2017 ජුලි 15 වන සෙනසුරාදා

ව්‍යවස්ථා වෙනසක් ඕනෑ

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

පසුගිය වසරට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලය තුළ රටපුරා පැවති උද්ඝෝෂණ හා වැඩ වර්ජන සංඛ්‍යාත්මකව ඉතා ඉහළ අගයක් ගන්නා බව අපට පෙනේ. මෙපමණ විරෝධතාවන්ගෙන් රටට ලැබුණු ප්‍රතිලාභය හෝ අවාසිය කුමක්දැයි මෙතෙක් කිසිවකු ගණන් බලා නොමැත. එය පහසු කරුණක්ද නොවේ. කාලයෙන් කාලයට විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි දින කිහිපය තුළ තවත් වැඩවර්ජනයක් සඳහා අර අදින බව මේ දිනවල ඔවුන් කරන මාධ්‍ය ප්‍රකාශවලින් දැනගත හැකිය.

ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් පංති වර්ජනය කරනවා. තවත් පිරිසක් නිතරම උද්ඝෝෂණ කරනවා. ඒ කියන්නේ තවත් ගැටලු විශ්වවිද්‍යාල සිසුන්ට තියෙනවද?

සිසුන්ගේ කේන්ද්‍රීය ප්‍රශ්නය සයිටම්. සයිටම් ප්‍රශ්නයේ මූලික ගැටලුව තමයි සමානාත්මතාවය පිළිබඳ ගැටලුව. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සමත්වන ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට සියල්ලට උසස් අධ්‍යාපනයට පිවිසෙන්න ක්‍රමයක් නෑ. මේ අතරේ අසාමාන්‍ය ලෙස සල්ලි තියෙන කණ්ඩායමකට උසස් අධ්‍යපනය ලබා ගැනීමට උපාධිය ලබාගැනීමට අවස්ථාව ඇතිවීම නිසා පොදු ශිෂ්‍ය ප්‍රජාව අතර කලකිරීමක්, ඉච්ඡාභංගත්වයක්, අසහනයක්, අතෘප්තියක් ඇතිවෙලා තියෙනවා. 
ඔබ කියන එම සයිටම් ප්‍රශ්නය ශිෂ්‍ය අසහනයට වඩා හුදු පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සම්බන්ධ කාරණයක් නොවෙයිද?

අපි වගේ සංවර්ධනය වන රටක, ආදායමත් විෂම ලෙස බෙදී යන රටක, අධ්‍යාපනයත් බරපතළ ලෙස ගැටලුවක් බවට පත්වෙච්ච රටක ඒ සඳහා හැකිතාක් දුරට සමාන අවස්ථාව ලබාදීම මඟින් තරැණයන් තුළ අසහනය අතෘප්තිකරභාවය අවම කිරීම අවශ්‍යයි.  නිදහසෙන් පස්සේ ප්‍රධාන ජන නැගිටීම් තුනකට තරුණයෝ සම්බන්ධ වුණා. මේ නිසා අහිමි වෙච්ච ජීවිත ගණන, ආබාධිත වෙච්ච දරුවෝ ගණන, රට හැරගිය ගණන ලක්ෂ ගණනක්. ඔවුන් පෙනී සිටියේ සමාජ සාධාරණත්වය, සමාජයේ යුක්තිය, සමානාත්මතාවය වගේ පොදු ඉල්ලීම් සඳහා. ඒ කාලවල මතුවුණ දේශපාලන සමාජ, සංස්කෘතික, ජනවර්ග, ආගමික ගැටලුවලට උත්තර දීගන්න බැරිවීම යන පොදු සමාජ කාරණා නිසයි ඒ අය ජීවිත පරිත්‍යාග කළේ. එනිසා අද මතුවී ඇති තත්ත්වය අපි සාකච්ඡා කරන්න ඕනෑ මේ ඓතිහාසික පසුබිම මතුකරමින්.

