2017 ජුනි 17 වන සෙනසුරාදා

ගිනි නිවමු

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

ජාතිවාදී සහ ආගම්වාදී වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට වැට බැඳීම සඳහා රජය තදින්ම පියවර ගැනීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ඒකමතික තීරණයකට එළඹුණු බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබිණි. ජන වර්ගයකට ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩකාරී ලෙස සහ වෛරී සහගත ලෙස කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පොලීසිය යොදවා නීති මගින් තදින් කටයුතු කරන බවද එම ප්‍රකාශයෙන් අවධාරණය කර තිබුණේය. එවැනි ක්‍රියා සිදු කිරීමට එරෙහිව මෙසේ රජය සිය අවධානය යොමු කිරීම දුරදර්ශී පියවරක් වශයෙන් අපි දකිමු. 

කිසියම් ජන වර්ගයකට හෝ ආගමකට එරෙහිව ජනතාව උසිගැන්වීම, කුලප්පු කිරීම ඉතා පහසුය. අපේ රටට පමණක් නොව ලොවේ බොහෝ රටවලට මෙවැනි ක්‍රියා මාර්ග වහා ගිනි ගන්නා සුළු ඉන්ධන භාජනයකට ගිනි කූරක් ළං කිරීමක් වැනිය. ගින්න පහසුවෙන්ම හට ගනියි. එහෙත් එය නිවාදැමීම ඉතාම අසීරුය. එවැනි ගින්දරකින් දැවී යන්නේ තමන් ඉලක්ක කරන ස්ථානයක් හෝ පිරිසක් හෝ පමණක් නොවේ. ගිනි තබන තැනැත්තාටද බොහෝ විට ගින්දරෙන් ගැලවීමක් නැත. නමුත් අන්තගාමී ලෙස ක්‍රියා කරමින් හැසිරෙන විට මේ කිසිවක් බොහෝ දෙනාට මතක් වන්නේ නැත. එසේ මතක් නොවන පිරිසට එය මතක් කර දීම ඕනෑම රජයක වගකීමකි. 

අප එසේ කියන්නේ ජන වාර්ගික යුද්ධයකින් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ බැට කෑ අත්දැකීම් පසුබිමේ තබාගෙනය. ජනවාර්ගික ගිනි මේ රටේ ඇවිල ගියේ මහජනතාවගේ වරදින් පමණක් නොවේ. ඇතැම් පාලකයෝද එම අපරාධයේ විත්තිකරුවෝ වෙති. උතුරේ සිට දකුණ දක්වා එම කාරණාව මහ පොදු සාධකයකි. ඇතැම් දැඩි මතධාරී, අන්තගාමී දේශපාලන නායකයන්ගේ පමණක් නොව එවැනි ආගමික නායකයන්ගේද කුලප්පු කිරීම් හේතුවෙන් තැන තැන ඇවිළුණු ගිනි අවසානයේ මහ යුද්ධයක් වී මුළු රටම වෙලා ගත්තේය. එය නවත්වා ගන්නට ඉන් පසුව විවිධ දේශපාලන පමණක් නොව ආගමික නායකයන්ද සෙසු බලවත් රටවල නායකයන්ද කොතරම් උත්සාහ ගත්තත් බැරි විය. අවසානයේ මහින්ද රාජපක්ෂ රජය විසින් ප්‍රභාකරන් මරා දමා කොටි සංවිධානය විනාශ කරන තුරැ යුද්ධය මේ රටට ඉතා බරපතළ ජීවිත හා දේපොළ හානියක් සිදු කළේය. රටේ දියුණුව ආපස්සට හැරවූවේය. එවැනි අත්දැකීම් සහිත පරිසරයක වෙසෙන අපි යළිත් එවන් ගැටුමකට මුල පුරන්නේ නම් එය සමාව දිය නොහැකි වරදක් බව පුන පුනා කිව යුතුද?

