2017 ජුලි 22 වන සෙනසුරාදා

මම කරපු දෙයක් ගමට කරගත්තෙ චණ්ඩිකමින්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 311

- අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම

ඔබ පහුගිය කාලයේ කිව්ව දේවල් එක්ක, හැසිරුණු විදිහත් එක්ක දැනුණා ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ කියලා. ඇත්තටම එහෙමද?

අපි විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ඉඳලම හිටියේ කලකිරීමෙන්. ඒ කලකිරීම නිසා තමයි අපි හැට දෙලක්ෂයක ඡන්දයක් අරගෙන යහපාලන රජය පිහිටුව ගත්තේ. එහෙම පිහිටුව ගත්තට වැඩක් නෑ. මොකද තවම අර පරණ රාජ්‍ය නිලධාරින් ඒ තැන්වල ඉන්නවා. ඔවුන්ගේ ආකල්ප වෙනස්වෙලා නෑ තවම. ඒ නිසා ඒ රෝලම තමයි තවම දුවන්නේ. පාට වෙනස් වුණා විතරයි. අපිට වැඩිපුර එන්නේ රාජ්‍ය නිලධාරින්ගේ නොකරන වැඩ ගැන පැමිණිලි. ඒ නිසා ආණ්ඩුව ගැන නෙමෙයි මේ කරන වැඩ ගැන මට කලකිරීමක් තියෙනවා.

ඔච්චර අමාරුවෙන් ආණ්ඩුවක් අරගෙන මෙහෙම වෙන එක ගැන කතා කරද්දි ලැජ්ජ හිතෙන්නේ නැද්ද?

මම ලැජ්ජ වෙන්න ඕනේ නෑ. මහජනතාව මට ඡන්දය දීලා පත්කළේ ඇත්‍ත කතා කරන්න. ඒ නිසා මගේ වගකීම තමයි රටට ඇත්‍ත පෙන්නන එක. මොකද රටේ ප්‍රශ්න විසඳන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා අගමැති කෙනෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයකුත් තියෙනවා. අපි ඉන්නේ ඊට පල්ලෙහායින්නේ. දැන් බලන්න උදේට අපේ ගෙවල්වලට මිනිස්සු එනවා. අපිට ඒ ෆයිල් කරගහගෙන ඇමතිවරු පස්සේ දුවන්න වෙලා තියෙන්නේ. අමාත්‍යංශයකට ගියහම පැය ගාණක් වාඩි වෙලා බලන් ඉන්න ඕන. මේවා නිසයි අපි කලකිරිලා ඉන්නේ.

මේ වෙන දේවල් දැක්කම පපුව පුපුරුවගෙන මැරෙන්න හිතෙනවා

කොහොමද එහෙම කියන්නේ මේක ඔබලගේ ආණ්ඩුවනේ?

මේක අපේ ආණ්ඩුවක් නෙමෙයිනේ. මේ ජාතික ආණ්ඩුවක්. අපේ ආණ්ඩුවක් කියන්නේ යූඇන්පී ආණ්ඩුවක්. ඒත් මේ ජාතික ආණ්ඩුව බිහිකරන්න අගමැතිතුමා කැමති වුණේ රට ගැන හිතලා. ප්‍රශ්න ගොඩක් තිබ්බා ඒවා වලට විසඳුම් හොයන්නයි දෙගොල්ලොම එකතුවෙලා කරන්න හැදුවේ. ඒත් දැන් එකතු වීමක් නෑ කවුරුත්.

දැන් ඔබට ප්‍රශ්න ඇතිවෙලා තියෙන අමාත්‍යංශ බාරව ඉන්නේ ඔබේම පක්ෂයේ අය. ඇයි ඒ අයටවත් බැරිද මේවට පිළිතුරු හොයන්න?

