2017 ජුනි 24 වන සෙනසුරාදා

යටින් ගහන ගේම් එළිපිට කියන්න බැහැ

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

- එ.ජ.නි.ස. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධයේ අය විවිධ ප්‍රහාර එල්ල කරනවා. කුමාර වෙල්ගම හොයාගන්නවත් නෑ. මොකද කට වැහිලා?

මමද? මම තමයි ඉස්සෙල්ලම සද්ද කළේ. මැතිවරණයෙන් පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වුණ වෙලාවේ ජනාධිපතිතුමා කිව්වා හවුල් ආණ්ඩුවකට යන්න. අන්න ඒ වෙලාවේ ලියාගන්න කියලා ඊට විරුද්ධත්වය පාලා එළියට බැස්ස පළවෙනි මිනිහා මම. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්න ලක්ෂ 58ක් ජනතාව වෙනුවෙන් මහින්ද සුළඟ කියලා තිබ්බ නුගේගොඩ රැස්වීමටයන්න එපා කියලා තියෙද්දි ඒ තහනම් නොතකා වේදිකාවට නැග්ග පළවෙනි මිනිහත් මම. ඒ වගේම මම හැම එකටම කට දාන්න යන්නෙ නෑනේ. දැන් ඉන්නවා විවිධ දේවල්වලට කතා කරන්න ඒකාබද්ධ විපක්ෂයේ අය. මුල් කාලයේදී එවැනි කවුරැත් හිටියෙ නෑ. ඒ හඬ නැඟුවේ මම. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හැදුණේ.

දැන් කතා කරන්න කට්ටිය ඉන්නවා කිව්වේ නෝක්කාඩුවට වගේ නේද?

දැන් ඉතින් විවිධ ක්ෂේත්‍රවල කතා කරන්න අය ඉන්නවනේ. ඒ අයගේ දක්ෂතා අනුව ඒ අයගේ ක්ෂේත්‍රවල කතා කරනවා. එහෙම නැතුව හැම එකටම කතා කරන්න ඕනෙ නෑ මට.

හැබැයි ගොඩක් අය කියන්නේ වෙල්ගමට නඩු වැටුණයින් පස්සෙයි කට වැහුණේ කියලා?

අපිට නඩු වැටුණේ අද ඊයෙ නෙමෙයි. ඒවා ගණන් ගන්නේ නෑ. රටේ මිනිස්සුන්ට කොච්චර නඩු තියෙනවද? මේ ආණ්ඩුවෙන් නඩු දැම්මා කියලා අපේ ක්‍රියාකාරිත්වය නවත්තන්න බෑ.

ඒකාබද්ධ විපක්ෂයක් හැදුණේ මම නැගූ හඬ නිසා

ඔබ කියනවා ශ්‍රීලනිපය ආරක්ෂා කරනවා කියලා. ඒත් ඔබලා ශ්‍රීලනිපය සමඟ එකතු වෙන්නේ නෑ. යන්නෙත් නෑ. මොකක්ද මේ ප්‍රතිපත්තිය?

පළවෙනි දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු කරලා ආණ්ඩුවක් කරන්නේ. අපිට පුළුවන්ද එකතු වෙන්න. අපි යූ.එන්.පී. විරෝධීයි. මම මගේ පත්වීම ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් අවුරුදු 35කට කලින්. අපිට යූ.එන්.පී. එකත් එක්ක දේශපාලන ගනුදෙනුවක් නෑ. ඒ නිසා අපිට යන්න බෑ ආණ්ඩු කරන්න. හැබැයි මම ශ්‍රීලනිපයේ ඉන්නවා. මධ්‍යම කාරක සභාවේ උප සභාපති හැටියටත් ඉන්නවා.

තවම පරණ දේශපාලන මතවාදවල ඉන්නේ, ඇයි පක්ෂ දෙකම එකතුවෙලා මේ රට හදන්න බැරි?

දැන් ඉතින් පේනවනේ එකතුවෙලා රට හදන්න ගිහින් වෙච්ච දේ. හොඳම උදාහරණය තමයි මේ ආණ්ඩුව. ගත්ත එක තීරණයක් ක්‍රියාත්මක වුණාද? සාර්ථක නෑනේ. මෙහෙම හවුලේ යන්න බැරි බව අපි දැනන් හිටියා. මොකද අපේ ගුරුන්නාන්සේ බණ්ඩාරනායක මැතිනිය. මැතිනිය අපට උගන්වලා තියෙනවා යූ.එන්.පී.ය එක්ක ගියොත් මොකද වෙන්නේ කියලා.

