2017 මැයි 20 වන සෙනසුරාදා

ඇමැති හෙයියම්මාරුව

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

ඇමැතිවරුන්ගේ විෂයයන් මාරුකිරීම නැතහොත් කැබිනට් සංශෝධන මේ රටට එතරම් ආගන්තුක දෙයක් නොවේ. නිතරම නොවුණත් වරින් වර එය සිදුවී තිබේ. එසේ වුවත් යහපාලන ආණ්ඩුවේ පළමු ඇමැති මාරුව තරම් කතාබහට ලක්වුණු කැබිනට් කූට්ටම ඇනිල්ලක් මින් පෙර නම් තිබුණේ නැත.

ඇමැති මාරුවක් සිදුවෙන බවට මෙතරම් කාලයක් කතාබහ පැවැති අවස්ථාවක්ද මින් පෙර නොතිබුණි. අද වෙනවා, හෙට වෙනවා, වෙසක් පෝයට කළින් වෙනවාමයි වැනි කතා බොහොමයක් අසන්නට ලැබුණි. වෙනෙකක් තබා ඇමැති මාරුව සිදුනොකර මීළඟ කැබිනට්ටුව රැස් නොකරන බවට වූ කතාවක්ද පැතිරුණේය. අවසානයේ කියැවුණේ පසුගිය සතියේ සිකුරාදා (19) දහවල් වරුවේ එය සිදුවනු ඇතැයි කියාය. නමුත් එදින අගමැති රනිල් සිටියේ කොළඹින් බැහැරව උතුරේ නිල සංචාරයක යෙදෙමිනි. අගමැතිවරයා නැතිව කැබිනට් සංශෝධනයක් සිදු නොවන නිසා එම කතාවද බොරු විය. දැන් පැවැසෙන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනය හෙටට (22) කල්දමා තිබෙන බවය. එයට ජ්‍යොතිෂමය උපදෙස් බලපා ඇති බවක්ද සමහරු කියති. ඒ අනුව හෙට (22) උදෑසන 10.28ට යෙදෙන සුබ මොහොතින් ඇමැති මාරැව සිදුවන බව සඳහන්ය.

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර එකඟත්වයක් ඇතිවී තිබෙන බවත් අගමැතිගේ චීන සංචාරය අවසන් වූ පසුව එය සිදුකෙරෙනු ඇති බවත් පැවැසුණද එසේ වූයේ නැත. විශේෂ හේතුවක් නොදන්වා අගමැති තම චීන සංචාරය දින දෙකකින් පමණ කෙටිකර ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමද සිකුරාදා (19) ඇමැති සංශෝධනය සිදුකෙරෙනු ඇති බවට විශ්වාසයක් ඇතිවීමට හේතු වී තිබිණි. බ්‍රහස්පතින්දා (18) සහ සිකුරාදා (19) දෙදිනම බොහොමයක් වගකිව යුතු ඇමැතිවරුන්ගේ මොබයිල් ෆෝන් “ගොළු” වී තිබීමද එම කතාවට උත්තේජනයක් සැපයුවේය. එහෙත් සිකුරාදා සවස් වනතුරුම ඇමැති මාරැවක් ගැන කතාවක් තිබුණේ නැත.

මේ නිසා ඇමැති මණ්ඩල සංශෝධනය කවදාවත් සිදු නොවනු ඇති බවට කතාවක්ද තිරය පසුපසින් ඇසෙන්නට තිබුණේය. නමුත් ජනාධිපතිවරයා ඇමැති මාරුව සම්බන්ධයෙන් පසුගිය සතියේ (14) ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කර තිබුණි. වෙසක් පෝයට කළින් සිදුවන බව කියූ කැබිනට් සංශෝධනය සිදුවන බවත් තවම පෙනෙන්නට නැත්තේ මන්දැයි නැගුණු ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මෙසේ විය.

“පේන්න නැතිවුණාට එය ඉතා ඉක්මණින් සිදුවේවි. ඒ නිසා ඒකට කවුරුත් කලබලවෙන්න උවමනා නැහැ. එය ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා.”

ඒ කියන්නේ තව දින කීපයකින් විතරදැයි විමසීමේදී ජනාධිපතිවරයා කියා තිබුණේ. “ඒක තමයි මම කියන්නෙ කලබල වෙන්නෙ නැතුව ඉන්න කියලා. තවම සඳ අවරට ගියේ නැහැනේ. තවම වෙසක් සඳ හොඳට පායලා තියෙන්නෙ.”

