2017 ජුලි 01 වන සෙනසුරාදා

බෝල පාස්වෙයි ප්‍රශ්න පත්තරය දික්වෙයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

බණ්ඩාරවෙල නගරයේ සියලු වැඩ පසුගිය බ්‍රහස්පතින්දා ඇනහිටියේය. උමා ඔය බහුකාර්ය වාරි යෝජනා ක්‍රමයට අයත් උමං මාර්ගය හේතුවෙන් තමන්ගේ ළිං සිඳීයාම, ඉඩම් සහ නිවාස ගිලා බැසීම හේතුවෙන් පීඩාවට පත් බණ්ඩාරවෙල ජනතාව මීමැසි පොදියක් සේ නගරය වසා ගැනීම එයට හේතු විය. ප්‍රදේශයේ වසම් 26ක ජනතාව එම විරෝධතාවට එක්ව සිටි බවත් එම ප්‍රදේශවල විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාද සෙසු ආගමික නායකයෝද ප්‍රදේශයේ නීතිඥවරුද එම ජනතාව සමඟ උරෙනුර ගැටී ඔවුන්ට සහාය පළකළ බවත් දැකගන්නට ලැබිණි.

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපාරයට එරෙහිව ජනතා පෙරමුණ විසින් මේ විරෝධතාව සංවිධානය කර තිබිණි. එම පෙරමුණේ සම සභාපති ධුරය හොබවන කුරැකුදේගම සුදර්ශනාරාමාධිපති කුරුකුදේගම ජිනානන්ද හිමියන් එහිදී ප්‍රකාශ කළේ මෙම විරෝධය උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව නොවන බවය. නමුත් එම ව්‍යාපෘතියට සම්බන්ධ ජලය ගෙන යන උමං මාර්ගය කැනීමේදී වසම් ගණනාවක ගෙවල් පිපිරීම, ගිලා බැසීම, ගොවිතැන් බත අහිමි වීම, ජල උල්පත් සිඳීයාම වැනි එදිනෙදා ජන ජීවිතය විනාශකර දමන සිදුවීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින අසරණ ජනතාව වෙනුවෙන් තමන් දැඩි විරෝධය දක්වන බව උන්වහන්සේ පැවැසූහ.

තම දූ දරුවන්ගේ බරද දරාගෙන අව් කාස්ටකේ පිච්චෙමින් මුළු නගරයක්ම අකර්මන්‍ය කර දැමීමට දහස් ගණන් ජනතාව එක් රොක් වූයේ ඉවසන්නට බැරි තැන බව පැහැදිලිය. මීට වසර දෙකකට ඉහතදී ග්‍රාම සේවා වසම් 06කින් ඇරුඹි නිවාස පිපිරීම් සහ ගිලාබැසීම් මේ වනවිට වසම් 26ක් දක්වා දහස් ගණනකට මරැ බිය කැඳවමින් පැතිර ගොස් තිබේ. මෙය ඉතාම භයානක තත්ත්වයකි. මෙවැනි සිද්ධියක බරපතළකම දැනෙන්නට නම් එවැනි නිවෙසක පදිංචි වී සිටිය යුතුය. නැත්නම් කොතෙක් කිව්වත් එය පාලකයන්ගේ ඇඟට දැනෙන්නේ නැත. අවසානයේ ජනතාව මේ ආකාරයට පාරට බසින්නේ වගකිවයුත්තන්ගේ සිතට මේ අමාරුව දන්වන්නට විය යුතුය. අහිංසකව, අසරණව තමන්ගේ ගැටලුව කියන විට එය බලධාරීන්ගේ කනට වැටෙන්නේ නැත්නම් ඇසට අසුවන්නේ නැත්නම් මෙසේ පොදි පිටින් පැමිණ නගරය වසා ගන්නවා ඇර වෙන කුමක් කරන්නදැයි ඕනෑම කෙනෙකුට සිතට දැනෙනු ඇත. විරෝධතා ව්‍යාපාර හොඳ යැයි අප කියනවා නොවේ. එසේ වුවත් බිත්තියටම තල්ලු වූ විට ඒ දුක රටටම දැනෙන සේ කියන්නට ඉදිරිපත් වීම ගැන කිසිවකුටත් විරුද්ධ විය නොහැක.