ශ්‍රීලනිප ඉහළ තනතුරක් දරන ඇමැතිවරයෙක් කියනවා ඉදිරියේදී මහින්ද මහත්තයා විනය කමිටුවට ගේනවා කියලා. ඔබ දන්නවද, ඇයි විරෝධයක් නැත්තේ?

ඉතින් විරෝධය පළ කරන්න අපිට එවන්න එපැයි. දැනුම් දෙන්න එපැයි. මාධ්‍යයේ තිබුණා කියලා මට කියලා නැති දෙයක් ගැන කතා කරන්න මට බෑ.

ඔබ තවම ශ්‍රීලනිපයේද?

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට ඉන්නේ.

එහෙනම් ඇයි ගෝල්ෆේස් එකේ තිබ්බ පොදුජන පක්ෂයේ රැස්වීමට ස්ටේජ් නැග්ගේ?

පෝස්ටර් ගහන්න පුළුවන් ඕන කෙනකුට. අපිට වැඩක් නෑ. අපි ගියේ ආණ්ඩු විරෝධී රුස්වීමකට.

ආණ්ඩු විරෝධී ඕන කෙනෙක් රැස්වීමක් තිබ්බොත් නගිනවද ඔබ?

ආණ්ඩු විරෝධී ඕන කෙනෙක් එක්ක එකතු වෙනවා. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා අගලවත්තේ මන්ත්‍රී වෙලා ඉන්න කාලේ කිව්වා ආණ්ඩුවට විරැද්ධව යකාගේ පුතා එක්ක හරි එකතු වෙනවා කියලා.

නඩු දාලා අපේ කටවල් වහන්න බෑ

ඔබලා ඔහොම ලෑස්තිවෙනකොට ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරු කියනවා තව මාස දෙකයි ඉස්සරහට රෙඩ් කාඩ් පෙන්නනවා කියලා. කට්ටිය ගේමක් ගහනවද?

ඒක ඉතින් මම දන්නේ නෑ. දැන් ඉතින් තව මාස දෙකෙන් කාලය ඉවරයිනේ.

ඔබලට යටින් ගේමක් නැද්ද ආණ්ඩුවක් පිහිටුවන්න?

තවම අපේ යටින් ගේම් නෑ. හැබැයි ආණ්ඩුවක් පිහිටුවනවා. යටින් ගහන ගේම් එළිපිට කියන්න බෑනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එළිපිට කියලද ගියේ. නමුත් එතුමා ජනාධිපති වුණානේ. ඒ නිසා හැමදේම එළිපිට කිව්වොත් ආණ්ඩුවක් ගන්න බෑ. ඒ වෙලාවට වැඩේ කරන්නම්.

ඒකාබද්ධයේ අය නම් කියනවා ඔළු ගෙඩි මාරුකරලා ආණ්ඩුවක් හදනවා කියලා. පුළුවන් වෙයිද 113ක බලයක් ගන්න?

අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා. එළිපිට කියන්න ඕනේ නෑ. වෙලාවට කියන්නම්.

තවම පෝයවල් දෙක පහුවුණේ නැද්ද?

පෝයවල් දෙක නම් දැන් කිට්ටුවෙලා තියෙන්නේ.

මේ දවස්වල කතාවක් නම් යනවා ඒකාබද්ධයේ ලොකු අය ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා කියලා?

මම නම් දන්නෑ එහෙම දේවල්. මට එහෙම පේන්නෙත් නෑ. විශ්වාස කරන්නෙත් නෑ.

ආණ්ඩුවේ සමහර ඇමැතිවරුම කියනවා ගොඩක් දෙනෙක් නඩුවලින් බේරිලා ඉන්නේ මේ ඩීල් නිසා කියලා?

ඒකාබද්ධයේ නඩු වැටෙන්න ඕන කට්ටියට නඩු වැටිලා ඉවරයිනේ. දැන් ඉතින් තව මොන නඩු දාන්නද අපිට.

වැරැදි සිද්ධ වුණා කියලා බැසිල් මහත්තයා කොන් කරන්න පුළුවන්ද?

