2017 ජුලි 15 වන සෙනසුරාදා

මේ ආණ්ඩුවෙ ලොක්කො ගොඩයි සේරම මංඤං

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ

ආණ්ඩුව යම් යම් ප්‍රශ්නවලදී පැටලිලා තියෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මන්දගාමී ස්වභාවයක් තියෙනවා. එවන් ගැටලුකාරී තත්ත්වයක විපක්ෂය හරි ප්‍රයෝජන ගන්නවද?

මෙතන විපක්ෂ දෙකක් තියෙනවා. එකක් ආණ්ඩුවට අනුබද්ධ විපක්ෂයක්. අනෙක ආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්ෂයක්. ආණ්ඩුවට අනුබද්ධ විපක්ෂය කරන්නේ ආණ්ඩුවට දැනෙන්නේ නැති මාතෘකා තෝරාගෙන විවේචනය කරන එක. හැබැයි තීරණාත්මක ප්‍රශ්නවලදී ආණ්ඩුව ආරක්ෂා කරනවා. උදාහරණයක් හැටියට මහනායක හිමිවරු ව්‍යවස්ථාවට එරෙහි වුණාම ආණ්ඩුවටත් ඉස්සෙල්ලා ජනවරමට අනුව ව්‍යවස්ථාව සැකසිය යුතුයි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකාබද්ධ විපක්ෂය තමයි විපක්ෂයේ තිබෙන බලතල රහිතව සැබෑ භූමිකාව ඉටුකරන්නේ. ගතවූ කාලය තුළ ඒකාබද්ධ විපක්ෂයේ යම් සැලකිය යුතු භූමිකාවක් ඉටුකරලා තියෙනවා.

හැබැයි ඒ භූමිකාවත් එච්චර දැනෙන්නේ නෑ?

මමත් පිළිගන්නවා. ආණ්ඩුව විසින් ඇතිකරලා තිබෙන පීඩනයට සාපේක්ෂව ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්‍රියා දැක්වීම එතරම් ප්‍රමාණවත් නෑ කියලා.

සයිටම් එකට වගකිවයුතු අය අද ඉන්නෙ ආණ්ඩුවෙ

ප්‍රමාණවත් නෑ කියන්නේ ඇතුළෙත් කචල් වගේ නේද?

ඇතුළේ කචල් එකක් නෙමෙයි. මේක ආවේණික දුර්වලතා. පක්ෂ කීපයක් ඉන්නවානේ. තනි තීරණ නෑ. අපි සාකච්ඡා කරලා තමයි ඒකමතික තීරණයකට එන්නේ. විසංවාද තියෙනවා. එවැනි ස්වාධීන හේතුනුත් බලපාලා තියෙනවා. ඒත් මේ සියලු කාරණා මැද ඒකාබද්ධ විපක්ෂය සිය භූමිකාව ඉටුකරනවා.

පසුගිය දවසක ජනාධිපතිවරයා කැබිනට් එක ඇතුළෙදි ඒකාබද්ධය සමඟ ඩීල් තියෙන ආණ්ඩුවේ අයට අවවාද කළා... අපිට හිතෙන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ භූමිකාව අවුල් වෙලා තියෙන්නේ ඔය ඩීල් නිසා කියලා.

ඒ චෝදනාව නම් මට පිළිගන්න හේතුවක් නෑ. ඩීල් ගැන දන්නේ ජනාධිපතිතුමා. කාටත් හොරෙන් පක්ෂයෙන් ගියේ ඩීල් ගැන දන්න නිසානේ. ඒකාබද්ධ විපක්ෂයට ඩීල් තියෙනවා නම් දැවැන්ත මර්දනයකට මුහුණ දෙන්න වෙන්නේ නෑනේ. අපේ අය විතරනේ හිරගත වෙන්නේ. ඒ නිසා එහෙම ඩීල් නෑ.