විශ්වවිද්‍යාල දෙකක් ස්වාධීන කරන්න යාම ලොකු අවුලක්

එහෙම නම් මොකද්ද මේකට තියෙන විසඳුම?

ප්‍රතිපත්ති තීරකයෝ විදිහට දේශපාලකයො, දේශපාලන කණ්ඩායම්, විද්වතුන්, පරිපාලකයන් එකතුවෙලා මේකට උත්තර හොයන්න ඕනෑ. අවාසනාවකට මේකට උත්තර හොයන්න කල්ගත කරනවා කාලය වැඩියි. සයිටම් ප්‍රශ්නයට අවුරුදු හතරකට පහකට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. මේ කාරණය නිසා මේ අවුරුදු කිහිපය තුළ වරින්වර ශිෂ්‍යයෝ 200කට ආසන්න ප්‍රමාණයක් පන්ති තහනම් කරලා තියෙනවා. මේ වෙනකොට 60 වතාවකට වැඩි වාර ගණනක් කොළඹ නගරයේ පෙළපාලි, උදඝෝෂණ කරලා තියෙනවා. එනිසා ඇතිවෙන නාගරික තදබදයෙන් විනාශ වෙන මානව ශ්‍රම පැය ගාන කෝටි ගාණක්. අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටක මේක දරාගන්න බෑ. ඉතිං මේක කළමනාකරණය කිරීම අවශ්‍යයි. ළමයි සියක දාහක ප්‍රශ්නයක් පදනම් කරගෙන රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව අතරම කලකිරීමක් ඇතිවීමට ඉඩදීමම කනගාටුදායකයි. 

මේ අතරදී පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාල ස්වාධීන කිරීමේ කතාවක් තියෙනවා.

මම හිතන්නේ මේ ප්‍රවේශ වෙන්න උත්සහ කරන්නේ යම් ආකාරයක රාජ්‍ය ව්‍යුහය තියෙනවාට සමාන්තරව වෙනම මුදල් ගෙවා ඇතුළුවීම සඳහා වූ ව්‍යූහයක් නිර්මාණය වීම. අද ලක්ෂ 150ක් ගෙවන්න පුළුවන් මාපියෝ කවුද? අපේ රටේ ආදායම් බදු ව්‍යූහයක් තියෙනවා නම් කොහොමද ඒ ගාණක් ගෙවන්න පුළුවන් මුදල් එකතු වෙන්නේ? පසුගිය කාලවල සංවර්ධනය වෙච්ච නිදහස් වෙළෙඳ ආර්ථිකය යටතේ අතිවිශාල කළු සල්ලි සංසරණය වෙන්න පටන්ගෙන තියෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලයක රුපියල් 35 ලක්ෂයක උපාධියක් ගන්න ඉඩකඩ තියෙද්දි ලක්ෂ 150ක් ගෙවන්න 200ක් ගෙවන්න පුළුවන් වෙන්න ආදායම් විෂමතාවයක් ඇතිවෙන්නෙ කොහොමද? 

එහෙමනම් පොහොසතුන්ට අධ්‍යාපනයේ අයිතියක් නැද්ද?

ලකුණෙන් දෙකෙන් විශ්වවිද්‍යාල අහිමිවෙච්ච දක්ෂ තරැණ තරැණියන්ට තියෙන සමාජ අවකාශය උල්ලංඝනය කිරීම මඟින් නැවත 71ද අපි ඉල්ලන්නේ? ඉච්ඡාභංගත්වය කලකිරීම පීඩනය අතෘප්තිකරභාවය අසහනය බරපතළ සමාජ ප්‍රචණ්ඩතාවයන් සමාජ ගැටලු නිර්මාණය කරනවා. මම හිතන්නෙ අපි මේක දිහා බලන්න ඕන මේ විදිහටයි.

සල්ලිවලට උපාධි දෙන එක හරිද? 