ජනාධිපතිවරයා ඇමැති මාරුව පිළිබඳව එසේ විශ්වාසයෙන් කතාකළද අගමැතිවරයා තවමත් ඇමැති මණ්ඩල සංශෝධනයක් පිළිබඳව කිසි තැනක කතා කර නැත. අදහසක් ප්‍රකාශ කරන්නේද නැත. මාරුවෙන ඇමැතිවරුන්ගේ විෂයයන් සම්බන්ධයෙන් ජනපති සහ අගමැති දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවද එකඟතා ඇති කරගත් බවද ප්‍රකාශ වුවත් තිරය පිටුපසින් ඇසෙන්නේ වෙනම කතාවකි. ඇමැති මාරුවක් පිළිබඳව සිදුවූ මුල්ම කතාබහේදීම නම සඳහන් වූ ප්‍රබල ඇමැතිවරයකු කිසිදු ආකාරයකින් තමන්ගේ විෂයය වෙනස් කරනවාට විරුද්ධත්වය දැඩි ලෙස ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ. ඔහු තමන් වෙනුවෙන් හඬ නැගීමට වෙනම මන්ත්‍රී කණ්ඩායමකගේ “විශේෂ අනුග්‍රහය” ලබාගෙන ඇති බවද කියති. ඇමැති මාරුවක් සිදුවුණොත් යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රීන්ගෙන් කැරැල්ලක් මතුවනු ඇතැයි යන කතාවද ඔහුගේ නිර්මාණයක් බවද කියති. 

ඇමැති මාරුව සමග යූ.එන්.පී. තුළ “ආණ්ඩුවට” එරෙහිව කුණාටුවක් ඇතිවීමේ ලකුණුද පෙනෙන බව පැහැදිලිය. කුණාටුවකට පෙර සිදුවන අකුණු ගැසීම් සහ ගෙරවීම් යූ.එන්.පී.ය ඇතුළෙන්ම ඇහෙන්නට පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ ඒ හේතුව නිසා විය හැකිය. ඇමැති මාරුව පිළිබඳව යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර එකඟත්වයක් නැති බවට පවතින මතවාද ගැනද ජනාධිපතිවරයා කියා තිබුණේ තමාත් අගමැතිවරයාත් මෙන්ම දෙපාර්ශ්වයේම පක්ෂ වශයෙන් සිටින අයද ඇමැති ධූර සංශෝධනයකට එකඟව සිටින බවය. කැබිනට් සංශෝධනය හැමදෙනාගේම පොදු මතයක් බවද සඳහන් කර තිබූ ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල සංශෝධන අලුත් දෙයක් නොවන බවත් කියා තිබුණි. නවසිය හතළිස් හතේ සිටම සිදුවන ඇමැති මාරැව සාමාන්‍ය දෙයක් බවද ඔහු සඳහන් කර තිබුණේය.

ජනාධිපතිවරයා එසේ කිව්වද අගමැතිවරයා පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී හෝ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෝ ඇමැති ධුර වෙනසක් ගැන කිසිම අදහසක් පළකර තිබුණේ නැත.

