2017 ජුලි 15 වන සෙනසුරාදා

කටුකබ්බි සහ පිංපෙට්ටි

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

හැත්තෑ හතේ මහ ඡන්දය යූ.එන්.පී.යට වගේම ශ්‍රීලනිපයටත් එකසේ වැදගත්ය. මෙරට පාර්ලිමේන්තුව තුළ එක් දේශපාලන පක්ෂයකට හයෙන් පහක බලයක් ලැබුණු ප්‍රථම වතාව එය විය. ජේ.ආර්.ගේ යූ.එන්.පී.ය එම බලය අතැතිව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවූයේය. ශ්‍රීලනිපයට වූයේ එහි අනෙක් පැත්තය. ඔවුන් ඉතිහාසයේ අවම ආසන සංඛ්‍යාවක් ලබා විපක්ෂනායකකමද අහිමිකරගෙන තිබුණි. සීයට 31ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ හිමිවී තිබුණේ ආසන 08ක් පමණි. විපක්ෂනායකකම ලැබුණේ සීයට 06ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ආසන 16ක් දිනාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම්ටය.

මේ ඓතිහාසික මහ මැතිවරණයට වසර 40 පිරෙන්නේ ලබන සතියේදීය. ඒ තරම් කාලයක් ගතවුණත් යූ.එන්.පී.යටත් ශ්‍රීලනිපයටත් ඒ ජයග්‍රහණය සහ පරාජය අමතක කිරීමට අපහසු බව කිවයුතු නැත. කෙසේ වුවද මෙතරම් ලොකු ජයග්‍රහණයක් ලැබූ ජේ.ආර්. අගමැති වී ඉන් පසුව විධායක ජනාධිපති වශයෙන් පත්වූයේ ව්‍යවස්ථාව වෙනස් කරමිනි. ඒ සඳහා අවශ්‍ය බලය පාර්ලිමේන්තුව ඇතුළේ ජේ.ආර්.ට තිබුණේය. තුනෙන් දෙකක් නොව හයෙන් පහක් තිබුණි. ශ්‍රීලනිපයට සිදුවූයේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ භයානකකම ගැන පාර්ලිමේන්තුව ඇතුළේ විවාද කරමින් බලා සිටීමටය. හැබැයි මේ තරම් බලයක් අතැතිව සිටියත් ජේ.ආර්. ඒ වෙලාවේ වැලේ වැල් නැතුව සිටි ශ්‍රීලනිපයට යහතින් ඉන්න දුන්නේ නැත. ආසන 08ට බැස්ස ශ්‍රීලනිපය යළි කවදාවත් ඔලුව උස්සන්නේ නැතැයි එකල යූ.එන්.පී.යේ බොහොමයක් ප්‍රබල ලොකු ලොක්කෝ පම්පෝරි ගැසූහ. ඡන්දය පවත්වන තෙක් තිබූ ශ්‍රීලනිපයේ පාලන සමය සිහි වන කවුරැත් එම මතයට විරුද්ධව ගියේ නැත. එහෙම වුණත් ජේ.ආර්. හිතුවේ එහෙම නොවේ. වෙනම විදියකටය.

කවදා හෝ ශ්‍රීලනිපය යළි අළුගසා නැගිටිනු ඇතැයි යන්න ඔහුගේ හිතේ හැමදාම වැඩ කළේය. ආණ්ඩුවක් බලයට පත්වූ දවසේ සිටම එහි ජනප්‍රියත්වය පිරිහීමට තිබෙන අවස්ථාව වැඩි බවත් විපක්ෂය දෙසට ජනතාවගේ හිත ඇදෙන බවත් ඔහුට අමුතුවෙන් කියාදිය යුතුව තිබුණේ නැත. ඒ වෙලාවේ නිල විපක්ෂ නායකයා අමිර්තලිංගම් වුණත් හැබෑ විපක්ෂනායකයා සිරිමාවෝ මැතිනිය බව ජේ.ආර්. දැන සිටියේය. නිල බලය අමිර්තලිංගම් සතු වනවිට ජනබලය සිරිමාවෝ මැතිනිය වටා රොක්වන බව ජේ.ආර්. වැඩිකල් නොගොස්ම තේරුම් ගත්තේය.

