2017 ජුනි 24 වන සෙනසුරාදා

කතා සාප්පුවේ ගොඩගැසෙන ප්‍රශ්න

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

අලි මදිවට හරක් කිව්වාක් මෙන් වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයක්ද ආරම්භ වී තිබේ. කවදාවත් නොවූ තරම් දරුණු මට්ටමකින් ඩෙංගු රෝගයත් ඒ හා සමානව වෛරස් උණ රෝගයත් පැතිර යමින් තිබෙන අවදියක වෛද්‍යවරුන්ද වැඩ වර්ජනයක නිරතවීම කොරේ පිටට මරේ වැඩකි. ඩෙංගු මර්දන වැඩපිළිවෙළටද අතුල් පහරකි. මේ කතුවැකිය ලියැවෙද්දී වෛද්‍ය වැඩවර්ජනය විසඳීමේ ලකුණක් හෝ පහළ වී නොතිබිණි.

වෛද්‍ය වැඩවර්ජනය අද දවසේ මේ රට මුහුණ දී සිටින එක් ප්‍රශ්නයක් පමණි. ඒ හැරෙන්නට දවස ගානේ ප්‍රශ්න පිට ප්‍රශ්න ගොඩ ගැසෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. කොළඹ කුණුකසළ ප්‍රශ්නය මුළු රටම ගඳගස්වන තත්ත්වයකට පත් විය. කොළඹ පමණක් නොව වෙනත් ප්‍රධාන නගර කිහිපයකම කුණු එකතු වී ගොඩ ගැසුණේය. ආණ්ඩුව මුලින් පැවැසුවේ අද හෙටම කුණු ප්‍රශ්නය විසඳන බවය. එහෙත් දින සතිවලට පෙරළෙද්දී විසඳුමක් කෙසේ වෙතත් කොළඹ කුණු කඳු ගොඩගැසෙන්නට පටන් ගත්තේය. අන්තිමේදී ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පෞද්ගලිකවම එයට මැදිහත්වීමට සිදුවිය. තවමත් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳී නැත.

කුණුවලටම ඍජුවම සම්බන්ධදැයි හරිහැටි කිව නොහැකි වුවද ඩෙංගු රෝගයද රටපුරා වසංගතයක තත්ත්වයට පත්වෙමින් තිබේ. නිශ්චිත කාලසීමාවක් තුළදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවීමත් රෝගය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවීමත් අපට අසන්නට දකින්නට ලැබිණි. එම තත්ත්වයද පාලනය කළ නොහැකි මට්ටමකට එනතුරු ඊට හරිහමං විසඳුමක් දීමට බලධාරීන් සමත්වූයේ නැත. ගොඩගැසෙන ප්‍රශ්නවලට ඩෙංගු රෝගයද එකතු වෙන්නේ එසේය.

සයිටම් ගැටලුවද දැන් ගහමරා ගන්නා තත්ත්වයටම ඔඩු දුවා තිබෙන බව පසුගිය බදාදා (21) සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට සිසුන්ගේ කඩා පැනීමෙන් පැහැදිලි විය. සයිටම් ගැටලුවේදී සිසුන් මතටම වැරැද්ද පටවා අත සෝදා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. සයිටම් ගැටලුව පැනනැගීමට මූලික වූ කාරණා පිළිබඳව යළිත් විමසා බලා විසඳුමක් දීමට රජය මැදිහත්වීම අවශ්‍යය. නමුත් ඒ වෙනුවට අපට පෙනෙන්නේ ප්‍රශ්නය දිග් ගැස්සෙන්නට ඉඩදී රජය බලා සිටින බවය. මෙහිදී වෛද්‍ය සිසුන් හෝ ඔවුන් මේ ගැටුම්වලට පොළඹවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ නිවැරැදි යැයි අපි නොකියමු. එහෙත් ඔවුන් මතුකරන සාධාරණ ප්‍රශ්නවලට රජයට නිසි පිළිතුරු නොමැති බව සඳහන් කිරීමත් අවශ්‍යය. උසාවි නියෝගයට මුවා වී සියල්ල හරි යැයි සිතා කටයුතු කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ සයිටම් සටනත් විසඳුමක් නැති ප්‍රශ්නයක් වශයෙන් දිග් ගැසෙමින් තිබීමය.

