2017 ජුනි 17 වන සෙනසුරාදා

තේරේසා මේගේ අකරතැබ්බය

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

විශාල ජනගහනයක් ඇති චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල්වල ආර්ථික හා සමාජීය පිබිදීම හේතුකොටගෙන බටහිර රටවල් වික්ෂිප්ත වී ඇත. මේ රටවල් අතීතයේදී බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ සූරාකෑමට ලක්වූ ඒවාය. ලෙනින් පෙන්වා දුන් පරිදි අධිරාජ්‍යයන්ගේ ආර්ථිකය නැංවීමට පාදකවූයේ ආසියානූ රටවල සම්පත් සොරා ගැනීමත්, තමන්ගේ නිමි භාණ්ඩ පෙරළා ආසියාතික ජනතාවට අලෙවි කිරීමත්ය.  අනගාරික ධර්මපාලතුමා සිය දේශනා තුළින් මේ තත්ත්වය ලෙනින්ට පෙර හෙළිදරව් කළේය. එසේ වූවද ලෙනින් ඔහුට ඉදිරියෙන් අඩියක් තබමින් මේ අනපේක්ෂිත වර්ධනය නිසා කාල් මාක්ස් විසින් ධනවාදය බිදවැටීම පිළිබඳ පලකරන ලද අනාවැකි නිරවද්‍ය නොවන බව පිළිගත්තේය.  අධිරාජ්‍යවාදය ධනවාදයේ මිතුරා බව ඔහු පැහැදිලි කළේය.

මෑත කාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයට ද ආර්ථික සාධක බලපෑවේය. ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වූයේ ගෝලීයකරණය තුළින් අමෙරිකන් කර්මාන්තවලට අලුත් රටවල්වලින් අභියෝගයක් එල්ල වන බවත්, එය වැළැක්විය යුතු බවත්ය.  එසේ කියන ගමන් ඔහු ඉන්දියාව සහ රුසියාව වෙත  ප්‍රහාර එල්ල කළේ නැත. ඔහු කෙලින්ම චෝදනා කළේ චීනයටයි. ට්‍රම්ප්ගේ මතය අනුව ජාත්‍යන්තර වෙළද ගිවිසුම් හා පරිසරය සුරක්ෂිත කිරීමේ ගිවිසුම් අමෙරිකන් නිෂ්පාදනය අඩාල කරයි. මෙය නව අමෙරිකන් ප්‍රවණතාවයකි.  බටහිර රටවල් අතීතයේ පටන් ජාත්‍යන්තර වෙළදාම සහ ගෝලීකරණය වැළඳ ගත්හ. එම සංකල්ප තුළින් ඔවූහු විදේශ වෙළද පොළවල් අල්ලා ගැනීමට සමත්වූහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ රටවල් මෙන්ම අධිරාජ්‍යයන්ට යටත්වූ රටවල් අමෙරිකාවට සුපිරි වෙළදපොළක් සැපයීය. එම ජාත්‍යන්තර වෙළඳපොළත් නිරන්තරයෙන් වැඩිවෙන දේශීය අමෙරිකන් වෙළඳපොළත්, භෞතික සම්පත් බහුල වීමත් නිසා අමෙරිකන් කර්මාන්ත හා මූල්‍ය ආයතන එම යුගයේදී මුළු ලෝකයම අල්ලා ගැනීමට තරම් සමත් වූහ. අමෙරිකන් විචාරකයින් භාවිත කරන ජනප්‍රිය පාඨයක් අනුව එකල “අමෙරිකාවේ ශත වර්ෂය” හැටියට හැඳින්විය හැකිය. පුදුමය නම් ජාත්‍යන්තර වෙළදපොළක් නැති අපේ රටේ ඇතැම් ධනපතියන් ද ට්‍රම්ප් අනුගමනය කරමින් ජාතිකත්වයේ නාමයෙන් දේශීය ආර්ථිකය වටා වැටක් බඳිමින් තම කුඩා වෙළදපොළ රැකගැනීමට රජයෙන් ඉල්ලා සිටිමයි. ඔවුන් ට්‍රම්ප්ට බැන වදිමින් ඔහුගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිති. ට්‍රම්ප් වර්ණනා කරන අමෙරිකාවේ නිෂ්පාදකයින් මෙන් ඔවුන්ට තරග කිරීමට  නොහැකිය. ඒ නොහැකියාව නිසා දේශීය පරිභෝජකයාට තමා මිලදී ගන්නා භාණ්ඩවලට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. අපේ පරිභෝජකයන් නොදන්නා කරුණක් නම් ඔවුන්ට පහසු මිලට පිටරටින් එන භාණ්ඩ ලබා ගත නොහැක්කේ ආණ්ඩුව ඒවා සඳහා නොසෑහෙන ලෙස බදු ගහන නිසා බවයි. 

