2017 ජුනි 17 වන සෙනසුරාදා

අාණ්ඩුවේ ලකුණු පොරේ

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර 2ක් ඉක්මවද්දී පසුව එම ආණ්ඩුවේ කෙරුවාව ගැන විවිධ මත පළවෙමින් තිබුණේය. ඒ ඇතැම් මත ආණ්ඩුව පැත්තෙන් “ප්ලස්ය”. සෙසු මත “මයිනස්ය”. මුල්කාලයේ ප්ලස් මත සංඛ්‍යාත්මකව වැඩිය. එය බලාපොරොත්තු විය යුත්තකි. දැන් මේ වනවිට එවැනි මත “මයිනස්” බවට හැරැවෙන වේගය වැඩිවෙමින් තිබේ. එය මොනම ආණ්ඩුවක් වත් බලාපොරොත්තු නොවන තත්ත්වයකි. මේ ප්ලස් - මයිනස් මතවාද ගැන ආණ්ඩුව කිසියම් හෝ ගණන් හැදීමක සිටිනවා දැයි කිව නොහැකිය. ඒ බවක් මෙතෙක් කල් පෙනෙන්නට තිබුණේ නැත. නමුත් ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයෙන් මහින්දගේ විවේචනාත්මක ප්‍රකාශයට මංගලගේ දැඩි පිළිතුර පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ගණන් පොතට අත තබා තිබෙන බවය. එහි පිටු පෙරළන බවය.

ජී.එස්.පී. ප්ලස් සහනය රටට ලැබුණු අවස්ථාවේදී ද මහින්ද ප්‍රකාශයක් කළේය. එය සවිස්තරාත්මක නොවූ කෙටි ප්‍රකාශයක් විය. ආණ්ඩුව එම ප්‍රකාශය නෙගටිව් විදියට සැළකුවත් එහෙන් මෙහෙන් මැති ඇමැතින් කිහිපදෙනකු කළ ප්‍රකාශ හැර එයට ලොකු පිළිතුරක් දුන්නේ නැත. එහෙත් මෙවර තත්ත්වය ඊට වෙනස් විය. ඇමැති විෂය මාරුවට පෙර ජනමාධ්‍ය ඇමැති ධූරය දැරූ ගයන්ත කවදාවත් මතභේදකාරී අදහස් ප්‍රකාශ කිරීමට ගියේ නැත. ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අතට හසුවන හැම ගලකින්ම දමා ගසද්දීත් ගයන්ත ඒවාට උත්තර දුන්නේ කොළයක් බලාගෙන යමක් කියවීමෙන් මිස දේශපාලන වශයෙන් මහින්දලා නිරුත්තර කිරීමට නොවේ. නමුත් ජනමාධ්‍ය විෂය මංගලගේ අතට මාරුවූ පසුව තත්ත්වය වෙනස් වී තිබේ. එය හොඳින්ම ඉස්මතු වූයේ ජී.එස්.පී. ප්ලස් ගැන මහින්දගේ විවේචනයේදීය.