ඔබත් හිතන්නේ මේ නඩු දේශපාලන පළිගැනීම් කියලද?

සම්පූර්ණ දේශපාලන පළිගැනීම්. ආණ්ඩුවට එකතු වෙන්නේ නැති නිසා ගහනවා.

ඔබලගේ කාලයේ එවැනි පළිගැනීම් සිදුකළේ නැද්ද?

එහෙම මම නම් දන්නේ නෑ. මම පළි අරගෙන නම් නෑ.

ෆොන්සේකා මහත්තයව හිරේ දැම්මේ මොන නීතියට අනුවද?

ෆොන්සේකා මහත්තයව හිරේ දාපු එක අදත් හෙළා දකිනවා. බොරැ කියන්න ඕනේ නෑනේ. ඒක ඒ වෙලාවේ කරපු හොඳ නැති ක්‍රියාවක්.

අලුත් විදෙස් ඇමැතිතුමාට ජාතික ලොතරුයි මණ්ඩලය දුන්න කියලා ඒකාබද්ධයේ කට්ටිය කෑගහනවා නේද?

විෂයන් වෙන් කිරීම ජනාධිපතිතුමාට තියෙන බලතල. එහෙම කරන්න බැරිකමක් නෑ, පුළුවන්. මම කියන්නේ විදේශ අමාත්‍යංශයට ලොතරැයිය ගැලපෙන්නේ නෑ කියලයි ඒක එන්න ඕන මුදල් අමාත්‍යංශයට. දැන් බලන්න මහ බැංකුව අරගෙන තියෙන්නේ අගමැතිතුමා. ඒකත් මුදල් ඇමැතිවරයා යටතේ තිබ්බේ.

ගිය ආණ්ඩුවේ හැම අමාත්‍යංශයකටම බැසිල් රාජපක්ෂ අත දැම්මා කිව්වා. එදා ඔබලාගේ කටවල් තිබුණෙ නෑ නේද?

මමත් කැබිනට් ඇමැතිවරයෙක් විදිහට වැඩ කළානේ. මගේ එක පාලනය කරන්න නම් බැසිල් රාජපක්ෂ මහත්තයා ආවෙ නෑ. අනිත් අයගේ කොහොමද කියලා මම දන්නේ නෑ.

ජනාධිපතිවරණය පරාජය වෙච්ච ගමන් ඒකාබද්ධයේ අය කිව්වා මේකට වගකියන්න ඕන බැසිල් රාජපක්ෂ කියලා. දැන් ඒකාබද්ධයේ තිරය පිටුපස ඉන්නෙත් එතුමා. ජනතාව විශ්වාස කරයිද?

පරදිනවා දිනනවා කියන්නේ සාමාන්‍ය දේවල්. මොකක් හරි හේතුවක් මත ගියපාර අපි පැරදුණා. ඒක සුළු ජාතික ප්‍රශ්නයක් නිසයි වුණේ මම දකින විදිහට. බැසිල් රාජපක්ෂ මහත්තයා අතිනුත් යම් යම් වැරැදි සිද්ධවෙලා ඇති. ඒ කියලා එයාව කොන් කරන්න නරකයි. එතුමට සංවිධානය කිරීමේ හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසා එයාගෙනුත් වැඩක් ගන්න ඕන. එහෙම බැලුවොත් ආණ්ඩු පැරදුණා කියලා පහුගිය කාලයේ ගොඩක් එළවන්න ඕන. බණ්ඩාරනායක යුගයේදි කිව්වා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නිසා පැරදුණා කියලා. ඒත් ඔහුව අයින් කළේ නෑ.

යූ.එන්.පී. එක්ක ගියොත් වෙන දේ මැතිනි අපට ඉගැන්නුවා

ඇයි ඔබ අකුල් හෙළන්නේ මෛත්‍රී මහින්ද එකතුවට?

මම අකුල් හෙළන්නේ නෑ. මම තමයි ටී.බී. ඒකනායක මන්ත්‍රීතුමා එක්ක ගිහින් මෛත්‍රී මහත්තයට යෝජනා කළේ දෙගොල්ලො එකතු වෙන්න ඕන කියලා. අන්තිමට අපි දෙන්නම සාකච්ඡාවක් සඳහා එකතු කළා පාර්ලිමේන්තුවෙදි. අපි උත්සාහ ගත්තා. නමුත් සාර්ථක වුණේ නෑ පොඩි පොඩි ප්‍රශ්න නිසා.

