2017 ජුනි 24 වන සෙනසුරාදා

මේ වෙලාවෙ තනි පක්ෂයක ආණ්ඩුවක් ආවොත් රටට හානියක්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

- ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවිඩ් යූසුෆ්

ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය, සයිටම් ගැටලුව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවුල හා ජාතිවාදී රැල්ල ඇතුළු තවත් ගැටලු ගණනාවක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතීඥයකු වන ජාවිඩ් යූසුෆ් මහතා සමඟ දේශය කළ සාකච්ඡාව.

රට තුළ නැවතත් ජාතීන් අතර නොසන්සුන් වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන බවක් පේනවා. ඔබ දකින විදිහට ඇයි මෙහෙම තත්ත්වයක් විටින් විට අපෙ රටේ ඇති වෙන්නේ?

ප්‍රධානම හේතුව එක් ජනකොටසගේ අයිතීන් තහවුරු කිරීමට යාමේදී ඊට විරුද්ධවන්නන් මතවාදීව සටන් නොකර ශාරීරිකව ප්‍රචණ්ඩත්වයෙන් මර්දනය කිරීමට උත්සාහ කිරීම. සමාජයක් හැටියට අපිට ශක්තියක් තියෙන්න ඕනැ අනෙක් පාර්ශවය ඉදිරිපත් කරන කරුණු හා තර්කවලට ඇහුම්කන් දී සාකච්ඡා මට්ටමින් ආයතනිකව ගැටුම් විසඳාගැනීමට. ඒවගේම අවුරුදු තිහක් තිස්සේ තිබුණ යුද්ධයත් එක්ක ජාතීන් අතර සැකයක් ඇති වුණා. අවිශ්වාසයක් ඇතිවුණා. ඒ යුද්ධයෙන් සිදුවූ ඒ තුවාලවලට ප්‍රතිකර්මයක් විදිහටයි සංහිඳියාව ඇති කිරීමට රජය උත්සහ කරන්නේ. ඒ සංහිඳියා කාර්යයට ජාතිවාදී ව්‍යාපාර විශාල බාධාවක්. මේවා පිටුපස දේශපාලන හස්තයක් තිබේ ද කියාත් සැකයි. මෙවැනි ජාතිවාදී ක්‍රියාවන් ජාතියක් ලෙස රටටම හානියක්. මෙතුළින් රටම අස්ථාවර වෙනවා. යුද්ධයෙන් පස්සේ ආර්ථික අභියෝග හා ජාත්‍යන්තර අභියෝග එකින් එක ජයගනිමින් ඉදිරියට යාමේදී ගැටුම් ඇති කිරීම ලොකු ලොකු තර්ජනයක්. මෙවැනි ක්‍රියාවන්වලට සම්බන්ධ වෙන්නේ සුළු කොටසක්. ඒත් ඔවුන්ගේ හඬ ප්‍රබලයි. 

වෙලාවට ඡන්ද තිබ්බා නම් ඩෙංගු - කුණු ගැටලු නොවෙයි

ජාතික සංහිඳියාව ඇතිකිරීමට ආණ්ඩුව උනන්දු වුවත් වාර්ගික සමගිය බිඳින්න යම් යම් කල්ලි කටයුතු කරන බවක් පේනවා. බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ මේ පිටුපස දේශපාලනයක් තිබෙනවා යනුවෙන්. මෙවැනි ක්‍රියාකලාප පාලනය කරන්න රජය හරිහැටි මැදිහත් නොවන්නේ ඇයි?

2012-2015 කාලේ සිදුවුණ සිදුවීම්වලට කිසිදු මැදිහත්වීමක් පහුගිය ආණ්ඩුව කළේ නැහැ. මැදිහත් නොවුණේ ආණ්ඩුවේ බලවතුන් කිහිප දෙනෙක් ඒ කල්ලිවලට ආවරණයක් ලබා දුන්න නිසයි. ඒත් මේ ආණ්ඩුව යටතේ සංහිඳියාව ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන වෙනම ආයතනයක් පිහිටුවා වැඩ කරනවා. අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාව දී ලබා දීම ආදි විවිධ පියවර ගෙන තිබෙනවා. නමුත් පහුගිය මාස දෙකක කාලය තුළ සිදුවූ සිදුවීම්වලදී ආණ්ඩුවේ ආයතන සෑහීමට පත්විය හැකි ලෙස ක්‍රියාත්මක වී නැහැ. විශේෂයෙන් පොලිසිය ක්‍රියාත්මක වුණේ ප්‍රමාදවෙලා. කොහොම නමුත් මේවනවිට රට තුළ හිස ඔසවමින් තිබුණු තත්ත්වයන් පොලීසිය පාලනයට ගෙන තිබෙනවා. ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් තිබුණ නිසායි තත්ත්වය දුර දිග ගියේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජාතිවාදී ක්‍රියාවල නිරතවන්නන්ට දැඩි පියවර ගැනීමට පොරොන්දු වී තිබෙනවා. 

ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය යන ස්ථාවරය දරනවා. නමුත් මේ ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණයට විශාල විරෝධයකුත් මතුවෙලා තියෙනවා. ඉතින් මේක කොහෙන් අවසන් වෙයි ද?

ජනවාරි 08 වෙනස පටන් ගත්තේ මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ විධායක ජනාධිපති ධූරයත් මැතිවරණ ක්‍රමයත් වෙනස් කිරීම පදනම් කරගෙනයි. වෙනසේ පදනම එයයි. ජනාධිපතිවරයා මැතිවරණයේදීත්, ජනාවාරි 08වනදාත්, මහමැතිවරණයේදීත්, සෝභිත හිමියන්ගේ අවමංගල්‍ය උත්සවයේදීත් ජනාධිපතිවරයා ක්‍රමය වෙනස් කරනවා යැයි පොරොන්දු වුණා. ජනතාව ආණ්ඩුව. වරමක් දුන්නෙත් මේ පොරොන්දු නිසයි. ආණ්ඩුවේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටස් ඒ වරම ලබා ගන්න සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් සිටියේ ඊට විරුද්ධව. එමනිසා ඔවුන්ට අයිතියක් නෑ ප්‍රතිසංස්කරණයට බාධා කරන්න. 

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඇයි මෙතරම් ප්‍රමාද? මෙහෙම ප්‍රමාද වුණොත් අවසානෙදි කුමක් සිදු වෙයිද?

ප්‍රතිසංස්කරණය සඳහා කාලයක් තිස්සේ ජනතා අදහස් ලබා ගෙන සියලු පාර්ශවයන් සමඟ සාච්චාඡා කර සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමකට එළඹෙන්නයි රජය උත්සහ කරන්නේ. නමුත් මගේ අදහස දැන්  ප්‍රමාද වූවා වැඩියි. තව තව කල්ගියොත් ප්‍රතිසංස්කරණය සාර්ථක ඉෂ්ඨ කරගන්න බැරි වෙයි. අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට ගෙනයාමේ තත්ත්වයක් තිබෙනවා. ජනතාව ජනමත විචාරණයේදී ඡන්දෙ දෙන්නේ ව්‍යවස්ථාවේ තිබෙන හොඳ නරක දිහා බැලීමෙන් පමණක් නෙවෙයි, ජීවන වියදම, දූෂණ වංචා ආදි අනෙක් ප්‍රශ්නත් බලලයි. ඒවගේම ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන ආකල්පත් බලපානවා. ඕනෑම ආණ්ඩුවක් කාලයක් යද්දි ජනප්‍රියතාව අඩුවෙනවා. චන්ද්‍රිකා මැතිනිය 1994දී බලයට පත්වී 1995දී පැකේජය ඉදිරිපත් කළා. ඒ ගැන 2000 වනතුරුම සාකච්ඡා කළා. 2000 වසර වනවිට රටේ තත්ත්වය වෙනස් වී පැකේජය සාර්ථකව සම්මත කරගන්න බැරි වුණා. ඒ අවදානම මේ ආණ්ඩුවටත් තිබෙනවා. ඒ නිසා මේ අවුරුද්ද තුළම කොහොම හරි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අවසන් කළ යුතුයි.

ව්‍යවස්ථා සංශෝධනයට දැනුත් ප්‍රමාද වැඩියි

බඩුමිල ඉහළ යාම බදුබර, විදේශ ණය ආදිය ආණ්ඩුවට හරි විදහට පාලනයට හැකිවී නෑ. ඒ වගේම රටේ අනෙකුත් ආර්ථික කටයුතුත් හරිහැටි කළමනාකරණය කරන්නත් බැරිවෙලා. මේවාට හේතුව කුමක් ද?