මෙවැනි ආර්ථික පසුබිමක් තුළ ට්‍රම්ප් අමෙරිකාව දිනූ අයුරින්ම යුරෝපය තුළද දේශපාලන සුළි සුළඟක් හමා ගොස් තිබේ. බ්‍රිතාන්‍යයේ වත්මන් දේශපාලන තත්ත්වය විග්‍රහ කිරීමට සිදුවන්නේ ඒ අනුවයි. මීට ප්‍රථම පවත්වන ලද පාර්ලිමේන්තු ඡන්දයේ දී ඩේවිඩ් කැමරන්ගේ කොන්සර්වේටි පක්ෂය පහසු ජයක් ලබාගත්තේය. ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ ඡන්ද විස්සක පමණ වැඩි ඡන්දයක් හිමිවිය. ඒ අතර, කම්කරැ පක්ෂය කැඩී බිදී සී සී කඩ විය. දේශීයත්වය මතම බිහිවුන ස්කොට්ලන්ත ජාතිකත්ව පක්ෂය ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් හිමිකර ගත්තේය. පාර්ලිමේන්තු ක්‍රමය තුළ මෙවැනි පහසු මැතිවරණ ජයක් අත් කරගත් කැමරන්ට  ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සිදු විය. එන්න එන්නම යුරෝපීය හවුලේ නීති රීති අනුව බ්‍රිතාන්‍ය ආර්ථිකය හැසිර වීමට ඔහුට සිදු වන බව පෙනුනි. එමෙන්ම කම්කරු අතිරික්තයක් තිබියදි  බ්‍රිතාන්‍යයට යුරෝපා හවුලේ ප්‍රතිපත්තියක් වූ සංක්‍රමණිකයන් තම රටවල්වලට ගෙන්වා ගැනීමේ පිළිවෙතට අනුගත වීම සිදුවිය. බ්‍රිතාන්‍යයට මෙය සුවිශේෂි වර්ගයේ අභියෝගයක් විය. මන්දයත් ඔවුන්ගේ යටත් විජිතවල ජනතාව තම අධිරාජ්‍යයේ “මව් රටට” සංක්‍රමණය වීමට විශේෂ කැමැත්තක් දැක්වූ නිසාය. ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ ජන හිඟයක් තිබුණේය. ඔවුන්ගේ කර්මාන්ත ශාලා නඟා සිටුවීමට අවශ්‍ය කම්කරු පිරිස් දේශිය වශයෙන් සොයාගත නොහැකි විය. ඒ අනුව තුර්කි ජාතිකයින් හා ලංකාවෙන් සංක්‍රමණය වු දෙමළ ජාතිකයින් වැනි අය ඔවූහු සාදරයෙන් පිළිගත්හ. 

නවසිය අසූ ගණන්වල මම කීප විටක්ම ජර්මනියේ බර්ලින් නුවරට ගියෙමි. එහි ටේගල් නම් වු අහස් යාත්‍රා තොටු‍ෙපාළට ඇතුළු වන විටම විශාල කාමරයක් පෙනෙන්නට තිබුණි.  එය කුමක් සඳහාද? එය බර්ලින්වලට පැමිණි විදේශික සරණාගතයින් සාදරයෙන් පිළිගෙන ඔවුනට බර්ලිනයේ පදිංචි වන ලෙස ඇවිටිලි කිරීමටය. පදිංචිවීමට එකඟ වන අයට සෑහෙන පඩියක් සහිත රැකියාවකුත් නිවාස සංකීර්ණයක් තුළ නිවාසයකුත් වහාම පිරිනමන ලදී.  ඒසේ බර්ලීනයේ සුන්දර පෙදෙස්වල තුර්කි හා ද්‍රවිඩ ජාතිකයින් පදිංචි කරවන ලදී.  බර්ලින් තාප්පය බිඳී වැටුනායින් පසු නගරයේ වඩාම වටිනාකමක් ඇති භූමිය ඔවුන්ගේ ක්‍රොයිස්බර්ග් නැමැති වාසස්ථානය විය. ලංකාවේ තකතීරැ ජාතිවාදීන් විසින් 1956 දී බර්ගර් ජාතිකයින් ඔස්ට්‍රේලියාවටත් 1983 දී දමිළයන් ජර්මනියටත් එළවා ගත් නමුත් අද ඔවූහු මෙල්බර්න් හා බර්ලින්  වැනි පෙදෙස්වල සැපවත් ජීවිත ගත කරති.  ඔවුන් නිරන්තරයෙන් අපේ ජාතිවාදීන්ට තුති පිදිය යුතුය. දැන් අපි තෙරේසා මේ අගමැතිනියගේ ඛේදවාචකය දෙසට හැරෙමු. එංගලන්තය යුරෝපා හවුලෙන් මිදීමට තීරණයක් ගත්තේ ඔවුන් එමඟින් වඩාත් සාර්ථක ආර්ථිකයක් දේශීය වශයෙන් නිර්මාණය කර ගත හැකි යැයි විශ්වාස කළ බැවිනි.  එහෙත් ඔවූහු දැන් ආර්ථික හා දේශපාලනික පඹගාලක පැටලී සිටිති. එක් අතකින් මේ බ්‍රෙක්සිට් තීරණය ගැනීමේ ජනමත විචාරණය ජය ගත්තද රටේ අඩක් පමණ අය එයට විරුද්ධ වූහ. කැමති අය පවා කටුක අත්දැකීම්වලින් තොර වෙන්වීමකට කැමති බව පෙනේ.  අභ්‍යන්තර භේද නිසා තෙරේසා මේ ගේ ඉලක්ක සියල්ලම වැරදී තිබේ. වැඩි ඡන්ද 70 කින් කොන්සර්වේට් පක්ෂය ජයග්‍රහණය කරවීමට මාන බැලූ ඇයට පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයක්වත් ලබා ගැනීමට නොහැකි විය. ඒ අඩුව පිරිමැසීමට ඇයට අයර්ලන්තයේ ප්‍රොතෙස්තන්ත පක්ෂයක සහාය දිනා ගැනීමට සිදු වේ.  එහෙත් මොවුන්ගේ කොන්දේසි නිසා අයර්ලන්තයේ සාම ගිවිසුම අනතුරට ලක්වෙයිද? හිටපු කොන්සර්වේට් අගමැතිවරයෙකු වන ජෝන් මේජර් මේ ගැන අනතුරැ හැඟවීමක් දැනටමත් කර ඇත. කොයි අතින් බැලුවත් දුර්වල වී ඇති තෙරේසා මේ, අගමැතිතුමියට දේශපාලන හා ආර්ථික අභියෝග ජය ගැනීම අසීරැ වන බව පෙනේ.

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00