිනේෂ්ලාගේ අදහස වී තිබුණේ ව්‍යවස්ථා සම්පාදන කමිටුව තුළ හිඳිමින් එහි සිදුවන කටයුතු අධ්‍යයනය කිරීමටත් රටට අහිතකර, රට බෙදන, බුදු දහමට ඇති ප්‍රමුඛත්වයේ වෙනසක් සිදුකරන ඒකීයභාවය තුරන්කරන ප්‍රතිසංස්කරණ ගෙන ආවොත් ඒවාට විරුද්ධ වීමට තමන්ට අවශ්‍ය බවය. මහින්ද කියා තිබුණේ තමන්ගේ පක්ෂයේ අදහස අනුව තීන්දු ගැනීමට විමල් ඉඩදිය යුතු බවත් එය සෙසු පිරිස් විවේචනය නොකළ යුතු බවත්ය.

සිද්ධිය පිටින් එසේ පෙනෙන්නට තිබුණද එහි ඇතුළත කතාව ඊට වඩා වෙනස් වියහැකිය. ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වන්නේ රටේ ජාතික දේශපාලනය තුළ සක්‍රීයව රැඳීසිටීමට නම් ව්‍යවස්ථාවක් ගෙනඒමේ ආණ්ඩුවේ අභිලාෂයට සම්පූර්ණයෙන් විරෝධය දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවය. රට තුළ සිංහල බෞද්ධ ඡන්දය ලබාගැනීමේදී නව ව්‍යවස්ථා විරෝධය හොඳ සටන් පාඨයක් වුවද රටේ සුළු ජාතිකයන්ගේ ඡන්දය ලබාගැනීමේදී එයම පාරාවළල්ලක් වියහැකි බවය. නව ව්‍යවස්ථාව අවශ්‍ය නැතැයි මහින්ද දිගින් දිගටම දක්වන විරෝධය ඔහුට ඉතා වාසිදායක දකුණේ හැර සෙසු ප්‍රදේශවල සුළු ජාතික ඡන්දවල බලපෑමක් ඇති කරන බවට සැකයක් නැත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හෝ නව ව්‍යවස්ථාවක් හෝ යන්න සිංහල බෞද්ධ ජනතාවට වඩා සෙසු සුළු ජාතිකයන්ගේ අවශ්‍යතාවක් බව පැහැදිලිය. රටේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේදී නව ව්‍යවස්ථාව මුරපදයක් වීම වැළැක්විය නොහැක. මෙහිදී විමල්ගේ ඉවත් වීම ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතාවලට ගැලපෙන්නේ කෙසේද යන්නට පිළිතුරක් සොයාගැනීම අපහසු නැත.

විමල්ගේ දේශපාලනය සිංහල බෞද්ධ ජාතිකත්වය මූලික කරගත් වේදිකාවකදී ඉතාම සක්‍රීයය. එහෙත් මහින්දට ඒ ආකාරයටම විශේෂයෙන් ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක උග්‍ර ව්‍යවස්ථා විරෝධයක් දැක්විය නොහැක. මහින්දට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි වුවද ඔහුගේ සහාය හිමිවන අපේක්ෂයාටද එය අවාසිදායක සාධකයක් වීම වැළැක්විය නොහැක. මේ නිසා හොඳම විසඳුම වන්නේ විමල්ගේ ව්‍යවස්ථා විරෝධය තීරණතාත්මක අවස්ථාවලදී සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට යොදවා ගැනීමය. ඒ සඳහා විමල් දැන් සිටම ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත්වීම අවශ්‍යම සාධකයකි. විමල්ගේ ඉවත්වීම මහින්දට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම දාගැනීමක් වීමට හොඳටම ඉඩ තිබෙන්නේ එබැවිනි.

කෙසේ වුවද ව්‍යවස්ථාව වෙනස් වන්නේ නම් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම එහි එක් වගන්තියක් විය යුතුය. එහෙත් දැන් ශ්‍රී.ල.නි.ප.ය කියන්නේ 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවය. එවැනි කතාවලින් ඇඟවෙන්නේ ව්‍යවස්ථාව වෙනස් වුවද ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන බවකි. ශ්‍රී.ල.නි.ප.යේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් නව ව්‍යවස්ථාව ගැන සඳහන් කරන්නේ ජනමත විචාරණයකට යන සංශෝධනයකට තමන් එකඟ නොවන බවය. සමහරුන් එකඑල්ලේම කියන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි කියාය. එහෙත් එ.ජා.ප.ය දිගටම කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ස්ථීරවම ගෙනෙන බවකි. බොහෝමයක් කරුණු ගැන කිසිම එකඟත්වයක් නැති යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැනද ප්‍රබල මත ගැටුමක් පැවැතීම ගැන පුදුම විය යුතු නැත.

