2017 ජුලි 01 වන සෙනසුරාදා

මම හැමදාම ආණ්ඩුවලට බෙල්ල තිබ්බා

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 371

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

සයිටම් එක සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ජනාධිපතිවරයත් අතර සාකච්ඡාවක් තිබ්බා. ඒක වෛද්‍යවරුත් පිළිගත්තා. එම සාකච්ඡාවෙන් පස්සේ ජනාධිපති ලේකම් වෙනත් ලිපියක් එව්වා මේ ගැටලුව ගැන. ඊට පහුවැනිදා ඔබ කියනවා එවැනි නිල සාකච්ඡාවක් තිබ්බේ නෑ කියලා. කව්ද ඇත්ත කියන්නේ දැන්?

නිල නොවන සාකච්ඡාවක් තිබ්බය කියලා කියන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා වාඩිවෙනකොටම කියලා තියෙනවා මේක හොර සාකච්ඡාවක් කියලා. ජනාධිපතිතුමා මේක දුන්නේ මේ අයගේ ඇවිටිල්ලට. නැත්තන් දුන්නෙම නෑ. එයාලා කිව්වා සාකච්ඡාවක් දුන්නොත් නවත්වනවා කියලා. ඒ අනුවයි ගෙන්න ගත්තේ. මේ සාකච්ඡාවේ වාර්තා සටහන් නෑ. පින්තූර නෑ. නිල සාකච්ඡාවක් තිබ්බා නම් කෝ පින්තූරයක් පෙන්නන්න කියන්නකෝ. අනික ඒ අයත් පිළිඅරගෙන තියෙනවා හොර සාකච්ඡාවක් කියලා මේක. අනික ජනාධිපති කාර්යාලයෙන් එව්ව ලිපියේ කොහෙවත් තියෙනවද සාකච්ඡාවක් තිබ්බා කියලා. එහෙම නෑ. මේ අය ඔය විදිහටමයි අගමැති හම්බවෙන්න ගියෙත්. නමුත් එතුමා දුන්නෙත් නෑ වෙලාවක්. ඒකනේ ඔය වෙලාවක් ගන්න කියලා ඇමති මලික් සමරවික්‍රම කියලා හිතාගෙන දොස්තර මලික් සමරවික්‍රමට කෝල් එකක් අරගෙන තියෙන්නේ.

ගෝඨලත් එක්ක හදපු සයිටම් දරුවා ජීවත් කරනවද මරණවද කියා තීන්දුවයි ගන්න තියෙන්නේ

මෙච්චර සංකීර්ණ වුණු ප්‍රශ්නයකට රහසිගත සාකච්ඡා තියලා වැඩේ තවත් ඇනුණා කියලා හිතෙන්නේ නැද්ද?

දොස්තරලගේ හවස රැස්වීමට මොකක් හරි කරන්න කිව්වම ඉතිං පොඩි උදව්වක් කරන්න එපැයි. ඒ අය සංගමයේ සාමාජිකයන්ට මොනවා හරි කියන්න එපැයි. ඔය සංගමයේ ගොඩක් දෙනෙක් ඉන්නවා ජේ.වී.පී. හා පෙරටුගාමි නියෝජනය කරන අය. ඉතින් ඒ අය ඉද්දි මේ අය වැටුණොත් වෙන්නේ ඒ අය බලය අල්ලන එක. ඒ නිසා මොනවා හරි කරන්න එපැයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් කියන්නේ ජනාධිපතියි ඔවුන් අතරයි තිබුණු සාකච්ඡාවට ඔබත් මැදිහත් වෙලා පෞද්ගලික අදහස් ඉදිරිපත් කරනවා කියලා.

මම මොකටද මැදිහත් වෙන්නේ. මම හිටියේ නෑනේ එතන. මගේ මොන පෞද්ගලික අදහස්ද? මේ ඔක්කොම තියෙන්නේ රජයේ අදහස්. ඒ අය හිතනවා රජය දුවන්නේ එක එක්කෙනාට ඕන විදිහට කියලා. මේක රජයේ ස්ථාවරයනේ ඉදිරිපත් කළේ. ඔය ටික කිව්වේ ජනාධිපතිතුමා පොළොන්නරුවෙදි. දැන් මේ අය කරන්න යන්නේ ජනාධිපති හම්බවෙලා වැඩේ හරි ගිය නැති නිසා ඒක මගේ පිටින් තියන්න.