ඇයි ඒ සංහිඳියාව නැවත ඇති නොකරන්නේ?

මට අවස්ථාවක් ආවොත් කරනවා. පරණ ශ්‍රී ලංකා කාරයෙක් හැටියට, ජ්‍යෙෂ්ඨයෙක් හැටියට මම කැමැතියි මේ දෙන්න එකතු වෙනවට. ඒත් ඉතින් කොහොමද කරන්නේ කියන එක ප්‍රශ්නයක්. 

දැන් ඒකාබද්ධයේ ඉන්න විමල්, දිනේෂ්, ගම්මන්පිල වැනි අය කියනවා ඉදිරියේ එන්නේ වෙනම සන්ධානයකින් කියලා. ඔබ වැනි ශ්‍රී ලංකා කාරයෙක් එදාට මොකක්ද ගන්න තීරණය?

එදාට බලන්න ඕන ඒක. රටේ තත්ත්වය බලලා ගන්න ඕන. දැන්ම කියන්න බෑ.

දැන් ඔබත් ඒකාබද්ධයේ, රෝහිත අබේගුණවර්ධනත් ඒකාබද්ධයේ. මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයට ආවම ඔහුට තියෙන්නේ ස්වාධීන දේශපාලන ගමනක්, විදුර වික්‍රමනායක වෙනම සටනක්. කළුතර ශ්‍රී ලංකා කාරයෙක් නැතිවෙනවා නේද මෙහෙම ගියොත්?

ශ්‍රී ලංකා කාරයෝ ඉන්නේ කාත් එක්කද? බහුතර මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. ඒකනේ මහින්ද සමරසිංහලට එහෙම වුණේ. කළුතර විතරක් නෙමෙයි, එයා අගලවත්ත ආසනයත් පැරදුණා. එයාට දිස්ත්‍රික්කයෙන් ලැබුණෙත් නෑ. ඇයි, ඒ මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව ගිය නිසා. ඒ නිසා මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. අපි දේශපාලනඥයෝ හැටියට යන්න‍ ඕනෙ ජනතාව එක්කද? නැත්තන් සොහොන් පිට්ටනියක් එක්කද?

ජ්‍යොතිෂය පස්සෙ යන එක මහ පිස්සුවක්

ඔබට දැන් ශ්‍රීලනිපය කියන දැවැන්ත පක්ෂය පේන්නේ සොහොන් පිට්ටනියක් වගේද?

නෑ. පක්ෂය ගැන නෙමෙයි, ආණ්ඩුව ගැන කියන්නේ. රටේ මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. ඔය ව්‍යවහාරයේ තියන වචනයක්නෙ.

ශ්‍රීලනිපයෙන් කියන්නේ නම් 2020 ජනාධිපති සටනට මෛත්‍රී මහත්තයා දාන්නේ කියලා. ඒකාබද්ධයේ පිරිසක් කියනවා ගෝඨාභය රාජපක්ෂ දානවය කියලා. වෙල්ගම ගන්නේ කොයි පැත්තද?

ඉස්සෙල්ලම කියන්න ඕන මේ ජනාධිපති ක්‍රමයට මම විරුද්ධයි. හැමදාම කියනවා, මැතිනියගේ කාලයෙත් එතුමිය විරුද්ධයි මේකට. චන්ද්‍රිකා නෝනා බලයට ආවේ අහෝසි කරනවා කියලා. කළේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයත් කිව්වා කරනවා කියලා. ඒත් කළේ නෑ. මෛත්‍රීපාල මහත්තයත් කිව්වා. මාදුළුවාවේ හිමියන්ගේ අවසන් කටයුතු වෙලාවෙත් කිව්වා අහෝසි කරනවා කියලා. මම කැමැතියි පාර්ලිමේන්තුවට බලය දෙනවට. මෛත්‍රීපාල මහත්තයත් කියනවා නැවත එන්නේ නෑ කියලා. එතුමා ඉන්නෙත් ඒ තැන. ඒ නිසා මම හිතනවා 2020 වෙද්දි ඒක නැතිවෙයි කියලා.