හෙට දවස (22) උදාවන්නේ මේ වාතාවරණය යටතේය. සමහර දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ ආණ්ඩුව ඇමැති මාරු කතාව සමඟ “ගෙදර ගියොත් අඹු නසී: මඟ හිටියොත් තෝ නසී” තත්ත්වයට මුහුණ දී සිටින බවය. 
ඇමැති මාරුවක් ගැන කතාව මුලින් පැන නැගුණේ යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය විසින් ආර්ථිකය සම්බන්ධව තනි මතයක සිට තීන්දු ගන්නා බවට ශ්‍රීලනිප ඇමැතින්ගෙන් නැගෙන චෝදනා සමගිනි. ඔවුන් එළිපිටම ඒ ගැන මත දැක්වීමෙන් නොනැවතී රජය ඉන්දියාව සහ චීනය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ ගිවිසුම්වලට සහාය දීමෙන් වැළකී සිටින බව පැහැදිලිව විය. ඔවුන් යූ.එන්.පී.යට එරෙහිව ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවලදී පවා පහර දුන්නේ කිසියම් බලවත් හස්තයක බලපෑමෙන් විය හැකි බවට කතාවක්ද ඒ දිනවල පැතිරුණේය. මුදල් ඇමැති රවි ගෙන ආ වැට් බදු පනතට ඔවුහු දැඩි ලෙස එරෙහි වූහ. බැඳුම්කර ගනුදෙනුව පසුව බැඳුම්කර වංචාවක් බවට පත්වී ජනාධිපති කොමිසමක් පත්කොට කරුණු විභාග කිරීම දක්වා සංකීර්ණ වීමට ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප මැති ඇමැතින්ගේ විරෝධයද දැඩි ලෙස හේතු විය. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පදවියෙන් ඉවත් කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වනවිට ඊට දේශපාලන හයිය ලබා දුන්නේ රජය තුළ සිටි ශ්‍රීලනිප ඇමැති කණ්ඩායමය. ඒ සඳහා ජවිපෙ මන්ත්‍රීවරුන්ද ප්‍රබල සහායක් ලබාදුන් බවද සඳහන් කළ යුතුය. මේ සියල්ල විසින් සිදුවන්නේ යහපාලන ආණ්ඩුවේ සම්මුතිය දෙදර යාම බව මේ දෙපිරිසටම දැනෙන්නේ නැත. ඊළඟ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වෙන විට සියලු ප්‍රශ්න විසඳී ඇතැයි යන සිතුවිල්ලෙන් මේ පිරිස් කටයුතු කරන බවද පෙනෙයි. ප්‍රබල ඇමැතිකම් වෙනස් වෙන කැබිනට් සංශෝධනයකට යා යුතු බවට වන හඬ ඉස්මතුවෙන්නේ මේ පසුබිමේය. එකඟත්වයකට එළඹිය නොහැකි නම් තනිවම ආණ්ඩු හදන කතාබහටද ඉඩක් පෑදී ඇත්තේද ඒ නිසාය.

කෙසේ වුවද මේ රට තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතිවිරුද්ධ ජන කොටස් වෙනුවෙන් පෙනී සිටිමින් එක කැබිනට්ටුවක හිඳ තීන්දු ගන්නට යාම කොතරම් දුෂ්කර කාර්යයක්ද යන්න දැන් මේ දෙපිරිසටම වැටහෙමින් තිබෙනවාට සැකයක් නැත. නමුත් එසේ වූ පමණින් මෙවැනි රජයක් පිහිටුවීමේ මූලික අරමුණින් බැහැරව ක්‍රියා කිරීමට මේ කිසිවකුටත් අයිතියක් නැත. ඔවුන්ට එකමුතුව රජයක් පිහිටුවා ගැනීමට සහාය ලැබුණේ මේ රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙනි. ආණ්ඩුව මේ ජනතාවට වගකිවයුතු වෙයි. ඔවුන්ගේ බලාපොරොත්තුව සහ විශ්වාසය කඩකර දැමීමට ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටම අයිතියක් නැත. අපි තනිවම ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා... අපි තනිවම යූ.එන්.පී. ආණ්ඩුවක් හදනවා යනු ජනවහරට අනුව නම් බයිලා කතාය. පාර්ලිමේන්තුව ඇතුළේ සංයුතිය දෙස බැලීමෙන් පවා තනිවම ආණ්ඩුවක් හදා ගැනීම කාටත් සිහිනයක් පමණක් බව පෙන්වා දිය හැකිය.