හේතු කිහිපයක් තිබෙනවා. පහුගිය ආණ්ඩු කාලයේ රටේ මුළු ආදායමත් විදේශ ණයත් අරගෙන ලොකු ලොකු ව්‍යාපෘති පටන්ගත්තා. ඒ ණය නැවත බේරගන්න නම් ඒ ව්‍යාපෘතිවලින් ආදායමක් ලැබෙන්න ඕනැ. ආණ්ඩුව පටන්ගත්ත ඒ ව්‍යාපෘතිවලින් ආදායමක් ලැබුණේ නෑ. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, චීනෙන් ණය අරගෙන හම්බන්තොට ඉදිකළ අනෙකුත් ගොඩනැගිලිවලින්  කිසිම ආදායමක් ලැබුණේ නැහැ. ඒවගේ ඇතැම් ව්‍යාපෘතීන් සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. නෙළුම් කුළුනට විශාල මුදලක් වැය කළා. නමුත් එයින් රටට ආදායමක් ලැබෙන්නේ නැහැ. රට සංවර්ධනය වීමේදී එවැනි ව්‍යාපෘති කළාට කමක් නැහැ. සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථිකයට ඒවා අවාසිසහගතයි. මීට අමතරව විශාල දූෂණ වංචාත් සිදුවුණා. එවැනි තත්ත්වයක තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. නමුත් ඒ හේතූන්ම කිය කිය මේ ආණ්ඩුවට ආර්ථික ගැටලුවලින් ගැලවෙන්නත් බැහැ. ඒ වගේම තමයි ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව එකඟතාවයක් නැහැ. එයත් ආර්ථිකය අඩාල වීමට ප්‍රධාන හේතුවක්. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා පූර්ව සාකච්ඡාවක් නැතිව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම. මතගැටුම් ඇතිකරගන්නවට වඩා රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි අවබෝධයක් දෙදෙනා ඇතිකරගත යුතුයි.

කසළ ප්‍රශ්නය දැන් විශාල ගැටලුවක් බවට පත්වෙලා.‍ ඩෙංගු වෛරස හෝ උණ පැතිරෙන්නේත් ඒ නිසා සිදුවෙන පරිසර දූෂණය නිසයි. බොහෝ නිලධාරීන් ඒ ගැන විමසද්දි කියන්නේ පළාත්පාලන ආයතනවල වැඩකටයුතු අඩාලවීම ඊට ප්‍රධාන හේතුවක් කියලා. පළාත් පාලන මැතිවරණය කල්යාම රටකට සුදුසුද?

මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. විශේෂයෙන් පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා කියනවා පහුගිය ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය තනි කැමැත්තට මැතිවරණ සීමා නිර්ණයන් කළා. ඒ නිසයි සීමා නීර්ණය නැවත කරන්න වුණේ යනුවෙන්. ෆයිසර් මුස්තෆා පහුගිය රජයේ ඇමැතිවරයෙක් විතරක් නෙවෙයි බැසිල් රාජපක්ෂ මහතාට සමීපව සිටි කෙනෙක්. ඔහු මේ දේවල් ඒ කාලේ හැදුවෙ නැත්තේ ඇයි? මට පෙනෙන්නේ ෆයිසර් අමාත්‍යවරයා මැතිවරණය හිතමතාම කල්දානවා. සීමා නීර්ණ වාර්තාව ලැබුණු වහාම ගැසට් කිරීමට පොරොන්දු වුණත් ඔහු ගැසට් කළේ නෑ. සීමා නීර්ණ කමිටුවේ සභාපති නියම කළ දිනයේත් රටේ හිටියේ නෑ. හරිනම් මේ වෙද්දි මැතිවරණය පවත්වන්න ඕනෑ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් කොටසක්. එමෙන්ම ඩෙංගු බෝවීම හා කුණු ප්‍රශ්නය ගැටලුවක් නොවෙන්නට තිබුණා මැතිවරණය කල්දමන පළාත් පාලන අමාත්‍යවරයා ඒ වගකීම බාරගෙන වැඩ කළා නම්. කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන වගකිව යුතු අමාත්‍යවරයා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් ද, නාගරික සංවර්ධන අමාත්‍ය චම්පිකද නැත්තම් මහඇමතිවරයා දැයි අපට තාමත් පැහැදිලි අවබෝධයක් නැහැ. කුණු ප්‍රශ්නය විසඳෙන්න නම් ඒ වගකීම නිශ්චිතව එක් අයකුට පැවරිය යුතුයි.  

කුණු ප්‍රශ්නය ඩෙංගු ප්‍රශ්නය හා සයිටම් ප්‍රශ්නය විශාල අර්බුදයක් දක්වා වර්ධනය වුණේ ආණ්ඩුව තීන්දු ගැනීමේ දුර්වලතා නිසා කියලයි දේශපාලනඥයෝ චෝදනා කරන්නේ. විශ්විද්‍යාල සිසුන් දහස්ගණන් පාරට බහින්න හේතු වූ  සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මොනවගේ තීන්දුවක් ද මේ ආණ්ඩුව ගත යුතේතේ?