මහින්ද පසුගිය සති අන්තයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා යටත්වීමට සිදුවන කොන්දේසිවලින් රටට බරපතළ හානියක් සිදුවන බවය. රටේ දේශපාලනමය, නීතිමය හා ආයතනික රාමුවට අතිශය බරපතළ හානි සිදුවිය හැකි බවත් 2010 වසරේදී එකී සහනය අහෝසි වීමට ප්‍රධානතම හේතුව තම රජය රටට අහිතකර එම කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම බවත් මහින්දගේ ප්‍රකාශයේ සඳහන් විය. ඉතා දීර්ඝ නිවේදනයක් වූ එම ප්‍රකාශයේ ජී.එස්.පී. ක්‍රමය සහ ජී.එස්.පී. ප්ලස් සහන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයද සඳහන් විය. තම ආණ්ඩුව එම බදු සහනය අහෝසි වීමට ඉඩහැරියේ අපේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාද විමර්ශන පැවැත්වීම සහ වැඩි වැඩියෙන් බලතල බෙදීම වැනි රටට අතිශයින් හානිකර වියහැකි කොන්දේසිවලට එකඟ වීමට නොහැකි නිසා බවද මහින්දගේ නිවේදනයේ සඳහන් විය. යුරෝපා සංගමයෙන් කිසිදු බදු සහනයක් නොලබන අනාගතයක් සඳහා රට සූදානම් කළ යුතු බවත් ජී.එස්.පී. ප්ලස් ගැන යථාර්ථවාදී නොවන බලාපොරොත්තු ජනතාව තුළ ඇතිකිරීම නොකළ යුතු බවටත් එහි සඳහන් විය. තම රජය කාලයේත් අහෝසි නොවී තිබුණ සාමාන්‍ය සහනය වන ජී.එස්.පී. වරප්‍රසාදයද ඉක්මණටම ප්ලස් සමඟම අහෝසි වන බවද මහින්ද සඳහන් කර තිබුණේය.

ජපානයේ සිදුකළ සංචාරයට පසුව තවත් පාකිස්තාන සංචාරයක් වෙන සතියේ නියමිතව තිබියදී මහින්ද මෙවැනි ප්‍රකාශයක් හදිසියේම නිකුත් කළේ නිකම්ම විය නොහැක. රටේ තැන තැන ආගම්වාදී ගැටුම් අවුළුවා ගැනීමට ඇතැම් කණ්ඩායම් කැස කවද්දී ඒ සිදුවීම්වලට බොදුබල සේනාවේ නම ගෑවෙද්දී එසේම ඥානසාර හිමියන්ට රතු නිවේදන නිකුත් වෙද්දී ඒවා පිළිබඳව කිසිදු තැකීමකින් තොරව ජී.එස්.පී. ප්ලස් සහනය රටට මහා හානියක් බවට නිවේදනය නිකුත් කිරීම යටින් ඇති දේශපාලනය ආණ්ඩුව හඳුනාගෙන සිටින බව පෙනුණේ මංගලගේ පිළිතුරෙනි. මහින්දගේ නිවේදනයට දින දෙකකට පසුව මංගල නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ සිවු වසරක් තිස්සේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යහපාලන රජය විසින් ජී.එස්.පී. සහනය ලබාගැනීමට සමත්වීම දරාගත නොහැකිව සත්‍යය විකෘති කරන බවය.

මංගලගේ නිවේදනයද මහින්දගේ මෙන්ම ඉතා දීර්ඝ සවිස්තරාත්මක එකක් විය. තමන් ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික අනුගාමිකයකු පමණක් නොව එහි භාරකරැ යැයි කියාපාන මහින්ද රාජපක්ෂ මහතා රටේ පුරවැසියන්ට මූලික මානවහිමිකම් ප්‍රතිපත්ති, අයිතිවාසිකම් හා නිදහස දීම වෙනුවෙන් පෙනී නොසිටීම ඛේදජනක බවද මංගල කියා තිබිණි. පසුගිය පාලනය විසින් ශ්‍රී ලාංකික ජනතාව නීචයන්ගේ තත්ත්වයට ඇද දැමූ පසුබිමෙන් මිදීමට ජී.එස්.පී. සහනය ඉවහල් වන බවද නිවේදනයේ සඳහන් විය.

