2017 ජුනි 03 වන සෙනසුරාදා

ගංවතුරේ මඩ හේදිල්ල

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

“පක්ෂයක් විනාශ කරන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇති.”

කැබිනට් සංශෝධනයෙන් මුදල් අමාත්‍යාංශයේ ඉඳන් විදේශ අමාත්‍යාංශයට මාරුවක් ලැබුණු රවි කරුණානායක එම පදවි මාරුවෙන් පසුව ලබාදුන් පළමු සම්මුඛ සාකච්ඡාවෙදිම පසුගිය සඳුදා (29) ලංකාදීප පුවත්පතට කියා තිබුණේ එහෙමය. තමන්ගේ විෂයය වෙනස් කිරීම වළක්වාගන්නට හැකි හැම උත්සාහයක්ම දැරූ බවට කරළිය පුරා ආරංචි පැතිර ගියත් අවසානයේ රවිගේ මුදල් ඇමැතිකම වෙනස් විය. එම වෙනසට හේතු ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණේ මුලින්ම සඳහන් කළ අදහස සමඟ තවත් අදහස් කීපයක් එක් කරමිනි. ඒවායේ මෙසේ සඳහන් විය.

“දුෂ්ඨයන්ගෙන් මාව ආරක්ෂා කරගන්න මගේ පක්ෂයේ නායකයා පුදුම සටනක් දුන්නා.”

“එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ ඊර්ෂ්‍යාවට රටට අහිතකර දේවල් නොවිය යුතුය.”

අපි දූෂණය අඩු කළේ නැහැ, නැති කළා. අපි එහෙම කළාම හැම එකටම ඇඟිලි ගහන ඇමැතිවරයකුට රිදෙන්න ඇති. ඒ රිදීමට පළිගන්න හිතෙන්න ඇති.

මෙහෙම කියපු රවි අදාළ තැනැත්තා ජාතික ලැයිස්තුවෙන් පැමිණි රට ගැන හැඟීමක් නැති පුද්ගලයකු බවටද චෝදනා කළේය. ජනතාවගේ දුක නොදන්නා මේ ඇමැතිවරයා වෙස්මුහුණු දාගෙන නටන බවත් අගමැති ආරක්ෂා කරන ස්වරූපයෙන් පෙනී සිටියත් ඔහුගෙන් සිදුවෙන්නේ තිබෙන විශ්වාසයත් නැතිවීම බවත් රවි කියා තිබිණි. පක්ෂය නැති කරන්න හදන්නෙ මෙයා තමයි යනුවෙන්ද රවි ප්‍රකාශ කර තිබිණි.

රවි කතා කරන පක්ෂය යූ.එන්.පි. මිස වෙන පක්ෂයක් නොවේ. ඔහුගේ දැඩි විවේචනයට ලක්ව සිටින්නේත් යූ.එන්.පියේම ඇමැතිවරයකු බවත් හොඳටම පැහැදිලිය. ඒ ඇමැතිවරයා කවුද යන්නත් රවි මෙතරම් ඔහු සම්බන්ධයෙන් දැඩිව විවේචන ඉදිරිපත් කරන්නේත් ඇයිද කියා හෙට අනිද්දා හෙළි කරන බව කිව්වත් එසේ නොවීමට වැඩි ඉඩකඩක් ඇත. එසේ වුවද කැබිනට් සංශෝධනය නිසා සම්මුති ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර පමණක් නොව එකම පක්ෂය තුළද දැඩි මතභේද හටගෙන තිබෙන බවට මෙය එක් උදාහරණයක් සපයයි.

