2017 ජුලි 15 වන සෙනසුරාදා

ව්‍යවස්ථා කෝලාහලය

 2017 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 06:00 92

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම හෝ පවතින ව්‍යවස්ථාව “රෙපයාර්” කිරීම හෝ බරපතළ අර්බුදයකට යන ලකුණු පහළවෙමින් තිබේ. මේ පිළිබඳව පසුගිය කාලය තුළ විවිධ කථිකා ඇති වුවද අස්ගිරි මහාවිහාරීය කාරක සංඝ සභාව මගින් නව ව්‍යවස්ථාවක් ගේන්න එපා යැයි සඳහන් කරමින් නිකුත් කළ ප්‍රකාශය හේතුවෙන් නව ව්‍යවස්ථා කතිකාවට අලුත් ප්‍රවේශයක් ලැබු‍ණේය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයෙත් බොහෝ දෙනාගේ වැසී තිබුණු කටවල් ඇරීමට එම ප්‍රකාශය හේතු විය.

ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිදුකරන කතා තවමත් අඳුරේ අතපත ගෑමකින් එහාට ගොස් නැත. රජය පවසන්නේ තවම එවැනි කෙටුම්පතක් හෝ සකස්කර නැතිබවය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මහා සංඝරත්නය හමුවී ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් තවම සකස් කර නැති බවත් එය සකස් කිරීමෙන් පසුව මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කොට අවවාද අනුශාසනා ලබාගැනීමෙන් අනතුරුව පමණක් එය මහජනතාව වෙත ඉදිරිපත් කරන බවත්ය. එම අදහසට උන්වහන්සේලා අකැමැත්තක් දැක්වූ බවක් දැනගන්නට නැත.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පමණක් නොව වෙනස් බොහෝමයක් වැදගත් කරුණු පිළිබඳව ද ආණ්ඩුව ඇතුළේ ඒකමිතික බවක් නොතිබීම බොහෝමයක් ගැටලුවලට මග පාදා තිබේ. එ.ජා.ප.යේ මැති ඇමැතිවරුන් යම් කාරණාවක් සම්බන්ධයෙන් එක් අදහසක් ප්‍රකාශ කරන විට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු ඊට හාත්පසින් වෙනස් වූ අදහසක් ඉදිරිපත් කරති. මෙහිදී වඩාත්ම ව්‍යාකූල තත්ත්වයකට පත්වන්නේ රටේ මහජනතාවය. එක් අතකින් එදිනෙදා තම ජීවිතයට බලපවත්නා වූ ගැටලු රැසකට විසඳුම් නොලැබීගොස් තිබියදී ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් රජය වැඩිපුර අවධානයක් යොමුකිරීම ගැන ඔවුන් බොහෝ දෙනා තුළ පැහැදීමක් නැති බව මූලික කාරණාවකි. අනෙක් අතට එය ප්‍රමුඛත්වය ලැබිය යුතු කාරණාවක් නම් රජය ඇතුළේ ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වා තීන්දු තීරණ ගෙන මහජනතාව ඉදිරියට පැමිණීම වඩාත් යෝග්‍යය. එසේ නොවී එකම දවසේ ප්‍රධාන පක්ෂ දෙකම මාධ්‍ය සාකච්ඡා දෙකක් තබා එකිනෙකට පටහැණි අදහස් ප්‍රකාශ කරන විට රජයේ කටයුතු කෙරෙහි පවතින විශ්වාසය පළුදු වීම වැළැක්විය නොහැක.