මේ අතර දවසින් දවස කල් යන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ කීර්ති නාමයට දැඩි බලපෑම් එල්ලකරන බව පෙනේ. මහින්දලා එළියේ ඉඳගෙන කෑ ගහන්නේ අපි නම් හැම අවුරුද්දේම ඡන්ද තිබ්බා. මේ ආණ්ඩුව එක ඡන්දයක්වත් තියන්න බයයිනෙ කියාය. ආණ්ඩුවට දැන් මේ ප්‍රශ්නෙට උත්තර සොයාගැනීමත් අපහසුවෙමින් තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට පිළිතුරක් දුන්නේ පසුගිය 17 වැනිදා සඳුදා කොළඹ පදනම් ආයතනයේ පැවැති වැඩමුළුවකදීය. එම වැඩමුළුව සංවිධානය කර තිබුණේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන්ය. කසළ කළමණාකාරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවල සැලැස්මක් සකස් කිරීම අරමුණු විය. දැනට පළාත් පාලන ආයතන අක්‍රීය පවතින තත්ත්වයක් තුළ මෙවැනි සැලසුමක් ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න ලොකු ගැටලුවක් බව කිවයුතු නැත. ඇතැම් විට ජනාධිපතිවරයා එහිදී පුංචි ඡන්දය ගැන කළ ප්‍රකාශයට හේතුව එයම වියහැකිය.

“ලබන ජනවාරී, පෙබරවාරි පමණ වනවිට පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පත්වේවී.* යැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරතිබිණි. මෙහි එක් අරුතක් වන්නේ මේ වසරේ පුංචි ඡන්දය නොපැවැත්වෙන බවය. අනෙක් අර්ථය ලබන වසර මුලදී ඡන්ද පැවැත්වීමට ඉඩ තිබෙන බවය. නමුත් තවත් සමහරුන්ගේ මතය වී තිබෙන්නේ ඡන්දය පවත්වන දිනවකවානු ගැන ඉහළ මට්ටමින් මෙවැනි ප්‍රකාශ ගණනාවක්ම නිකුත්වී තිබුණත් ඒ අනුව කටයුතු සිදුනොවූ බවය. පැහැදිලිවම ශ්‍රී.ල.නි.ප.ය තුළ පවතින උග්‍ර මතගැටුම විසඳෙන තුරු පුංචි ඡන්දය පැවැත්වීම මිරිගුවක් පමණක් බව සමහරුන්ගේ මතයයි. මහින්දලා බලන්නේ පුංචි ඡන්දය තමන්ට පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමේ මාර්ගයක් කරගැනීමය. ගම් බිම් මට්ටමින් තමන්ට තිබෙන් සහයෝගය ගැන මහින්දට හොඳ තක්සේරැවක් තිබෙන බව පැහැදිලිය. ඡන්දය නොපැවැත්වීම තවත් හේතුවක් මේ ජූලි මාසය තුළ පැන නැගුණ බවද මෙහිදී සඳහන් කළ යුතුය. ඒ ශ්‍රීලනිප මෛත්‍රීපාල පාර්ශ්වයේ දහඅට දෙනාගේ කැරැල්ලයි. 