වත්මන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණටය. එහි ප්‍රධාන පක්ෂය වන්නේ යූ.එන්.පී.යයි. ඔවුන්ට අයත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 106කි. ඉන් 93 දෙනකු දිස්ත්‍රික් මට්ටමින් තේරී පත්ව සිටින අතර 13 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත්වූවෝ වෙති. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරුන් 95 දෙනකු සිටින අතර 83 ක් තේරී පත්වූ අය වන අතර ජාතික ලැයිස්තුවෙන් 12 දෙනෙකි. මීළඟට වැඩිම ආසන සංඛ්‍යාව ටී.එන්.ඒ. එකට වන අතර එහි මන්ත්‍රීවරු 16කි. ජවිපෙට ජාතික ලැයිස්තු ධුර 2ක් සමඟ මන්ත්‍රී ධුර 06කි. මීට අමතරව මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක්ද ඊ.පී.ඩී.පී. එකට මන්ත්‍රී ධුර 01ද අයත්ය. මේ සංයුතියට අනුව ටී.එන්.ඒ. සහ ජවිපෙ සහාය ලැබීමකින් තොරව තනිවම ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නම් යූ.එන්.පී. ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට තවත් මන්ත්‍රී ධුර අවම වශයෙන් 07ක් අවශ්‍යය. ශ්‍රීලනිප ප්‍රමුඛ එ.ජ.නි.ස.ට මන්ත්‍රී ධුර 18ක් අවශ්‍යය. මේ අනුව මැති සබයේ බහුතරය දිනාගැනීමේ මැජික් අංකය වන 113 ලබාගැනීම මේ දෙපිරිසටම පහසු නැත. ඇතුළේ ඔළු එහා මෙහා කර බලය ලබාගැනීමකින් මිස 19 වැනි ව්‍යවස්ථාවට අනුව 2020ට පෙර පාර්ලිමේන්තු බලය ලබාගැනීමට වෙනත් ක්‍රමයක්ද නැත.

තත්ත්වය මෙසේ වුවද දෙපාර්ශ්වයම ප්‍රකාශ කරන්නේ එකට බැරි නම් තමන් තනිවම යන බවය. සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා ප්‍රකාශ කර තිබුණේ යූ.එන්.පී. තවදුරටත් ශ්‍රීලනිපයේ ආර්ථික ප්‍රතිපත්ති ගණන් නොගෙන තම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ නම් දෙවරක් නොසිතා ශ්‍රීලනිප ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවය. තමන් විපක්ෂයට වී ආණ්ඩුව තනිවම කරගන්නට ඉඩදී පසුව ශ්‍රීලනිප තනි රජයක් පිහිටුවා ගැනීමට ක්‍රියාකරන බවද ඔහු කියා තිබුණි. සුසිල් බොහෝ කලක් නිහඬව සිට පසුගිය කාලයේ ලොකු හඬක් නැගුවේ ත්‍රි.මලේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට රජය සූදානම් වන බවට ආරංචි පැතිරීමත් සමඟය. මේ වැනි කතා සැලසුම් සහගත ලෙස සිදුකරන ඒවා බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසය. කතාව මෙසේ වුවද ඇමැතිවරයකු වශයෙන් දැනට භුක්ති විඳින සුපිරි වරප්‍රසාද අතහැර විපක්ෂයේ නිකම් නොම්මරයක් වීම ගිහිගෙය අතහැර යනවාටත් වඩා අමාරු බව දන්නෝ දනිති. අඩුම වශයෙන් එහෙම යන්න සූදානම් බව කියන සුසිල්ටත් ඇමැති වරප්‍රසාද නැතුව ඉන්න පුළුවන් වූයේ සුළු කලකි. ඔහු මහින්ද රාජපක්ෂට ලබාදුන් සහයෝගය අතහැර මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහාය දක්වා සිය වරප්‍රසාද යළි හිමිකරගත් බව දැන් ඉතිහාසගත කතාවකි. මේ අනුව පෙනී යන්නේ ඇමැති මාරුව කළත් නොකළත් ආණ්ඩුව ගැටලුවකට යන බවය. එසේම යූ.එන්.පී. ඇමැතිවරැන් ප්‍රමුඛ වී හදන ගිවිසුම්වලට ශ්‍රීලනිප ඇමැතින් බාල්දි පෙරළන බවය. දැන් මේ හේතුවෙන් ආණ්ඩුව ඇතුළෙන්ම විපක්ෂයක්ද බිහිවෙමින් තිබෙන බව පැහැදිලිය.