වත්මන් තත්ත්වය කෙසේ වුවද යහපාලන රජය පිහිටුවීම සඳහා ජනවරමක් ඉල්ලා සිටියදී රටේ ජාතික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බව හෝ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව සඳහන් විය. එසේම විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමටත් සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමටත් කටයුතු කරන බවද ප්‍රකාශ විය. රටේ ඡන්දදායකයන්ගෙන් බහුතරය සිය කැමැත්ත ප්‍රකාශ කළේ ඉහත සඳහන් යෝජනා ද ඇතුළත් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට බව සැලකිය යුතුය. ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කොට නව ව්‍යවස්ථාවක් සකස් වියයුත්තේ කෙසේද යන්න පිළිබඳව මහජනතාවගේ අදහස් විමසීම පවා සිදුකෙරුණේ එකී යෝජනාවලට අනුකූලවය. මින් පෙර මේ රටේ පැවැති කිසිදු ආණ්ඩුවක් ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේදී මේ ආකාරයට මහජන අදහස් විමසීමක් නොකළ බවත් රටේ සියලු ජනකොටස්වලට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාවක් නුදුන් බවත් මෙහිදී සිහිපත් කළ යුතුය. මේ නිසා රටේ වත්මන් අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් ව්‍යවස්ථාවක් අලුතින් නිර්මාණය කිරීමට හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හැකි යහපත් වාතාවරණයක් ආරම්භයේදී තිබුණි. එහෙත් එය මේ වනවිට එසේම පවතිනවා ද යන්න ගැන රජයට පැහැදිලි තක්සේරුවක් තිබීම අවශ්‍යය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ ආකාරයට ප්‍රතිවිරෝධතා රට තුළින් පැනනැගීම සම්බන්ධයෙන් ද වගකිව යුත්තේ රජයම බවද මෙහිදී සඳහන් කළ යුතුය. රජය කොතරම් මහජන අදහස් විමසුවද එම කාර්යයේ ඉතිරි කටයුතු විනිවිදභාවකින් තොරව සිදුකිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට නොතිබීම මූලික ගැටලුවය. රටේ ඒකීය භාවයට අනතුරක් සිදුවන ආකාරයට, බුද්ධාගමට හිමිව තිබෙන ප්‍රමුඛත්වයට හානියක් වන ආකාරයට වගන්ති අලුත් ව්‍යවස්ථාවට එකතු වන බවට ආරංචි පැතිර යන්නේ මේ හේතුවෙනි. මහා සංඝරත්නය ද රටේ ඇතැම් විද්වතුන් ද රජය ගෙනඒමට සැරුසෙන නව ව්‍යවස්ථාවට බලවත් විරෝධය දක්වන්න පටන් ගත්තේ එම කාරණා සැලකිල්ලට ගැනීමෙන් බව යථාර්ථයයි. එම සැකසංකා මුළුමනින්ම දුරැනොකොට ව්‍යවස්ථාව සම්බන්ධයේ ඉදිරි පියවර ගැනීමට රජයට හැකියාවක් නැත.

නව ව්‍යවස්ථාවක් ගෙනඒමට මූලිකත්වය ලබාදෙන්නේ නම් රජය මුලින්ම කළ යුතුවන්නේ මහා සංඝරත්නයත් රටේ සෙසු ජනතාව තුළත් මතුවෙමින් පවතින සැකය දුරුකරන පරිදි කටයුතු කිරීමය. මාධ්‍ය සාකච්ඡා තබා විවිධ අදහස් ප්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ එම සැකය දුරුවීම නොවේ. එය තවදුරටත් වර්ධනය වී එය ප්‍රබල විරෝධයක් දක්වා තල්ලු වීම පමණි. රජයේ සෑම ක්‍රියාවකටම විරුද්ධව ජනතාව පෙළගැස්වීමට විපක්ෂ ක්‍රියාකාරීන් කටයුතු කරන විට වඩාත් විනිවිදභාවයකින් කටයුතු කිරීම හරහා එය පාලනය කරගැනීමට රජයට ශක්තියක් තිබිය යුතුය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී මේ රටේ ජාතික ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමද අවශ්‍යය. එසේ නොකර කටයුතු කිරීමෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතා සම්පූර්ණ නොවේ. බහුතර සිංහල ජනයාගේ මෙන්ම දෙමළ භාෂාව කතාකරන මේ රටේ පුරවැසියන්ගේ ද අවශ්‍යතා ද සැලකිල්ලට ගැනීමෙන් තොරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ඵලරහිත ක්‍රියාවකි. මේ යථාර්ථය රටේ සියලු ජනකොටස් විසින් අවබෝධ කරගැනීම අවශ්‍යය. එම අවබෝධය ලැබෙන පරිදි ක්‍රියාකිරීම රජයේ වගකීමය.   

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00