2017 ජුලි 08 වන සෙනසුරාදා

කුණුවෙන කුණු ප්‍රශ්නය

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 318

කොළඹ ඇතුළු බොහෝ නාගරික ප්‍රදේශවල කසළ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි සිදුනොවීම පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තු සභා වාරයේදී ප්‍රශ්න කෙරිණි. එම ප්‍රශ්නය ඉදිරිපත් කළේ ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතායි. කාර්යක්ෂමව කුණු බැහැර කිරීමට කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්නත් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට ඇතුළත් විය.

මුළු රටම කතා කරන කොළඹ ඇතුළු මහ නගරවල කුණු කසළ සම්බන්ධව පැන නැගුණු මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අග්‍රාමාත්‍යවරයාය. ඔහු සඳහන් කළේ නාගරික ප්‍රදේශවල කසළ බැහැර කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැති වීම නිසා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගැටලු මතු වී තිබෙන බවය. එසේම කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අධිකරණය දෙන තහනම් නියෝග හේතුවෙන් රට පුරා ඩෙංගු ආදී මාරාන්තික රෝග පැතිර යාම වැඩි වී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කියා තිබිණි. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා රජය මේ වන විට සැලසුම් කරමින් සිටින බවද ඔහුගේ පිළිතුරේ සඳහන් විය.

මේ ප්‍රශ්නය සහ පිළිතුර අද අප රට මුහුණ දී සිටින බරපතළ අනතුරක දිග පළල එළියට ඒමකි. කුණු කසළ කොළඹ ඇතුළු නගරවල එකතු වන බවත් ඒවා ගෙන යාමේදී මහජන විරෝධතා, උසාවි නියෝග පැනවීම් සහ උද්ඝෝෂණ සිදුවන බවත් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඇස් පනාපිටම ඒවා දැකගත හැකිය. ඇස් නොපෙනෙන්නේ නම් නාසය හරහා මේ කුණු ප්‍රශ්නයේ දිග පළල හොඳින්ම ඕනෑම කෙනකුට දැනගත හැකිය. ඒ සමඟම කැළි කසළ ප්‍රශ්නය ගැන දේශපාලන කුණු කතාද හිඟයක් නැත. එකිනෙකාට මඩ ගසා ගැනීමද සිදුවෙයි. කොටින්ම මේ කුණු ප්‍රශ්නය දැන් එකම මඩ ගොහොරුවක් වී අවසානය. එයින් ගොඩ ඒමට නම් විශාල වෙහෙසක් දැරිය යුතු වන බවට වචන දෙකක් නැත.

මේ අනුව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ස්ථිර සැලසුම් හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීම අවශ්‍ය යැයි අපි සිතමු. ඒ ඒ පළාත්වලට සුදුසු කසළ කළමනාකරණ සැලසුම් සකස් කිරීමට උපදෙස් ලබාදීම, ඒවාට අවශ්‍ය සම්පත් සැපයීම, යන්ත්‍රානුසාරයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය, නොදිරණ කසළ ප්‍රතිචක්‍රීකරණය ව්‍යාපෘති ඇරුඹීම, කසළ ප්‍රවාහන යන්ත්‍ර මිලදී ගැනීම වැනි වටිනා යෝජනා රුසක් එම සැලසුම් මගින් ඉලක්ක කර තිබේ. මේ සියල්ල යහපත් ඵලදායි යෝජනා බවට විවාදයක් නැත. දැන් අවශ්‍ය වන්නේ එම සැලසුම් ප්‍රායෝගික තලයට ඔසොවා තැබීමය.

