2017 ජුනි 17 වන සෙනසුරාදා

ගිනිගත් ප්ලේන් එකෙන් පැනගත්තෙ නැත්නම් අාණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපය සුන්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1036

ආචාර්ය දයාන් ජයතිලක

ප්‍රකට දේශපාලන විචාරකයකු හා විදේශ කටයුතු පිළිබඳ විශේෂඥවරයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා සමඟ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, දේශපාලනික තත්ත්වයන් හා ප්‍රධාන දේශපාලන පක්ෂ මුහුණ පා සිටින අර්බුද සම්බන්ධයෙන් දේශය කළ සාකච්ඡාව. 

මේ ආණ්ඩුව බලයට එන්න කලින් දීපු ප්‍රධාන පොරොන්දුවක් තමයි ව්‍යවස්ථාව වෙනස් කර, විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාය කියා. නමුත් දැන් මේ ව්‍යවස්ථා  කතාව විශාල අවුලක් බවට පත්වෙලා තියෙනවා. මේක කොහෙන් කෙළවර වෙයිද?

මේ ආණ්ඩුව බලයට පත්වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය යන ප්‍රතිඥාව මතයි යන අදහස ප්‍රශ්නාර්ථයක්. ජනවාරි 08 වැනිදා වෙනස සිදු කිරීමට මුල්වූ පිරිස අතර මේ සම්බන්ධයෙන් තිබෙන්නේ මත දෙකයි. පළමු මතය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පොරොන්දු දුන් බව. දෙවනුව විධායක ජනාධිපති ක්‍රමයේ අත්නෝමතික බලතල හලනවාය යන මතය. එනම් අහෝසි කිරීම හා සංශෝධනය කිරීම යන මත දෙක. වඩාත්ම වැදගත් වන්නේ ඡන්දෙට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය. වරමක් ලැබුණේ මැතිවරණ ප්‍රකාශනය මත. එම ප්‍රකාශනයේ සුපැහැදිලිව තිබෙන්නේ ජනමත විචාරණයකට යන කිසිම සංශෝධනයක් නොකරනවාය, ඉන් මෙපිට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් කරනවාය කියා. සමස්තයක් ලෙස ගත්තහාම සාක්ෂිවල වැඩි බරක් තිබෙන්නේ විධායක ජනාධිපතික්‍රමයේ අත්තනෝමතික වැඩිපුර බලතල අඩුකරනවාය යන මතයටයි. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙරැණා. මම නම් හිතන්නේ එය වුවමනාවටත් වඩා කෙරැණා කියලයි. ඉන් එහාට යන්න අවශ්‍යතාවක් නැහැ.

මේ රට පාලනය කරන්නෙ තුන්දෙනෙක්

ඔබ දකින හැටියට ප්‍රධාන පක්ෂ දෙකටම එකඟ විය නොහැකි පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ යෝජනා මොනවද තියෙන්නෙ?

දැනට ඉදිරිපත්වෙලා තියෙන කෙටුම්පත් වාර්තාවේ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ සිද්ධ වෙන දේවල් හරියට සටහන් වන්නේ නැහැ.‍ පූර්ව කෙටුම්පතේ භාෂාවේ විශාල ව්‍යාජයක් තියෙනවා. පූර්ව කෙටුම්පතේ කමිටුවේ පොදුමතයක් ඇත යන යෙදුමක් යෙදී තිබෙනවා. පොදු මතයක් තියෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට තමුන්ගේ ස්ථාවරය තාමත් ලිඛිතව ඉදිරිපත් කර නෑ. ඒ මතය සැලකිල්ලට නොගෙන පොදු එකඟත්වයක් තියෙනවා කියලා කොහොමටත් කියන්න බැහැ. ප්‍රධාන පක්ෂවලට එකඟවිය නොහැකි කරුණු ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. රාජ්‍යයේ ස්වභාවය, ඒකීය රාජ්‍යයක් විය යුතුද ඒකීය යන වචනය හලා දමා හුදෙක් එක්සත් කියන වචනය භාවිත කළ යුතුද යන්න පළමුවැන්න. දෙවනුව විධායක ජනාධිපති ක්‍රමය. එක්සත් ජාතික පක්ෂය ඉතා තදින් කියා සිටිනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියා. ශ්‍රිලනිපය කියන්නේ එහෙම කරන්න වරමක් ලැබී නැතැයි කියා. ඒකාබද්ධ විපක්ෂය තුළ ඒ ගැන මත දෙකක් තිබෙන්නට පුළුවන්. දෙමළ ජාතික සන්ධානය විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි යන මතය දරනවා. ඒ ගැනත් පොදු එකඟත්වයක් නැහැ. තෙවනුව රටේ මැතිවරණ ක්‍රමය. ශ්‍රිලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක් මතයක ඉන්න බවක් පේනවා. එනම් දිනේෂ් ගුණවර්ධන කාරක සභාව මත පදනම් වූ නව සම්මිශ්‍රිත මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍යයි යනුවෙන්. නමුත් එජාපය සහ කුඩා පක්ෂ ඒ මතයේ නැති බවයි පේන්නේ. මෙහෙම ගියාම ව්‍යවස්ථාවක් හදන්නේ කොහොමද? 

