2017 ජුලි 22 වන සෙනසුරාදා

කොමිෂන් සභාව දඩ බල්ලෙක් නොවේ මුර බල්ලෙක් පමණයි

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

- ස්වාධීන පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ

පොලිස් කොමිසම පත්වෙන්න කලින් සහ පත් කළාට පස්සේ කොහොම වෙනසක් ද ඇතිවෙලා තියෙන්නේ?

18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. එවකට පොලිස් නිලධාරීන් සම්බන්ධ කටයුතු පැවරිලා තිබුණෙත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. 18 වැනි ව්‍යවස්ථාව යටතේ කොමිෂන් සභාව නාමික කොමිසමක් විතරයි. පැවරිලා තිබුණේ මහජන පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විතරයි. ලක්ෂ හතක පමණ ආයතනික ව්‍යූහයක් නඩත්තු කරන ඒ කොමිසමට පොලීසියේ නිලධාරිනුත් එකතු වුණාම විශාල ගංගාවට වැටුණු පොඩි කොටසක් වගේ පොදු ක්‍රියාමාර්ගයකටයි පොලිස් නිලධාරින් වැටෙන්නේ. එවකට තිබුණ සන්දර්භය තුළ කොමිෂන් සභාවට විශාල කාර්යභාරයක් තිබුණෙ නැහැ. 19 ව්‍යවස්ථාව යටතේ පොලිසිය සම්බන්ධ සියලු බලතල කොමිසමට දීල තියෙනවා. 80000ක් පමණ වන පොලිස් බලකායේ පොලිස්පති හැර සියලුම ආයගේ රාජකාරි කටයුතු, ස්වාධීනත්වය ඇති කිරීම, කාර්යක්ෂම කිරීම, සුභසාධනය ඇතිකිරීම ඇතුළු සියලුම කරුණු කාරණා පොලිස් කොමිෂන් සභාවේ කාර්යභාරයට ඇතුළත් වෙලා තියෙනවා. එමගින්ම පොලිස් නිලධාරීන් දිහා බලන්න, පොලිස් නිලධාරීන්ට දුක්ගැනවිලි කියන්න, සහනයක් ලබාගන්න වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ සඳහා පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා.

නමුත් පොලිස් කොමිසමට අවශ්‍ය තරම් ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ප්‍රමාණවත් බලතල තියෙනවද?

පොලිස් කොමිෂන් සභාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත්වෙනවා. කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කරන්නේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු ඇතුළත්වන ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිතුමා විසින්. එහෙම පත්කරාට පස්සේ ඒ අය නිලකාලය තුළ පාර්ලිමේන්තුවේ අවසරයක් නැතිව ඉවත් කරන්න බෑ. ඒ නිසා කිසිම බයක් හැකක් නැතුව සියලුම ස්වාධීන කොමිෂන් සභාපතිවරැන්ට හා සාමාජිකයන්ට වැඩ කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා අපේ කොමිෂන් සභාවටත් කිසිම දේශපාලනික බලපෑමක් නෑ.

පුද්ගලයන්ගේ කැමැත්ත අනුවත් පගාව ක්‍රියාත්මක වෙනවා

කොමිසමේ තීන්දු තීරණවලට පත්කිරීම්වලට බලපෑම් සිදුවෙන්නෙත් නෑ කියලද කියන්නේ?

කොමිසමේ සභාපතිතුමා සහ කොමසාරිස්වරැ හය දෙනා සාකච්ඡා කරලා ස්වාධීනව තීරණය අරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පොලිස් සේවයේ ස්වාධිනත්වය උපරිම වශයෙන් ඇති කරලා තියෙනවා. දැනට පොලිස් ස්ථානාධිපති නිලයේ ඉඳලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා මාරු කිරීම් උසස් කිරීම් විනය කටයුතු කිරීම් සියල්ල කරන්නේ ස්වාධීන පොලිස් කොමිෂන් සභාව. මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. ඒ නිසයි අපි කිව්වේ කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හින්දා කිසිම බයක් සැකක් නැතිව නිත්‍යනුකූල බලතල පාවිච්චි කරන්න, තමුන් ආරක්ෂා කරන්න පොලිස් කොමිෂන් සභාව ඉන්නවා.