මේ කැරැල්ලට මග පෑදෙන්නේ යහපාලන ආණ්ඩුවේ සම්මුතියට වසර දෙක පිරීමක් සමගිනි. මේ වසර දෙක පිරෙන හැටි ගැනද ඇත්තේ පරස්පර විරෝධී අදහස්ය. එක් පිරිසකගේ මතය සැප්තැම්බර් 1 වැනිදා වනවිට සම්මුතිය අහෝසි වන බවය. මේ බව මෙම දහ අටේ කැරැල්ලට මුලින්ම අත්පොත් තැබු ගම්පහ දිස්ත්‍රික්කයේ එක් කරුණු රාජ්‍ය ඇමැතිවරයෙක් තම මාධ්‍ය සගයන්ට කියා තිබුණේය. එසේ වුවද ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක පසුගිය බ්‍රහස්පතින්දා (20) කොළඹ ඩාලිපාරේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදි කිව්වේ ජාතික ආණ්ඩුවෙ ගිවිසුම් කාලය අවසන් වන්නේ දෙසැම්බර් 1 වැනිදා බවය. ඊට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හමු වූ අවස්ථාවේදි කැරුලිකාර මන්ත්‍රී පිරිසගෙන් ඉල්ලා සිටියේ දෙසැම්බර් 31 වැනිදා දක්වා පක්ෂය තුළ රැඳී සිටින ලෙසය. එම දිනය විශේෂයෙන් සඳහන් කළේ ඇයි දැයි නොකිව්වද එදිනට පසුව ආණ්ඩුවේ සම්මුතිය බල නොපවත්වනු ඇති බවට අදහසක් එහි තිබෙන බව සමහරුන්ගේ මතයයි. දුමින්ද මාධ්‍ය හමුවේදී තවදුරත් කියා තිබුණේ දැනට ආණ්ඩුව සතු තුනෙන් දෙකක බලය 2020 වනතුරු වෙනස් නොවන බවය. ගිවිසුම් කාලය දෙසැම්බර් පළමුවැනිදායින් අවසන් වූ පසුව ඊළඟ පියවර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මගින් තීන්දු කරනු ඇති බවද දුමින්ද කියා තිබුණි. ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිසිවකුත් ඉවත් නොවන්නේ යැයිද දුමින්ද එහිදී කිව්වේය.

දුමින්ද මේ බව කියා තිබුණේ ඒකාබද්ධයේ ඩලස් කියා තිබූ තව සති දෙකකින් ආණ්ඩුවේ තුනෙන් දෙක නැතිවෙනවා යන ප්‍රකාශයට පිළිතුරු වශයෙන් විය හැකිය. ඩලස්ගේ ප්‍රකාශයට දුමින්ද පිළිතුරු දීමට ඉදිරිපත් වීම මේ ගැටලුවේ ගැඹුරු මැන ගැනීමට හොඳම සාධකයකි. තවත් අතකින් මීට පෙර මෙවැනි කතාවලට පිළිතුරු දුන් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් සහ ලක්ෂ්මන් යාපා ද දැන් නිහඬ චරිතයකට ඇතුළු වී සිටිති. ඔවුන් සිටින්නේ කා ගැන කලකිරීමෙන්දැයි පැහැදිලි නැත.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වෙනවා යැයි සඳහන් කැරැලිකාර මන්ත්‍රී පිරිසෙන් කිහිපදෙනකු පසුව එම ස්ථාවරයෙන් බැහැරවන බවක් පෙනෙන්ට තිබුණි. ජනාධිපතිවරයා කියූ ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ඉවසන්නැයි කතාවට පසුව කිහිප දෙනෙකු කියා තිබුණේ තමන් එම 18 දෙනාගේ කණ්ඩායමට අයත් නොවන බවය. නම් ලැයිස්තුව මාධ්‍යයට ලීක් වීම නිසා එසේ පවසනවා දැයි පැවැසීම අසීරුය. නමුත් තවත් පිරිසක් දිගටම තමන් රජයෙන් ඉවත් වෙනවා යන ස්ථාවරයේම රැඳී සිටිති.

දැන් ප්‍රකාශ වෙන්නේ සම්මුති ගිවිසුමට වසර දෙක පිරීමෙන් පසුව තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප මැති ඇමැති පිරිසක් ලබන සතියේ රැස්වන බවය. මීට අදාළ මූලික රැස්වීමක් පසුගිය අඟහරුවාද (18) ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ නිවසේදී පැවැති බවත් එහිදී ආණ්ඩුවෙන් යායුතු බවට මැති ඇමැති පිරිසක් දැඩි තීන්දුවක රැඳී සිටි බවත් පැවසෙයි. නමුත් තවත් පිරිසක් කියා ඇත්තේ ජනාධිපතිවරයා හමු වී අදහස් හුවමාරුවක යෙදීමෙන් පසුව තීන්දුවක් ගැනීම උචිත බවය. මේ කාරණාව සම්බන්ධයෙන් ලබන සතිය ශ්‍රීලනිපයට ඉතාම තීරණාත්මක වන බවක් පෙනෙන්නට තිබේ.