බොහෝ දියුණු රටවල විශ්වවිද්‍යාල ස්වාධීනයි. එහෙම නම් අපේ රටේ විශ්වවිද්‍යාල ස්වාධීන වීම විතරක් හොඳ නැත්තේ ඇයි?

මම කියන්නේ විශ්වවිද්‍යාල ස්වාධීන වෙන්න ඕනෑ ශාස්ත්‍රීය වශයෙන්. නිදහස් මත දැරීම, නිදහස් පර්ෙය්ෂණ කිරීම, නිදහස් මතවාද වෙනුවෙන් පෙනී සිටීම, පෙරළිකාරී අදහස් ඉදිරිපත් කිරීම, ඒ සඳහ ජනමත සකස් කිරීම සඳහා වූ ස්වාධීනතාවය තියන්න ඕනෑ. අපේ රටේ මේ ව්‍යූහය තුළත් ඒක තියෙනවා. ඊට අමතරව මොකද්ද මේ විශ්වවිද්‍යාල දෙකකට විතරක් දෙන්න හදන ස්වාධීනතාව? අනිත් විශ්වවිද්‍යාලවලට ස්වාධීනතාව නොදෙන්නද මේ ලැහැස්ති වෙන්නෙ? මම පෞද්ගලිකව හිතනවා මේ කාරණාව ගැන යම් ගැටලුවක් තියෙනවා කියලා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉවත්කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරු වර්ජනයකට සැරසුණා. වෛද්‍යවරු හැම තිසේසේම පොඩි පොඩි දේවල්වලටත් රෝගීන් ප්‍රාණ ඇපයට අරගෙන වර්ජන ගර්ජන කරනවා. මේකෙ සාධාරණත්වය කුමක්ද?

මම ලංකාවේ වෘත්තීය සමිති සංස්කෘතියේ පරිහානියක් දකිනවා. ලංකාවේ ඓතිහාසික 1947, 1880 වැඩවර්ජන, 1950 ගණන්වල වැඩවර්ජන හා ලංකාවේ සමස්ත වැඩවර්ජනවලදී කිසිදු අවස්ථාවක සංවේදී කණ්ඩායම් ගෙන්වූයේ නෑ. ඒ දේවල් බොහොම බරපතළ විදිහට සංවිධානය කරගත්තා. මුළු වරායම අඩපණ කළා, දුම්රිය අඩපණ කළා, මහාමාර්ග අඩපණ කළා, ආහාර බෙදීම අඩපණ කළා, කාර්යාල අඩපණ කළා, හැබැයි සෞඛ්‍යය අඩපණ කළේ නෑ. යම් ආකාරයක සංකේත වැඩවර්ජන වගේ දේවල් තිබුණා. වෛද්‍ය සභාවේ සභාපතිකමට කාලෝ ෆොන්සේකා ඉවත්කිරීම වෙනුවෙන් වැඩ වර්ජනය කිරීම ගැන මගේ එකඟතාවයක් නෑ. හැබැයි ඒ ගොල්ලෙන්ගේ ඉල්ලීම් සාධාරණයි කියලා මම හිතනවා. 

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රජය සංඝ සමාජයත් එක්ක මත ගැටුම්වලට යන බවක් පේනවා. ඇයි මෙහෙම වෙන්නේ?

රජය සමහර කාරණා පිළිබඳව නිසි, කඩිනම් විසඳුම් නොගෙනීම නිසා සංවාදයට අනවශ්‍ය පාර්ශ්ව කැඳවා ගන්නවා. අපි වගේ ආගමික සමාජයක පූජ්‍ය පක්ෂය සංවේදී කණ්ඩායමක්. මේ කණ්ඩායම් ව්‍යවස්ථාව වැනි සංවාදයට කැඳවා ගැනීමෙන් බරපතළ ගැටලු නිර්මාණය වෙනවා. ඒ නිසා වගකිවයුතු රජයක් ඒ පාර්ශ්වය සමඟ සම්බන්ධයක් තියාගන්න ගමන් තමන්ගේ ව්‍යවස්ථාමය කාරණා නිශ්චිත ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති මත ඉස්සරහට ගෙනියන්න ඕනෑ. එය නොකර මේ සංවාදයට හැමකෙනෙක්ටම එන්න අවස්ථාව දුන්නොත් රටේ අරාජික තත්ත්වයක් ඇති වේවි. 