මෙහෙමනේ ඒවා තනියම තීන්දු කරන්න බෑ. බලන්න යහපාලන රජය හදාගත්තේ සියලු ජාතීන් එකතුවෙලා රට නිදහස් සාමකාමී රටක් හදාගන්න. දැන් බලන්න ඒත් අපේ අය පක්ෂ අල්ලා ගත්තා. ජනාධිපතිතුමා ශ්‍රිලනිපයේ සභාපති වුණා. එතනම වැඩේ වැරදුනා. දැන් මේ අයට ඕනේ තමන්ගේ පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්න. ඒ නිසා මේ අයට අරමුණක් නෑ. අරමුණ තියෙන්න ඕන රට හරි තැනට ගේන්න. එහෙම නැතුව දේශපාලන හෙංචයියන්ට රට පාලනය කරන්න දෙන්න නරකයි. මේ නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.

ඒ කියන්නේ මේ ආණ්ඩුව හෙංචයියන්ට තැන දෙන ආණ්ඩුවක්ද?

නෑ දැන් බලන්නකෝ ඔයාම. මාධ්‍යවේදියෙක් හැටියට ඔයාලනේ මේවා රටට හෙළිකරන්නේ. පෙන්නන දේවල් බලන්නකෝ පොඩ්ඩක්. රටේ වෙන දේවල්නේ මේ පෙන්නන්නේ.

ඔබට එතකොට පක්ෂය එක්ක කලකිරීමක් නැද්ද?

පක්ෂය සම්බන්ධව මට කිසිම කලකිරීමක් නෑ. පාක්ෂිකයන්ගෙන් මට ලොකු ගරැත්වයක් තියෙනවා. පක්ෂය කියන්නේ පාක්ෂිකයෝ. නායකයෝ අද ආවා හෙට ගියා. ඒ අය කරපු හොඳ කියනවා. ප්‍රේමදාස මහත්‍තයලා, සේනානායක මහත්‍තයලා, ගාමිණි මහත්තයලා, ඇතුලත් මුදලි මහත්තයලා කරපු හොඳ හැමෝම කියනවා. අදත් කියනවා එක්සත් ජාතික පක්ෂයේ එහෙම නායකයෝ ඉන්න ඕන කියලා. ඒ මිනිස්සුන්ට කරපු වැඩ නිසා.

උප ඇමැති හැටියට ඇමැතිතුමාගෙ ඔලුව අතගාල වැඩකර ගන්නෙ

 

යූඇන්පී එකට එහෙම නායකයෝ අද නැද්ද?

එතන මිනිස්සුන්ගේ වැරැද්ද. අද ඉන්නේ ඡන්ද දායකයෝ නෙමෙයි අන්ධ දායකයෝ. තමන්ට වාසියක් වෙනවා නම් කිසිම සොයා බැලීමක් නැතුව පස්සෙන් යනවා. අද මිනිස්සු බලන්නේ පෙනුමයි මුදලුයි. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු තෝරගන්න ඕනේ බාර්කාරයෝ, කැසිනෝකාරයෝ, කුඩුකාරයෝ නෙමෙයි. තමන්ට වැඩක් කරන මිනිහෙක්ව. නැත්‍තන් වෙන්නේ උගේ බඩ වඩාගන්න එක.

පක්ෂය සම්බන්ධයෙන් ඔබට කලකිරීමක් නැතිවුණාට පසුපෙළ මන්ත්‍රීවරු ඉන්නේ කලකිරීමෙන් කියලා පත්තරවල යනවනේ?

පසුපෙළ මන්ත්‍රීවරු බලන්නේ ඉදිරිපෙළට එන්න. ඒ අය හදන්නේ තමන්ගේ මිනිස්සුන්ට දෙයක් කරලා ඉදිරියට එන්න. ඒත් එහෙම දේවල් කරන්න ප්‍රතිපාදන නැත්තන් කලකිරීමක් නේන්නම් එන්නේ. කොටින්ම කිව්වොත් අමාත්‍යංශයේ ඇමැතිකෙනෙක්වත් හම්බෙන්න බැරිනම් මොකක්ද වැඩේ කියන්නකෝ.