ශ්‍රීලනිපය යළි නැගිටිනවා නම් එය සිදුවන්නේ සිරිමාවෝගේ නායකත්වයෙන් බවට සැකයක් නොතිබිණි. ඇයගේ නායක ඔටුන්න ගැලවුවොත් ශ්‍රීලනිපය ලොකු අමාරුවක වැටෙන බවත් ඇයට පක්ෂව සහ විපක්ෂව කණ්ඩායම් කල්ලි බිහිවී ඔවුන් ඇනකොටා ගන්නා තත්ත්වයට පත්වන බවත් ජේ.ආර් දැන සිටියේය. සිරිමා මැතිණිය බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමත් ප්‍රායෝගික නොවූ බැවින් ජේ.ආර්. කළේ බලය අයුතු ලෙස භාවිත කළැයි චෝදනාවක් ගෙනැවිත් ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කර දැමීමය. නඩු වැටී හිරේ විලංගුවේ වැටුණා නම් සිරිමා මැතිණිය ආපසු එළියට එන්නේ වීරවරියක් හැටියට බව ජේ.ආර්. හොඳින්ම දැන සිටියේය. ඔහු ඇය සමඟ කිසිම දේශපාලන ගනුදෙනුවකට ගියේ නැත. ඩීල්කාරයන්ට කිට්ටුවට එන්න දුන්නේද නැත. නමුත් සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කොට මන්ත්‍රී ධූරයද නැතිකර ඇයගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රීය කර දැම්මේය.

එහි ප්‍රතිඵල වැඩිකල් නොයාම දැකගත හැකි විය. ශ්‍රීලනිපයට මධ්‍යම කාරක සභාව රැස්කර ගැනීම පවා මහ විශාල ප්‍රශ්නයක් විය. පක්ෂ කාර්යාලයේ අයිතිය එක් පාර්ශ්වයකටත් එහි යතුර තව පාර්ශ්වයකටත් හිමිවී තිබිණි. රුස්වීම් පවත්වන්නට සිදුවී තිබුණේ ටකරං මඩුවලය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ මෛත්‍රීපාල සේනානායකලා, රත්නසිරි වික්‍රමනායකලා, සිරිමාවෝට සහාය පළකරන විට අනුර බණ්ඩාරනායක වෙනම සංවිධානය වී නායකත්වය ලබා ගැනීමට සටන් කළේය. පක්ෂය සී සී කඩව විසිරුණේය. ශ්‍රීලනිපයට ආපහු කවදා බලයට එන්නට හැකිවේදැයි යන්නට පිළිතුරු දීමට කාටවත් හැකියාවක් තිබුණේ නැත. එහෙම වුණත් ජේ.ආර්. බලාපොරොත්තු වූ එක දෙයක් නම් ඉටුවුණේ නැත. ඒ සිරිමාවෝ පක්ෂ නායකත්වය අත්හරිනු ඇතැයි යන බලාපොරොත්තුවය. හැම හැල හැප්පීමක් මැද්දේම නායකත්වය අතනොහැර බදාගෙන සිටි මැතිනිය අවසානයේ ප්‍රජා අයිතිවාසිකම් යළි ලබා ඒ වනවිට දේශපාලන භූමියට පැමිණීමට සූදානමින් සිටි චන්ද්‍රිකාට පක්ෂයේ ඉහළම තැනකට ඒමට මග පාදා දුන්නාය. ශ්‍රීලනිපය යළි නැගිට්ටේ ඉන් පසුවය. ඒ වනවිට ශ්‍රීලනිපය විපක්ෂයේ වසර 17ක්ම ගතකර තිබුණි.

ජේ.ආර්. ශ්‍රීලනිපය වසර 17ක් විපක්ෂයේ තිබ්බේ විධායක බලතල පාවිච්චි කරමින් නොවේ. නීතිය සහ පාර්ලිමේන්තුවේ බලය තමාට උවමනා ආකාරයට හසුරැවා ගනිමිනි. දේශපාලන ඩීල්වලට වඩා ඔහු වෙනත් උපක්‍රම භාවිත කොට ශ්‍රීලනිපයේ දේශපාලන ගමන් මගේ පීල්ල පැන්නුවේය. අතට ලැබුණු බලය වසර 17ක් යනතුරු යූ.එන්.පී.ය තබාගත්තේ එසේ උපක්‍රමශීලීව කටයුතු කරමිනි.