ඔබ මොනවා කිව්වත් ඒකාබද්ධය තුළ ඒකමතික බවක් නෑ. නව ව්‍යවස්ථාවට ඔබ ඇතුළු පිරිසක් පැලෙන්න ගහනවා. ඒත් ඒකාබද්ධයේ අය ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ ඉන්නවා. දෙබිඩිකමක් නෙවෙයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක කමිටුවක් බවට පත් කිරීමත්, මෙහෙයුම් මණ්ඩලයක් පිහිටුවීමත්, ඊට අනුබද්ධ අනුකමිටු පහක් පිහිටුවීමත් කියන කාරණාවලදී ජාතික නිදහස් පෙරමුණ මෙහෙයුම් මණ්ඩලයෙනුත් අනුකමිටු පහෙනුත් ඉවත් වුණා. ඒ වගේම ඒකාබද්ධය තුළ අපි කතාවුණා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ ඉඳීම තුළ වෙන්නේ මේ එන්.ජී.ඕ. කාරයන්ගේ පාපකාරී ව්‍යවස්ථාවට අත ගැසීමක් කියලා. හැබැයි ඊට එකඟ නැති නායකයොත් හිටියා. ඒ අය කිව්වේ ඒ තුළ සිටීමෙන් මේ ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලා. ඒත් ත්‍රෛනිකායික මහ නාහිමිවරු නව ව්‍යවස්ථාවට විරුද්ධ වුණා. එපා කිව්වා. ආණ්ඩුවේ ප්‍රතිචාරය එච්චර හොඳ නෑ. ඒත් ඒකාබද්ධයට වගකීමක් තියෙනවා ඉන් ඉවත්වෙන්න. ඉවත්විය යුතුමයි. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා කියනවා තවම එවැනි අදහසක් නැහැ කියලා. ඒත් කමිටුවට අග්‍රාමාත්‍යවරයා දළ කෙටුම්පතක් දීලා තියෙනවා. ඒකට ඒකාබද්ධය නියෝජනය කරන දිනේෂ් මන්ත්‍රීතුමාත්, ප්‍රසන්න මන්ත්‍රීතුමාත් විරෝධය පාලා තියෙනවා. කතා නොවුණ දේවල් ඇතුළු කරලා කියලා.

ඉතිං එහෙම කතා වෙලා තියෙද්දි අපි ඉන්න එක සුදුසු නෑ. මේක තුළ සිටීමෙන් වෙන්නේ මේ පාපකර්මයට අපිත් අත ගහනවා කියන එක. ඒ නිසා අපි සතියකින් ලියුමක් දෙනවා කථානායකවරයාට ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 05 දෙනා ඉවත් වෙනවා කියලා.

අපි සතියකින් ව්‍යවස්ථා කමිටුවෙන් යනවා

ඒ කියන්නේ ඔබයි ඔබේ පක්ෂය ගාණට මේ කතාවෙන් ගැලවෙන්න නේද හදන්නේ?

නෑ. අපි උත්සාහ කරන්නෙම ඒකාබද්ධ විපක්ෂය හැටියට මේ තීරණයට යන්න. ඒකනේ සතියක් දීලා තියෙන්නේ. ඒත් ඒකට එකඟ නොවුණොත් අපි පස්දෙනා හරි ඉවත් වෙනවා. එතකොට කියන්න බෑ ඒකට මුළු පාර්ලිමේන්තුව සම්පාදක කමිටුවට සම්බන්ධ වුණා කියලා.

ඇයි මේ ඒකාබද්ධයේ අනිත් අයට ඉවත් වෙන්න බැරි අවුල?

ඒ අයගේ මතයක් තියෙනවා මේ තුළ සිටියොත් මේකේ වෙන දේවල් හඳුනාගන්න අවබෝධයක් ගන්න පුළුවන් කියලා. ඒක තමයි ප්‍රබල හේතුව කියලා පෙනෙන්නේ.

ඒ කියන්නේ මේ නව ව්‍යවස්ථාව සම්බන්ධව ඒකාබද්ධය තුළ මත ගැටුමක් තියෙනවා.

නෑ. ව්‍යවස්ථාව ගැන නෙමෙයි. ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැන තියෙන්නේ අවුල.

