2017 ජුලි 01 වන සෙනසුරාදා

වංකගිරියේ පන්දු ගැසීම

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

බැලූ බැල්මට පේන්නේ රටම එකම අවුල් ජාලාවක වගේය. සයිටම් ගැටලුව පඹගාලක් වෙමින් රට කළඹද්දී හිටි හැටියේ බණ්ඩාරවෙල නගරය මහා විශාල උද්ඝෝෂණයකින් වැසී ගියේය. තැපෑල දින කිහිපයකට නැවතී වැඩ ඇරුඹුවේ රතු ඉරක් ඇඳලාය. සති දෙකකින් මේවා නොකළොත් අපි ස්ට්‍රයික් කියූ තැපැල් වෘත්තීය සමිති දැන් ගොඩගැසුණු තැපැල් මලු ක්ලියර් කරයි. තෙල් සමිතිද ලංවිම සමිතිද රජයට දිගටම ගෑස් පෙන්වමින් සිටියි. මේ කියන්නෙ දැන් ආණ්ඩුව දුවන්නෙ වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට කියලද?

සමහරු නම් කියන්නේ මේ ආණ්ඩුව හරි දේවල් ගැන කතා කළත් ක්‍රියාත්මක වීම අතින් බඩගාන බවය. එසේ වීමට හේතු ඕනෑතරම් තිබිය හැක. ඉන් ප්‍රධානම හේතුව නිසැකවම යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිප, යූ.එන්.පී. සංයුතියයි. ආණ්ඩුව පිහිටුවීමට එකතු වුණාට ආණ්ඩුව ගෙන යා හැකි පොදු වැඩපිළිවෙළකට පක්ෂ දෙක අතර අවබෝධයක් තිබිලාම නැත. එහි ඍජු ප්‍රතිඵලය වී ඇත්තේ ආර්ථික සහ දේශපාලන දර්ශන ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය දේශපාලනික ඕනෑකමක් නොතිබීමය. මෙවැනි ආණ්ඩු කිරීමේදී අවශ්‍යම වන අවබෝධය රැකගැනීම සඳහා දේශපාලන පක්ෂ දෙකේම අවංක කැපවීමක් නැත. දෙගොල්ලම කරන්නේ හොරගල් ඇහිලීමය. මේ නිසා හතරවටේ ඇවිලෙන ගිනිමැලවල රස්නයෙන් මහින්ද හොඳට ගිනි තපින බව කිවයුතු නැත. ඔහු ගිනි තැපීමෙන් පමණක් සෑහීමකට පත් නොවන බව හතර වටේ සහභාගි වන රැස්වීම්වලින් හොඳට පෙනෙන්නට තිබේ.

යහපාලන ආණ්ඩුව දැන් කරන්නේ ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවලට විසඳුම් සෙවීම පැත්තකට දමා තම තමන්ගේ පක්ෂවල ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමට කාලය ගත කිරීමටය. මූලික ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් ඒවා කෙරෙහි අවධානය අවශ්‍ය තරම් නොයෙදීම හේතුවෙන් ප්‍රශ්න එකපිට එක ගොඩගැසෙමින් තිබේ. රජය අත තැබිය යුතු තැන්වල ඒකාබද්ධ විපක්ෂය, සරසවි සිසුන්, අන්තරය, ජී.එම්.ඕ.ඒ. එක පිනුම් ගසන්නේ මේ හේතුවෙනි. මේ ආණ්ඩුවෙන් ජනතාවට ලැබුණු කැපී පෙනෙන යහපත් ලක්ෂණය හැටියට බොහෝ දෙනා හඳුන්වන ප්‍රජාතාන්ත්‍රික නිදහස තමන්ටම කරදරයක් වන තරමට රජයට වදදීමට පටන්ගෙන තිබෙන්නේ වෙන කාගේවත් වරදින් නොව ආණ්ඩුවම තමන්ගේ පාර වරද්දා ගැනීම හේතුවෙනි. අද සිදුවෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ වට්ටෝරුවෙන් ආණ්ඩුවටම සංග්‍රහ කිරීමකි.

