2017 ජුලි 22 වන සෙනසුරාදා

මන්නෙ උකස් කළ ගොවියා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

ගෙදර දොරේ අගහිඟකම් මතුවෙන විට ණයතුරුස් වෙන විට අතේ තිබෙන තුට්ටු දෙකත් සිදී ගිය විට කෙනෙකුට මතක් වන්නේ තමන් සන්තකයේ තිබෙන රන් අබරණ වැනි උකස් කළ හැකි වටිනා වස්තුය. රත්රන් බඩු පමණක් නොව ගෙදර තිබෙන බයිසිකලයක්, ට්‍රැක්ටරයක් වැනි භාණ්ඩයක් වුවද උකස් කොට වෙලාවෙ හැටියට අවශ්‍යතාව පිරිමසා ගැනීමට සමහරු පෙළඹෙති. රත්තරන් බඩුවක් වෙනුවට ගෙදර තිබෙන මන්නය උකස් කොට මුදල් ලබාගැනීමට කෙනකු පෙළඹෙනු ඇතිදැයි කාගෙන් හෝ විමසුවොත් “පිස්සුද?” වැනි පිළිතුරක් ලැබෙනු ඇත. එහෙත් ඇත්තටම එය සිදුවී තිබේ. 

අගහිඟකම් උසුලාගත නොහැකිව ගෙදර තිබුණු මන්නාපිහිය උකස් කළ මේ සිද්ධිය වාර්තා වුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශයෙනි. තම දරුවන්ගේ සහ බිරියගේ කුසගින්දර නිවා දැමීමට ගෙදර මන්නා පිහිට උකස් කොට රුපියල් 300ක් ණයට ගෙන තිබුණේ මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිමහතෙකි. අවස්ථා කිහිපයකදීම සහල් ඇතුළු බඩු ණයට ගෙන තිබුණත් ඒවා ගෙවාදැමීමට ඔහුට අවස්ථාවක් ලැබී නැත. කුස්සියේ මන්නාපිහිය වෙළෙදසල් හිමියා ඉදිරියේ උකස් භාණ්ඩයක් බවට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. (මේ වෙළඳසල් හිමියා ගොවි මහතාට එකී මුදල ලබාදුන් නමුත් මන්නා පිහිය උකසට ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බව මෙහිදී සඳහන් කිරීම අපගේ යුතුකමකි). මේ සිද්ධිය රජරට පැත්තේ ගොවි මහතුන් මුහුණ පා සිටින මහා ඛේදවාචකයක අනුවේදනීය ප්‍රතිඵලයක් බව පැහැදිලිය.

අප දන්නා කාලයක සිට මෙරට බොහෝ දේශපාලකයන් විසින් ගොවි මහතුන් “අන්දවන්නේ” මඩ සෝදාගත්කල රජකමටත් සුදුසුය යන පිරුළ සිහි ගන්වමිනි. නමුත් ගොවි මහතුන්ට අද සිදු වී තිබෙන්නේ මඩ පිටින්ම කඩේට ගොස් කුස්සියේ බඩුමුට්ටු උකසට තැබීමටය. (මේ හැම අමාරැකමක් මැද්දේම එක් එක් දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යාමට අමතරවය.) උයන පිහන බඩු මුට්ටු පවා උකස් කරන මට්ටමට පත්ව සිටින්නේ මහවිලච්චියේ මෙකී ගොවි මහතා පමණක් නොවන බවත් ඔහු එවැනි දහස් සංඛ්‍යාත ගොවි මහත්වරැන් අද මුහුණ දී සිටින මහ ඛේදවාචකයේ එක් ජීවමාන උදාහරණයක් පමණක් බවත් පැවසීම අවශ්‍යය. අපට දැනෙන්නේ මෙය අද රටේම ප්‍රබල අවධානයකට ලක්විය යුතු කාරණාවක් බවට පෙරළෙමින් තිබෙන බවය.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින දැඩි නියඟය හේතුවෙන් මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවීන්ට පිටපිටම කන්න තුනක් මඟහැරී ගොස් තිබේ. මෙය මහවිලච්චියට පමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිජනපද සියල්ලටම පාහේ බලපා තිබෙන විශාල ගැටලුවකි. මේ හේතුවෙන් උග්‍ර ජීවන ප්‍රශ්න වලට මුහුණදී සිටින ගොවි මහතුන්ට ඔවුන් වැටී සිටින වළෙන් ගොඩ ඒමට රජය මගින් දැනට වඩා අත්වැලක් සැපයීම අවශ්‍ය බව හොඳින්ම පැහැදිලිය. දැනගන්නට ලැබී තිබෙන තොරතුරු අනුව රජය මගින් ගෙවන බවට පොරොන්දු වූ වගාවන්දි මුදල් පවා මේ ගොවීන්ට නොලැබීමද මන්නාපිහි උකස් කිරීම් වැනි හද පාරවන සිදුවීම්වලට මඟ පෑදීමට හේතු වී තිබේ. ජාතියට බත සපයන ගොවියා මෙවැනි නරාවළක වැටී සිටීම ගැන ඊට වගකිව යුතු සියලු බලධාරීන් ලජ්ජා විය යුතුය. දැන් අවශ්‍ය වන්නේ උකස් කළ මන්නා පිහිය වෙනුවට තවත් මන්නා පිහියක් ලබා දෙන ජාතියේ විසඳුමක් නොවේ. අමාරුවේ වැටී සිටින සියලු ගොවීන්ට අතදෙන ස්ථිර වැඩපිළිවෙළකි. නියඟයට විසඳුම් නැති බව සැබෑවකි. එහෙත් එයින් පීඩාවට පත්ව සිටින ගොවිජනතාවගේ කුසගිනි ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුය. නැති නම් එවැනි පාලනයකින් පළක් නැති බවත් කිව යුතුය.

උතුරුමැද ඇතුළු ප්‍රදේශවලට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් කොතරම් පිරිසක් විපතට පත්ව සිටින්නේදැයි සංඛ්‍යා ලේඛන හෝ රැස්කර තිබෙන්නේ දැයි අපි නොදනිමු. මෙයට එක් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ පළාත් පාලන ආයතන දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රීයව තිබීමය. ඒ වෙනුවට පත්කර සිටින විශේෂ නිධාරියාට මේ හැම ගැටලුවක්ම විසඳීමට කාලයක් නැත. තමන් මුහුණ පා සිටින වගා හානි, ජලය නොමැති වීම, ආහාර අහේනිය ගැන අද ගම් මට්ටමින් අසන්නට කෙනකු නැත. පළාතේ මැති ඇමැතිවරුන්ටත් කොළඹ වැඩ රාජකාරි බොහෝමයක් තිබෙන නිසා ගොවීන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයන් ගැන ඔවුන්ගේ අවධානය යොමු නොවනවා විය හැකිය. එහෙත් කවදා හෝ ඡන්දයක් තිබෙන දවසකට මහවිලච්චිය වැනි අව්කාස්ටකේ දුක් විඳින ගොවී ජනතාවගේ කතිරයටද වටිනාකමක් තිබෙන බවද ඔවුන් අවබෝධ කරගැනීම අවශ්‍යය. ගොවි ජනතාවගේ දුකට පිහිට වීම අමතක කර දැමුවොත් ඔවුන් තවදුරටත් කුසගින්නේ තැබුවොත් ඡන්දෙ දවස්වලට ඒ ගෙවල්වල මන්නා පිහි සියල්ලම උකස් කර තිබෙන තරමට හොඳ යැයි මේ මැති ඇමැතිලා සිතන බව සහතිකය.