තවම විසඳුමකට එන්න බැරුව කොහොමද පහුගිය සතියේ නිවේදනයක් නිකුත් වුණේ ඒකාබද්ධය ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙන් ඉවත් වුණා කියලා?

ත්‍රිකුණාමලය රැස්වීම පැවති අවස්ථාවේදී පක්ෂ නායකයන් රැසක් සිටියා. අපි අතර සාකච්ඡාවක් ඇති වුණා දැන් ඉවත් වෙන්න ඕන සුදුසු කාලය කියලා. ඒකට හැමෝම එකඟ වුණා. ඒත් නැවත පක්ෂ නායක රුස්වීමක් කැඳෙව්වා. ඒත් ඒකට සහභාගි වෙන්න බැරිවුණා. එතනදී තීරණයක් අරගෙන තියෙනවා තවදුරටත් ඉන්න.

මේක ආපු දවසෙ ඉඳන්ම සොහොන් ලකුණු පෙන්නන ආණ්ඩුවක්

දැන් ඔබලගේ නායකයා ලෙස සලකන මහින්ද මහත්තයා ඉන්නේ කොයි අදහසේද?

එතුමා ඉන්නෙත් පෞද්ගලිකව ගත්තොත් ඉවත්විය යුතුයි කියන අදහසේ. හැබැයි එතුමා තනි තීරණයක් නෙමෙයි ඒකමතික තීරණයකට එකඟව තමයි ඉන්නේ.

ඒකාබද්ධය කිව්වා පළාත් පාලන මැතිවරණය තියෙනකල් ව්‍යවස්ථා සංශෝධනයට උදව් දෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඡන්දෙ තිබ්බොත් උදව් කරනවා?

නෑ... නෑ... එහෙම කතාවක් කිව්වේ නෑ. අපිට මේ ආණ්ඩුවත් සමඟ සමගි සම්පන්න නොවෙන්න හේතුවක් තමයි මේ මැතිවරණය කල් දැමීම. දැන් බලන්න මැතිවරණය තිබ්බේ නැතිවීම නිසා ඩෙංගු රෝගය උත්සන්න වෙලා. රජය සංඛ්‍යාලේඛන හංගලා ප්‍රකාශ දෙනවා. ඒ නිසා ඡන්දය තිබ්බා කියලා මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට අත උස්සන්න ඕනේ නෑ.

ශ්‍රීලනිපය දෙකට කැඩුවේ ඔබ, දිනේෂ්, ගම්මන්පිල යන පක්ෂ නායකයෝ කියල ශ්‍රීලනිපයෙම අය කියනවා. ඇයි එහෙම පවක් කළේ?

පාපකර්මය කරපු මිනිස්සුන්ම හඳුන්වන්න හදනවා පාපතරයෝ හැටියට, ඕක කළේ මෛත්‍රී ජනාධිපතිතුමයි, දුමින්ද දිසානායකයි කට්ටිය. එයාලනේ යූ.ඇන්.පී.ය එක්ක ඡන්දය ඉල්ලන්න ගියේ. දැන් පක්ෂ මූලස්ථානය එක තැනක. ජන බලය තව තැනක.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව අවසන් කරලා තියෙන්නේ පක්ෂයේම ඉන්න කට්ටිය. අපිට බැණලා වැඩක් නෑ කියලා.

ඔබ මොන ආර්ථකථන කළත් ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කැමතිනේ මෛත්‍රිපාල මහත්තයා එක්ක වෙනම ආණ්ඩුවක් පිහිටුවන්න?

මම නම් දැකලා නෑ එහෙම කියනවා. සමහරෙක් එහෙම හිතනවා ඇති. අපි එක්කම ඉන්න මන්ත්‍රීවරු 51 දෙනාම සියයට සීයක් එක වගේ හිතනවා කියන එකනම් මුසාවක්. ඒත් ආණ්ඩුවට එරෙහි සටනේ එක මතවාදයක ඉන්නේ.