බලය රැකගැනීම සඳහා එදා ජේ.ආර්. භාවිත කළ උපක්‍රම අද යල්පැන ගිය ඒවා සේ සමහර නායකයන් සලකන බව පෙනේ. යූ.එන්.පී.යේ ඓතිහාසික ජයග්‍රහණයේ වසර සමරන විට යළිත් යූ.එන්.පී,ය බලයට පැමිණ සිටියද ඒ තනි ආණ්ඩුවක් වශයෙන් නොවීම දෛවයේ සරදමක් දැයි හිතෙන තරමට කටයුතු සිදුවෙමින් පවතී.

එදා ශ්‍රීලනිපය අටට බැස්සූ යූ.එන්.පි සමඟ ශ්‍රීලනිපය අද හවුලේ ආණ්ඩු කරයි. හැබැයි ආණ්ඩුවට වසර දෙකක් ගෙවෙන විට ආණ්ඩුව තුළ ඉන්නවාද යනවද යන්න තෝරා බේරාගැනීමට නොහැකිව ශ්‍රීලනිපය ළතවෙමින් සිටී. යූ.එන්.පිය සිටින්නේ තනිවම ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන තීන්දුවේ බව පෙනෙන්නට තිබේ. හැත්තෑ හතේ දිනුමෙන් පසුව ජේ.ආර්. අත්හදා බැලූ ප්‍රජා අයිතිවාසකම් වට්ටෝරුව මෙවර භාවිත නොකිරීම එයට හේතුව බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි.

එදා යූ.එන්.පී. ආණ්ඩුවේත් මෙදා යහපාලන ආණ්ඩුවේත් සමානකම් දෙකක් තිබේ. එකක් ජන බලයක් සහිත මෙදා විපක්ෂය ශ්‍රීලනිපයේ කැඩී ගිය කොටසක් වටා රොක්වුණු ඒකාබද්ධ විපක්ෂය වනවිට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකත්වය දෙමළ සන්ධාන නායක සම්පන්දන්ට හිමි වී තිබීමය. අනෙක ජේ.ආර්.ගේ රජය ගැටඹේ රාජෝපවනාරාමය වැට මායිමේ කටුකම්බි ගසන්නට ගොස් ඇතිකරගත් ආරවුල සහ යහපාලන රජයේ යූ.එන්.පී පාර්ශ්වය රන්ගිරි දඹුලු රජමහා විහාරය සමඟ ඇතිකරගත් පිංපෙට්ටි ආරවුලය. එසේ වුවද ජේ.ආර්. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය නැතිකර ගැටඹේ පන්සලට කටුකම්බි ගැසුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉහළම මට්ටමේ සිටියදී වුවද වත්මන් රජය මහින්දගේ නායකත්වයෙන් ක්‍රියාත්මකවන ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රීලනිපය කඩන්නට ඉඩදී රන්ගිරි දඹුලු පන්සල සමඟ පිං පෙට්ටි ආරවුලකට පටලැවුණේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ යමින් තිබියදීය. අනෙක් අතට සිරිමාවෝගේ ප්‍රජා අයිතිය නැති කිරීමෙන් පසුව ශ්‍රීලනිපය භේද භින්න වී වඩාත් බලය ඇත්තේ කොතනදැයි සිතා ගැනීමට අමාරැ තත්ත්වයක් ඇති වුණත් මහින්ද රාජපක්ෂ හරහා ශ්‍රීලනිපය කැඩී ගියද නිසැකවම ශ්‍රීලනිපයේ ජනබලය ඇත්තේ මහින්ද සමඟ බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

ප්‍රජා අයිතිය අහිමිව යාම නිසා පක්ෂය තුළ බලය පවත්වාගෙන යාම සිරිමාවෝට බලවත් ගැටලුවක් වුවද මහින්දට එවැනි කිසිම බාධාවක් එල්ල වූයේ නැත. එළියට බැස නිදහසේ දේශපාලනය කරන්නට ලැබී ඇති ඉඩකඩ නිසාම මහින්දගේ බල පරාක්‍රමය දිනෙන් දින වැඩි වන බව පැහැදිලිය. ජේ.ආර්ගේ වට්ටෝරැවේත් යහපාලනයේ ඩීල් දැමිල්ලේත් වෙනස ඒකය.