ජී.එස්.පී ප්ලස් පහසුකම ලබාගැනීමේදී රාජපක්ෂ මහතා අසාර්ථක වූ බවත් අතුරුදන් කිරීම් හා මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ අවස්ථා විභාග කිරීමට වධ හිංසාවෙන් ජනතාව ආරක්ෂා කිරීමට ඔහු විසින්ම පත්කරන උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් 2011 වසරේදී කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ඔහුගේ අදක්ෂ සහ උද්ධච්ඡ උපදේශකයන් ඔහු වෙත උපදෙස් ලබාදුන් බවද එහි සඳහන්ය. එය ශ්‍රී ලංකාවේ නීතිගරැක හමුදා සෙබළුන්ට කරන ලද අසාධාරණයක් බවද එහි සඳහන් විය. 2010 වසරේදී ජී.එස්.පී. සහනය රඳවාගැනීම සඳහා රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් අන්තිම තත්පරය දක්වාම උත්සාහ දැරූබව මේ රජය හොඳින් දන්නා බවද මංගලගේ නිවේදනයේ දැක්වේ. මේ නිවේදනයේ මුලින් සඳහන් වන්නේ ඔහු විසින්ම කැඳවන ලද ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව එම පරාජය පිළිගැනීමට හා දරාගැනීමට නොහැකි තත්ත්වයක පසුවන ඔහු ජනතාව රුවැටීම සඳහා බොරු ප්‍රකාශ කිරීමට පෙළඹී ඇති බවය.

මෙම නිවේදන දෙකින් වඩාත් ප්‍රහාරාත්මක වචන භාවිතා කර ඇත්තේ මංගල බව පැහැදිලිව පෙනේ. මහින්ද තමන්ගේ නිවේදනයෙන් කළේ අලුත් ජනමාධ්‍ය ඇමැතිවරයා ටෙස්ට් කිරීම සඳහා මුට්ටිය දමා බැලීමක් නම් එම මුට්ටියට මංගල දෑත බදා පහරක් එල්ල කර තිබෙන බව පැහැදිලිය. මංගලගේ නිවේදනය දේශපාලනයේදී “ඇහැට ඇහැක් - දතට දතක්” න්‍යායෙන් ලියා තිබීමෙන් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී මාධ්‍යයේ දිගහැරෙන වාග් සංග්‍රාමයක මුල් පියවර තබා ඇති බවකි. ඒ කාලයේ තමන් වෙනුවෙන් මේ ආකාරයටම විරුද්ධ පක්ෂ දේශපාලන ලොක්කන්ට වචනවලින් තඩිබෑ මංගල අද ආපසු හැරී තමන්ගේ දේශපාලන මතවාදවලට සිදුකරන තඩිබෑම මහින්දට දැනෙන්නේ කොහොමදැයි ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.

මේ අතර යහපාලන ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය ගැන ඒකාබද්ධ විපක්ෂය යළිත් දැඩි ලෙස විවේචනය කිරීම අරඹන්නේ මෙවැනි පසුබිමකය. බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පසුගිය බදාදා (14) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් කිව්වේ ඇමැති විෂයයන් වෙන්කරද්දී ලෝකයේ කිසිම රටක් නොකළ දෙයක් කළ මේ රජය සෑම අංශයකම අවුල් ජාලාවක් නිර්මාණය කර ඇති බවය. “මාස ගාණක් කෙකර ගගා ඉඳලා නිශ්චිත අමාත්‍යවරුන් කීපදෙනකුගේ අමාත්‍ය ධූර වෙනස් කළා. ජනතාවටත් පාර්ලිමේන්තුවටත් අපහාසයක් වන පරිදි අමාත්‍යවරුන් පත්කර තිබෙන බව මම වගකීමෙන් කියනවා.” යැයිද දිනේෂ් එහිදී ප්‍රකාශ කළේය. ලෝකයේ කොහේවත් මුදල් ඇමැතිකමයි ජනමාධ්‍ය ඇමැතිකමයි එකම ඇමැතිවරයාට පවරා නැතැයි ද කියූ දිනේෂ් මුදල් ඇමැති ධූරය සුවිශේෂි තනතුර බවත් එයට පූර්ණකාලය යෙදවිය යුතු බවත් සඳහන් කළේය. මේ වක්‍ර ආකාරයෙන් මංගලට ජනමාධ්‍ය විෂයය පැවැරීම ගැන ඒකාබද්ධ විපක්ෂය දක්වන අකැමැත්තදැයි එකවර කීම අපහසුය. 