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන ඔබේ මතය කුමක්ද?

මැතිවරණ නිසා ගිනි ගන්නවා, වෙඩි තියා ගන්නවා අපි දැක්කා. ජනවර්ග අතර ගැටුම් නිර්මාණය වෙනවා, සරණාගතයන් නිර්මාණය, විදේශ හමුදාවන් ලංකාවට එනවා, පුස්තකාල ගිනි තියනවා, තරුණයන් මැරෙනවා අපි දැක්කා. පනස්දාහකට වැඩි ප්‍රමාණයක් වැන්දඹු මාතාවෝ උතුරේ ඉන්නවා. දකුණේ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දරුවෝ අහිමි වෙච්ච මාපියෝ ඉන්නවා. විශාල රණවිරුවන් කියලා කොටසක් අපි නඩත්තු කරනවා. මේ දේවල් අපි දැක්කෙ ව්‍යවස්ථාවේ අතුරු ප්‍රතිඵල විදිහට. ඒ නිසා එය වෙනස් කිරීම අවශ්‍යයි. බලය යම් ආකාරයකට පහළට බෙදීයන ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යයි. සැවොම පාලනයට සම්බන්ධ වෙන සැකය අවිනිශ්චිතතාවය දුරු කරන ව්‍යවස්ථාවක් සැකසීම අවශ්‍යයි.

කාලෝ වෙනුවෙන් වර්ජනය කිරීම වැරදියි

අතුරුදන්වීම පිළිබඳ පනත සම්බන්ධයෙනුත් විශාල මතගැටුමක් තියෙනවා. ඊට එරෙහිව විපක්ෂය දැඩි ලෙස විරුද්ධව කතා කරනවා. මාධ්‍ය ඇමති මංගල සමරවීර ප්‍රකාශ කරනවා එය බලපාන්නේ ඉදිරියට කියලා. ඔහු කියනවා මේකට විරුද්ධ වෙන්නේ සුදුවෑන් සංස්කෘතිය, ඝාතන හා අතුරැදන් කිරීම් අවශ්‍ය කියන කියන කට්ටිය කියලයි?

අපිට මානව හිමිකම් ගැන අපිට උපදෙස් දෙන්න ඉදිරිපත්වෙලා ඉන්න ඇමරිකාව හරි එංගලන්තය හරි යුරෝපීය රටවල් මේ වගේ පනතක් සම්මත කරලා තියෙනවද? 

ඒ රටවල සම්මත නොකළ පමණින් අපි සම්මත නොකළ යුතුයි ද?

අපේ අවශ්‍යතාවයද මේ තියෙන්නේ? අපිට අපේ ජනතාව අතුරින් මේ වගේ ප්‍රශ්නයක් මතුවුණාද? තියෙන නීති පද්ධතිය තුළ මරණයක් පිළිබඳව යම් සැකයක් අවිනිශ්චිතතාවයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන හොයාගන්න පුළුවන්. 88/89 කාලෙ හැටදාහකට වැඩිය දකුණේ සමාජය මියගියා. ඒ අය හොයන්න විශාල ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලීමට සාධාරණත්වයක් ඉෂ්ඨ කරලා තියෙනවද? අඩුම තරමේ පොලිස් පරීක්ෂණ පවත්වලා තියෙනවද? මම හිතන්නේ අපේ දේශීය න්‍යායපත්‍රයක් වැඩසටහනක් අනුව අපි යන්න ඕනෑ.