සාමාන්‍යයෙන් පහුගිය ආණ්ඩුවට දොස් පැවැරීම දැකිය හැකිවන්නේ ඕනෑම ආණ්ඩුවක පළමු මාස කිහිපයේදී පමණි. එසේ වුවත් වත්මන් ආණ්ඩුව තවමත් පරණ ආණ්ඩුවේ ණය ගැන කතා කරයි. අපි සුදුවෑන් එවන්නේ නෑ... උද්ඝෝෂණවලට වෙඩි තියන්නේ නෑ.... යැයි හැම මාධ්‍ය සාකච්ඡාවකදීම කියයි. මේ රජය අවබෝධ කර නොගන්නේ රාජපක්ෂ පාලනය ගෙදර යැව්වේ එම වැරුදි හේතුවෙන් වීම බවය. ණය අරගෙන රට අමාරුවේ දැමීමට වගකිවයුතු බොහෝ පිරිස් තවමත් ප්‍රශ්න කිරීම්වලට ලක් නොවී සිටී නම් සුදුවෑන් එවූ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අතපසු කෙරෙන්නේ නම් මහජනතාවට ඒ ගැන දොස් කියා පළක් නැත. මහ සොරකම් වංචා දූෂණ ගැන කතා අමතක වන්නට ඉඩදී මහබැංකුවේ බැඳුම්කර වැනි විශාල පරිමාණයේ වංචා සහගත ගනුදෙනු සිදුවීමට ඉඩදී සිටින්නේ නම් ජනතාව පාරට බැස මේ ආණ්ඩුවට එරෙහිව කෑගැසීම ගැන පුදුමවීමට දෙයක් නැත.

මේ ආණ්ඩුවත් මහින්දගේ ආණ්ඩුවත් අතර පැහැදිලි වෙනස්කම් හඳුනාගැනීමට දැන් මහජනතාව පෙළඹී සිටින බව හොඳින්ම පෙනෙන්නට තිබේ. හරි හෝ වැරදි හෝ රජය මගින් ගන්නා තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය අධිෂ්ඨානය මහින්ද රාජපක්ෂ රජයට නොඅඩුව තිබුණි. නමුත් යහපාලන ආණ්ඩුවට එවැනි ශක්තියක් හෝ අධිෂ්ඨානයක් හෝ තිබෙන බවක් පෙනෙන්නට නැත. මහින්ද තමා තුළ තිබූ දේශපාලන අධිෂ්ඨානයත් ධෛර්යයත් යුද්ධය ජයගැනීමට පමණක් නොව රටේ සංවර්ධන ක්‍රියාදාමය කෙළින් කටින් සිටුවන්නටද යොදවා ගත්තේය. ඒවායේදී වැරැදි සිදුවන්නට ඇති බව සැබෑය. ඇතැම් වැරදි විශේෂයෙන් මානව හිමිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ වැරුදි සිදුවිය. නමුත් අද රටේ ජනතාව ඒ ගැන කතා කරන්නේ නැත. අද කතා කරන්නේ මේ යහපාලන රජයේ කම්මැලි, කතාව මිසක් වැඩ නොකෙරෙන, වැනෙන සුළු ප්‍රතිපත්ති ගැනය. පසුගිය බදාදා (28) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජිත සහ මාධ්‍යවේදියකු අතර ඇති වූ සංවාදය මීට හොඳම උදාහරණයක් සපයයි.

ඩේලිමිර්ර් මාධ්‍යවේදියා:- සයිටම් ගැටලුව විසඳීම සඳහා රජයේ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය වෛද්‍ය නිලධාරි සංගමය එකහෙළා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇමැති:- කොහොමද වෛද්‍ය සංගමය එහෙම කියන්නෙ. අබේකෝන් මහත්තයා මට කිව්වනෙ ඔහු කොන්දෙ අමාරුවක් හැදිලා ඉරිදා ඇඳේ හිටියෙ කියලා.

වෛද්‍ය සංගමය ජනාධිපතිතුමා හෝ වෙන යම් නිලධාරියෙක් හෝ හමුවුණාද?

ජනාධිපතිතුමා නිල වශයෙන් වෛද්‍ය සංගමය හමුවුණේ නෑ. එතුමා ඔවුන් නිල නොවන මට්ටමින් හමුවීමට එකඟ වී කිව්වා &මේක හොර රුස්වීමක් හරිද?* කියලා. ඒ වගේම ජනාධිපතිතුමා ඔවුන්ට කිව්වා මේ ගැන කිසිම නිවේදනයක් නිකුත් කිරීමක් හෝ ඡායාරෑප ගැනීමක් සිදුනොවන බව. ජනාධිපතිතුමා වෛද්‍ය සංගමය හමුවුණේ ඔවුන්ගේ බලකිරීම නිසා. ජනාධිපති ලේකම් කාර්යාලය තුළදී වෛද්‍ය සංගමය අබේකෝන් මහතා හෝ අතිරේක ලේකම් හෝ හමුවුණේ නැහැ.