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, රාජ්‍යයේ ස්වභාවය හා රාජ්‍ය ආගම සම්බන්ධයෙන් දැනටමත් උණුසුම් මත ප්‍රකාශ වෙන්න පටන්ගෙන තියෙනවා. ඒ අස්සෙ අගමැතිවරයා ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා තියෙනවා මේ අවුරුද්දේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. එතකොට අපි කොටුවෙනවා නේද?

අපි කොටුවෙලා නැහැ. සමහර නායකයෝ මානසිකව තමන්ව කොටුකරගෙන තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් රටක ව්‍යවස්ථාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නේ යටත් විජිත යුගයේ.

මුලදි මේ රජය සම්මුතිවාදී රජයක් ලෙස හැඳින්වුවා. එහෙම කිව්වට පහුගිය ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පස්සෙ විෂයයන් බෙදීම, කාර්යාල බෙදීම වගේ දේවල් නිසා ලොකු ප්‍රශ්න ඇතිවෙලා?

ඒකට හේතුව කැබිනට් සංශෝධනය විකාරරූපී ආකාරයට සිදුවුණ නිසා. මේ ආණ්ඩුවේ සම්මුතිවාදයට වඩා විසම්මුතිය තමයි වැඩියෙන්ම තියෙන්නේ. විසම්මුතියට හේතුව මේ ආණ්ඩුවේ බලකේන්ද්‍ර තුනක් තිබීම. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. එතුමියට කිසිම වරමක් නැහැ. ආණ්ඩුවේ නිල සහ නොනිල බල කේන්ද්‍ර තුනක් තියෙනවා. ඉතිං රටට සේවයක් කරන්න පුළුවන්ද? ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන්ද? 

ඔබ විදේශ කටයුතු පිළිබඳ විශේෂඥයකු විදිහට ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශයට පැවරීම ගැන මොකක්ද හිතන්නෙ?

ලොතරැයි මණ්ඩල විදේශ අමාත්‍යවරයාට කොහොමද හිමි වුණේ කියන්න නම් මම දන්නෙ නැහැ. ඒක විහිළුවක්. ඒ විෂය මාලාවේ තිබෙන්නේ ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම. මේ උපවිෂය විදේශ අමාත්‍යංශය යටතට කොහොමද රිංගුවේ? ඒ සඳහා කවුද අනුමැතිය දුන්නේ? මෙතැන තියෙන්නේ එක් අතකින් විගඩමක් සහ අනෙක් පැත්තෙන් මහා විනාශකාරි සුත්‍ර. ඉතින් අනිවාර්යයෙන්ම රටේ ප්‍රශ්න වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ.

අමාත්‍යංශ විෂයන් පැවැරීම විගඩමක්. විනාශකාරී සූත්‍රයක්

බාහිරින් බලන් ඉන්න සමහරුන්ගේ මතයක් තියෙනවා ඉක්මනින් වැඩක් කරගන්න නම් කෑගහලා සද්දෙ දාලා රණ්ඩු කරන අයට විතරයි කරගන්න පුළුවන් කියලා?

මේ ආණ්ඩුව තුළ මොකක් හරි වැඩක් කරගන්න නම් කරන්න තියෙන්නේ තානාපති කාර්යාල කිහිපයක් අල්ල ගන්න එක. අල්ල ගත්තොත් මේ ආණ්ඩුව ලව්වා ඒ වැඩේ එහෙම්ම කරගන්න පුළුවන්. මේ කැබිනට් සංශෝධනය මීට වඩා ප්‍රගතශීලි ආකාරයකටයි කරන්න ගියේ. ආණ්ඩුව මැද මාවතකට ගැනීමේ උත්සහයක් තිබුණා. කරන්නට ගිය ඒ කැබිනට් සංශෝධනය කරන්න බැරි වුණේ මේ ආණ්ඩුව විදේශ බලපෑමට නතුව තියෙන නිසා. මේ ආණ්ඩුවේ විදේශීය අයිතිකරැවෝ මැදිහත් වී ඒ සංශෝධනය කප්පාදු කළා. මේ සංශෝධනය සිදු කිරීමට තිබුණේ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය විදිහට. එහෙම පටන්ගෙන අවසානෙට වුණේ අගමැති සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සීමාවන්වලට ඒ සංශෝධනය කොටුවීම. අවසානෙට උපත ලැබුවේ මේ විකෘති කැබිනට් සංශෝධනය.