දැන් මේ දඟලලා කරලා කරන්න යන්නේ මොකක්ද?

මේ ආණ්ඩුව හරි පාරට යන්න පුළුවන් එකක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක සොහොන් ලකුණු පේන්න අවුරුදු තුනක් යනවා. ඒත් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සොහොන් ලකුණු පෙන්නනවා. ඡන්දය දුන්න මිනිස්සු පුදුමාකාර කලකිරීමකනේ ඉන්නේ. අපි රැවටුණා කියන තැනනේ ඉන්නේ. එහෙම ආණ්ඩුවක් පෙරළලා දානවා ඇරෙන්න හුරතල් කරලා වැඩක් නෑනේ. දැන් බලන්න මේ ආණ්ඩුවට නායකයෝ වැඩියි. ජනාධිපති ඉන්නවා අගමැති ඉන්නවා විදේශ තානාපති කෙනෙක්ට වුණත් කාත් එක්කද කතා කරන්න ඕන කියලා හිතුවම ඔළුව මංඤං වෙනවා.

ආණ්ඩුව පෙරළලා ආණ්ඩුවක් බිහිකරන්න බහුතරයක් නෑනේ ඔබලාට?

ඇයි බැරි... පෙරළි වෙන්න පුළුවන් ක්‍රම කිහිපයකට. එකක් පාර්ලිමේන්තුවේ බල පෙරළියක්. ඒ වගේම කලින් මැතිවරණයක් තියලා. හිතන්න 113ක් අත්සන් කරලා විශ්වාසභංගයක් ගේනවා. එහෙම වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. නැත්තම් නව අගමැති කෙනෙක් පත්කර ගන්න වෙනවා. ඒ නිසා ක්‍රම තියෙනවා. ඒ නිසා 2020 වෙනකල් ආණ්ඩුව හුරතල් කරන්න බෑ.

ටී.බී. ඇමැතිතුමා කිව්වා 18 දෙනෙක් ඉවත් වෙනවා කියලා ආණ්ඩුවෙන්. ඇත්තද මේක පිටුපස ඒකාබද්ධය ඉන්නවා කියන්නේ?

ඒක ඉතින් ටී.බී. ඇමැතිතුමාගෙන් තමයි අහන්න ඕන. කොහොමත් ඒකාබද්ධය ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරැ සමඟ සාකච්ඡා කරනවා. යම්කිසි තීරණාත්මක මොහොතකදී එකට හිටගන්න එම සාකච්ඡා තියෙනවා. ඒක යූ.ඇන්.පී. ඇමැතිවරු එක්කත් තියෙනවා.

උමා ඔයට මුල්ම කැබිනට් පත්‍රිකාව දැම්මේ අනුර දිසානායක

ඇත්තද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න වයෝවෘද්ධ නායකයෙක් 2020 ජනපති කරන්න හදනවා කියන්නේ?

නෑ එහෙම සාකච්ඡාවක් තවම නෑ. එක එක්කෙනාට විවිධ නිගමන තියෙන්න පුළුවන්. ඒත් එවැනි නිගමනයක් නෑ. 

එක්තරා පිරිසක් කියනවා ගෝඨාභය රාජපක්ෂ 2020 අපේක්ෂකයා කියලා. ඔබ හිටගන්නේ එතුමා එක්කද?

ඕකට දැන්ම අපි උත්තර දෙන්න අවශ්‍ය නෑ.

ඒ කියන්නේ අදහසක් තියෙනවා?

අදහස් තියෙනවා ගොඩක්. තිබ්බ පළියට ඒවා ඔච්චර ඉක්මනට කියන්න ඕන නෑනේ.

එහෙනම් කියන්න ඒකාබද්ධය ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු තැනකද?