මේ අතර එම කැබිනට් සංශෝධනයේදී උසස් වීමක් ලද එක් ඇමැතිවරයකු වූයේ මහින්ද අමරවීරය. ඔහුට ඇමැති පදවියට අමතරව තවත් රාජ්‍ය ඇමැති පදවියක්ද හිමි විය. එය වත්මන් ජනාධිපතිවරයාගේද අමාත්‍යාංශයක් වූ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති පදවියයි. එම ධූරයේ දිව්රුම් දීමේ උත්සවයට ජනාධිපතිවරයාද පැමිණ සිටි අතර ඔහු එතැනදී කෙටියෙන් කළ කතාවේදී මහින්ද අමරවීර තමන්ට පවරන වගකීම් ඉටුකරන දක්ෂයකු බවද ඔහු දකුණෙන් බිහිවන තවත් නායකත්වයක් බව ඉදිරියේදී සනාථ කරනු ඇති බවද සඳහන් කරමින් කළ ප්‍රකාශය ශ්‍රීලනිපය තුළ සංවාදයක් ඇති කර තිබේ. මේ ගැන කළ විමසුමකදී ඩිලාන් පෙරේරා කියා තිබුණේ ඒක හොඳයි කියාය. “අපේ පක්ෂය ඇතුළු සෑම පක්ෂයක්ම දැන් ඉන්න නායකයාට අමතරව නායකයො හදලා නැහැ. එහෙම නායකයො හදන වැඩපිළිවෙළක් තිබීම හොඳයි. ඒ අතරේ මහින්ද අමරවීර මහත්තයා වගේ නායකයෙක් හැදීම ඉතාම හොඳයි.” ඩිලාන් කියා තිබුණේය. ඩිලාන්ට මහින්ද අමරවීර නායකයකු වීම ගැටලුවක් නොවූවද පක්ෂයේ සියලු දෙනාද සිතන්නේ එසේමදැයි දැනගැනීම නම් පහසු නොවනු ඇත.

කෙසේ වුවද පසුගිය සතිය පුරාම සියලු දේශපාලන ලොකු ලොක්කන්ගේ අවධානය යොමුව තිබුණේ විපතට පත් ජනතාව දෙසටය. මෙවැනි විපතකදී බොහෝ විට ආධාර කිරීමට ඉදිරිපත් වන්නේ රටේ සෙසු ප්‍රදේශවල ජනතාව වුවද මෙවර ඇතැම් දේශපාලනඥයන් ගංවතුරටම බැස ජනතාවට පිහිටවෙනු දැකිය හැකි විය. මෙහිදී මුලින්ම පාලිත තෙවරප්පෙරුම සහ නාමල් රාජපක්ෂ කැපී පෙනුණු කාර්යයක් ඉටුකළ අතර පසුව බොහෝ දේශපාලනඥයන් ජනතාව අසලටම පැමිණ ඔවුන් ආධාර කරනු දැකිය හැකි විය. මේ අතර සිදු වූ ආපදාව හේතුවෙන් දේශපාලන පිටියේ කලාතුරකින් දැකිය හැකි සිදුවීම් සහ හමුවීම්ද දැකගත හැකි විය. ජනාධිපතිවරයා බරපතළ ලෙස හානියට පත්ව තිබූ රත්නපුර නගරයේ කටයුතු සොයා බැලීමට එහි ගිය අවස්ථාවේ ඔහුගේ දැඩි විවේචකයකු වන රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයාද මුණගැසුණේය. තම ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා කළ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා සුහදව ප්‍රතිචාර දැක්වීය. ඒ අතර රත්නපුර අයගම ප්‍රදේශයට බෙදාදීම සඳහා ආධාර ලබාදීමට ජනපති පුත් දහම් සිරිසේන මහතාද සහභාගී වී සිටියේය. ඔහු රත්නපුර නගරයේදී දුටු පවිත්‍රා වන්නිආරච්චි තම වාහනයෙන් බැස ඇවිත් දහම් සිරිසේන සමඟ කතාබස් කර ගොස් තිබිණි. එසේම කළුතර නගරයට ආධාරද රැගෙන පැමිණි පිරිසක් අතර සිටි අනුරාධ ජයරත්න නියෝජ්‍ය ඇමැතිවරයා පරිප්පු ගෝනි කර මතින් රැගෙන යනුද දැකිය හැකි විය. දැඩි විපතකදී මෙසේ සියලු දෙනාටම එක්ව කටයුතු කළ හැකි නම් රටේ ඉදිරි ගමන සඳහා එසේ එක් විය නොහැක්කේ මන්දැයි සමහරු මෙහිදී ප්‍රශ්න කළහ. එයට බොහෝ දේශපාලනඥයන්ට පැහැදිලි පිළිතුරක් නැති බව නම් කිව හැකිය.