රටක විශේෂයෙන් මහ නාගරික ප්‍රදේශවල කැළ කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම හෙටට කල්දැමිය නොහැකි ක්‍රියාවලියකි. අද එකතු වන කුණු අඩුම තරමින් හෙට හෝ ගෙන ගියේ නැතිනම් කුණු ගොඩගැසෙයි. දැන් දිගින් දිගටම සිදුවෙමින් තිබෙන්නේ එයයි. එය මඟහැරිය නොහැකි වගකීමකි. මේ වගකීම සාමාන්‍යයෙන් පැවැරෙන්නේ පළාත් පාලන ආයතනවලටය. දැනට ඒ සියල්ල අක්‍රීයව පැවැතීම කුණු කසළ ගැටලුව මෙතරම් දුරට සංකීර්ණ වීමට එක් හේතුවකි. පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන විට කුණු එකතු කොට බැහැර කිරීමද ආණ්ඩුවේ වගකීමක් බවට පත්වීම වළක්වනු නොහැකිය. අද සිදුවෙමින් පවතින්නේ එයයි. රටේ ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් කුණු ප්‍රශ්නය රුපියල බාල්දු වීමටත් වඩා බරපතළ ප්‍රශ්නයක් බවට දැනෙන්න පටන්ගෙන තිබෙන්නේ එබැවිනි.

රටේ ප්‍රධාන පරිපාලන නගරය වන කොළඹ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුව වහාම පිළියම් යෙදිය යුතු තත්ත්වයක් බැවින් දැන් ආණ්ඩුව පොලීසිය, හමුදාව සහ මහ නගර සභාව සම්බන්ධීකරණය කරගනිමින් එය ක්‍රියාත්මක කරයි. නමුත් ලොකුම ප්‍රශ්නය එකතු කරන කුණු බැහැර කිරීමට ස්ථානයක් නැති වීමය. මීතොටමුල්ල කුණු කන්දේ විනාශය සිදුවන තුරැ කුණු කසළ බැහැර කිරීම මෙතරම් බරපතළ ගැටලුවක් වී නොතිබිණි. දැන් සිදු වී තිබෙන්නේ එම ඛේදවාචකය හේතුවෙන් තමන්ගේ ප්‍රදේශවලට එක කුණු කසළ ටිපර් රථයක් හෝ එනවාට මහජනතාව විරුද්ධ වීමය. අද මුතුරාජවෙල සිදුවෙමින් පවතින විරෝධතා මීට ආසන්නම උදාහරණය සපයයි. මේ විරෝධතා කුණු ලොරි ආපසු හරවා යැවීමෙන් ඉවර වෙන්නේ නැත. ඊළඟ පියවර අධිකරණයට ප්‍රශ්නය ගෙන යාමය. එහිදී නඩුව අසා තීන්දුව දීමට කාලයක් ගතවෙයි. එම තීන්දුව ලැබෙන තෙක් කැළි කසළ බැහැර කිරීම නවතී. කුණු එකතු කිරීම සිදුකළත් ඒවා බැහැර කිරීමට සුදුසු ප්‍රදේශයක් සොයාගත නොහැකි නම් සියල්ල කනපිට පෙරළෙයි. කුණු පුරවාගත් ලොරිවලට ආපසු ඒමට සිදුවෙයි. මේ නිසා කොළඹ ඇතුළු මහා නාගරික ප්‍රදේශවලින් එකතු කරගන්නා කුණු කසළ බැහැර කිරීමට සුදුසු ප්‍රදේශ සොයා ගැනීමට ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතු යැයි අපි සිතමු.

අපේ රටේ විසඳන්නට තිබෙන්නේ කැළි කසළ ප්‍රශ්නය පමණක් නොවේ. තවත් බොහොමයක් ප්‍රශ්න තිබේ. එසේ වුවත් දැන් මාස ගණනාවක් තිස්සේ ඇදෙමින් තිබෙන කැළි කසළ ප්‍රශ්නය හේතුවෙන් තවත් අතුරු ප්‍රශ්නද මතුවෙමින් තිබේ. ඩෙංගු ඇතුළු සෙසු සෞඛ්‍ය ප්‍රශ්න ඉන් ප්‍රධානය. හැකි ඉක්මනින් කැළි කසළ බැහැර කිරීමට සුදුසු ස්ථාන සොයාගෙන අවශ්‍ය නම් ඒවාට කුණු බැහැර කිරීම සඳහා අධිකරණ නියෝගද ලබාගෙන කැළි කසළවලින් තොරව පිරිසුදු නගර යළි ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් ජනතාව ඊළඟට කොළඹ වටලන්නේ සයිටම් වසා දැමීමට නොවේ. කැළි කසළ ඉවත් කරවා ගැනීමටය.