මීළඟට සහල් මිලද ඇතුළු රටේ සමස්තයක් වශයෙන් බඩුමිල ඉහළ යාම අද දවසේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. රජයේ සේවකයාට වැටුප් වැඩිකිරීම, බෙහෙත් මිල සෑහෙන ප්‍රමාණයකින් අඩුකිරීම වැනි පියවර රජය මගින් ගනු ලැබූ බව සත්‍යයකි. එහෙත් වැඩිවෙමින් පවතින බඩු මිල පාලනයට ආණ්ඩුව නිසි පිළිතුරක් නැත. කෘෂිකර්මය පැත්තෙන් බැලුවද ගොවීහුද බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී සිටිති. ඔවුන්ට පොහොර වෙනුවට ලැබෙන දීමනාව හරියට ලැබෙන්නේ නැත. ඇතැම් පළාත්වල දරුණු ඉඩෝරය හේතුවෙන් කිසිම වගාවක් නොකෙරේ. ඒ හේතුවෙන් දහස් ගණන් ගොවීහු අසරණව සිටිති. මේවා ගැන සොයා බලන කිසිවෙකුත් නැත. උතුරැමැද හාල් මෝල් ප්‍රධානම කිහිපයක් හැර සෙසු මෝල් වැසී ගොසිනි. ආණ්ඩුව නිහඬය. කලට වෙලාවට පැවැත්විය යුතු පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම මෙවැනි ගැටලුවලට මූලික හේතුවය.

එසේම ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී රජය තුළ ඒකමතික බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලන්කන් ආයතනය තවදුරටත් රටේ ආර්ථිකයට විශාල බරක් වෙමින් පවත්වාගෙන යන අතර එයට විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. එපමණක් නොව අමාත්‍යවරුන්ට විෂයයන් බෙදීමද අවුලක් බවට පත් වූ අතර ඇමැතිවරුන්ට අමාත්‍යංශ ඉඩකඩ වෙන්කර ගැනීම්ද රටම කතාකරන ගැටලුවක් විය. අප කියන්නේ මෙවැනි සුළු කරැණු පවා මහා ප්‍රශ්න බවට පත්කර ගැනීම අනවශ්‍ය බවය. ඊට වඩා බරපතළ ප්‍රශ්න රට තුළ පවතී. තවත් අතෙකින් පසුගිය වසරක පමණ කාලය ඇතුළත සිදුවූ ස්වභාවික ව්‍යසන හේතුවෙන් පීඩාවට පත් ඇතැම් පිරිස්වලට තවමත් වන්දි ලැබී නැත. සමහර පවුල් තවමත් ඉන්නේ කූඩාරම්වලය. ලැබිය යුතු වන්දි මුදල් සමහරුන්ට හිමිවෙද්දී තවත් පිරිසක් සුසුම් හෙළති. ඇමැතිවරුන් සියයකට ආසන්න පිරිසක් සිටියත් එවැනි ප්‍රශ්න ගැන සොයාබලා පිළිතුරැ දීමට කිසිවකුත් නොසිටීම අවාසනාවකි.

දවසින් දවස ගොඩ ගැසෙන ප්‍රශ්නවලට ආගමික, වාර්ගික නොසන්සුන් බවක් ඇතිකිරීමට වෙරදරන පිරිසකගේ ක්‍රියාකාරකම්ද එකතු වී තිබේ. එවැනි ප්‍රශ්නයක් ඔඩු දිවීමට ඉඩ දුන්නොත් එහි ප්‍රතිඵල භයානක විය හැකි බව අමුතුවෙන් කිවයුතුද?

රටක ජනතාව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ මහත් බලාපොරොත්තු ඇතිවය. ඒ සියලු බලාපොරොත්තු ඉටුකළ නොහැකි බව ඇත්තකි. එහෙත් තමන් අපේක්ෂා කළ මූලික ගැටලුවලට හෝ විසඳුම් ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍යවන්නේ කතා පිට කතා පවත්වන සාප්පු නොවේ. ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළකි. අපට නම් පෙනෙන්නේ ආණ්ඩුවේ නායකයන් කරන කථාවල සහ වැඩපිළිවෙළ අතර විශාල හිඩැසක් පවතින බවය. ඒ පිළිබඳව රටේ ජනතාවගේ කළකිරීම උග්‍රවෙමින් පවතින බවය. මෙය කිසිදු ආණ්ඩුවට හොඳ චරිත සහතිකයක් නොවේ. මෙහෙම ගියොත් ආණ්ඩුවක් කුමකටදැයි ජනතාව අසන දිනය වැඩි ඈතක නොවනු ඇත.