මෙහිදී යූ.එන්.පී.ය ආණ්ඩුවේ ගිවිසුම් හෝ සම්මුතිය හෝ පැවැත්ම පිළිබඳව නිහඬ පිළිවෙතක රැඳී සිටීම කැපී පෙනෙයි. 18 දෙනාගේ කැරැල්ල ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ගැටලුවක් මිස ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බව යූ.එන්.පී. මැති ඇමැතිවරුන් වරින් වර අදහස් දක්වා තිබුණි. ඒ අතර අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා පන්නිපිටියේදී පසුගිය සඳුදා (17) පැවැති උත්සවයකදී කළ ප්‍රකාශයක් මෙම ප්‍රශ්නයට සම්බන්ධ වී තිබිණි. පැරණි දේශපාලන සම්ප්‍රදායට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් තනි ආණ්ඩුවක් ගෙන යනවා යැයි පැවැසීමට හැකියාවක් තිබූ නමුත් රට මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා එක්ව වැඩ කිරීමට තමා රට වෙනුවෙන් තීරණය කළේ යැයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි. හරියට වැඩ කළොත් ඡන්දයකට මුහුණ දෙන විට ජනතාව පක්ෂ දෙකේම ගුණ වර්ණනා කරනු ඇතැයිද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙයින් කියැවෙන්නේ සම්මුති ආණ්ඩුවකට නොයා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට යූ.එන්.පියට හැකියාවක් තිබියදී ඔවුන් ශ්‍රීලනිපය සමඟ හවුල ආණ්ඩුවක් පිහිටු වූ බවය. මේ හැකියාව තවමත් තිබේ නම් 18 දෙනාගේ කැරුල්ලෙන් ආණ්ඩුව බිම දැමීමට බලා සිටින අයගේ බලාපොරොත්තු හරියන්නෙ නැත. නමුත් රජය සතුව තිබෙන තුනෙන් දෙකේ බලයට කිසියම් තර්ජනයක් එල්ලවීමට ඉඩකඩක් තිබේ. එසේ වුවද කිසිම සම්මුතියකට එන්නේ නැතිව ඇමැති පදවි ලබාගෙන ආණ්ඩුවේ රැඳී සිටීමට කැමැති පිරිසක් සොයාගැනීමට යූ.එන්.පීයට හැකිනම් ආණ්ඩුව තනිවම ස්ථාවරට පවත්වාගෙන යාමට හැකියාව තිබේ. කියන ආකාරයට 18 දෙනකු ඒකාබද්ධ විපක්ෂයට එක් වුණත් එම මන්ත්‍රී පිරිස දැනට සිටින 51 දෙනා සමඟ 69 දෙනකු බවට පත්වෙයි. එසේ වුවත් පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ වල සහාය ලබාගෙන තුනෙන් දෙකක බලයක් දිගටම පවත්වාගෙන යාමටද නොහැකියාවක් නැත. එසේ වුණොත් ආණ්ඩුව කොතරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබුණත් 2020 වනතුරු ආණ්ඩුව පෙරළා ගැනීම හිතන තරම් පහසුවන්නේ නැත. 

කෙසේ වුවද අද ශ්‍රීලනිපය රැඳී සිටින්නේ පක්ෂයේ නායකයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන බලයත් මහින්ද රාජපක්ෂගේ ශ්‍රීලනිප ජනබලයත් අතර දෝලනය වෙමිනි. දේශපාලනයේදී අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ ජනතාවගේ බලයයි. කැමැත්තයි. ඡන්දයකදී රාජපක්ෂලාට එරෙහිව කැම්පේන් කිරීමක් ගැන ශ්‍රිලනිප නායකයන්ට සිතන්නටවත් ඉඩක් නැත. ඊළඟ ඡන්දයක් ගැන කතා කරන්නට පෙර ශ්‍රීලනිපයේ නායකයන් මහින්ද රාජපක්ෂ සාධකය ගැන තීන්දුවක් ගැනීම අවශ්‍යය. මේ සියලු සම්මුති කතා සහ කැරලි ගසන කතා මැද මහින්ද පාර්ශවය සමඟ ශ්‍රීලනිප නායකයන් කිසියම් හෝ සංහිදියාවකට මුල පුරන්නේ නම් යූ.එන්.පීයටද සිදුවන්නේ තනියම ආණ්ඩු හදන කතා පැත්තකට කර දමා අලුතින් හිතන්නටය. ජූලියේ කැරුලි රටේ බොහෝ දේශපාලන වෙනස්කම් වලදී තීරණාත්මක සාධකයක් වූ බව අමතක කරන නායකයකු නැත.

ශශින්ද්‍ර