2017 මැයි 27 වන සෙනසුරාදා

කඩාවැටෙන ගොඩනැගිලි

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

හිටිහැටියේ කඩා වැටෙන ගොඩනැගිලි ගැන අප මින් පෙර අසා තිබුණේ බංග්ලාදේශය වැනි රටවලිනි. නැතහොත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලිනි. නමුත් පසුගියදා එවැනි හිටි හැටියේ බිමට කඩාපාත් වූ ගොඩනැගිල්ලක් පිළිබඳව අපේ රටෙන්ද වාර්තා විය. ඈත ගමකින් දුෂ්කර පළාතකින් නොවේ. කොළඹ නගර සභා සීමාවට අයත් වැල්ලවත්තේය. නායයාම්, ගංවතුර සහ සුළි කුණාටු වැනි කාලගුණික තත්ත්වයකදී මෙවැනි කඩාවැටීම් මෙරටේදී මීට කළින් සිදුවී තිබුණද එවැනි කිසිම අයහපත් තත්ත්වයක් නොතිබියදී සිදුවූ මෙම කඩාවැටීම කාගේත් ඇස් අරවන සිද්ධියක් වීම පුදුමයක් නොවේ.

මෙරට කොළඹ නගරය ඇතුළු ඇතැම් ප්‍රධාන නගරවල සහ ඊට ආසන්න නගරවල ඉදිකෙරෙන අනවසර සහ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් පිළිබඳවත් එයින් සිදුවන සහ සිදුවිය හැකි හානි පිළිබඳවත් අපි මින් පෙර කතුවැකි ගණනාවක් ලියා ඇත්තෙමු. පසුගිය වසරේ මෙවැනිම කාලයේදී කැලණි මිටියාවතට ඇදහැළුණු මහවැසිවලින් වූ විනාශය අධික වී තිබුණේ වතුර බැස යාම අවහිර කරමින් අනවසරයෙන් ගොඩනංවා තිබූ ගෙවල් සහ ගොඩනැගිලි රාශියක් හේතුවෙනි. අපට වැස්ස, සුළඟ වැනි ස්වභාවික විපත් වළක්වා ගැනීමට හැකියාවක් නැත. එහෙත් එවැනි විපතකදී සිදුවන ආපදා අවම කර ගතහැක. එය වැළැක්වෙන්නේ මිනිසුන් අතින් සිදුවන වැරැදි හේතුවෙනි. වැල්ලවත්තේ ඛේදවාචකය එයට තවත් හොඳම උදාහරණයකි.
වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටුණේ ස්වභාවික විපතක් හේතුවෙන් නොව එහි අයිතිකරුවන් සහ ඉදිකිරීම් භාරව සිටි කොන්ත්‍රාත්කරුවන්ගේ වරදින් බව මේ වනවිට සිදුකර ඇති මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ. ගොඩනැගිල්ලේ අයිතිකරැ දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. ඔහු පසුව ඇප ලබා එළියට පැමිණෙනු ඇත. ඔහුට එරෙහිව නඩුද පැවැරෙනු ඇත. නමුත් සිද්ධිය එතැනින් අවසන් විය යුතුද? නැත. එකී සිද්ධිය හේතුවෙන් සිදුකෙරුණු මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබුණේ අදාළ ගොඩනැගිල්ල නිසි ලෙස ඉදි නොකර ඇති බවය. ඇළ කණ්ඩියක ඉදිවෙන එවැනි උස ගොඩනැගිල්ලක තිබිය යුතු ප්‍රමිතිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවය. එහි ප්‍රතිඵලය කිසිදු අයහපත් කාලගුණික තත්ත්වයක් නොතිබියදී පවා එම ගොඩනැගිල්ල බිමට කඩාපාත් වීමය.