මේ අතර සිදු වූ විපත මැද දේශපාලන කෙනෙහිලිකම්ද සිදුවිය. ගංවතුරින් දැඩිව හානි සිදුවෙද්දී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියා තිබුණේ සියලු රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ ගණන් නොගෙන තීන්දු තීරණ ගත යුතු බවය. සිදුවෙමින් තිබූ විපතේ හානිය බරපතළ වීම නිසා ඔවුන් එසේ ඉල්ලා තිබුණේ ජනතාවට වහාම පිහිටවීමට අවශ්‍ය වාතාවරණය හැදීම සඳහාය. එහෙත් රජයට එරෙහිව දැඩි විවේචනයක යෙදෙන උදය ගම්මන්පිල ප්‍රකාශයක් නිකුත් කරමින් එම නියෝගය හෑල්ලුවට ලක් කර තිබුණේය. ඔහු කියා තිබු‍ණේ එෆ්.සී.අයි.ඩියට යාමට ඉඩක් තිබෙන බැවින් රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නොතකා ක්‍රියා කිරීමේදී පරෙස්සම් විය යුතු බවය. රටේ ජනතාව සිය ගාණක් මියගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අනාථව අසරණව සිටියදී ඔවුන්ට පිහිට වීමට නීති රීති ලිහිල් කිරීම දේශපාලන වාසියකට පෙරළා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ගම්මන්පිල ඇතැම් දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ලක් විය. එය පරිණත දේශපාලනඥයකුගේ ලක්ෂණයක් නොවන බව ඔවුන්ගේ මතය විය.

ගංවතුර සහ කඳු නායයාම්වලදී පවතින රජයට ඇඟිල්ල දිගු කිරීම සාමාන්‍ය සිරිතය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාහියංගල ප්‍රදේශයේ විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණේ රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හමුවේ රජයේ ක්‍රියා කලාපය පිළිබඳව ජනතාව සෑහීමකට පත් නොවන බවය. මියගිය උදවියට පණ දිය නොහැකි වුවත් ජීවත්ව සිටින අය මියයාමට ඉඩ නොදී රැකගැනීම ආණ්ඩුවේ වගකීමක් බවද ඔහු කියා තිබුණි.
මහින්ද එසේ කියා ඉන් දින දෙකකට පසුව ජපානයේ අධිරාජයාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව ජපානයට ගියේය. යෝෂිත ඇතුළු තවත් කිහිප දෙනෙකුද එම ගමනට එක්වී සිටි අතර මහින්ද ජපානයේ දින 10ක කාලයක් ගත කිරීමට නියමිතය. හැකි ඉක්මණින් ආණ්ඩුව වෙනස් කළ යුතු බවට සැර ප්‍රකාශ කරමින් සිටි මහින්ද මෙසේ දින 10කටම රට ගියේ ඇයි කියා සමහරු විමසති.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමේදී රජයේ පාර්ශ්ව දෙක වෙන වෙනම කටයුතු කළ බවද පෙනෙන්නට තිබිණි. පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවැති මධ්‍ය සාකච්ඡාවේදී අකිල කාරියවසම් පැවැසුවේ මාධ්‍ය සංදර්ශන නොකළද රජය අවතැන් ජනතාව වෙනුවෙන් කළයුතු සියලු වගකීම් සහ යුතුකම් ඉටුකර ඇති බවය. තම රජය කටයුතු කරන ආකාරය විවේචනය කරන ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ඉලක්ක කරමින් ඔහු ප්‍රකාශ කළේ ජීවිත හානියක් වෙනුවෙන් එදා රුපියල් 15,000ක් දුන් අය යහපාලන රජය රුපියල් ලක්ෂයක් ලබාදෙන විට ඊට ඇඟිල්ල දිගු කිරීම සැබෑ විහිළුවක් බවය.

යූ.එන්.පී.ය මෙසේ කියන විට ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැසුවේ සමහර දේශපාලනඥයන් ආණ්ඩුවෙන් දෙන කෑම පැකැට්ටුව පසුපසින් යන බවත් එහෙත් ඔවුන් කළ යුත්තේ තම පෞද්ගලික වියදමින් එවැනි කර්යයන්ට සම්බන්ධවීම බවත්ය. ඔහු මේ කතාවෙන් විවේචනය කළේ කවුරුන් ඉලක්ක කරගෙනදැයි පැහැදිලි නැති නමුත් ඇතැම් දේශපාලනඥයන් ජනතාවට බෙදාදුන් පානීය වතුර බෝතල්වලට පවා බිල්පත් රජයට ඉදිරිපත් කර ඇතැයි සමහරු කියති. ආණ්ඩුවේ වියදමෙන් තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගන්නා වැඩක් හැටියට ඔවුහු මෙය හඳුන්වති. මෙම විපතේදී සහන සැලසීමේ කටයුතුවලදී හමුදාවට දේශපාලන නායකත්වය දුන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද ලක්ෂ්මන් යාපා සඳහන් කළේය. මහාචාර්ය ජී.එල්. පීරිස් මේ විපත පිළිබඳව දාන සද්දය ගැන ඩිලාන් උපහාසයෙන් කතා කළේය. කැබිනට් ප්‍රකාශකයකු වශයෙන් දයාසිරි ජයසේකර පත්කිරීම පිළිබඳව ඔහු සඳහන් කළේ සම්මුතිවාදී ආණ්ඩුවක් නිසා එහෙම පත්කළ එක හොඳ බවය. සමහර වෙලාවට රාජිත ඇමැතිතුමාට බ්රේක් නැති බවද ඔහු කීවේය.