හැබැයි මෙවැනි ගැටුමකදී රජයක් වුණාම ඔබලත් අඩියක් පස්සට ගන්න ඕන. ඔවුනුත් දැනගන්න ඕන අඩියක් පස්සට ගන්න. ඒත් වෙලා තියෙන්නේ දෙගොල්ලෝ එකට එක කරන එක.

අපි මීට වඩා මොනවද පස්සට ගන්නේ. ඕක හැදුවේ අපිද? ඒ අයමයි එකතුවෙලා ඕක හදාගත්තේ. දැන් ඔය පාදෙණිය කතා පවත්වන්නේ ගෝඨාභය රාජපක්ෂ එක්කනේ. හොඳම උදාහරණය තමයි පරණවිතාන මන්ත්‍රීතුමා කිව්වේ. චම්පික රණවක ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් අයින් වුණාම චම්පිකව ගෝඨාභය රාජපක්ෂ ගාවට ගෙනියන්න ආවේ පාදෙණියලු. ඉතින් ගෝඨලත් එක්ක හදපු සයිටම් දරුවා ජීවත් කරනවද නැත්නම් මරලා දානවද කියලා තීරණය කරන්න විතරයිනේ අපිට තියෙන්නේ.

මේ නම්‍යශීලිතාවය නැතිකම නිසා දැන් ගැටුමක් බවට පත්වෙලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා කොයි වෙලේ හරි ශිෂ්‍යයන් ආයුද අතට ගන්න පුළුවන් කියලා?

ඒකට වෙනමම පරීක්ෂණයක් පවත්වනවා සී.අයි.ඩී. එකෙන්. අලුතෙන් පනතක් සම්පූර්ණ කළානේ. ඔය වගේ රට කළඹන ප්‍රකාශ සිදුකිරීමට අවුරුදු දහයක් සිර දඬුවම, ඒ වගේම ඇපත් නෑනේ. දැන් සී.අයි.ඩී. එක නීතිපතිට යවලා තියෙන්නේ කොයි වගන්තිය යටතේද ක්‍රියාත්මක කරන්නේ කියලා බලන්න.

ඩෙංගු හැදෙන එක නවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශයට බෑ

එතකොට රජයේ පැහැදිලි ස්ථාවරය සහ තීරණය මොකක්ද මේ ප්‍රශ්නයට?

ඒක තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් ස්ථීර කරලා ගත්තේ ඒ තීරණේ.

කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තට විශේෂයෙන් චම්පික අමාත්‍යවරයත්, දයාසිරි අමාත්‍යවරයත් ඉන්නේ සයිටම් විරෝධී සටනේ. ඒ කියන්නේ ආණ්ඩුවත් බෙදිලා නේද?

ඔය එක කතාවක්වත් ඒ අය කැබිනට් මණ්ඩලයේ කිව්වේ නෑ. එළියට ඇවිත් කියන්න කළින් ඇතුළේ කියන්න එපැයි. චම්පික ඇමැතිතුමා තමයි කැබිනට් එකේදී කිව්වේ මීට පස්සේ කවදාවත් ජී.එම්.ඕ. එකත් එක්ක සාකච්ඡා කරන්න එපා කියලා. කිසිම ඇමැතිවරයෙක් විරුද්ධ වුණේ නෑ.

ඔබත් වෛද්‍යවරයෙක්. හැප්පෙන්නේ වෛද්‍යවරැ එක්ක. මේකෙන් වෙන්නේ වෘත්තීය ගරුත්වය නැතිවෙන එක නොවේද?

ඔව් ඉතින් වෛද්‍යවරැ විතරනේ ගැටෙන්නේ. අනිත් අය ඉන්නේ මාත් එක්කනේ. පේනවනේ පහුගිය දවසේ වෘත්තීය සමිති අමාත්‍යංශය ඉස්සරහා එකතුවුණු හැටි.

ඔබ කිව්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තුන් හතර දෙනයි විරුද්ධ. අනිත් අය ඉන්නේ ඔබත් එක්ක කියලා. ඇයි එහෙනම් මේක විසඳගන්න බැරි?