මේ සමඟ පළාත් සභාවල ඇතිවෙමින් තිබෙන බල අරගලය කෙළින්ම ශ්‍රීලනිප - ශ්‍රීලනිප ගැටුමක් බවට පත්වෙමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උතුරු මැද පළාත් සභාවේ ඇමැති මණ්ඩලය මුළුමනින්ම “රීකන්ඩිෂන් වී” තිබේ. මේ පළාත් සභාවේ ආයු කාලය තව ඇත්තේ මාස තුනක් වැනි සුළු කාලයක් පමණි. 2012 සැප්තැම්බර් මාසයේ උතුරු මැද පළාත් සභාව පිහිටුවන විට මහින්ද රාජපක්ෂ රජය රටේ ඉහළම ජනප්‍රියත්වයක සිටියේය. අද බෙදී විරසකව සිටින පිරිසටම එදා සිටියේ එකම නායකයෙකි. ඒ මහින්ද රාජපක්ෂය. නමුත් එම පළාත් සභාවට තේරී පත්ව සිටි පේෂල ජයරත්න 2015 ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී සහාය දැක්වූයේ මෛත්‍රීපාල මහතාටය. පේෂල ඒ වනවිට ශ්‍රීලනිපය අතහැර එළියට පැමිණි මෛත්‍රිපාල මහතාගේ කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටියේය. උතුරු මැද පළාත් සභාවේ බලය අල්ලා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම දරණ උත්සාහය අතරමග නැවතී ඇත්තේ එම පිරිස පේෂල සහ ජනාධිපතිවරයා අතර පවතින සම්බන්ධතාව අවතක්සේරුවට ලක්කිරීම නිසා විය හැකිය. එසේම ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායකගේ දේශපාලන බල ප්‍රදේශය අයත් වන්නේද උතුරු මැදටය. මහින්දගේ උපදෙස් පවා නොතකා හදිස්සි වෙන්නට ගොස් පස්ස බිම ඇනුණු තත්ත්වයට එස්.එම්. චන්ද්‍රසේන ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු දැන් පත්ව සිටිති. සංඛ්‍යාවෙන් ඔවුන් බහුතරය බව සැබෑය. එහෙත් උතුරු මැද පළාතේ බලය තමන් අතින් ගිලිහෙන්නට ඉඩදී ජනපතිවරයා නිකම් බලාසිටිනු ඇතැයි කිසිවකු සිතුවා නම් එය වැරදි පියවරක් බව සනාථ වී තිබේ. 

උතුරු මැද යනු ජනාධිපතිගේද දේශපාලන බලප්‍රදේශයයි. දේශපාලන තුරුම්පු හොඳ හැටි හඳුනන මහින්ද උපදෙස් දී තිබුණේ පළාත් සභාවේ බලය ඇල්ලීමට ඉක්මන් නොවී තව මාස දෙක තුනකින් එළඹෙන මැතිවරණයෙන් ජය ලබාගැනීමට කටයුතු කරන ලෙසටය. නමුත් ඒ හඬට කන්දීමට එස්.එම්. චන්ද්‍රසේනලාට ඉවසීමක් නොතිබිණි. එළඹෙන පළාත් සභා ඡන්දයේදී මේ පිල නියෝජනය කරන පිරිසට ශ්‍රීලනිපයේ නාම යෝජනා ලබාගැනීමට දැන් අවස්ථාවක් නැත. ඒ හැර ඒකාබද්ධයේ අනුරාධපුර දිස්ත්‍රික් නායකයා වන එස්.එම්. චන්ද්‍රසේන එෆ්.සී.අයි.ඩී.යටද කැඳවා පැය ගණනාවක් ප්‍රශ්න කොට තිබිණි. එය උතුරුමැද බල පෙරළියේම කොටසක්දැයි කීම අපහසුය. නමුත් ඔහුට එරෙහි චෝදනා ගණනාවක් ඉදිරියේදී විභාගයට සූදානම් කෙරෙන බවද කියයි. බලය සමඟ ගණන් හැදිය යුත්තේ ප්‍රවේශමෙනි.