විධායක ජනාධිපති ක්‍රමය ගැන තීරණ ගත යුත්තේ වියුක්තව නෙවෙයි. ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇතිවන ක්‍රමයේ මැතිවරණයක් එනවා නම් ජනාධිපතික්‍රමය අහෝසි වීම ගැන සලකා බලන්න අපිට පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුව අස්ථාවර කරන මැතිවරණ ක්‍රමයකට එනවා නම් ඒ වගේම ජනාධිපති ක්‍රමයත් අහෝසි වෙනවා නම් රට අරාජික වෙනවා. බලය ගන්න මොකාටවත් බැරි වෙනවා. අපි කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් රට අස්ථාවර නොවෙන වාතාවරණයක් ඇතුළේ ඒක කරන්න ඕන කියලා.

ඒකාබද්ධ විපක්ෂය උමා ඔය, සයිටම් වගේ ප්‍රශ්නවලදී මැදට පැනලා සාධාරණය කරන්න යනවා. හැබැයි මේ හැමදේම ඔබලගේ ආණ්ඩුව කාලයේ වෙච්ච දේවල්?

උමා ඔයේ වැඩ මාස ගණන් නතර කරලා තිබ්බා. ඒ ගැන දන්න අය කියන්නේ මාස ගණන් නවත්තලා තිබ්බ නිසයි මේ වගේ තත්ත්වයක් ඇතිවුණේ කියලා. දැනුත් නතර කරලා. තව සුළු ප්‍රමාණයක් තියෙන්නේ ඕක සම්පූර්ණ කරලා වතුර යැව්වනම් ඉවරයි. දැන් ඔය වැඩෙන් වෙන්නේ බණ්ඩාරවෙල මිනිස්සු නාය යන එක. ඒක් කරන්නේ ආණ්ඩුව රාජපක්ෂ මුවහමට තඩිබාන එක. ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුල්ම කැබිනට් පත්‍රිකාව දැම්මේ හිටපු කෘෂිකර්ම ඇමැති අනුර දිසානායක. බහුකාර්ය ව්‍යාපෘතියක් හැටියට. ඒ නිසා මේක දේශපාලන කුහකකමක්නේ. එහෙම නැතුව බණ්ඩාරවෙල මිනිස්සු ගිල්ලවන්න නෙවෙයිනේ මේ වැඩේ කෙරැවේ. එහෙම අදහසක් තිබුණා නම් තමයි හෙණ ඉල්ලන්න ඕන. ඔය හරහා කරන්න හැදුවේ වෙල් ලක්ෂයක් නඩත්තු වුණු වෙල්ලස්සට වතුර ගෙනියන්න. ඒ නිසා කරන්න තියෙන්නේ ඔය උමගේ ලීක් වෙන තැනට පිළියම් යොදලා වැඩේ කරන එක.

එතකොට ඔබලා නිදහස් අධ්‍යාපනය හිල්කරලා සයිටම් හදලා දැන් ලීක් වෙන එකට මොකද කරන්නේ?

සයිටම් පටන් ගත්තේ  අපේ ආණ්ඩු කාලෙනේ. ඒත් ඒකට වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණේ නෑ. හැබැයි ඒකට බලපෑම් කළෙත් නෑ. ඒක හිටපු සෞඛ්‍ය ඇමැතිතුමාත් කියනවා. ඒ නිසා සයිටම් වගේ ආයතනයකට නැති ප්‍රමිතියක් දීලා පවත්වාගෙන යන්න අපේ ආණ්ඩුව වැඩ කරලා නෑ. ඇත්තටම මේක එස්.බී. දිසානායකගේ ව්‍යාපෘතියක්නේ. එතුමා උසස් අධ්‍යාපන ඇමැති හැටියට ඉන්න කාලේ පිළිගත්තේ. එතනින් තමයි මේ අර්බුදය පටන් ගත්තේ. දැන් ඕකට වගකියන්න ඕන අය ආණ්ඩුවේ ඉන්නේ. පෞද්ගලිකව මම හිටපු ජනාධිපතිතුමාටත්, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාටත් කතා කරලා කිව්වා ඕක වැරදියි කියලා. සයිටම් එක කොහොමත් මේ ආණ්ඩුව ගේන්න හදන්නේ හිතකින් නෙවෙයි. තවත් පිටරට විශ්වවිද්‍යාල 05ක් පිහිටුවන්න ඩීල් දාලා තියෙන්නේ. ඒ නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ඔළු පළලා මේ ප්‍රශ්න විසඳගන්න බෑ.