වැල්ලවත්ත වැනි ප්‍රදේශයක මෙවැනි සත්මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී ලබාගත යුතු තත්ත්ව සහතික, පදිංචිය පිළිබඳ සහතික නිසි ලෙස ලබාගෙන නොතිබූ බව මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වලදී සොයාගෙන තිබිණි. මෙම ඉදිකිරීම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් වුවද නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණේ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව වගකීම ඇත්තේ තමන්ට නොව නාගරික සංවර්ධන අධිකාරියට බවය. ඒ කියන්නේ කොළඹ නගරයේ සිදුවන කිසිදු ගොඩනැගිල්ලක නීතියට පටහැණි ඉදිකිරීම් සම්බන්ධයෙන් කොළඹ නගර සභාවට කිසිම ආකාරයක වගකීමක් නොමැති බවද? එසේ නම් නගර සභාව සිටින්නේ වරිපනම් බදු එකතු කිරීම සඳහා පමණක්මදැයි අසන්නට අපට සිදුවෙයි. වගකීමෙන් කර ඇරීමට වඩා මින් මතුව හෝ එවැනි භයානක සිදුවීම් නොවීමට වගබලා ගැනීමේ වගකීම සියලුම රාජ්‍ය ආයතනවල යුතුකම බව අපගේ හැඟීමය. එහිදී කොළඹ නගර සභාවටද පැවැරෙන්නේ බරපතළ වගකීමකි.
නාගරික සංවර්ධන අධිකාරියද ප්‍රකාශ කර තිබුණේ මෙම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට ඉදිකර නැතිදැයි සොයා බලන බවය. එසේ නම් නිසි ප්‍රමිතියකින් තොරව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර දුන්නේ කවුද? කොළඹ සිදුවන විශාල ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව සොයාබැලීමට, ඒවායේ තත්ත්ව සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන ආයතන නැතිද? ඇළ කණ්ඩියේ අනවසරයෙන් මෙම ඉදිකිරීම සිදුවී තිබේ නම් ඒ ගැන සොයාබැලීමට කොළඹ නගර සභාවට වගකීමක් නොතිබිණිද? ප්‍රශ්න රාශියක් ඉතිරිව තිබේ. ඒවාට පිළිතුරු සොයාගැනීම පහසු නැත.

කඩාවැටුණේ එක් ගොඩනැගිල්ලක් පමණි. නමුත් මෙවැනි අනතුරුදායක ගොඩනැගිලි 2200කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරය තුළ පවතින බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. එම අමාත්‍යංශය භාර චම්පික රණවක ඇමැතිවරයා පවසන්නේ එවැනි ඉදිකිරීම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාකරවන බවය. පමා වී හෝ එවැනි පියවරක් ගැනීම යහපත් පියවරක් හැටියට අපි දකිමු. නමුත් එපමණක් ප්‍රමාණවත් නැත. මෙවැනි ප්‍රමිතියෙන් තොර, අනවසරයෙන් සිදුවන, දැඩි අවදානම් සහිත ගොඩනැගිලි ඉදිකිරීම්වලට අවසර දෙන, සහාය දක්වන, පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද අවශ්‍යය. අත යටින් සිදුවන විශාල ගනුදෙනු නොවන්නට නීති විරෝධී ඉදිකිරීම් සඳහා අවසර ගැනීමට අවකාශයක් නැත. එසේ දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන, බලපෑම් සිදුකර මෙවැනි ඉදිකිරීම්වලට අනුමැතිය ලබාදෙන පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍යය. අනාගතයේදී සිදුවිය හැකි මෙවැනි බරපතළ අනතුරු වළක්වා ගැනීමට එමගින් විශාල රුකුලක් ලැබෙනු ඇත.

වැල්ලවත්තේ කඩාවැටුණු ගොඩනැගිල්ල උත්සව ශාලාවක් බවද සිද්ධිය වන අවස්ථාවේ එතැන කිසිදු උත්සවයක් නොපැවැති බවද කියයි. එය කාගේත් වාසනාවකි. එසේ නොවන්නට මේ රටම එකම මළගෙයක් වන්නට ඉඩ තිබිණි. එසේ නොවීම ගැන ස්තූති කළ යුත්තේ නිලධාරීන්ට නොවේ. දෙවියන්ටය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00