ඇත්ත. විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ජනවාරි 08 වෙනිදත් හිටියා. ඒත් අයව බයකරගෙන ඉන්නේ. තනිකර මාෆියා එකක් තියෙන්නේ. මාරුවීම්, පත්කිරීම් කරන්නේ එයාලට ඕන විදිහට. ඒක මම නවත්තනවා සම්පූර්ණයෙන්.

හතර පස්දෙනකුට පුළුවන්ද රෝහල් ඔක්කොම වර්ජනය කරවන්න?

මේකනේ ඔය වෘත්තීය සමිති රැස්වීම්වලට එන්නේ ඉතා සුළු පිරිසක්. සියයට 98ක් එන්නේ නෑ. ඒ හතර පස්දෙනා ගත්ත තීන්දු තීරණ තමයි අවසානය වෙන්නේ. අපේ සම්ප්‍රදායක් තියෙනවා ඒ තීරණවලට එකඟ වෙන එක. ඒකයි ඔය වෙන්නේ. අපේ කාලෙත් එහෙමයි. ඒත් දැන් ඒ පිරිසට තේරිලා තියෙන්නේ මේ අය කරන්නේ දේශපාලන වැඩක් කියලා. ඒ නිසා දැන් පළාතෙන් පළාතට ඒ අය සංවිධානය වෙමින් ඉන්නේ. මේ අයට විරැද්ධව. ඔය කට්ටිය පහුගිය කාලයේ විශාල ඉල්ලීමක් තිබ්බා වෙනම වෘත්තීය සමිතියක් ගොඩ නගන්න. මමයි කිව්වේ ඔය වැඩේ කරන්න එපා කියලා. නමුත් දැන් තියෙන තත්ත්වය එක්ක නම් ඒ අය වෙනම ගමනක් යයි.

වෛද්‍ය සංගමය මාෆියාවක්

ඒ අයගේ චෝදනාව තමයි ඔබතුමා සයිටම් වෙනුවෙන් බරපතළ ලෙස පෙනී ඉන්නේ ඔබගේ ලේලිය නිසා කියලා?

මගේ දියණියක් විතරක් නෙමෙයි තවත් ඉන්නවා ඥාතීන්. ලංකාවේ කාගෙද ඥාතියෙක් නැත්තේ. අනුර කුමාර දිසානායකගේ පුතත් ඉන්නවානේ ස්ලිට් එකේ. අන්තරේ ලහිරුගේ නංගිත් ඉන්නේ. එහෙම හිටියා කියලා මොකක්ද ප්‍රශ්නේ.

දැන් ඔබට ප්‍රශ්නයක් නෑ. ඒත් මුල්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් එදා ඔබට ප්‍රශ්නයක් තිබ්බා නේද?

මගේ මාමගේ පුතා එදා හිටියේ ඔය කියන තැන. මම ඒකට විරුද්ධව කතා කළා. ඒ දවස්වල ප්‍රශ්නයක් තිබ්බා. මම එදා කිව්ව කාරණා මේ දවස්වල ඔබට දකින්න පුළුවන් ෆේස් බුක් එකේ. එදා කිව්ව දේ බලන්න. මම කියන්නේ කරුණු දෙකයි. එකක් නුසුදුසු කට්ටිය බඳවා ගැනීම, දෙවැනි එක කොළඹ උපාධිය එකට ලබාදීම. එච්චරයි අපිට තිබ්බ ප්‍රශ්න. එහෙම නැතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ ප්‍රශ්නයක් තිබ්බේ නෑ. දැනුත් ඒකයි තියෙන්නේ. ඒක හදන්නයි මේ දේවල් කරන්නේ.

ඔවුන් ගෙනෙන්නේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒකට රජයෙන් සාධාරණයක් නැති හින්දයි ගැටලුව වෙලා තියෙන්නේ?

ප්‍රමිතිය අපි පිළිගන්නවා. ප්‍රමිතිය දෙන්න ගිය දවසේ තමයි අමාත්‍යංශයට කඩා පැන්නේ. එදා හවස හතරට තමයි වෛද්‍ය සභාව ඒක මට දෙන්න තිබ්බේ. කවදාවත් නැති ප්‍රමිතියක් මගේ කාලයේදිනේ ඔය ඇවිත් තියෙන්නේ දැන්. හරි නම් මට ප්‍රශංසා කරන්න ඕන.