උමා ඔයේ උමඟ කැපීම පමණක් නොවේ වෙනත් බොහොමයක් ගැටලුද මේ රජය විසඳන්නට උනන්දු වන බවක් පෙනෙන්නට නැත. විසඳනවා වෙනුවට බොහොමයක් ගැටලු එක තැන පල්වෙනු දැකිය හැකිය. දේශපාලන උපක්‍රමයක් වශයෙන් රටක ඇතැම් ගැටලු විසඳීම කල්දමන අවස්ථා තිබෙන බව සත්‍යයකි. එහෙත් මාස කිහිපයක් තිස්සේ ගැටලු එක තැන පල්වීම රජයකට හොඳ නැත.

තැපැල් දෙපාර්තමේන්තුව දින තුනක් වැඩ වර්ජනයකළේය. ඒ හේතුවෙන් රටපුරා යා යුතු තැපැල් මලු දහස් ගණනින් කොළඹ ගොඩ ගැසෙමින් තිබේ. පිට පළාත්වල තත්ත්වයද වෙනසක් නැත. තැපැල් වැඩේද පුපුරණ තුරු ආණ්ඩුව බලා සිටියාද යන සැකය ජනතාවගේ සිත් තුළ පැන නැගෙමින් තිබේ. කොතරම් දියුණු සන්නිවේදන ක්‍රම තිබුණද වාහන දඩ කොළයකට මුදල් ගෙවීමේ සිට පාර්සල් ප්‍රවාහනය දක්වා වන විවිධ වැඩකටයුතු රාශියක් කළ යුතු වන්නේ රජයේ තැපැල් කාර්යාල හරහාය. එහෙත් තැපැල් කාර්යාල වැඩ නැත. ආණ්ඩුවටත් ගාණක් නැත. දත්මිටි කැවෙන්නේ රටේ සාමාන්‍ය මහජනතාවටය.

සයිටම් ගැටලුවද එසේමය. එය විසඳා ගැනීම රජය විසින් කාලයට බාරදී සිටිනවාදැයි අපි නොදනිමු. නමුත් තවමත් හැමදාම සයිටම් විරෝධී උද්ඝෝෂණය. මාධ්‍ය සාකච්ඡාය. එහෙත් ගැටලුව විසඳී නැත. වෛද්‍යවරැන් වැඩ නවත්වන්නේ අදද හෙටද කියා විශ්වාසයක් නැත. රජයේ බලධරයෝ වෛද්‍ය සංගමයට දොස් කියති. වෛද්‍ය සංගමයේ නිලධරයෝ ආණ්ඩුවට දොස් නගති. ප්‍රශ්නය එතැනමය. වෛද්‍ය ශිෂ්‍යයෝ මාස 06ක් තිස්සේ ඉගෙනුමක් නැතුව ගෙවල්වලය.

සහල් මිල ඇතුළු භාණ්ඩ මිල ඉහළ යාමද තවත් විසඳුමක් නැති ගැටලුවක් බව පෙනෙන්නට තිබේ. අද රටේ ගොවීන් සිටින්නේ සතුටින් නොවේ. අතරමැදි වෙළෙඳුන් සිටින්නේද සතුටින් නොවේ. පාරිභෝගිකයා සිටින්නේ කේන්තියෙනි. සහල් මිලේ බැස්මක් ගැන අසන්නටවත් නැත. 

කැළිකසළ ප්‍රශ්නයද එසේමය. තවමත් පෙනෙන්නේ බෝල පාස් කිරීමක් පමණි. ප්‍රායෝගික වැඩපිළිවෙළක් තවම ඇරුඹී නැත.

ආණ්ඩුවක් ගන්නා තීන්දු තීරණ හැමවිටම ජනතාව අතර ජනප්‍රිය වන්නේ නැත. එසේ ජනප්‍රිය නොවන හොඳ තීන්දු ගැනීමට ඕනෑම රජයකට හැකියාව තිබිය යුතුය. පාලනය ගෙනයාමට නම් දැඩි තීන්දු ගැනීමට සිදුවන බව අමතක කර රජයකට කටයුතු කළ නොහැකිය. එසේ තීන්දු ගැනීම් අතපසු වනවිට බණ්ඩාරවෙල පසුගියදා සිදුවුණාක් මෙන් ජනතාව පොදි ගැසීම වළක්වනු බැරිය. හැම ප්‍රශ්නයම තවත් මීතොටමුල්ලක් වෙනවා දැකීමට රටේ ජනතාව කැමැති වන්නේ නැත. රජයද කැමැති නැති බව අපගේ විශ්වාසයයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00