ඔබලා එකතුවෙලා ගාණට මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැති කරන තැනට හදන්න නේද යන්නේ?

නෑ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයි. මේක එදා ඉඳලා තිබ්බ දෙයක්. අනික මෛත්‍රීපාල මහත්තයා කිව්ව දෙයක්. චන්ද්‍රිකා නෝනත් කිව්වා මහින්ද මහත්තයත් කිව්වා. ඒ අය නොකෙරැවට මේ ජනාධිපතිතුමා මේක කරන්න උත්සාහයක් ගන්නවා. මමත් ඉන්නේ එතැන.

ඔබ ප්‍රවාහන ඇමැතිවරයා වශයෙන් ඉන්න කාලයේ දුම්රිය එන්ජින්වලට අපූරු කාන්තා නම් වැටුණා. ඒ කාන්තා නම් එක්ක අපූරු අපූරු කතා ගියා නේද?

ඒවා ඉතින් සාමාන්‍යයෙන් පෞද්ගලික දේවල්නේ. සෑම මිනිහකුටම පෞද්ගලිකත්වයක් තියෙනවා. පිරිමියෙක් නෙමෙයිනේ එහෙම නැත්නම්.

ඔබ කාන්තාවෝ ගැන හරි විවෘතව කතා කරනවා නේද ඒ කාලෙත්?

ඉතින් මම මොකටැයි හංගන්නේ. ඔය හංග හංග කියනවට වඩා හොඳ නැද්ද විවෘතව කියන එක. කාටත් එහෙම දේවල් තියෙනවා. එහෙම දෙයක් නැත්තන් ඔබත් අසනීපකාරයෙක්.

ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයගේ ඥාතියෙක් නේද?

මම ඔය දෙපැත්තටම ඥාති.

මොකක්ද ඔය දෙපැත්ත?

මම සිරිමාවෝ මැතිනියගේ පැත්තෙන් ඥාති.

මහින්ද මහත්තයා වගේ සිරිමා මැතිනියත් මගේ නෑයෝ

මොකක්ද ඒ ඥාතිකම?

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එක කුස උපන් මල්ලි සීවලී රත්වත්තේ මහත්තයගේ දුව ලක්මිණී බැඳලා ඉන්නේ මගේ එක කුස උපන් අයියා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයගේ අම්මගේ ඥාති සහෝදරයෙක්ගේ දුවෙක් තමයි මම බැඳලා ඉන්නේ. දෙපැත්තටම ඥාතිකම් තියෙනවා.

ඒ කියන්නේ සැබෑ ශ්‍රීලනිප උරුමක්කාරයෙක් වෙල්ගම කියන්නේ?

ඒකනේ මම කියන්නේ නියම ශ්‍රී ලංකා කාරයා මම කියලා. ඒකනේ ශ්‍රීලනිපයේ අයිතිකාරයෝ අපි තමයි කියලා කියන්නේ.

කවදා හරි ශ්‍රීලනිප නායකයා වෙන්න බැරිකමකුත් නෑ නේද?

ඒවා කියන්න බෑ ඉතින්. අපි හිතුවද මෛත්‍රීපාල මහත්තයා නායකයා වෙයි කියලා. රටේ නායකයා වෙයි කියලා.

වෙල්ගමලගේ හිතෙත් තියෙනවා කවදා හරි මේ රටේ නායකයා වෙන්න නේද?

එහෙම වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්නත් බෑ.

රාජයෝග එහෙම නැද්ද?

මම සාමාන්‍යයෙන් ඕවා පිළිගන්නේ නෑ. ඒක පස්සෙ ගියොත් ලොකු පිස්සුවක්. එන විදිහට මුහුණ දෙනවා.

අවසාන වශයෙන් අහන්නේ වෙල්ගම ආරම්භ කරපු සටන අවසාන වෙන්නේ කොතැනින්ද?

අපි ආණ්ඩුවක් අරගෙන. නවතින්නේ නෑ යනවා ඉස්සරහට. හයිය හත්තිය තියෙනකල් යනවා. මේ ආණ්ඩුවත් ගන්න එක තමයි අරමුණ. ඒ කියන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ වමේ කණ්ඩායමේ එකතුවෙන් ගන්න ආණ්ඩුවක්.

ගයාන් ගාල්ලගේ 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00