ගංවතුර ආපදාව සමග මැති ඇමැතිවරුන්ට අලුතින් වාහන ගෙන්වීම සඳහා සම්මත කරගන්නා ලද පරිපූරක ඇස්තමේන්තුව මේ වසර අග දක්වා කල්දැමීමටද රජය තීරණයක් ගත්තේය. ඇත්ත වශයෙන්ම තීරණයක් ගත්තා නොව එය ගැනීම සඳහා උදා වූ තත්ත්වය මගින් බල කර තිබුණි. රටේ ජනතාව බොහෝ ප්‍රශ්නවලින් විශේෂයෙන්ම ආර්ථික වශයෙන් හෙම්බත් වී සිටියදී මැති ඇමැතින්ට සුපිරි වාහන ගෙන්වා ගැනීම සඳහා මුදල් පාස්කර ගැනීම ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබුණේය. මාස කිහිපයකට වරක් මෙසේ මුදල් සම්මත කර ගනිමින් මැති ඇමැතින්ට ඉතාම වටිනා වාහන ගෙන්වා ගැනීම අවශ්‍යදැයි බොහෝදෙනා ප්‍රශ්න කළහ. රජය පවසන්නේ මෙතෙක් එම වරප්‍රසාදය නොලත් මැති ඇමැතින්ට සහ උසස් පෙළේ නිලධාරීන්ට පමණක් වාහන ගෙන්වාදීමට මෙසේ මුදල් වෙන්කරවා ගන්නා බවය. යූ.එන්.පී. මාධ්‍ය හමුවේදී ඒ ගැන ඇසූ ප්‍රශ්නයකදී කියා තිබුණේ පසුගිය රජයේ මැති ඇමැතිවරුන් වාහන නිසි පරිදි බාරදුන්නා නම් අලුතින් වාහන මිලදී ගැනීම අවශ්‍ය නොවන බවය. නමුත් ඒ සඳහා කෝටි ගණන් වැයකර අති සුඛෝපභෝගී වාහනම මිලදී ගත යුතු දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. මේ ගැටලුවේදී කිහිප දෙනෙකු හැර සියලු මැති ඇමැතිවරුන් වහන්නේ එක අත්තේ බව යථාර්ථයයි.

මේ අතර ගංවතුර තත්ත්වයට කලින් වර්ධනය වෙමින් පැවැති ආගමික අසමගියකට මුලපුරන කිසියම් සංවිධාන්තමක වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී තිබුණේය. රටපුරා විවිධ ප්‍රදේශවල මුස්ලිම් ආගමික ස්ථාන සහ වෙළෙඳහල් කිහිපයකටම පහරදී තිබුණු අතර ඇතැම් ස්ථානවලට ගිනි තබා තිබිණි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ මුස්ලිම් මැති ඇමැතිවරු රජයේ අවධානය යොමුකිරීමට ක්‍රියා කළහ. රජය මේ පිළිබඳව කිසියම් පියවරක් නොගන්නේ නම් තමන් රජයට දක්වන සහාය පිළිබඳව යළිත් වරක් සිතා බලන්නට සිදුවන බවද ඔවුන් කියා තිබිණි.