දැන් ඒ අය කිව්වේ සයිටම් ආයතනය රජයට පවරා ගන්න කියලා. ඒත් රජය පවරා ගන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල. සුදු අලියෙක් අරගෙන මොකක්ද මේ කරන්න යන්නේ?

ඒ අය එක එක දේවල් කිව්වනේ. කලින් කිව්වා අපි සටන් කරන්නේ ප්‍රමිතියට විතරයි කියලා. දැන් කියනවා අහෝසි කරන්න කියලා. ඇයි දැනගත්තා අපි ප්‍රමිතිය හදන්න යන්නේ කියලා. මෙහෙම ගියොත් ආයෝජකයෝ රටට එන්නේ නෑ. එදා ප්‍රේමදාස මහත්තය කළේ මෝඩ වැඩක්. රජයේ වෛද්‍ය සංගමයත්, දන්ත වෛද්‍ය සංගමයත් එදා ඒ වෛද්‍ය විද්‍යාලය රජයට පවරගන්න කියලද? යෝජනාවක් කළේ නෑ. ඒක ඉල්ලුවේ ජේ.වී.පී. කාරයෝ. එයාට තිබ්බා ප්‍රශ්නයක් ජේ.ආර්.ගේ පෞද්ගලික වෛද්‍යවරයා එක්ක. මොකද එයාව ගණන් ගත්තේ නැති නිසා. ඒක මුල්කරගෙන තමයි ඕක ජනසතු කළේ එදා. එතකොට අද දෙවැනි එකත් ජනසතු කරනවා. දැන් එයිද ආයෝජකයෝ? ඊට පස්සේ මොකද වෙන්නේ? ළමයි ඔක්කොම යනවා පිටරට. අපේ සල්ලි පිටරට. දැන් එතකොට හරිද? ඒවාවලට නරකයි කියන්නේ නෑනේ.

දැන් ඔබලා ගත්ත තීරණයටත් නෙවිල් ප්‍රනාන්දු මහත්තය විරුද්ධයි. ඔහු කියනවා රෝහල එහෙම පවරා ගන්න බෑ කියලා.

ඔව්. ඉතින් ඒ මනුස්සයා කැමති වෙයිද අපි ගේන යෝජනාවලට. ඒත් අපි ආණ්ඩුවක්නේ. ඒ නිසා තීරණ ගන්නවා. අරයා කැමතිද මෙයා කැමතිද කියලා බලන්නේ නෑ. අපිට වැඩක් නෑ.

එදා විශ්වවිද්‍යාල සිසුන්ට පහර දුන්නෙත් දේපලවලට හානි වුණෙත් ඔවුන් එතනට ආපු නිසා. ඔවුන්ට එතනට එන එක ඕන නම් නවත්වන්න තිබ්බනේ ඔබට?

මට විශාලම ප්‍රශ්නයක් වුණේ සේවකයෝ සම්බන්ධයෙනුත් දේපල සම්බන්ධයෙනුයි. මම දැන්වූවායින් පස්සේ තමයි පොලීසියේ ඉහළ කට්ටිය දැනගත්තේ. ඒවගේ දෙයකදි පොලීසිය දැනගන්න ඕන කොල්ලෝ විරෝධතාවය ප්‍රකාශ කරනවා නම් යන්න ඕන උසස් අධ්‍යාපනයට, නැත්නම් මට. එහෙමත් නැත්තන් ජනාධිපති ලේකම් කාර්යාලයට හරි අගමැති ලේකම්කාර්යාලයට හරි. ඔය ටික අරක්ෂා කරා නම් ඉවරයිනේ. පොලිසිය ආවා. ඇවිත් කළේ බලාගෙන හිටිය එක විතරයි. විශේෂ කාර්ය බලකායෙන් නවත්තන්නම් කියලාත් තියෙනවා. ඒත් කොළඹ ඩී.අයි.ජී. එනකම් ඉඳලා තියෙනවා. යකඩ ගේට්ටු කඩනකොටත් පොලීසිය බලන් හිටියනේ. ඔන්න පොලීසියේ වැඩ. එස්.ටී.එෆ්. කොමඩාන්ගේ ඕඩර් එක මත තමයි නැවතුණේ. ඒක වුණේ මම සාගලට කතා කරලා ඇමැතිවරයා හරහා උපදෙස් දීලයි ඒක කළේ. මම සේවකයන්ට ස්තූතිවන්ත වෙනවා ඔවුන්. කොයිම වෙලාවකවත් අමාත්‍යංශය අත ඇරලා ගියේ නෑ. සමහර තාත්තලා වගේ මිනිස්සුන්ට ගැහුවේ. එතන හිටියේ මැරයෝ.