නමුත් අබේකෝන් මහතා ඔහුගේ අත්සන යොදලයි නිවේදනය නිකුත්කර තිබෙන්නේ.

ඔහු කොහොමද එහෙම කරන්නෙ. අබේකෝන් මහතා ඉරිදා හිටියේ අසනීපෙන් ඔහුගේ නිවෙසේ. ඔහු මට පෞද්ගලිකවම කිව්වා තමා එවැනි නිවේදනයක් නිකුත් නොකළ බව.

වෛද්‍ය සංගමය රජයේ යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් අඟහරැවාදා යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බවත් කියා තිබුණා.

මම හිතන්නෙ රෝගීනුයි මහජනතාවයි මේ වැඩේ අතට අරගෙන තමන්ට ප්‍රතිකාර නොකරන වෛද්‍යවරැන්ට ප්‍රතිකාර කරයි.

ඔබේ අමාත්‍යංශයේදී වෛද්‍ය සිසුන්ට පහරදීම ගැන වෛද්‍ය සංගමය කෝපයට පත්වෙලා ඉන්නේ.

රජයේ ආයතනයකට කඩාපැන එහි දේපොළවලට හානි සිදුකරන චණ්ඩි රුලකට නීතිය රකින නිලධාරීන් කොහොමද සලකන්න ඕනෑ. ඒක නීති කැඩීමක්. ඔවුන්ට මහජන දේපොළ පනත යටතේ නඩු දානවා. මෙය ඇපදිය නොහැකි වරදක්.
නමුත් තමන්ගේ දුක් ගැනවිලි කියන්න ශිෂ්‍යයන්ටත් අවකාශයක් තිබිය යුතුයි.

මෙහෙමද ඔවුන් දුක්ගැනවිලි කියන විදිය. ඒ ගොල්ලො හැසිරුණේ ත්‍රස්තවාදියො වගේ. සමාජවාදී නැඹුරුවක් තිබෙන තරැණයන් මේ විදියට හැසිරෙනවා මම ලෝකයේ කොහේදිවත් දැකලා නෑ.

මේ සංවාදය ඇතුළේ රජය තුළ පවතින මතගැටුම් උපරිම සීමාව දක්වා ගොස් තිබෙන බව පැහැදිලිය. ජනාධිපතිවරයා වෛද්‍ය සංගමය සමඟ පැවැත්වූයේ හොර සාකච්ඡාවක් යැයි පවසන තරමට එය දුරගොස් තිබුණේය. මෙහිදී ඇත්ත කියන්නේ රාජිත ඇමැතිවරයාද නැත්නම් ජනාධිපති ලේකම්වරයාද යන්න මහජනතාවට අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සයිටම් ගැටලුව වෛද්‍ය වෘත්තියටත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලටත් හානියක් නොවන පරිදි විසඳෙනවා දැකීමටය. නමුත් රාජිතගේ කතාබහින් වැටහෙන්නේ රජය අඩියක්වත් පස්සට තැබීමට සූදානම් නැති වගය. මෙවැනි මතගැටුම් පවතින විට රජය තුළ තිබිය යුතු දේශපාලනය ධෛර්යය ඒ ආකාරයට පවත්වාගෙන යාම අසීරුය.

මහින්දගේ රජයේ කෙරැම්කාරයන් කොතරම් සිටියද ඔවුන් සියල්ල සිටියේ මහින්දගේ අණසක යටතේය. ඒ කාලයේ කතාව තිබුණේ ඔහුගේ ශ්‍රීලනිප පක්ෂයේ පමණක් නොව යූ.එන්.පී.යේ සමහරැ සිටියේත් මහින්දගේ අණසක යටතේ කියාය. නමුත් මහින්දට පාලනයට දක්ෂ මොළකාරයන්ගේ හිඟයක් තිබුණි. එහෙත් ඔහු තමන්ට සිටි හොඳ මොළ කිහිපදෙනා හරහා ආණ්ඩුවේ පාලනය ගෙන ගියේය. හැබැයි මහින්දට වැරුදුණේ පසුව ඒ හොඳ මොළ ලබාදුන් උපදෙස් පිළි නොපැද තමන්ගේ පවුලේ උපදෙස් පිළිපදින්නට යාම හේතුවෙනි. යහපාලනයේ මැති ඇමැතිවරු මේ බව වරින්වර රටට මතක් කර දෙන්නට උත්සාහ දරති. එහෙත් ඒ බස් එක දැන් පිටත්වී හමාරය. මිනිසුන් දැන් කතා කරන්නේ සයිටම් සටන් ගැනය. උමා ඔය ගැනය. වැඩිවෙන බඩුමිල ගැනය.