පළාත් සභාවල බල පෙරළිය කුණාටුවක් බවට පත්වෙන්නේද මැයි දින රැලි ප්‍රතිඵලයක් හැටියටය. මධ්‍යම පළාත් සභාවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ඉල්ලා අස්වීම නිසා එම පළාත් සභාවේද උණුසුම් තත්ත්වයක් හටගත්තද එහි ඒකාබද්ධයට සහාය දක්වන මන්ත්‍රී පිරිසට එක්තරා ඉවසීමක් තිබෙන බව පෙනී යයි. 2013 දී පිහිටුවනු ලැබූ වත්මන් මධ්‍යම පළාත් සභාවේ මීළඟ ඡන්දය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේය. මේ නිසාත් ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිස අතර ඇතිවන බෙදීම හේතුවෙන් යූ.එන්.පී.යට අයත්වන වාසියේ බලපෑමත් නිසා ඒකාබද්ධ මන්ත්‍රී පිරිස එහිදී තරමක් නිහඬව සිටිනු පෙනේ. එය දේශපාලන වශයෙන් හොඳ තීන්දුවක් වශයෙන් සැලකිය හැකිය.
පළාත් සභා හයක ඡන්ද මේ වසරේත් ලබන වසර තුළදීත් පවත්වා අවසන් කළ යුතුය. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිටද, වයඹ, මධ්‍යම සහ උතුර 2018 වසරේ සැප්තැම්බර් වනවිටද පවත්වා අවසාන කළ යුතුය. මීට කළින් මේ පළාත් සභා ඡන්ද පැවැත්වීමේදී මහින්දගේ ආණ්ඩුව පසුබෑමකට ලක්වූයේ උතුරැ ඡන්දයේදී පමණි. ඒ හැර නැගෙනහිර බලය රැකගැනීම සඳහා මුස්ලිම් කොංග්‍රසය සමඟ එකතුවීමට සිදුවුවද සෙසු පළාත් සභා සියල්ලම කිසිදු අපහසුවකින් තොරව ජයගැනීමට මහින්දගේ රජයට හැකිවිය. බලයේ සිටින රජයකට කවදාවත් පළාත් පාලන හෝ පළාත් සභා ඡන්ද ජයගැනීම ගැටලුවක් නොවේ. ගැටලුවක් මතුවන්නේ නම් එහි අදහස රජයට ඉදිරියේදී අමාරු තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවය. මහින්දගේ රජය මේ අත්දැකීමට මුහුණ දුන්නේ ඌව පළාත් සභා ඡන්දයේදීය.

ඌව පළාත් සභා ඡන්දය පැවැත්වීම ලකුණු කපා ගැනීමක් විය හැකි බවට උපදෙස් ලැබී තිබියදීත් මහින්ද එම ඡන්දයට ගියේය. ඒ 2014 වසරේදීය. ඊට ටික කලකට පෙර පැවැති දකුණේ පළාත් සභා ඡන්දයේදී ජයගත්තත් එහිදීද ලැබුණු ඡන්ද ප්‍රතිශතයේ පැහැදිලි අඩුවක් පෙනෙන්නට තිබිණි. ඌව ඡන්දයට මහින්ද ගියේ ඒ බවත් සිතේ තබාගෙන විය යුතුය. ඔහු මහ ඇමැති අපේක්ෂක ශශින්ද්‍රගේ කැම්පේන් එක කරටම ගෙන ඌව පළාත් සභා ඡන්දය ජාතික මැතිවරණයක් තරමට පිම්බුවේය. එහි ප්‍රතිඵලය ජයග්‍රහණයකින් අවසන් වුවද ඒ තුළ ආණ්ඩුව පරාජයක එළිපත්තේ සිටින බවට පැහැදිලි සංඥාවක්ද විය. මහින්ද එම ප්‍රතිඵලය සමඟ කිසියම් තිගැස්සීමකට ලක්විය. තවත් කල් නොයවා ඉක්මණින් ජනාධිපතිවරණයට යා යුතු යැයි තීරණය කිරීමට ඌවේ ප්‍රතිඵලයද හේතුවක් වූ බවද ප්‍රකාශ විය.
ඊළඟට පැවැති ජනාධිපතිවරණයෙන් රජය පරාජය විය. පළාත් සභාවල බල පෙරළි ජාතික දේශපාලනයට ලොකු බලපෑමක් එල්ල කරන බවට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. යූ.එන්.පී.යද මේ ආකාරයට දකුණේ පළාත් සභාවේ බලය අල්ලන්නට ගොස් අවසානයේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණට පරාජය විය. හැබැයි ඒ අවස්ථා දෙකම පැවැති ආණ්ඩු දෙකේ දීර්ඝ පාලන කාලයකට පසුව සිදුවූ ඒවාය. දැන් පවතින්නේ ඊට වෙනස් ආකාරයකි. ආණ්ඩුවට තවම අවුරුදු දෙකහමාරකි. ශ්‍රීලනිපයද ඇත්තේ දෙකට කැඩිලාය. මේ වගේ වෙලාවක පළාත් සභාවක බල පෙරළිය හරහා ලබාදෙන සංඥාව කුමක්දැයි කල්තබා පැවැසීම අමාරුය.
 

♦  ශශින්ද්‍ර

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00