මංගල ඇමතිවරයා දැන් දුක්ගන්නාරාළ වෙලා. ඒක හොඳයිද?

ඇත්තටම ඒක හොඳයි. ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන පීඩනය කියන්න අහන්න කෙනෙක් ඉන්න එක. මංගල මහත්තයා ඒ දුක අහනවා වගේ රටේ ප්‍රශ්නවලටත් දුක අහන්න කෙනෙක් ඉන්න ඕන. පහුගිය දවසක මහා ගංවතුර ව්‍යසනයක් වුණා. දැන් ඒ මිනිස්සුන්ගේ දුක අහන්න කෙනෙක් නෑ. මගේ වියදමින් මම ගෙවල් කුලියට අරගෙන පදිංචි කරලා තියෙනවා. මේවා ගැන ජනාධිපතිතුමයි, අගමැතිතුමයි හොයලා බලන්න ඕන.

ඔබ පහුගිය දවසක කිව්වා එළිපිටම මේ ඇමැතිකමෙන් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා. ඇත්තද?

හැමදේම කරන්න බෑ කරන්න පුළුවන් ටික කරනවා. මම නියෝජ්‍ය ඇමැතිකෙනෙක් හැටියට ඇමැතිතුමාගේ ඔළුව අත ගාලා කරගන්න පුළුවන් වැඩ ටික මම කරගත්තා.

අද ඉන්නෙ ඡන්ද දායකයො නෙවේ අන්ධ දායකයො

ආණ්ඩුව පටන්ගත්ත දවසේ ඉඳලා ආණ්ඩුවට ආපු ප්‍රශ්න ගොඩක් අනාගත්තා. ඇයි ඒ?

මොකක්ද කියන්න. එක අනාගත්‍ත ප්‍රශ්නයක් කියන්න මට.

දැන් ඔබම කියන්නේ ගංවතුරෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් නෑ කියලා?

ඉතිං ඇත්තනේ. ඇත්‍ත කියන එක ඔයාට ප්‍රශ්නයක්ද? ඔයාලා මාධ්‍යනේ ඇවිත් බලන්නකෝ.

සයිටම් ප්‍රශ්නයත් අනාගත්තා නේද?

අනාගන්න දෙයක් නෑනේ. මහින්ද මහත්තයයි මේක ඇනුවේ. කළලය වැඩුවේ එයානේ. දැන් කියනවා අපිට මරා දාන්නලු. එයයි තාත්තා. අනික රජයේ වෛද්‍යවරු වර්ජනය කරන්නේ ඔවුන්ගේ වෘත්තීය රැකගන්න නෙමෙයි. එහෙම බැලුවොත් ඔය රජයේ රෝහල්වල කොච්චර මිනිස්සු එයාලගේ වැරදි වලින් නැතිවෙනවද? ඊට පස්සේ පොලිසියත් එයාලගේ පැත්තේ සෞඛ්‍යයත් එයාලගේ පැත්තේ. වැඩිය දැඟලුවොත් මිනිය දෙන්නෙත් නෑ.

පිං කැටවලට සීල් තියෙලා නැති ප්‍රශ්න දාගත්තා කියලා හිතෙන්නේ නැද්ද?

අපි කරපුවා නෙමෙයි. ස්වාමින් වහන්සේලම අකිල ඇමතිතුමාගෙන් ඉල්ලපු දෙයක්. දැන් රාජපක්ෂ කණ්ඩායම ඒක අල්ලගෙන ආණ්ඩුවට ගහනවා. මේවා මේ ප්ලෑන් කරපුවා. අනික මේවා හැම ආණ්ඩුවෙම කරපු දේවල් අපි කරාමයි වැරදි.

