2017 ජුලි 01 වන සෙනසුරාදා

තාප්ප කැඩූ කෝල්

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

හෙල්මුට් කෝල්ගේ ඓතිහාසික කාර්යභාරය සලකා බැලීමට කාලය පැමිණ ඇත. ඔහුගේ මරණය තුළින් මේ සොයාබැලීම තවත් ඉක්මන් කරනවා නොඅනුමානය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ ජර්මන් නායකයා වූ හිට්ලර්ගේ පරාජයෙනි. එම පරාජය පෙනි පෙනි හිට්ලර් සිය දිවි නැති කරගත්තේය. එහෙත් ඔහු බර්ලීනයේ පිහිටි තම බංකරයේ සිය දිවි නසා ගන්නා විට ජයග්‍රාහක සෝවියට් හමුදාවන් ඔහුගේ දොරකඩට පැමිණ සිටියේය. සෝවියට් දේශ සීමා ළඟින්  ඇරුඹුණු එම සෝවියට් රණවිරුවන්ගේ ආක්‍රමණය නැගෙනහිර ජර්මනිය දෙවනත් කරමින් හිට්ලර්ගේ බංකරය වටකර සිටියේය.

දෙවැනි ලෝක යුද්ධයේ දී වඩාත්ම පරිත්‍යාග කරමින් හිට්ලර් වාදය පරාජය කළේ ස්ටාලින්ගේ සෝවියට් දේශයයි. වරක් හිට්ලර් හමුදා මොස්කව් අගනගරය පේන තෙක් මානය දක්වා සටන ගෙන ගියේය. එහෙත් වීරෝදාර සෝවියට් හමුදාවෝ අතිමහත් කැපකිරීම් කරමින් ජර්මන් යුද්ධ සේනාංක පසු බැස්සවීමට සමත් වූහ. ජර්මනිය නතු කර ගැනීමේ සටනට නායකත්වය දුන්නේ ජෙනරාල් සුකොව්ය. ඔහුට ස්ටාලින්ගේ සෙනවියා යැයි නම් පටබැඳී තිබුණත් අප්‍රතිහත ධෛර්යයෙන් තම සටන් සේනා මෙහෙයෙව්වේය. අවසානයේ දී ඔහුගේ සේනා බර්ලින් වටකර ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මත සෝවියට් ධජය එසැවුයේය.  ඒ වන විට බටහිර සේනා බර්ලීන්වල මායිමටවත් පැමිණ සිටියේ නැත.

යුද්ධය ජයගත් සෝවියට් හා බටහිර රටවල්වල නායකයින් පොට්ස් ඩෑම් හා මෙහෙරාන් නමැති නගරවල හමුවී යුද්ධයට පසු යුරෝපය තමන් අතර බෙදාගත්තෝය. ඒ අනුව ජර්මනිය අමෙරිකාව, රැසියාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර කඩා වෙන් කර ගන්නා ලදී. අගනුවර වූ බර්ලීනය එයින් හතර පංගුවට කඩන ලදී. යාබද ඔස්ට්‍රියාව ද ඒසේ ජයග්‍රාහක රාජ්‍යයන් විසින් බෙදා ගන්නා ලදී. එහි අගනගරය වූ වියානාව ද හත්කඩකට කඩන ලදී.  එහෙත් මේ බෙදිල්ල වැඩි කල් නොගොස් අභියෝගයට ලක් විය. යුරෝපය හරහා යකඩ තීරයක් වැටී ඇති බවත්, එය කොමියුනිස්ට් රටවල් බටහිරට එල්ල කළ අභියෝගයක් යැයි වින්ස්ටන් චර්චිල් ප්‍රකාශ කළේය. මේ සීතල යුද්ධය නිසා වඩාත්ම පීඩනයට පත් වුයේ බර්ලීනයයි. කොමියුනිස්ට් නැගෙනහිර ජර්මනිය මැද පිහිටා තිබූ මේ නගරය ද දෙකට බෙදා තිබුණේය. එහෙත් යුද්ධයක් ඇති වුවහොත් නැගෙනහිර ප්‍රදේශයේ කාර්ල් ෂොට් නමැති ප්‍රාන්තයේ ගොඩගැසී සිටි සෝවියට් සේනාවන්ට බටහිර බර්ලීනය නතු කර ගැනීමට යන්නේ විනාඩි කීපයක් පමණි. එහෙත් එවැන්නක් සිදු වුවහොත් තුන්වෙනි ලෝක සංග්‍රාමය ඇරඹෙන බව දෙපාර්ශ්වයම දැනගෙන සිටියෝය. බර්ලීනය දෙකඩ කළ තාප්පය ඒ අවදානම් තත්ත්වය හොඳින් පිළිබිඹු කළේය. ජෝන් කෙනඩි හා රීගන් වැනි අමෙරිකන් ජනාධිපතිවරුන් මේ තාප්පය ප්‍රසිද්ධියේ ගැරහූ අතර කෘෂ්චොප් කියා සිටියේ “මම තාප්පයට ආදරෙයි” කියාය. සෝවියට් නායකයින් සෑම විටම කීවේ හිට්ලර්ගේ ජර්මනිය පරාජය කිරීමට කෝටියක් පමණ සෝවියට් වැසියන් දිවි දුන් බවයි.