මහින්ද වටේ සිටින ශ්‍රීලනිප සගයන් දැන් කියන්නේ ඉදිරි ඡන්දයකදී මහින්ද ශ්‍රීලනිපයේ නාම යෝජනා බලාපොරොත්තු නොවන බවය. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කියා තිබුණේ හිටපු ජනාධිපතිවරයා සියලු බලවේග ඒකරාශි කරගනිමින් පොදු සන්ධානයකින් තරග කරන බවය. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රීලනිපය බෝඩ් ලෑල්ලකට සීමා වී එහි ඡන්ද ගොඩ මහින්ද වටා පෙළ ගැසෙන බවය. එවැනි විශ්වාසයක් නැත්නම් ප්‍රසන්න රණතුංග එසේ නොකියනු ඇත. මහින්ද මහතා නායකත්වය දෙන පොදු සන්ධානයකින් මේ ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවත් ශ්‍රීලනිපය නිසා මේ ආණ්ඩුව රැකිලා තිබෙන බවත් කියා තිබූ ප්‍රසන්න තමන්ට මේ ආණ්ඩුව පරද්දන්නට පුළුවන් බවද කියා තිබුණේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවැති මාධ්‍ය හමුවෙදී මේ අදහස් ප්‍රකාශ විය. 

ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වය මෙසේ ආණ්ඩුව පෙරළීමට පිට පොට ගසන අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිප මැති ඇමැතින්ට කියා තිබුණේ ලබන දෙසැම්බර් 31 වැනිදා වනතුරැ තමා සමඟ ආණ්ඩුවේ රැඳී සිටින්නැයි කියාය. පසුගිය අඟහරුවාදා (11) ජනාධිපති නිල නිවසේදි පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ ඉල්ලීම කර තිබුණේය. එහෙම වුණත් ආණ්ඩුවෙන් යන්නට හදන කාගේවත් අතින් අල්ලා ඔවුන් නතර කිරීමට තමාට අවශ්‍ය නැති බවත් ඔහු කියා තිබුණි. ආණ්ඩු සමඟ සිටින මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු එහිදී ප්‍රකාශ කර තිබුණේ යූ.එන්.පිය සමඟ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවය. නමුත් ජනාධිපතිවරයා කියා තිබුණේ නැවත මහ මැතිවරණයක් එන්නේ 2020දී බැවින් දුර දිග බලා තීන්දු ගත යුතු බවය.

ශ්‍රීලනිපයේ මෙවැනි ප්‍රශ්න පැන නැගීමට ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ එළියේ කරන දේශපාලනය බව රහසක් නොවේ. අද ඔහුගේ දේශපාලනය ශ්‍රීලනිපයට පමණක් නොව යූ.එන්.පියටද ගැටලු මතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අස්ගිරිය පාර්ශ්වයේ නිවේදනය, රන්ගිරි දඹුලු රජමහා විහාරය සමග ආරවුල සහ සෙසු පන්සල් කිහිපයක් සමඟ ඇතිවූ පිං පෙට්ටි සීල් තැබීම වැනි කාරණා මහින්ද තම දේශපාලනයට හොඳින්ම යොදා ගත්තේය. ඒ බව යූ.එන්.පීය තේරැම් ගන්නා විට පෙරහර ගොස් අවසානය. දැන් වෙමින් පවතින්නේ මහින්ද නිසා ශ්‍රීලනිපය කැඩීම නොව ඒ වටා ජනතාව රොක් වෙද්දී යූ.එන්.පියේ කරමත අනවශ්‍ය බරක් පැටවෙමින් තිබීමය. ඇඟේ හලා ගන්නේ නැතිව ජනපතිටත් අගමැතිටත් ලිහාගන්න තිබූ හොදි පාර්සලය එන්න එන්නම ලොකු වී එකම අල හොද්දක් බවට පත් වෙමින් තිබෙන බව හැකි ඉක්මණින් තේරැම් ගැනීම අවශ්‍යය. 

දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ ආයුෂ හමාරවන්නේද මේ පසුබිම යටතේය. සතියකට පෙරදි එකී කාර්යාලයේ වැඩ කෙරෙන අන්දම ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. එහි අනාගතය ගැන තීන්දුවක් ගැනීමට සිදුව බවද ප්‍රකාශ විය. දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිරීක්ෂණය යටතේය. මෙම කාර්යලය පිහිටු වීම යහපාලන රජය පිහිටුවීමේදී ලබාදුන් පොරොන්දුවකි. එයට පැමිණිලිද අඩු නැතුව ලැබුණේය. එෆ්.සී.අයි.ඩියට විමර්ශනය කිරීම සඳහා එම පැමිණිලි විධිමත්ව යොමු කිරීම භාරව තිබුණේ එකී ලේකම් කාර්යාලටය. එය අහෝසි වන්නට ඉඩ හැරීම යහපාලන ආණ්ඩුවේ මත ගැටුම උපරිමයට ගිය අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය.
ජනාධිපතිවරයාගේ මූලිකම චෝදනාව වී තිබුණේ එෆ්.සී.අයි.ඩිය සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි පැමිණිලි විභාග නොකිරීමය. මේ සිද්ධියෙන් පසුව දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කෙරුණද ඒ සඳහා ජනාධිපතිගේ අනුමැතිය හිමි වූයේ නැත. මේ නිසා එය ඉබේම අහෝසියට ගියේය. රාජිත කියා තිබුණේ එම කමිටු කාර්යාලය පවත්වාගෙන යාම සඳහා මුදල් වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් මෙසේ එළිපිටම සිදුවෙද්දී නව ව්‍යවස්ථාව වැනි ඉතාම බැරූරුම් සංකීර්ණ ක්‍රියාදාමයක් ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේදැයි සිතාගැනීමටත් අපහසු බව ඇතැම් දේශපාලන විචාරකයෝ කියති. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමද ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවකි. ඒ පිළිබඳවද පාර්ශ්ව දෙක අතර කිසිදු එකඟත්වයක් ඇතැයි පෙනෙන්නට නැත. ශ්‍රීලනිපය මාධ්‍ය සාකච්ඡාවලදී පවසන්නේ ජනමත විචාරණයකට යැවෙන නව ව්‍යවස්ථාවකට තම පක්ෂයේ අනුමැතියක් නොලැබෙන බවය. නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය කලින් දැක්වූ උනන්දුවෙන් අඩක්වත් දැන් පෙනෙන්නට නැත. ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි මහින්ද පාර්ශ්වය ගෙන යන දැඩි විරෝධය හේතුවෙන් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය සද්ද වසාගෙන සිටින බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මහ සංඝ රත්නය නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරයම ගන්නා ගන්නා බව මහින්දද පෙන්නුම් කරන නිසා ඔවුන් එසේ සිටිනවා විය හැකිය.

කෙසේ වුවද රන්ගිරි දුඹුලු රජමහා විහාරය සමඟ ඇතිවූ ආරවුලේදී මහින්ද කියූ කතාවලට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දැඩි පිළිතුරු දී තිබුණේය. ඒ සඳහා එක් අවස්ථාවක් වූයේ අරලිය ගහ මන්දිරයේදී පසුගියදා තරැණ භික්ෂුන් වහන්සේලා සමඟ පැවැති සාකච්ඡාවේදීය. බුදු දහම අනතුරේ... ශාසනය නැති වෙනවා යනුවෙන් ප්‍රකාශ කරමින් විරැද්ධ පාර්ශ්ව කටයුතු කරන්නේ ප්‍රාදේශීය සභා ඡන්දය ඉලක්ක කරගත් දේශපාලන සෙල්ලමක් හැටියට බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියා තිබුණි. එසේම රාජපක්ෂ රෙජීමය සමයේ මල්වතු මහ නාහිමියන්ට තර්ජනය කළා. මීට වඩා ලොකු අපරාධයක් තිබෙනවාද? ඔවුන් සංඝභේදයක යෙදුණා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. 

දැන් සිදුවෙමින් පවතින කරුණු කාරණා සැලකීමේදී යූ.එන්.පී. පාක්ෂිකයන්ට හැත්තෑ හතේ ජේ.ආර්ගේ ආණ්ඩුව සිරිමාවෝගේ ප්‍රජා අයිතිය නැති කිරීමත් ගැටඹේ පන්සලට කටුකම්බි වැටක් ගැසීමත් මතක් වුණොත් ඒ ගැන පුදුමයක් නැත.

ශශින්ද්‍ර 

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00