එතන හිටියේ විශ්වවිද්‍යාල සිසුන්. ඔවුන් ආවේ සයිටම් එකට උත්තර හොයාගෙන. ඒත් ඔබලා ගහන තැනට දාගත්තා වැඩේ?

වෛද්‍ය සිසුවෝ කළේ නෑ ඔය වැඩේ. දෙන්නෙත් තුන් දෙනෙක් ඉන්න ඇති. හාමුදුරුවරු කොහෙද වෛද්‍ය විද්‍යාලයේ. ඔය අනෙක් ෆැකල්ටිවල ඉන්න අය කෑගහනවා. දැන් ඒ අයගේ ඒවා පෞද්ගලිකරණය වෙලා නැද්ද? ඇයි එයාලා ඒවට කෑ ගහන්නේ නැත්තේ. ඉංජිනේරැ උපාධි දෙන්නේ නැද්ද? මේක විතරද පේන්නේ. ඒකෙන්ම පේනවා මේ අයගේ අරමුණ මොකක්ද කියලා.

දේශපාලනය ගැන කතා කළොත් ඇයි මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දුන්න පොරොන්දුව තවම ඉවත් කරන්න බැරි?

මෙහෙමනේ මෙතෙක් කල් ව්‍යවස්ථා ගෙනාවේ ජනතා මත විමසුමකින් නෙවෙයි. පළවෙනි වතාවට තමයි එහෙම කරන්නේ. ඔය ව්‍යවස්ථා කමිටු හැම පළාතකටම ගිහින් කතා කරලා මහජනයගේ අදහස් ගත්තනේ. දැන් ඒ අදහස් කැටිකර ගන්න ඕන. ඒ වගේම අනෙක් සිවිල් සංවිධානත් මහජනතාව දැනුම්වත් කරමින් යනවා රට වටේ. ඒ විදිහට ජනතාව එක්ක සංවාද කරමින් තමයි මේ ව්‍යවස්ථාව ගේන්නේ. එනිසා ටිකක් කාලයක් යනවා. මේක බලහත්කාරකමෙන් ගේන එකක් නෙමෙයි. සම්පන්ධන් මහත්තය පවා කියලා තියෙනවා සිංහල ජනතාවගේ අනුමැතියෙන් තොර බලය බෙදීමක් අවශ්‍ය නෑ කියලා.

අපි ආණ්ඩුව වට්ට ගත්තොත් බලයට එන්නෙ රාජපක්ෂලා

දැන් ඔය ව්‍යවස්ථා සම්පාදක කමිටුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යම් යෝජනා වහගන්න එරෙහි වුණා. දැන් මේ එකඟතාවය නැති එක ව්‍යවස්ථාවට හොඳ නෑනේ නේද?

කට්ටිය ගොඩක් ඉන්න නිසා යම් යම් අදහස් එනවා ගැටුම් ඇති වෙනවා. ඒක සාමාන්‍යයයි. ගොඩක් අය කියනවා නේ කැඳහැලිය වගේ කියලා. අන්න ඒවගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒත් අපේ අරමුණ ඉටුකරනවා.

හදිසියේම විධායක අගමැති ධුරයක් යෝජනා වුණේ ඇයි?

නෑ නොයෙකුත් අදහස් තිබ්බා. සමහර අය කිව්වා විධායකය අහෝසි කරන්න ඕන කියලා. තව කට්ටිය කිව්වා බලය කප්පාදු කරන්න ඕන කියලා. ඊට පස්සේ අගමැතිවරයා යටතට පත්කරමු කිව්වා. ඔය වගේ යෝජනා තියෙනවා. ඉතින් අගමැතිවරයා යටතට පත්කිරීම තමයි මූලික අරමුණ.

ඉතිහාසයෙ වැඩිම ඩෙංගු වාර්තා වෙන්නේ. ඔබගේ කාලයේ ඒකේ වගකීම ඔබ සතුයි නේද?