පොලීසිය මහජනතාව සමඟ නිරතුරුවම සම්බන්ධ වන ආයතනයක්. ඔබ ඒ මහජනතාව වෙත පොලීසියෙන් ලැබෙන සේවයේ තත්ත්වය ගැන සෑහීමකට පත්වෙනව ද?

පොලීසියේ ඉන්නෙත් මේ රටේ ජනතාවගෙන් කොටසක්. මේ සමාජයේ එක පැතිකඩක් තමයි පොලිස් නිලධාරීන්. සියලු අතින්ම නිවැරදි, සර්වතෝභද්‍ර පොලිස් නිලධාරීන් අසූදාහක් නම් හොයාගන්න බැරි වෙයි. විවිධ පිරිස් ඉන්නවා. අපවිත්‍ර ජලය පිරුණු වැවකින් වතුර කෝප්පයක් ගත්තොත් අපිට ගන්න පුලුවන්කමක් නෑ පිරිසිදු වතුර කෝප්පයක්. මේ තත්ත්වය ඕනෑම සේවයක තියෙනවා. ඒ නිසා සියයට සීයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් පොලිස්පතිතුමාගේ සහය ඇතිව එවැනි තත්වයක් ඇති කරන්න ක්‍රියාකරමින් පවතිනවා. ඒ අනුව තමයි සියලුම පොලිස් නිලධාරීන් අතට ආචාරධර්ම පද්ධතියක් දීලා ඒවා පිළිපදින්න ප්‍රතිඥා දුන්නේ. ප්‍රතිඥා දුන්න පමණින්ම මිනිස්සු නිවැරදි වෙන්නෙ නැහැ. ඒ දේවල් ඔවුන් පිළිපදින්න අලුත් ක්‍රමවේද හැදීමට උත්සහ කරනවා.

මහජනතාවගෙන් බොහෝ අවස්ථාවලදී චෝදනා එල්ල වෙනවා පොලීසිය අවම බලය වෙනුවට අධික බලය යොදවලා මහජනතාව පීඩනයට පත්වෙන අවස්ථා තියෙනවා කියලා. (විශේෂයෙන් උද්ඝෝෂණවලදි)

බොහොම සුළු පිරිසක් පොලීසියේ අපකීර්තියක් වන අන්දමින් ක්‍රියා කළත් වැඩි කොටසක් ඉතාම හොඳින් කටයුතු කරනවා. පොලිස් නිලධාරීන් සේවය කරන්නේ ජීවිත තර්ජන වැනි ඉතාමත් අවදානම් තත්ත්වයේ. අපිට කියන්න බෑ පොලිස් නිලධාරීන් සේවයක් කරන්නේ නැහැ කියලා. සුවිශාල සේවයක් කරනවා. එහෙම අඩුපාඩු තියෙන යම් යම් පිරිස් ඉන්න පුළුවන්. පොලිස් නිලධාරීනුත් ලෙයින් මසින් තැනුණු මිනිස්සු නේ. අපි උද්ඝෝෂණවලදී දකිනවා ඔවුන්ට බැණවදිනවා. ඒ අයට ලොකු දරාගැනීමක් කරන්න වෙනවා. හැම නිලධාරියාගේම මානසික ශක්තිය එක ප්‍රමාණයක නෑ. ඒ නිසා සමහර කෙනෙක් කුණුහරැපෙන් බැන්නම ඉවසීමේ සීමාව ඉක්මවලා පෙරළා බණින්න ගහන්න පුළුවන්. එය සියයට සීයක්ම නවත්වන්න පුලුවන්කමක් නෑ. ඒ තත්ත්වය ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් තියෙනවා.