හැබැයි විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔළු පලලා ප්‍රශ්න විසඳපු අවස්ථා ගිය ආණ්ඩුවෙත් තිබුණා?

ඔය කියන ශිෂ්‍ය විරෝධතාවලට කොයි ආණ්ඩුවෙත් ඔය වගේ ප්‍රතික්‍රියා දක්වලා තියෙනවා. ඒත් මේ ආණ්ඩුවට එවැනි ප්‍රතික්‍රියා දක්වන්න සදාචාරාත්මක අයිතියක් නෑනේ. අර සිංදුවකුත් හැදුවනේ ආයේ ආයේ නොම ඉවසන් කියලා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දාලා. එහෙම දාලා තරැණ පරපුරේ ඔළුව මංඤං කරලා ඡන්ද ගත්ත අයියලට අයිතියක් නෑ ගහන්න.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ඔළු පළලා මේ ප්‍රශ්න විසඳගන්න බෑ

පසුගිය දවසේ කතාවක් ගියා ඇමතිවරයෙක් කිව්වය කියලා පිරිසක් ඇතුළට දාන්න ඉන්නවා කියලා. ආයි ඇතුළට යන්න වෙයි කියලා බයක් නැද්ද?

නෑ.. නෑ.. කොහොමත් මාව අත්අඩංගුවට ගන්න උසාවි දෙකකට වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි නම් දේශපාලනඥයෝ. ඕන වෙලාවක හිරේ යන්න බලාගෙන අපි ආවේ. ඒත් සමහරු අත්අඩංගුවට ගන්නේ කිසිම පදනමක් නැතුව. ඒත් එහෙම තියෙද්දී අත්අඩංගුවට ගන්නවා. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ සී.අයි.ඩී. එකට ඕන විදිහට. කොච්චර වැරදිද? සහගහන අපරාධයක්.

අද හමුදා නිලධාරින් වෙනුවෙන් කතා කරන ඔබතුමාලා එදා සරත් ෆොන්සේකා හිරේට දාද්දි වචනයක් කිව්වේ නෑනේ?

හිරේ දාන්න කලික් එක දවසක් උදෑසනක හිටපු ජනාධිපතිතුමා දුරකථනයෙන් කතා කරලා ඇහුවා විමල් කට්ටිය මෙහෙම කතාවක් කියනවා මොකද කරන්නේ කියලා. මම කිව්වා එහෙමනම් කරන්න එපා ඔය මනුස්සයා එළියේ හිටියොත් කට වරද්දගෙන දේශපාලනයෙන් ඇනගන්නවා. ඇතුළට ගියොත් නම් ටික කාලයකට හරි වීරයෙක් වෙයි කියලා. ඒත් එක යුද හමුදාවේ නීතිය යටතේ යුද හමුදාව විසින් කළා. හරි ඒක දැන් වරදක් කියමුකෝ... ඒ වරදට උත්තරය වැරදි දස දහසක් පටවලා රණවිරුවන් දංගෙඩියට අරගෙන යන එකද. ඉස්සෙල්ලා ආණ්ඩු ඒ වරදට වන්දි ගෙවලා තියෙනවානේ. එහෙම කියලා මේ ආණ්ඩුවත් ඊට වඩා කරලා හරියන්නේ නෑ. ෆොන්සේකා මහත්තයට තිබ්බේ යුද හමුදාවේ රැඳී සිටිමින් දේශපාලනය සිදුකිරීම. ඒත් මේ වෙන්නේ සාක්ෂි නැතුව සෙබළුන් දඩයම් කිරීම. නීතිපති දෙපාර්තමේන්තුවෙත් කිසිම කාරණයක් නෑ කියද්දිත් ඒක කරන එකයි මෙතන අවුල.

ගයාන් ගාල්ලගේ
සේයාරූ I සුමුදු හේවාපතිරණ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00