ආණ්ඩුව මාධ්‍ය අධිකාරි පනතක් සැලසුම් කරනවා. ඇත්තටම එහෙම එකක් අවශ්‍යද? මාධ්‍යට සම්බන්ධ අය නම් කියන්නේ මාධ්‍යය පාලනය කිරීමටයි ආණ්ඩුව මේ සැරසෙන්නෙ කියලා.

අපි විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආචාර්යවරු විදිහට 2016දී ලෝක ජනමාධ්‍ය දිනයේදී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය මෙසේ විය යුතුයි කියලා යෝජනා මාලාවක් ජනාධිපතිතුමාට හා ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවට දුන්නා. තවම අපෙන් හෝ ජනමාධ්‍ය පිළිබඳ අනෙකුත් සංවිධානවලින් විමසලා නෑ අපේ යෝජනා පිළිබඳව. රටේ ජනමාධ්‍ය පිළිබඳ උගන්වන, පර්ෙය්ෂණ කරන ආචාර්යවරුන්ගෙන් අහන්නෙ නැතුව කාගෙන්ද ඇහුවේ? ජනමාධ්‍ය පිළිබඳ නීති ගේන්නෙ කාට ඕනෑකමට ද?
එහෙම නම් මොකටද මේ නව පනතෙන් සැරසෙන්නේ?

තොරතුරු නියාමනය කිරීම සඳහා වූ මාධ්‍ය පනතක් ගේනවා. අපි හිතනවා මේක නොකළ යුතුයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. අද ජනමාධ්‍ය පිළිබඳ නීති හදන්න ඕනෑ මොන ක්ෂේත්‍රයට ද? මාධ්‍යවල හිමිකරු ප්‍රශ්න, මාධ්‍යවේදීන්ගේ වැටුප්, වෘත්තීයභාවය, සුරක්ෂිතභාව පිළිබඳ ප්‍රශ්න, මාධ්‍ය ආචාරධර්ම සමාජ වගකීම් පිළිබඳ ප්‍රශ්න, මාධ්‍යවේදීන් පුහුණු කිරීම් ප්‍රශ්න ආදි අති විශාල ප්‍රමාණයක් තියෙනවා. එයින් මේවා එකකටවත් පිළිතුරු දීලා නෑ. එනිසා මෙය නැවත සමාලෝචනය කරලා යම් විධිමත් ක්‍රමවේදයකට යන්න ඕනෑ.

පවතින හැම ආණ්ඩුවක්ම මාධ්‍යයට බරපතළ විදිහට චෝදනා කරනවා. නමුත් ඒ අය විපක්ෂයේ ඉද්දි මාධ්‍යයට බොහෝම ප්‍රසංශා කරනවා. ඇයි මෙහෙම වෙන්නේ?

අපිට නොදියුණු දේශපාලන සංස්කෘතියක් තියෙන්නේ. මේක 70න් පස්සේ බරපතළ විදිහට පේන්න තියෙනවා. සෑම ආණ්ඩුවක් මාධ්‍යවේදීන්ගේ කර පිටින් යනවා. මාධ්‍යවේදීන්ට ගහනවා. විමර්ශනය කරනවා, මාධ්‍යයට සලකන්නේ නෑ. කනගාටුදායක දෙයක්. ජනමාධ්‍ය සංස්කෘතියක් දේශපාලන සංස්කෘතියක් අතර යහපත් හිතවත් සම්බන්ධතාවයක් නැති එක ගැන ගැටලුවක් තියෙනවා. මුලින් මේ රටේ ගැටලු විසඳන්න අවංක කැපවීමක් තියෙන්න ඕනෑ. අදාළ පාර්ශ්වයන් එක්ක විවෘත සංවාදයන් කරන්න ඕනෑ. විදේශ අරමුදල්වලින් යැපෙන ආයතනවලින් හරි පුද්ගලයන්ගෙන් හරි මේවා අඩු කරන්න පුළුවන්කමක් නෑ. 

සාකච්ඡා කළේ: සකීෆ් සාම් තන්වීරි
සේයාරුව | සුමුදු හේවාපතිරණ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00