මෙවැනි භයානක තත්ත්වයක් තිබියදී හෙල්මුට් කෝල් ජර්මනියේ ප්‍රධානියා වූයේය. ඔහු දක්ෂිනාංශිකයෙක් විය. මීට පෙර පැවති වාමවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය පෙරළා දමා ඔහු බලය ලබා ගත්තේය. කෝල්ගේ පාලන කාලය තුළ බටහිර ජර්මනිය සුවිශේෂ ආර්ථික වර්ධනයක් සටහන් කළේය. අතීතයේ පටන්ම ජර්මනිය යුරෝපයේ ප්‍රධානතම කාර්මික රට විය. ඒ අතින් ඔවුනට අභියෝගයක් වූයේ එංගලන්තය පමණි. මහා යුද්ධයෙන් එම කර්මාන්තශාලා සියල්ලක්ම පාහේ විනාශ වූයේය. ඉතිරි සම්පත් ජයග්‍රාහී බටහිර රටවල් මෙන්ම කොමියුනිස්ට් රටවල් ද කිසිම පැකිලීමක් නොමැතිව කොල්ල කෑවෝය. එහෙත් දශක කීපයක් යන විට ජර්මනියට නැවතත් සිය කර්මාන්ත ගොඩ නගා ගැනීමට හැකි විය. පෙරදිග දී පරාජය වූ ජපානයට ද එසේ අළු ගසා නැගිටීමට හැකි විය. හෙල්මුට් කෝල්ගේ යුගය තුළ මේ ජර්මන් කාර්මික නැගිටීම ඉහළම තලයකට පැමිණි අතර එය නැගෙනහිර ජර්මනියේ දුර්වලතා එළි දැක්වීමට හේතුවිය. නැගෙනහිර ජීවත් වූ කොමියුනිස්ට් තරුණයින් වැළ නොකැඩී බටහිරට සංක්‍රමණය වූහ. රුසියාවේ නායකයා වශයෙන් ගොර්බාචොප් පත්වූයේ මේ අවධියේය. වඩාත් නම්‍යශීලි පිළිවෙතක් අනුගමනය නොකළහොත් සෝවියට් ක්‍රමය කඩා වැටෙන බව ඔහු පිළිගත්තේය. එම ක්‍රමය රුකගැනීමට දැඩි මර්දනයක් දියත් කිරීමටත් ඔහු අකමැති විය. “ග්ලැස්නොස්ටා” හා “පෙරස්ට්‍රොයිකා” යනුවෙන් ඔහු සෝවියට් පාලනය ලිහිල් කළේය. එහෙත් එම ලිහිල් කිරීම ඔහුට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් බවට පත් වූයේ ජනතාව නැගෙනහිර යුරෝපය තුළ නැගිටීමට පටන්ගත් නිසාය. එම නැගිටීම උත්සන්න වූයේ බටහිරට වඩාත්ම ළංව පිහිටා තිබු නැගෙනහිර ජර්මනියේය. කෘෂ්චොප්ගේ තාප්පය ගඩොලින් ගඩොල තරුණයන් විසින් බිඳ දමන ලදි. දහස් ගණන් ජනයා බටහිරට පැන ගත්තෝය. 

කෝල් ඉවසීමෙන් කටයුතු කළේ මේ අවධියේය. ඔහු වැරදි පියවරක් ගත්තේ නම් මහා ලෝක යුද්ධයක් ඇති වීමට ඉඩ තිබුණේය. මේ පරිවර්තනය කිරීමට රුසියන් රාජ්‍යයේ හොඳ හිත රුකගැනීම අත්‍යාවශ්‍ය බව ඔහු වටහා ගත්තේය. ඒ නිසා කඩා හැලෙන නැගෙනහිර ජර්මනිය ගැන දැඩිව කටයුතු කළ ඔහු රුසියාව ගැන ඉතාම නම්‍යශීලී පිලිවෙතක් අනුගමනය කළේය. නිදසුන් වශයෙන් ඔහුගේ ඉඩම් හා මූල්‍ය ප්‍රතිපත්ති අපට විග්‍රහ කළ හැක. නැගෙනහිර ජර්මනිය විසින් ජනසතු කරන ලද ඉඩම් පැරැණි හිමියන්ට ආපසු දෙන ලද අතර සෝවියට් හමුදා විසින් අල්ලා ගන්නා ලද ඉඩම්වලට අත නොතැබීමට ඔහු වග බලා ගත්තේය. රුසියාව කිසි ලෙසකින්වත් අමනාප කර ගැනීමට ඔහු අකමැති විය. එමෙන්ම ඔහු බටහිර ආර්ථිකය පරදුවට තබමින් දෙරට මුදල් නෝට්ටු, බැංකු ආදිය එක ව්‍යුහයකට පෙරළන ලදී. තම රටේම අභ්‍යන්තර අවුල්වියවුල් පැවති නිසා සෝවියට් පාලකයින් ද නම්‍යශිලීව හා ඉවසීමෙන් කටයුතු කළෝය. නැගෙනහිර ජර්මනියේ ඔවුන්ගේ සගයා වූ හොනිකර් නමැති කොමියුනිස්ට් නායකයාට මරණීය දණ්ඩනය නියමවූ විට ද ඔවුහු නිශ්ශබ්ද වූහ. එහෙත් කෝල් ඔහුට අභය දානය දී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දකුණු අමෙරිකාවට පිටත්කර යැවීය.