මැලේරියා මර්දනය සම්පූර්ණයෙන් සිදුකළේ මගේ ධුර කාලයේදී නිසා ඒ ගෞරවයක් එහෙනම් මම ගන්න එපැයි. මේවා පාලනය කරන්න අවුරැද්දෙන් දෙකෙන් බෑ. මේ වැඩිවීම ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයෙම වෙනවා. හේතුව තමයි අස්වාභාවික දේශගුණය. මේක මැලේරියාව නෙමෙයි. මැලේරියා මර්දනය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට. නමුත් මේ මදුරුවා හැදෙන්නේ ගෙවල්වල. දැන් බලන්න මැලේරියා හැදු‍ණේ දුෂ්කර පළාත්වල. ඩෙංගු හැදිලා තියෙන්නේ නාගරික පළාත්වල. ඒකයි මේ දෙකේ වෙනස. මොකද නාගරීකරණයක් එක්ක කසළ ප්‍රමාණය වැඩිවෙනවා. ඉදිකිරීම් වැඩිවෙනවා. මේවත් එක්ක තමයි වැඩි වෙන්නේ. අමෙරිකාවේ පවා වැඩිවෙලා තියෙනවා. ගිය අවුරුද්දේ සිංගප්පූරුවේ විතරක් 30000ක්. පිරිසිදුම රටක ඒ වගේම මැලේසියාවල එක් ලක්ෂ ගාණක්. අමෙරිකාවෙන් සංඥා නවසීයක් දීලා තියෙනවා. ඒකෙන් හාරසීයක් තියෙන්නේ දකුණු ආසියාවේ ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඩෙංගු හැදෙන එක නවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශයට බෑ. සෞඛ්‍ය අමාත්‍යංශයට පුළුවන් ඩෙංගු හැදෙන රෝගීන්ගේ ජීවිත බේරගන්න ඒ අතින් අපි ඉහළ තැනට ඇවිත් තියෙන්නේ. ගිය අවුරුද්දේ සියයට 1ක් නැති වුණා. මේ අවුරුද්දේ සීයට 0.3ක් නැතිවෙලා තියෙන්නේ. ඒ අතින් අපි හොඳයි.

මගේ දියණිය විතරක් නෙමේ තවත් බලවතුන්ගෙ ළමයි ඕවයෙ ඉන්නවා

මේ ප්‍රශ්න ගත්තමත් චෝදනා එන්නේ ඔබතුමාට, ඉස්සෙල්ලා ආණ්ඩුවෙදිත් එහෙමමයි. වැඩිපුර කෑගහන්නෙත් ඔබ රාජිත සේනාරත්නද හැම ආණ්ඩුවෙම ප්‍රශ්නවලට බෙල්ල තියන මිනිහා.

ඒක නම් මම දන්නේ නෑ. හැබැයි මම කොහොමත් හැම ආණ්ඩුවටම බෙල්ල තියෙනවා. මම නායකයෝ වෙනුවෙන් කතා කරනවා. රජය වෙනුවෙන් කතා කරනවා. ඒ එක්කම මගේ මතකයක් තියාගෙන යන්නේ. මම එළියට ඇවිත් කතා කරන්නේ නෑ. කැබිනට් එකේදි මගේ මතය ඉදිරිපත් කරනවා. ඒකට සමහරු කැමති නෑ. එහෙම කියලා මම රජය ආරක්ෂා කරනවා. මොකද අපි බලන්න ඕන මේ රජයට විරුද්ධව කතා කරලා රජය වැටුණොත් කවුද එන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි නේ එන්නේ. එන්නේ රාජපක්ෂලා. අපි මොකටද රාජපක්ෂලාව ගෙන්වන්නේ?

ඔය කියන කෙළින්කම නිසාද ජනාධිපති පත් කරපු අමාත්‍යංශ ලේකම්වරයාටත් වැඩ බාරගන්න ඉඩ නොදෙන්නේ?

එතන වුණේ ඒ ලේකම් ගැන නෙමෙයි. ඒ ලේකම්වරයා පෙබරවාරි මාසයේ විශ්‍රාම යනවා. එතකොට එයා නොවැම්බර් මාසයේ නිවාඩු යනවා. එහෙම කොහොමද සෞඛ්‍ය අමාත්‍යංශයේ දුවන්නේ. ඒ නිසා මම කිව්වේ අවුරුද්දක්වත් අරගෙන යන්න පුළුවන් කෙනෙක් දෙන්න කියලා.

ගයාන් ගාල්ලගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