ඔබ කියන විදිහට ඒ විදේශ බලපෑම එල්ල වෙන්නෙ කොහෙන්ද? ඊට හේතුව කුමක්ද?

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව වැනි රටවල්. ඔවුන්ට නතුවෙන්න හේතුව. රට අර්ධ යටත් විජිතයක් බවට පත්ව තියෙන නිසා සහ රටේ නායකයින්ගේ මානසිකත්වය වුවමනාවට වඩා පිටතට නෙරා ගිහින් නිසා. 

ජාතික සංහිඳියාව ගැන ආණ්ඩුව බොහෝ සෙයින් උනන්දු වෙන බවක් තියෙනවා. එහෙම තියෙද්දි වාර්ගික සමගිය බිඳින්න යම් යම් කල්ලි කටයුතු කරන බවක් පේනවා නේද?

උතුරු දකුණු සංහිඳියාව ඇතිකරන්න ආණ්ඩුවේ සිතුවිල්ලක් තිබුණත් එය හරිහැටි ඉෂ්ඨ කර නෑ. උතුරු පළාත් සභාව මේ ආණ්ඩුව පත්වූවාට පසුව පළාත් සභාවකට අයිති නැති කරැණු සම්බන්ධයෙන් යෝජනා සම්මත කරගත්තා මිසක සංවර්ධන කටයුත්තක් කළේ නැහැ. ඊට එරෙහි ආණ්ඩුව වචනයක් කිව්වෙත් නැහැ. ඒ අනුව ආණ්ඩුව කරන්නේ සංහිඳියාවක් නෙවෙයි හිඳියාවක්. කොහොමත් ආණ්ඩුව ඇතුළේ සංහිඳියාවක් නැතුව උතුරෙයි දකුණෙයි කොහොම ද?

අන්තවාදී කල්ලි කණ්ඩායම් සංහිඳියාවට විශාල තර්ජනයක් කියලා හිතෙන්නෙ නැද්ද?

අන්තවාදි ප්‍රශ්නය භයානක ප්‍රශ්නයක්. සමහරුන්ගේ මතය අනුව මුස්ලිම් දේශපාලනඥයෝ විල්පත්තුව හා නැගෙනහිර පළාත්වල යම් යම් නොහොබිනා කටයුතුවල යෙදී තියෙනවා. නමුත් ඒ කිසිම තැනක ප්‍රචණ්ඩත්වයක් සිදුවී නෑ, ප්‍රචණ්ඩත්වයට විවෘතව උසු ගැන්මක් සිදුවීත් නැහැ. රවුෆ් හකීම් හරි රිෂාඩ් බදුයුදීන් හරි අසාද් සාලි හරි වැරැද්දක් කළා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ප්‍රචණ්ඩත්වය උසිගන්වන්න කාටවත් අයිතියක් තියනවා කියලා. එහෙම නමුත් මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩාකාරයට කතාකිරීමත් ප්‍රචණ්ඩත්වයට උසුගැන්වීමක් 2014න් පසු නැවත 2017ත් සිදු වෙමින් තිබෙනවා. 2014 සිදුවීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ ඇයි කියා ප්‍රශ්න කිරීමේදී ඊට එවක ආණ්ඩුවේ යම් යම් කොටස් වගකියන්න ඕනෙ කියනවා. එහෙනම් ඇයි මෙවර සිදුවීම්වලට පියවරක් ගන්න බැරි? මේ විදිහෙම සිදුවීම් නිසා තමයි අවුරැදු තිහක යුද්ධයක් ඇති වුණේ. ඒවා කළ අන්තවාදී බලවේග වැනි බලවේගයක් තමයි අද මේ කටයුතු කරන්නේ.

ඇතැමුන්ගේ මතයක් තියෙනවා මේ වගේ අවුල්සහගත තත්ත්වයන් ඇතිවෙන්නෙ ජාත්‍යන්තර බලවතුන්ගෙ මෙහෙවීමෙන් කියලා. ඔබට ඒක විශ්වාස කරන්න පුළුවන්ද?