ශ්‍රීලංකා එකේ 18ක් ආණ්ඩුවෙන් යනවා කියලා තියෙනවා. මෙහෙම ගියොත් ආණ්ඩුවට වැඩිදුර යන්න බැරි වෙයි නේද?

අනේ ඔය අය ගියත් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට නේ. බලන්නකෝ ගියහම මොකද වෙන්නේ කියලා. කොහොමද මහින්ද රාජපක්ෂ මහත්තයා රට පාලනය කළේ? සල්ලි වලින්නේ. ඇති තරම් ගසාකන්න දීලා ෆයිල් එක කිහිල්ලේ ගහගන්නවා ඊට පස්සේ කියනවා ෆයිල් එක මගේ ළඟ කියලා.

ගංවතුර වෙලාවෙ විමල් වීරවංශත් හුඟක් උදව් කළා

ඔබ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට උද්ඝෝෂණය කළා. සටන් කළා. හිරේ ගියා. ඒ කරපු දේවල ප්‍රතිඵල මේ ආණ්ඩුවෙන් තියෙනවද?

පාලිත තෙවරප්පෙරැම කරපු දේවල්වල ප්‍රතිඵල නැති වුණාට මම කරපු දේවල් මට හොඳයි. මම 2002 ඡන්දය ඉල්ලලා සභාපති වුණා. ඊට පස්සේ රාජිතලා, මහින්ද සමරසිංහලා පක්ෂය දාලා යනකොට මම තනියම කොළ කොඩිය අරගෙන ගිහින් පක්ෂයට පළාත් සභා මන්ත්‍රීකම අරගෙන දුන්නා වැඩි ඡන්ද අරගෙන. ඊට පස්සේ රාජපක්ෂලා මාව හිර කළා. මිනිස්සු අන්තිමට මාව එළියට ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට. ගියපාර අතේ සතපහක් නැතුව ඡන්දය දින්නා. ඒ නිසා මට රටෙන් ලැබෙන්න ඕන දේවල් ජනතාව ලබාදිලා තියෙනවා.

ඔච්චර උදව් කරපු මහින්ද සමරසිංහ ඇමැතිවරයව නයාට අඳුකොළ වෙලා තියෙන්නේ ඇයි?

නෑ... නෑ... දැන් රණ්ඩු වෙන්නේ නෑ. අපි දැන් කතා කරනවා. සුහදව ඉන්නවා. ගංවතුර වෙලාවේ උදව් ඉල්ලුවා මට පාන් පිටි කිලෝ 400ක් ගෙදරට එවලා තිබ්බා.

ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න. හොරු ගැන කතා කරපු රන්ජන් ඇමතිතුමාට ගෙදර යන්න වෙලා තියෙනවා වගෙයි. මොකද මේ වෙන්නේ?

සම්පූර්ණ වැරදි. රන්ජන්ට යුතුකමක් තියෙනවා රටේ මිනිස්සුන්ට ඇත්ත කියන්න. රන්ජන්ව ගත්තේ මෛත්‍රීපාල මහත්තයවත්, රනිල් මහත්තයවත් නෙමෙයි රටේ මිනිස්සු. ඒ නිසා රන්ජන්ට අයිතිවාසිකමක් තියෙනවා ඇත්‍ත කියන්න.

ඔය චණ්ඩි පාට් දාලා කරන වැඩ නිසා මිනිස්සුන්ගෙන් කැපෙන්න පුළුවන් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මතක තියාගන්න මම එංගලන්තයට ගිහින් ඉල්ලුවත් දිනනවා. ඕන ඔට්ටුවක් දානවා. මිනිස්සු මට ආදරෙයි. පුළුවන් නම් මට ඔයාලා අභියෝග කරන්න. මම ලංකාවේ ඕනම දිස්ත්‍රික්කයකින් දිනනවා.

මම දේශපාලනයෙන් අයින් වෙනවා

ඔච්චර දිනනවා කියලා විශ්වාසයෙන් ඉන්න ඔබ දේශපාලනයෙන් අයින් වෙන්න හදනවා කියන්නේ ඇත්‍තද?