ජාතිවාදී සහ ආගම්වාදී හැඟීම්, වෛරී සහගත ප්‍රකාශ සහ ක්‍රියාවන් බවට පෙරළා ගැනීමට කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් හෝ ක්‍රියා කරන්නේ නම් එය මුල් අදියරේදීම වැළැක්වීමට පියවර ගැනීම අවශ්‍යය. එය උතුරටත් දකුණටත් බස්නාහිරටත් නැගෙනහිරටත් එකසේ පොදුය. ප්‍රමාද වී පසුතැවෙනවාට වඩා අප්‍රමාදව කටයුතු කර පසුතැවීම් වළක්වාගැනීම රටේම යහපතට හේතුවකි. ඒ සඳහා තද නීති පැනවීමට අවශ්‍ය නම් එයද සිදුකළ යුතුය. රටේත් ජනතාවගේත් ආරක්ෂාවට නීති පැනවීමට කිසිවකුටත් විරැද්ධ විය නොහැක. වෛරය පතුරැවන කතාබහට තිත තැබීම බොහොමයක් අනතුරු වළක්වා ගැනීමේ මූලික පියවර බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය වුවමනා නොවේ. 

ආගම්වාදී වෛරය මුදාහැරීමේ අමිහිරි ප්‍රතිවිපාක ගැන විමසන්නට ඈත අතීතයට එබිකම් කිරීමට අවශ්‍ය නැත. මීට වසර තුනකට පමණ පෙර එනම් 2014 වසරේ අලුත්ගම සිදුවීම් විමසා බැලීම පමණක් ප්‍රමාණවත්ය. එයින් සිදු වූ ජීවිත හා දේපොළ විනාශයත් රටේ කීර්තියට, අභිමානයට සිදු වූ හානියත් සුළුපටු නොවේ. එයින් කිසිවකුට හෝ අයත් වූ ප්‍රතිලාභයක්ද නැත. එම සිදුවීම් පසුපස සිටිමින් උඩ ගෙඩි දුන් පිරිස සිදු කළේ එවකට පැවැති රජය විශාල අසීරැතාවයකට ඇද දැමීමය. අවසානයේ පැවැති රජයේ පරාජයට පවා එකී සිදුවීම් වල දැඩි බලපෑමක් තිබුණු බවද අමතක නොකළ යුතුය. රටේත් ජාතියේත් ගෞරවය පිළිබඳව අබමල් රේණුවක හෝ හැඟීමක් තිබෙන කිසිදු දේශපාලන හෝ ආගමික නායකයකු නම් නැවත එවැනි ක්‍රියාවලට කිසිම ආකාරයක රුකුලක් හෝ අනුබලයක් හෝ නොදෙන බව අපට විශ්වාසය.

මේ රටේ දිවි ගෙවන පුරවැසියන් සියලු දෙනාටම සෑම ජනවර්ගයකටම තම තමන්ගේ ජාතියේ අභිමානය රැකගෙන ජීවත්වීමේ උරුමය හිමිය. තමන් කැමැති ආගමක් ඇදහීමක් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමේ අයිතියද නිදහසද ඔවුන්ට තිබේ. තමන් අදහන එක ආගමක හෝ විශ්වාසයක රැඳී සිටිමින් සෙසු වෙනත් ආගමකට විශ්වාසයකට හෝ ජාතියකට හෝ ගැරහීමට, ඒවා අවඥාවට ලක් කිරීමට කිසිවකුටත් ඉඩක් නැත. ඒවාට කිසිම ආකාරයක රැකුලක් දීමද නොකළ යුතුය.
අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ සිංහලයකු, බෞද්ධයකු වීම අපට ආඩම්බරයක් බවය. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවද ආඩම්බර බවය. එසේ වුවද ශ්‍රී ලාංකිකයකු ලෙස තමන් සෑම ආගමකටම ගරු කරන බවද සෑම සංස්කෘතියකටම ගරු කරන බවද සඳහන් කර තිබූ අග්‍රාමාත්‍යවරයා වෙනත් සංස්කෘතීන් වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහුට සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය. 

සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට සෑම දෙනාටම හැකියාවක් තිබේ නම් මේ රටින් තවදුරටත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා ගැන නොඇසෙනු ඇත. කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ එවැනි ගැටුම් වලින් තොර රටක ජීවත් වීම මිස අතන මෙතන ගිනි තබන, එකිනෙකා කෙරෙහි වෛරය පතුරුවන රටක ජීවත් වීම නොවන බව සහතිකය. නමුත් එසේ නොවන කිහිප දෙනකුද සිටින බව අමතක නොකළ යුතුය. ඔවුන්ට කිසිදු ඉඩක් ලබා නොදීම සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ ලොකුම වගකීමය.