2017 ජුලි 14 වන සිකුරාදා

ආර්ථිකයට ප්‍රතිපත්ති හැදූ මහාචාර්ය හේවාවිතාරණ

 2017 ජුලි 14 වන සිකුරාදා, පෙ.ව. 06:00 22

මෙය අප රටේ ජාත්‍යන්තර මට්ටමේ අර්ථශාස්ත්‍රඥයින්ට අපල කාලයකි.  ආචාර්ය සමන් කැලේගමගේ අකල් මරණයෙන් දින කිහිපයකට පසුව ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥයකු මෙන්ම විශිෂ්ට ගුරුවරයෙක් වූ මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණ ද අවුරුදු අසූතුනක් ආයු වළදා අභාවප්‍රාප්ත විය. දැනට මාස කිහිපයකට ප්‍රථම ආචාර්ය ඒ.වී.ඩී ද ඇස්. ඉන්ද්‍රරත්නද මිය ගියේය. ඔවුන් තුන්දෙනාම විශිෂ්ට ගණයේ අර්ථශාස්ත්‍රඥයින් වූවා පමණක් නොව එම ශාස්ත්‍රය රටේ ප්‍රගුණ කිරීමට මහත් වෑයමක් දැරූ අයවූහ. ඉන්ද්‍රරත්න ලංකා අර්ථශාස්ත්‍රඥයන්ගේ සංගමයේ සභාපතිවරයාවූ අතර හේවාවිතාරණ හා කැලේගම ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ නියමුවෝ වූහ. එම ආයතනයේ නව ගොඩනැගිලි ඉදිකර එය අප ශාස්ත්‍රීය ලෝකයේ උසස්ම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඔවුන් දෙපළම සමත් වූහ.

මා හේවාවිතාරණව හඳුනාගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමෙන් පසුවයි. පළමුවෙනි වසරේ සිසුවෙක් වශයෙන් අර්ථික විද්‍යාව හැදෑරීම මා අරඹන විටම වාගේ ඔහු තරැණ කථිකාචාර්යවරයෙක් වශයෙන් සරසවියට බඳවා ගනු ලැබීය. නවක අපට දේශන පැවැත්වූයේ මහාචාර්ය දාස්ගුප්ත, අයි.ඩී.එස් වීරවර්ධන, එච්.ඒ. ද ගුණසේකර හා ඉයන් වැන්ඩන්ඩ්‍රිසන් වැනි දක්ෂ කථිකාචාර්යවරුන්ය.  ඇෆ්. ආර් ජයසූරිය එම අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූවද අපට ඉගැන්වූයේ නැත. එය අපගේ වාසනාවක් විය.  සුප්‍රකට දේශප්‍රේමියෙක් වූවද ජයසූරිය ඉතාම දුර්වල ගුරුවරයෙක් විය. ඔහු දේශන මුමුණමින් ඉදිරිපත් කළ අතර විෂය පිළිබඳව අපේ උනන්දුව ඇති කිරීමට කිසිලෙසක සමත්වූයේ නැත. පසුකලෙක ඔහු අපට සංඛ්‍යා ලේඛන විද්‍යාව පිළිබඳ දේශන කළ අතර ඔහුගේ අකාර්යක්ෂමතාවය ඉස්මතුව පෙනුණි.  බණ්ඩාරනායක මහතා සමඟ දේශපාලන වශයෙන් එක්වූවද පසුව ඔහු අගමැති සමඟ උරණවී මෙරට දේශපාලනය අවුල්කර දැමීය.  ඔහු ගැන හොඳින් දැන සිටි නිමල් කරැණාතිලක වැනි තරුණ මන්ත්‍රීවරුන් ජයසූරියට එරෙහිව තදින් ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිය ද බණ්ඩාරනායකට එසේ කිරීමට එඩිතර ගතියක් තිබුණේ නැත. සිංහල පමණක් පනත සමඟ දෙමළටද සාධාරණ තැනක් දෙන පනත බණ්ඩාරනායක විසින් ජයසූරිය හා ඇතැම් භික්ෂූන්ගේ තර්ජන නිසා හකුලා ගන්නා ලදී. එයින් මෙරට ජනවාර්ගික ගැටලුව සමනය කිරීමට බණ්ඩාරනායක විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් සියල්ලම කීතු කීතු කරන ලදී.

අපට දේශන කිරීමට අවස්ථාවක් හේවාවිතාරණට නොලැබුණ නමුත් අපගේ නිබන්ධන කියවීම ඔහුට පවරා තිබුණි. ඉතාම සිත් ගන්නා අයුරින් ඔහු එම කටයුත්ත කළ අතර  සරසවියේ මක්ස්වාදී පිලේ සාමාජිකයෙක් වශයෙන් හේවාවිතාරණව පිළිගනු ලැබීය. එකල ආර්ථික විද්‍යා අංශයේ සිටියේ කථිකාචාර්යවරුන් අතලොස්සකි. එබැවින් සරසවියේ කථිකාචාර්ය තනතුරක් ලැබීම සිවිල් සේවයට පමණක් දෙවැනි වූ රැකියාවක් යැයි විශ්වාස කෙරිණි. ඒ පසුබිම තුළ හේවාවිතාරණ ප්‍රසිද්ධියට පත් වුයේ පේරාදෙණියේ අර්ථශාස්ත්‍ර විෂය සිංහලෙන් උගැන්වීමට රජයෙන් තීරණය කළ අවස්ථාවේදීය. තම විෂය දැනුම කුමක්වූවද සිංහලෙන් ඉගැන්වීමට හැකියාව ඇති තරැණ කථිකාචාර්යවරැන්ට සුවිශේෂි ඉල්ලුමක් විය. එතෙක් අර්ථශාස්ත්‍රය, ඉතිහාසය, සමාජ විද්‍යාව මෙන්ම ප්‍රාචීන භාෂාවන්ද උගන්වන ලද්දේ ඉංග්‍රීසි බසිනි. මලලසේකර, වීරසේකර, සරච්චන්ද්‍ර හා සිරී ගුනසිංහ වැනි අය මුලින්ම ප්‍රාචීන භාෂා ඉගැන්වූයේ ඉංග්‍රීසි බසින් යැයි කිවහොත් මෙම ලිපිය කියවන සමහර පාඨකයන් විශ්මයට පත්වනු නොඅනුමානය. 