මෙම ගැටලුවේදී කෙළින්ම ඇඟිල්ල දිගු වූ එක් ප්‍රධාන චරිතයක් වූයේ ගලගොඩඅත්තේ ඥානසාර  හාමුදුරුවන්ය. කාලයක් තිස්සේ නිහඬව කල් ගෙවූ ඥානසාර හාමුදුරුවන් පසුගියදා කුරුණෑගල පළාතේ රැස්වීමකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නට කළ උත්සාහයක් අතහැර දැමීමට පොලීසියට සිදුවූයේ උන්වහන්සේ ඊට දැඩිව විරෝධය පෑමත් අවට පිරිස්ද ඒ හිමියන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසාත්ය. කෙසේ වුවද ඉන්පසුව ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කෙරුණද අසනීපව රෝහල්ගතව සිටින බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වී යැයි උන්වහන්සේගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබිණි. ඥානසාර හිමියන්ට එරෙහිව පැවැත්වෙන අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගයකට මුහුණ දීම සඳහා ඒ හිමියන් උසාවියට කැඳවා තිබිණි. අසනීප තත්ත්වය නිසා නඩු විභාගය ලබන 12 වැනිදා දක්වා කල් තබනු ලැබීය.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත කුමාර විතානගේ මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත්තේ බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් කිහිප දෙනකු විසින් ඥානසාර හිමියන් ඝාතනය කර ආගම් බේදයක් ඇති කිරීමේ සැලැස්මක් ඇති බවය. ඒ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් කරුණු වාර්තා කර තිබුණේද ඥානසාර හිමියන් උසාවි කැඳවා තිබූ 31 වැනිදාමය.

කෙසේ වුවද රට තුළ තැනින් තැන සිදුවන මෙම ක්‍රියාවන් රටේ ප්‍රතිරූපයට හොඳ නැත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානයද යොමු වී තිබීම ගැන රජය සැලකිලිමත් වී සිටී. සති කිහිපයකට පෙර අමෙරිකාවද මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරන්නැයි ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබූ අතර යුරෝපා සංගමයේ තානාපතිවරුද පසුගිය බ්‍රහස්පතින්දා (01) මේ සම්බන්ධව තම නොසතුට පළ කර තිබුණේ කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මේ මාධ්‍ය හමුව සඳහා යුරෝපා රටවල් දහයක තානාපතිවරු සහභාගි වී සිටියහ. එහිදී කතා කළ අසාද් සාලි ප්‍රකාශ කර තිබුණේ මීට පෙර වෙන් වෙන්ව කටයුතු කළ රාවණා බලය, සිහල රාවය සහ බොදුබල සේනාව දැන් කාගේ හෝ උපදෙස් මත ඥානසාර හාමුදුරුවන්ගේ උපදෙස් මත ක්‍රියා කරන බවය. මෙය දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවද ඔහු කියා තිබුණේය.

ජනාධිපති කාර්යාලයේදී පසුගිය 31 වැනිදා අන්තර් ආගමික උපදේශක සභා රැස්වීම කැඳවා තිබුණේ මේ පසුබිම යටතේය. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ආගමික ගැටුම් වැළැක්වීමට සියලු ආගමික නායකයන් එකම වේදිකාවකට පැමිණිය යුතු බවය. රට තුළ මතුවන ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමත් එවැනි ගැටුම් ඇති කර ගන්නා පාර්ශ්වවලට කරුණු පැහැදිලි කරදීමේ පොදු වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු කියා තිබිණි. මෙම උපදේශක සභා රැස්වීමට සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයන් සහභාගි වී සිටි අතර මැති ඇමැති සහ රාජ්‍ය නිලධාරී පිරිසක්ද සහභාගි වී සිටියහ.

උද්ගතවෙමින් තිබෙන තත්ත්වය කෙරේ ආණ්ඩුවේ අවධානය තදින්ම යොමු වී තිබෙන බව මේ ඉහළ පෙළේ ආගමික සමුළුව කැඳවීමෙන් පෙනී යයි. ආගමික සංහිඳියාව සිතාමතා කඩාකප්පල් කර දැමීමට අර ඇඳීම යට තිබෙන දේශපාලනය හඳුනා ගැනීම මෙහිදී ඉතාම වැදගත් වනු ඇත. මෙවැනි ගැටුම් ඇති කිරීම හරහා හානියට පත්වන්නේ ආණ්ඩුවට වඩා රටේ ප්‍රතිරූපය බව බොහෝ දෙනකු තේරුම් නොගැනීම ලොකුම අවාසනාවයි.

ස්වභාවික ව්‍යසනවලට කෙසේ හෝ මුහුණ දී ගොඩ ආ හැකිය. එහෙත් මිනිසුන් විසින් ඇතිකරගන්නා ව්‍යසනවලට නම් පිළිතුරු නැත.

♦ ශශීන්ද්‍ර