සයිටම් ආයතනයට  තිබෙන ප්‍රශ්නය ඔවුන් පිළිපැදිය යුතු නිර්ණායක පිළිනොපැදීම. එහෙම නම් සයිටම් ආයතනය ඒ නිර්ණායක පිළිපැදිය යුතුයි, පිළිපදින්න බැරිනම්  සයිටම් නවත්වන්න ඕනැ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවාද යන්න බරපතළ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. එය ආණ්ඩුව සාකච්ඡා කරලා තීරණයකට එළඹෙන්න ඕනෑ.

ආර්ථිකය හදාගන්න බැරි හේතු ගණනාවක් තිබෙනවා

පහුගියදා 35වැනි ජිනීවා සමුළුවේදී මොනිකා පින්ටෝ මහත්මිය විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙරට අධිකරණය ක්ෂේත්‍රය ස්වාධීන නැති බවත්, අපක්ෂපාතී නැති බවත් දේශපාලන මැදිහත්වීම්වලට නතුව ඇති බවත් පැවසුවා. ඔබ ඒ වාර්තාවේ සඳහන් දේවල් පිළිගන්නවද?

අධිකරණයේ ස්වාධීනත්වය ගැන සතුටු වෙන්න පුළුවන් කාලයක් අප රටේ තිබුණා. ඒත් පහුගිය අවුරුදු දහයක කාලය තුළ නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. ඇතැම් විනිසුරැන් දෙන තීන්දුවල ප්‍රශ්න තිබුණා. දේශපාලන මැදිහත් වීම් තිබුණා. විශේෂයෙන්ම ශ්‍රිරානි බණ්ඩාරනායක මැතිනියට කළ දේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට ලොකු කැළලක් බවට පත්වුණා. පහුගිය කාලය තුළ යම් යම් දේවල් සිදුවුණත් අධිකරණ පද්ධතියේ ස්වාධීනව වැඩ කළ විනිසුරුවන් බහුතරයක් හිටියා. මහෙස්ත්‍රාත්වරු බයක් නැතිව නඩු තීන්දු දුන්නා. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ විනිසුරුවරුන්ට නැවත ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. නීතිපති දෙපාර්තුරෙම්න්තුවෙත් අඩුපාඩු තිබුණා. ඒත් ඒ දෙපාර්තමේන්තුවෙත් ස්වාධීනව කටයුතු කිරීමට උත්සහ කරන බහුතරයක් ඉන්නවා. පහුගිය කාලේ පිරිහී ගිය අධිකරණය, පොලීසිය හා පරිපාලන සේවය නැවත ගොඩනගන්න ආණ්ඩු මීට වඩා පියවර ගන්න ඕනැ. මොනික පින්ටෝගේ වාර්තා සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. දවස් පහක සංචාරයෙන් කොහොමද රටක අධිකරණ පද්ධතියක් ගැන බරපතළ වාර්තාවක් සැකසුවේ කියලා. ඒ නිසා මම ඒ වාර්තාව පිළිගන්නෙ නැහැ.

ආණ්ඩුව තුළ විශාල දෙදරීමක් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකම කියන්නේ තනි පක්ෂයක ආණ්ඩුවක් බිහිකරනවා කියලයි. ඉදිරියේදී මොනවා වෙයිද?

මේ මොහොතේ තනි පක්ෂයක ආණ්ඩුවක් බිහිවුණොත් රටට හානියක්. ජනවාරි අටවන දා ජයග්‍රහණයේ ප්‍රතිඵලත් අහිමි වී යනවා. මගේ අදහස මේ ආණ්ඩුව බලයට ඒමේදී දුන් පොරොන්දු ඉටුවන තුරු මේ අයුරින්ම සිටිය යුතුයි. පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලටත් එක් ඒකකයක් ලෙසම ඉදිරිපත් වී තරග කළ යුතුයි. තනි තනිව ඉදිරිපත් වුණොත් ආණ්ඩුව තව තවත් දුර්වල වෙනවා. 2020 වනවිට දුන් පොරොන්දු 75 ක්වත් ඉටුකර පක්ෂ දෙක වෙන්වුණාට කමක් නැහැ.

 

සාකච්ඡා කළේ සකීෆ් සාම් තන්වීරි

සේයාරුව I සුමුදු හේවාපතිරණ