ඉන් වසර කිහිපයකට පසු මම ද සමාජවිද්‍යා අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීමක් ලදිමි. එකල මා ළගින්ම ඇසුරැ කළ තරුණ කථිකාචාර්යවරැන් කිහිපදෙනෙක් වූහ. හේවාවිතාරණ, ආරිය රාජකරුණා, ඩබ්ලිව්.එම්.කේ. විජේතුංග වැනි අය මට නිතර මුණගැසුණ අතර, රාජකරැණාගේ මොරිස් මයිනර් රථයෙන් නුවර යෑමත් ලියොන් කැෆේ නැමති භෝජනාගාරයෙන් රාත්‍රී කෑම ගැනීමත් අපගේ සිරිත විය. එසේ වූවද හේවා, රාජකරුණා හා විජේතුංග වැඩිකල් නොගොස් ප්‍රේමවන්තියන් සොයාගත් නිසා අප ඇසුර කෙමෙන් කෙමෙන් ගිලිහී ගියේය. එම කාලයේදී ඇතිවූ හේවාගේ ආදර කතාවද ඔහුට ගෞරවයක් හැටියට මා සඳහන් කළයුතුය. එකල පේරාදෙණියේ ඉස්ලාම් ආගම උගන්වන විනීත මැදිවියේ ගුරුවරයෙක් විය. ඔහු පකිස්ථාන ජාතිකයෙක් වූයේ දැයි මට හරියටම මතක නැත. එම කථිකාචාර්යවරයාගේ හුරුබුහුටි දියණිය සමඟ හේවා ප්‍රේමයෙන් බැඳුණේය. ටික කලෙකින් ඇය සමඟ විවාහ වූ හේවා ප්‍රිතීමත් විවාහ ජීවිතයක් ගතකළ බව මම දනිමි. 

1970 මැතිනියගේ ජයග්‍රහණයත් සමඟ පේරාදෙණියේ වාමවාදී අර්ථශාස්ත්‍රඥයින්ට විශාල ඉල්ලුමක් ඇති විය. ආචාර්ය එච්.ඒ.ද එස්. ගුණසේකර සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් මැතිනිය විසින් පත්කරන ලදී. ඔහු මහාචාර්ය රැල්ෆ් පීරිස් වැනි අය සිය අමාත්‍යාංශයට එක්කර ගත්තේය. වරක් සමසමාජ පක්ෂයේ බුද්ධිමතෙක් වශයෙන් සලකන ලද ගුණසේකර බණ්ඩාරනායක මැතිනියගේ අමාත්‍යාංශයකට පත්විම ඇන්.ඇම් පෙරේරා දුටුවේ ද්‍රෝහිකමක් වශයෙනි. ගුණසේකර ඇන්.ඇම්ට ගරුසරු ඇතිව සැලකුවේ නැත. මැතිනිය හා ඇන්.ඇම් අතර ඇතිවූ අමනාපයටත් එක් හේතුවක් වුයේ එයයි. ඇන්.ඇම් ඔහුගේ අර්ථශාස්ත්‍රඥයා හැටියට මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කරගත්තේ ආචාර්ය හේවාවිතාරණයි. ඔහුත් ගාමිණි කොරයාත් ඇන්.ඇම් ගේ සහායට පැමිණියෝය. මෙය මැතිනියගේ සතුටට හේතුවක් නොවීය.

ප්‍රසිද්ධ සමසමාජකාරයෙකු වූ හේවාවිතාරණ ඇන්.ඇම්. ගේ අභාවයෙන් පසු එක් වූයේ සිංහල බෞද්ධ බලවේගයටයි.  එම බලවේග වලටද ඒ වනවිට රටේ නිකලැල් බුද්ධිමතකු අවශ්‍ය වීය. බෞද්ධ කොමිෂන් සභාවල ඔහු වටිනා සේවයක් කළේය. එහෙත් ඔහුගේ සුවිශේෂ හැකියාවන් යොමු කරන ලද්දේ ප්‍රතිපත්ති කේන්ද්‍රය දියුණු කිරීමටයි. සමන් කැලේගම එම ආයතනයට බඳවා ගත්තේ ද ඔහු යැයි මම අනුමාන කරමි.  එසේ වුවද ජීවිතයේ අවසන් භාගයේ දී ඔහුට එම තනතුර අහිමි කළ රජය ගැන හේවා තුළ කලකීරීමක් විය. සිංහල පමණක් උගත් පරපුර වෙනුවෙන් ඔහු විශාල මෙහෙවරක් කළ බව සිහිපත් කළ යුතුය.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00