මේක මේ උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. මේක බාලගිරි දෝෂය වගේ. වැඩක් කරන්න ගියහම යන්න ඕන හැමතැනම. මම මේ ළඟදි ඩෙංගු මර්දන වැඩකට ඇළ වේලි කපන්න හැදුවා. බෑ කරගන්න. වටේ යන්න වෙලා. ඇයි ආයතන එකට එක සම්බන්ධවෙලා වැඩ කරන්න බැරි. ඒ නිසා මෙහෙම දේශපාලනය කරලා වැඩක් නෑ.

ආසන්නම හේතුව මොකක්ද දේශපාලනයෙන් අයින් වෙන්න?

අනේ වැඩක් නෑ අනේ. මොන කරුමයක්ද මේක. මේක දරාගන්න බෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්නවත් බැරි තරම් වැඩි වෙලා. මොන කරුමයක්ද අනේ මේක.

ඔබ දේශපාලනයෙන් අයින් වුණොත් ගමේ මිනිසුන්ට මොකද වෙන්නේ?

මේ මිනිස්සුන්ට මම හිටියත් වැඩක් නෑ. කරපු දෙයක් ගමට කරගත්තේ චණ්ඩිකමින්. එහෙම මොකටද දේශපාලනය කරලා.

පහුගිය දවස්වල තෙවරප්පෙරුම වතුරෙන් බැහැලා වැඩකරනවා දැක්කා. ඒත් හුදෙකලා වෙලා වගේ වැඩ කළේ. මොකද ඒ?

මම හැමතිස්සෙම හුදෙකලා වෙච්ච මිනිහෙක්. ප්‍රශ්න විසඳන්න ගියහම හැමදාම හුදෙකලා වුණා මම. ඔයාට මම කරන දේ කරන්න බැරි වුණාම වෛර කරනවා. ඔන්න ඊට පස්සේ හුදෙකලා වෙනවා.

එංගලන්තෙ ඡන්දෙ ඉල්ලුවත් මම දිනනව

ඒ කියන්නේ පාලිත තෙවරප්පෙරුමව සමහර අයට ඇලජික්ද?

මම දන්නවා එක්තරා රාජ්‍ය ඇමති කෙනෙක් ජනාධිපතිතුමා එක්ක බැනලා තිබ්බා මට. දේශපාලකයෝ ඉන්නේ බත්පැකට් බෙදන්නයි මිනී කරගහන්නයි නෙමෙයි කියලා. එහෙම කිව්ව එයා කොළඹ ගංවතුර වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙහෙල් ගෙඩිය ගානේ බෙදාගෙන ගියා. අපි කළොත් වැරදියි. එයා සුදු රෙදි ඇඳන් ගිහින් කෙහෙල් ගෙඩි බෙදුවම හරි.

ඇත්තද ගංවතුර වෙලාවේ විමල් වීරවංශ එක්ක වැඩකළා කියන්නේ?

අනිවාර්යෙන්. ඉස්සෙල්ලම මට කතා කළෙ විමල්. විමල් කතා කරලා මට ලේකම් කෙනෙක් සම්බන්ධ කළා. ව්‍යාපාරිකයෙක් සම්බන්ධ කළා. එයා මට හාල් එව්වා. එතුමා විතරක් නෙමෙයි මට ගොඩක් දෙනෙක් කතා කළා. උදව් කළා. ඒවගේම ඒ වෙලාවේ රාජ්‍ය ආයතන වලින් අකටයුතුකම් රුසකුත් සිද්ධ වුණා.

මෙහෙම වෙනකොට දුක හිතෙන්නේ නැද්ද?

දුක නෙමෙයි මේ වෙනදේවල් දැක්කම පපුව පුපුරවගෙන මැරෙන්න හිතෙනවා. ඒ තරම් කලකිරිලා තියෙන්නේ.
    
ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