කෙසේ වුවද ආණ්ඩුවට එක පැත්තකින් ප්ලස් හිමිවෙද්දී තව පැත්තකින් බරපතළ මයිනස් ලකුණුක් වැටුණේ දිගින් දිගටම ඇදීයන පළාත් පාලන ඡන්දය කල්දැමීමය. මුලින්ම කිව්වාක් මෙන් ආණ්ඩුව බිහිවුණායින් පසුව කොයිතරම් යහපත් පියවරක ගත්තත් බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව නැගුණු බරපතළ වංචා චෝදනාවත් ඉන්පසුව පුංචි ඡන්දය කල්යාමත් ආණ්ඩුවට ෆුල් මයිනස් ලකුණු විය. පුංචි ඡන්දය පැවැත්වීම මුලදිම කල්දැමුණු විට දේශපාලන විචාරකයන් ගණනාවක්ම සඳහන් කර තිබුණේ එය අඥාන තීන්දුවක් බවය. ඡන්දය ඉදිරියේදී පැවැත්වීම වඩාත් අසීරු වනු ඇති බවය. ඇත්තටම දැන් සිදුවී තිබෙන්නේද එයමය.

මේ අතර පසුගිය දිනක ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා කියා තිබුණේ පළාත් පාලන මැතිවරණය දැන් පැවැත්වීමට හැකියාවක් තිබෙන බවය. එසේ පැවැසුවද දින වකවානු ගැන කිසිදු සඳහනක් තිබුණේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් පසුගිය බ්‍රහස්පතින්දා (15) මහරගම ඇල්හේන පාරේ ම.එ.පෙ. ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකදී කියා තිබුණේ යහපාලන ආණ්ඩුවේ ඡන්ද කල්දැමීම නිසා මිලියන 15ක ජනතාවට ඡන්ද බලය අහිමි වී තිබෙන බවය. මේ ඡන්දය පැවැත්වීමට බලාපොරොත්තු වන බවට පළාත් පාලන ඇමැති මුස්තාෆා කිහිප විටක්ම ප්‍රකාශ කළත් ඔහු බලාපොරොත්තුව යන වචනයේ තේරුම පවා නොදන්නා බවටද දිනේෂ් මෙහිදී චෝදනා කළේය. මේ මැතිවරණය පැවැත්වීමට නම් පනතේ සංශෝධන 37ක් පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු බවද නමුත් ඒ සංශෝධන තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ මේ මැතිවරණය පැවැත්වීම කවදා සිදුවනු ඇතිදැයි කිවනොහැකි බවද දිනේෂ් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද දිගින් දිගටම පුංචි ඡන්දය කල්යාම පිළිබඳව ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පාර්ශවයේ අවධානය දැඩිව යොමුවී ඇති බව පෙනෙන්නට තිබේ. මුලින් පැවැත්වෙන්නේ පළාත් පාලන ඡන්දය බව අවස්ථා ගණනාවකදීම ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් ගෙන් ප්‍රකාශ විය. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා (15) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසේ පැවැති ආණ්ඩු පක්ෂයේ ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මැති ඇමැතිවරැන්ගේ සාකච්ඡාවේදී පාළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට පක්ෂය තීන්දුවක් ගත්බව දැනගන්නට තිබේ. මෙම රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට ඉඩ නොදිය යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ බවද සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක අවශ්‍යතාවද එහිදී සාකච්ඡා වී තිබේ.