මුස්ලිම් විරෝධි අන්තවාදි ප්‍රචණ්ඩත්වය පැන නැගුණේ ගාලු මුවදොර පිට්ටනියේ ඉතාමත් විශාල ඉතාමත් සාර්ථක විපක්ෂ රැළියක් පැවැත්වුවාට පසුව. ඒ විපක්ෂ රැළියේ කිසිවෙක් එකදු මුස්ලිම් විරෝධී වචනයක්වත් කීවේ නැහැ. විපක්ෂයක් ප්‍රබලව ඉස්සරහට එනකොට ඊට පස්සේ ඇයි මේ ආගමික අන්තවාදයක් මතුවෙන්නේ? මේක මහජනතාවගේ සටන වෙනතකට යොමුකරන්න නේද? 83ත් විපක්ෂය මතුවෙනකොට අවධානය වෙනතකොට යොමුකරන්න තමයි ආණ්ඩුව විසින් ජාතිවාදය ගෙනාවේ. අන්තිමට ආණ්ඩුවටම බැරිවුණා එය පාලනය කරන්න. අදත් මම හිතනවා එයමයි සිදු වෙන්නේ කියා. මේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට ඉන්දීය හින්දුවාදී සංවිධානවල සමීප සම්බන්ධකමක් තිබෙනවා. ඉතින් මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඒ අන්තවාදී සංවිධාන ඉන්දියාවේ ආර්ථික ආක්‍රමණයේ සහ ආර්ථික ව්‍යාප්තවාදයේ කොටසක් හැටියට අප රටේ යම් කිසි මුස්ලිම් විරෝධී අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් මතුකිරීමට කටයුතු කරනවාද යනුවෙන්.

පොදු මතයක් නැතුව කොහොමද අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ?

ඒ අස්සෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියනවා ජී.එස්.පී.+ වගේ බදු සහනවලින් මේ රටට හොඳක් වෙන්නෙ නෑ. මේ රටට හිතකර නෑ. ජාත්‍යන්තරයට බැඳී ඉන්න වෙනවා. ඒ නිසා ඒවායින් මිදී රට හදන්න ඕනෙ කියලා?

ජී.එ.එස්.පී සහනය ඇතුව හෝ නැතුව මේ ආණ්ඩුවට ආර්ථිකය නංවන්න බැහැ. නංවන්න බැරි ඊට වඩා මහා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය 1947 සිට පළමුවරට අපේ ආර්ථික චින්තනයේ විශාල නොමඟ යෑමක් විතැන්වීමක් සිද්ධ වී තියෙනවා. මේ තාක්කල් සියලු ආණ්ඩුවලට තිබුණේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ විවිධ මූලෝපායන්. නමුත් පළමු වතාවට රටේ ආර්ථික චින්තනය බවට දැන් පත්ව තියෙන්නේ අගමැතිගේ චින්තනය. එය මංගල සමරවීර ඉදිරියට ගෙන යයි. රටේ ධනපති ක්‍රමය හෝ හැදීම වෙනුව රටේ කෑලි කෑලි විකුණලා රට අලෙවි කිරීමයි ඔහුගේ ප්‍රතිපත්තිය. රටේ පිහිටීම පාවිච්චි කර ත්‍රිකුණාමලය වැනි රටේ ආර්ථිකයේ මර්මස්ථාන විකුණා දැමීම. රට අලෙවි කරන බදු දෙන ප්‍රතිපත්තියක් තමයි පළවෙනි සැරේට ලංකාවේ බිහිවෙලා තියෙන්නේ. ඒ අනුව රටක් නම් හදන්න බෑ. රටක් දන් දෙන්න පුළුවන්. 

අගෝස්තු කියන්නෙ ආණ්ඩුවට බොහෝ තීරණාත්මක මාසයක්. පක්ෂ දෙකම තනි තනිව ආණ්ඩු හදනවයි කියනවා. ඔබ හිතන විදිහට ආණ්ඩුව මෙහෙමම පවතීයිද? තනි පක්ෂයක ආණ්ඩුවක් හැදෙයිද?

මට මතක් වෙන්නේ 72 මැතිනියගේ සභාග ආණ්ඩුවේ සමසමාජ පක්ෂයට හා කොමියුනිස්ට් පක්ෂයට වුණ දේ. සභාගයෙන් ඉවත් නොවූ නිසා ඡන්ද දායකයෝ සභාගයේ ප්‍රධාන පක්ෂය වුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට වඩා දඬුවම් දුන්නෙ ඒ සභාගයේ වලිගය ලෙස සිටි කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂවලට. 77 මැතිවරණයෙන් ඒ පක්ෂ සම්පූර්ණයෙන් පිරිහී ගියා. ඒ නිසා අගෝස්තුවෙන් පස්සේ එක සුමානයක් ආණ්ඩුවත් එක්ක හිටියොත් මීළඟ පාර්ලිමේන්තු ඡන්දෙදි ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලට සිදුවෙච්ච දේ. ඒ හින්දා අගෝස්තු මාසේදී පැරෂූට් එකක් බැඳගෙන ඔය ගිනි අරං තියෙන ප්ලේන් එකෙන් ඉක්මන්ට පැනගන්න ඕනෑ. මේ ආණ්ඩුව නම් වැටෙන එක වැටෙනවා. මේවගේ සමාජ සංවේදීත්වයක් නැති යුඑන්පී ආණ්ඩුවලට තනිවාරයයි ලැබෙන්නේ.

සාකච්ඡා කළේ - සකීෆ් සාම් තන්වීරි

සේයාරුව - සුමුදු හේවාපතිරණ