ඒ කෙසේ වුවද මහින්දගේ පාලනය දිගටම තිබුණා නම් එය රටට හොඳකට වඩා නරකක් වීමට ඉඩ තිබූ බව සමහරැ කියති. යුද්ධය දිනා ගැනීමෙන් පසුව රටේ සියලු ජන කොටස් එක මිටට ගෙන සැබෑ සංහිඳියාවක් ඇතිකර ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාව අදූරදර්ශී, පටු කල්පනා ඇති ආත්මාර්ථකාමී සමීපතමයන් කිහිප දෙනකුගේ වැරදි උපදෙස් මත මහින්ද අතහැර දැමුවේය. ඒ වෙනුවට තෝරා ගත්තේ තමන් සහ තමන්ගේ උදවිය සැමදා රටේ පාලනයට නතුකරගත හැකි දේශපාලන වටපිටාවක් නිර්මාණය කර ගැනීමය. රටේ ව්‍යවස්ථාව වෙනස් කෙරුණේ රට පෙළන ජාතික ගැටලුව විසඳා ගැනීමට නොව සදාකාලිකව තමන්ට බලය ලැබෙන වෙනස්කම් කිරීම සඳහාය. 

එවැනි බරපතළ වෙනස්කම් රටේ සිදුවන විට විපක්ෂයේ කාර්යභාරය පාර්ලිමේන්තුවට සහ මාධ්‍ය සාකච්ඡාවලට සීමා විය. 18 වැනි ව්‍යවස්ථා සංෙශා්ධනය වැනි රටේ බරපතළ ව්‍යසනයකට හේතුවිය හැකි වෙනස්කම් සිදුකරන විට යූ.එන්.පී.ය කළේ බෝඩ් අල්ලාගෙන පාර්ලිමේන්තු භූමිය තුළම විරෝධතා පැවැත්වීමය. අද ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව නගන විරෝධතා සහ සිදුකරන ක්‍රියා එදා විපක්ෂය සිදුකළා නම් රටේ දේශපාලන අනාගතය සහමුලින්ම වෙනස් විය හැකි දේ සිදුවීමට ඉඩ තිබුණි. නමුත් පුදුමය නම් එදා මුළුගැන්වී සිටි විපක්ෂය අද බලයට පැමිණීමෙන් පසුවත් තවදුරටත් මුළුගැන්වී සිටීමය. අදත් රටේ බොහෝ පෙදෙස්වලින් ආණ්ඩුවේ හඬට වඩා ඒකාබද්ධ විපක්ෂයේ හඬ අසන්නට දකින්නට ලැබෙන්නේ ඒ නිසාය.

සංසන්දනාත්මකව බැලුවොත් පසුගිය රජයට වඩා පිටරට සමග සාර්ථකව ගනුදෙනු කළ හැකි අලුත් චින්තනයකින් යුත් කාර්යක්ෂම පිරිසක් මේ රජයේ සිටින බව පැහැදිලිය. එහෙත් මේ සියලු දෙනා ඉන්නේ බැට්රි බැහැපු ටෝච් වාගේය. පත්තු වුණොත් හොඳට එළිය දෙන බව සහතික වුණත් මේ සියලු දෙනා ඉන්නේ නිවී ගොසිනි. ඇයි මෙහෙම වෙන්නේ යන්නට පැහැදිලි  පිළිතුරක් නැති වුවද මේ සියලු දෙනාගේ හැකියාවන් එකතැන සිරවීම ආණ්ඩුවේ ඉදිරි ගමනට මාර්ග බාධකයක් වී තිබෙන බව නම් පැහැදිලිය. ඒ බව නායකයන්ට තවමත් වැටහී නොතිබීම ආණ්ඩුවේ අවාසනාවකි.

කෙසේ වුවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ තත්ත්වය ගැන පසුගිය බ්‍රහස්පතින්දා (29) නුවරඑළියේ පැවැති උත්සවයකදී කතාකර තිබුණි. කවුරැන් නින්දා අපහාස කළත් වත්මන් රජය රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්කර ඇති බවත් කොළඹ නගරයේ දිනකට පැවැත්වෙන උද්ඝෝෂණ ප්‍රමාණය ගත්විට එය පැහැදිලි වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේය. බණ්ඩාරවෙල තිබූ උමා ඔය උද්ඝෝෂණය ඉතාම සාධාරණ බවත් තමාත් එම ජනතාවගේ පැත්තේ ඉන්නා බවත් පවසා තිබූ ජනාධිපතිවරයා වැරැදි ඇස්තමේන්තු හදා කෝටි ගණන් වංචා කළ පුද්ගලයන්ද ඉංජිනේරුවන්ගේ සහාය නොගෙන දේශපාලන තීන්දු ගෙන කෝටි ගණන් වංචා කළ අයද සිටින බවද ජනාධිපතිවරයා කියා තිබුණේ ජනතාව මේ පිළිබඳව දැනගතයුතුම බවද කියමිනි.