හොඳ නිලධාරීන් අතරේ නරක සුළු පිරිසක් ඉන්නවා

මෙවැනි අවස්ථා නවත්තන්න අරගෙන තියෙන පියවර?

කොමිෂන් සභාවට පුළුවන් මහජන පැමිණිලි විමර්ශනය කරලා අවශ්‍ය බලයට වඩා වැඩියෙන් බලය පාවිච්චි කරලා තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්න. පැමිණිල්ලක් ආවොත් අවශ්‍ය බලයට වඩා අධික බලය පාවිච්චි කරලා තිබ්බොත් පියවර ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ. ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙනුත් HNDA සිද්ධිය සම්බන්ධයෙනුත් පියවර අරගෙන තියෙනවා. 

මෑතක සිට පොලීසියේ ඉහළ නිලයන් දරන අයට විරුද්ධව බරපතල චෝදනා එල්ල වෙනවා. එතකොට මේකෙන් පේන්නේ පොලිස් සේවයේ විනය කඩා වැටීමක් නෙවෙයි ද?

පහුගිය කාලෙ කිට්ටු කිට්ටු සිදුවීම් කිහිපයක් සිදුවුණා. ඒකෙන් කියවෙන්නෙ නෑ විනය කඩා වැටිලා කියලා. ආදි ඉතිහාසයේ ඉඳලම මේවගේ තත්වයන් තිබිලා තියෙනවා. පොලිස්පතිවරු පවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් අපි ඉන්නවා. කොමිෂන් සභාව මෑතක දී කමිටු 07ක් ඇතිකරල තියනවා. ඉන් එකක් තමයි අපරාධ කටයුතු වැළැක්වීම සම්බන්ධ වන කමිටුව. මෙවැනි කාරණා පිළිබඳව අපි දැනටත් අවධානයෙන් ඉන්නේ. යම් යම් ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා.

මොනතරම් විනය ගැන කතා කළත් පොලීසියට එල්ල වෙන චෝදනාවක් තමයි පොලීසිය පගා ගහනවා කියන එක. මේ වගේ දේවල් වළක්වන්න පොලිස් කොමිසමට මොකුත් කරන්න බැරි ද?

අල්ලස් හෝ දූෂණ කොමිසමත් එක්ක මේ ගැන කතා කරගෙන යනවා. ප්‍රායෝගික වශයෙන් යම් යම් අපහසුතා තියෙනවා. සමහර වෙලාවට පුද්ගලයන්ගේ කැමැත්ත අනුවත් පගාව ක්‍රියාත්මක වෙනවා, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන්නෙ නෑ. පැමිණිල්ලක් ලැබෙන්නෙ නැතුව විමර්ශනය කරන්නත් බෑ. කොමිසමේ පොඩි පිරිසක් කොළඹ ඉඳගෙන අසූ දහසක නිලධාරීන් ගැන හොයා බලන්න ප්‍රායෝගික හැකියාවකුත් නෑ. සහකාර පොලිස් අධිකාරිවරැන් නියෝජ්‍ය පොලිස්වරුන්ගේ වගකීම තමයි මේවා මැඩ පැවැත්වීමට වැඩ කරන එක. අපරාධ නිවාරණය සම්බන්ධ කමිටුවේ අවධානය යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු දැඩි කරන්න. අධීක්ෂණ දැඩි කිරීම තුළින් යම්කිසි වර්ධනයක් ඇති වෙන්න පුළුවන්.

දැන් රටපුරා පාතාල තර්ජන තියෙනවා. සමහර පාතාල ලොක්කෝ පිටරවල ඉඳලා පොලිසියේ ඉහළ නිලධාරීන්ට තර්ජන කරනවා. ඉතිං පොලිසියට චෝදනා එල්ල වෙනවා මේවට පියවර ගන්නෙ නැහැ කියලා.