මේ තීරණ සහ සාකච්ඡා කෙසේ වුවද ලබන සැප්තැම්බර් 19 වැනිදා කාලය ඉකුත්වෙන සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද පැවැත්වීමට පෙර පුංචි ඡන්දය පැවැත්විය හැකි බවට කිසිදු සහතිකයක් දිය නොහැක. මීළඟ පාර්ලිමේන්තු සභා වාරයේදී හෝ අවම වශයෙන් පළාත් පාලන පනතේ සංශෝධන ඉදිරිපත් වුවද ඒවාට විරෝධතා ඉදිරිපත් කිරීම, ඉන්පසුව සම්මත කිරීම සහ ගැසට් කිරීම ඇතුළු සෙසු අවශ්‍යතා සම්පූර්ණ වීමට අවම වශයෙන් තව මාස 3කට ආසන්න කාලයක් යනු ඇත. ඒ වන විට පළාත් සභා තුනේ ඡන්දය පැවැත්වීමට කාලය හරිය. මේ නිසා මුලින් පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බවට ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය විසින් කරන මෙවැනි ප්‍රකාශවල ගැම්මක් නැති බව ඔවුන්ට අවබෝධ නොවීම තේරැම් ගැනීම දුෂ්කරය. අපි ඡන්දය තියනවා, මුලින් තියෙන්නෙ අහවල් ඡන්දය වැනි ප්‍රකාශ තවදුරටත් මේ රටේ වලංගු ප්‍රකාශ නොවේ. ඒවා තවදුරටත් යහපාලනයට මයිනස් ලකුණු මිස ප්ලස් ලකුණු නොවන බව ආණ්ඩුවට නොදැනෙනවා නම් එය පුදුමය.

මේ අතර රටේ ඇති වී තිබෙන ආගමික නොසන්සුන්තාවද රජයේ දැඩි අවධානයට ලක් වූ කරුණක් වී තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී මේ තත්ත්වය දීර්ඝව සාකච්ඡා විය. අග්‍රාමාත්‍යවරයා විසින් ජාති - ආගම් විරෝධී වැඩට කිසිදු ඉඩක් නොදෙන බවට සිදුකළ විශේෂ ප්‍රකාශය එම සාකච්ඡාවේ ප්‍රතිඵලයකි. එවැනි සිදුවීම්වලට ආධාර සහ අනුබල දෙන වෛරී ප්‍රකාශ පතුරුවන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පොලීසිය හරහා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව එම ප්‍රකාශයේ සඳහන් විය. 

මෙවැනි ක්‍රියා සිදුකරන පිරිස කිසියම් දේශපාලන අරමුණක් හෝ එවැනි අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන පිරිසක් විය හැකි බවට සැකයක්ද පවතී. පසුගිය ජනාධිපතිවරණයට පෙර බොදුබල සේනාව සහ එයට නායකත්වය දෙන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග හේතුවෙන් මහින්දට විශාල පසුබෑමක් ඇති වූ බවත් මැතිවරණ පරාජය එහි එක් ප්‍රතිඵලයක් බවත් ඒ කාලයේම සඳහන් විය. උද්ගත වෙමින් තිබෙන තත්ත්වය කෙරෙහි රජය දැඩි ලෙස අවධානය යොමුකරන බව පැහැදිලිය. මේ රජයට ප්ලස් ලකුණු වැඩියෙන්ම හිමි වී තිබෙන ජාතීන් සහ ආගම් අතර සංහිඳියාව ඇති කිරීමට දරණ උත්සාහයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සියලු දෙනාටම දැනෙන සේ ලබාදීමත් ආපසු හැරවීමට තැත් කරන පිරිසක් මේ උසිගැන්වීම් පිටුපස සිටින බව රජය සැක කළොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත. තිබෙන මයිනස් ලකුණුවලට තවත් එකතු කරගැනීමට කිසිවකුත් කැමැති නොවනු ඇත.

හැබැයි සමහරු නම් කියන්නේ අනවශ්‍ය ආකාරයට අසීමිතව ලබා දී ඇති නිදහස හේතුවෙන් ආණ්ඩුව මේ හැම කරදරයක්ම ළඟා කරගත් බවය. එහි ඇත්ත නැත්ත ගැන දන්නවා ඇත්තේද ආණ්ඩුවමය.

ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00