එහෙත් ඔය කියන කාලයේ මහවැලි සංවර්ධන විෂය භාරව තිබුෙණ් මෛත්‍රීපාල සිරිෙස්න මහතාට බවද අපට මතකය.

මේ කතාව හරිය. නමුත් මේ වගේ වැරැදි කළ පුද්ගලයන් සොයන්නට මේ තරම් කලක් ගතවුණේ ඇයි කියන එක අද රටේ ලොකු ගැටලුවක් වී තිබේ. උමා ඔය පමණක් නොව ඒ කාලයේත් මේ කාලයේත් සිදුවූ සහ සිදුවන වංචා, දූෂණවලට වගකිවයුත්තන් සමග ආණ්ඩුව එකට වාඩිවෙන්නේ නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් තිබේ. මහින්දලාගේ ආණ්ඩුව කළ වැරැදි මේ ආණ්ඩුවද කරන්නේ නම් ඒ ගැන ප්‍රශ්න කිරීමටද ඔවුන්ට අයිතියක් තිබේ. උමා ඔය නිසා ගෙවල් කැඩෙන දහස් ගණන් ජනතාව බණ්ඩාරවෙල නගරය වසා ගන්නේත් සයිටම් ගැටලුවට විසඳුම් ඉල්ලා කොළඹ නගරය තුළ කැරලි ගසන්නේත් මේ ප්‍රශ්න කිරීම් හේතුවෙනි. මේ ප්‍රශ්නවලට කතාවෙන් පමණක් පිළිතුරු දීම ප්‍රමාණවත් නැති බව දැන් හොඳින්ම පැහැදිලි වෙමින් තිබේ. මේ අතර ජනතාවට තමන්ගේ නිදහස් ඡන්දය භාවිත කිරීමට තිබෙන අයිතියද දිනෙන් දින කල්යාම ගැනද ජනතාව තුළ ඇත්තේ බලවත් කලකිරීමකි. කුණු ඇදීමත් මහ මෙරක් තරම් ගැටලුවක් බවට පත්වුණේ හරි තීන්දු හරි වෙලාවට නොගැනීම හේතුවෙනි. මෙවැනි අවස්ථාවලදී ආණ්ඩුව තුළම සිටින මැති ඇමැතින් අතරද එක අදහසක් නැති බව පෙනේ. කුණු ප්‍රශ්නය විසඳීමට ගන්නා උත්සාහය තුළද මැති ඇමැතින්ගේ මතබේද පෙනෙන්නේ ඒ නිසාය.

මේ හැම හැල හැප්පීමක් මැද ආණ්ඩුව ඉදිරියට යන බව හැබැවකි. එසේ වුවත් මීට වඩා හොඳට මේ ආණ්ඩුව කරගෙන යා හැකි බව බොහෝ දෙනාගේ අදහසය. රාජපක්ෂලාගේ සංවර්ධන වැඩ නාස්තිකාරී නම්, අකාර්යක්ෂම නම් යහපාලන ආණ්ඩුවට තිබුණේ ඒ වෙනුවට කාර්යක්ෂම සකසුරැවම් සංවර්ධන වැඩ ඇරුඹීමටය. නමුත් එය සිදුවූයේ නැත. අද ආණ්ඩුව ක්‍රියා කරන්නේ වංකගිරියක් තුළ පන්දු ගැසීම වැනි අවුල් සහගත අන්දමකටය. එයින් මිදී රටේ ජනතාවට වඩාත් පිළිගත හැකි සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණවලට වහාම යා යුතුය. නැතහොත් නිසැකවම බණ්ඩාරවෙල වැනි සිදුවීම් හැම නගරයකම ඇති වෙන්නට ඉඩ තිබේ.

උද්ඝෝෂණ, කඩාකප්පල් වැඩ නැවැත්වීමට සුදු වෑන් සංස්කෘතිය යළි ගෙන ආ යුතු යැයි කියන කිසිවකු නැත. එසේම හැම ප්‍රශ්නයකදීම නවගුණවැල අතට ගෙන භාවනා කිරීමද ඵලක් නැත.

ශශීන්ද්‍ර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00