පොලීසියෙ ඉන්නෙත් ලෙයින් මසින් හැදුණු මිනිස්සු

සම්පූර්ණයෙන් බලය තියෙනවා. බලය පිළිබඳව ගැටලුවක් නැහැ. පොලිස්පතිතුමා ඒ පිළිබඳව මැනවින් කටයුතු කරනවා. ඉදිරියේදීත් වර්ධනාත්මක පියවරවල් පත්කළ කමිටු ගනියි.

පොලීසියට දේශපාලනයෙන් සිදුවන බලපෑම්වලට සීමාවක් නැද්ද?

දේශපාලන මැදිහත්වීම් තිබුණට ඒවාට පියවර ගන්න කොමිෂන් සභාවක් විදිහට අපිට පැමිණිල්ලක් අවශ්‍යයි. මොන මට්ටමේ හෝ දේශපාලන මැදිහත්වීමක් තියෙනවා නම් ඒ නිසා අනීතික පියවරක් පොලිස් නිලධාරියෙක් ගත්තා නම් පැමිණිලි කළ යුතුයි. අපි බලන්නේ පොලීසිය නීත්‍යානුකූලව කළ යුතු දෙයක් නොකර ඉන්නවද එහෙම නැත්තම් අනීතික දෙයක් කරනවා ද කියලයි.

පැමිණිල්ලක් නැතිව වළක්වන්න කොමිසමට බලයක් නැද්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මහජන පැමිණිල්ලක් ලැබුණොත් ක්‍රියාකළ යුතුයි කියලයි. නමුත් කොමිසම පවතින සන්ධර්භය තුළ ඉන් එහාට ගිහින් ජනමාධ්‍ය තුළ අවධානය යොමුවන කරැණ ගැනත් විමර්ශනය කරලා බලනවා. පැහැදිලිවම දේශපාලනය සම්බන්ධ බව පේනවා නම්, මහජන ප්‍රතිවිරෝධයක් ගොඩනැගුණා නම් ඒ ගැනත් සොයා බලන්න පුළුවන්. කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙන්නේ, විගණක මුරබල්ලෙක් මිස දඩ බල්ලෙක් නොවේ වගේ අන්න ඒ විදිහට. පොලිසීයේ සේවය අවශ්‍යයි. පොලිස් නිලධාරීන් දඬුවම් කරලා ගෙදර යවන්න අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය පොලීසිය ගොඩනගන්නයි.

මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි ගැන අපි සොයා බලනවා

ලංකාවේ පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකරන්න ගන්න පුළුවන් දේවල් මොනවා කියලාද පොලිස් කොමිසමේ ලේකම් විදිහට ඔබ හිතන්නේ?

කාර්යක්ෂමතාවය වැඩිකරන්න කළ යුතු විශාල කාර්යභාරයක් තියෙනවා. පොලිස් කොමිෂන් සභාව පත්වුණාට පස්සේ අපි දැක්ක දෙයක් තමයි අවුරුදු 150ක ඉතිහාසයක් තියෙන පොලිස් දෙපාර්තුමේන්තුව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා නෑ. ආයතනය පිළිබඳ සංවිධාන විග්‍රහයක් සකස් කරන්න ක්‍රියාත්මක කරනවා. පහුගිය කාලය දක්වාම යම් යම් තීරණ පදනමක් නැතිව ඒ ඒ වෙලාවට එන කරුණු අනුව කරගෙන එන එන පැත්තට ගහ උලුවස්සා කියලා ඒ ප්‍රශ්න විසඳන්න ඒ වෙලාවට තීරණ අරගෙන තියෙනවා. ඒ එක්කම අමාත්‍යංශයක් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් පටන්ගෙන තියෙනවා. ඒ අනුව ප්‍රතිව්‍යූහ පත්‍රිකාවක් සකස් කර තියෙනවා. ඒ යෝජනා අමාත්‍යංශයේ තීරණය වුණාම ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා.

සාකච්ඡා කළේ සකීෆ් සාම් තන්වීරි
සේයාරුව | සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00