2017 මැයි 20 වන සෙනසුරාදා

සයිටම් ප්‍රශ්නය ගැටුමක් කළේ රජයයි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්

ත්‍රීව්‍ර වී තිබෙන සයිටම් අර්බුදයේ ප්‍රධාන කොටස්කරුවකු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සමඟ “දේශය” කළ සාකච්ඡාවයි මේ.

මාස ගණනාවක් තිස්සේ සයිටම් සටනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නායකත්වය දෙනවා. දැන් සයිටම් ප්‍රශ්නය මොන වගේ තැනක ද තියෙන්නේ?

සයිටම් අර්බුදයේ ඉතිහාසය 2009 දක්වා ඇදුණත් අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණේ ජනවාරි 30 වැනිදා. සයිටම් ආයතනයේ උපාධියලත් ශිෂ්‍යාවකට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලබාදෙන ලෙස සිවිල් අභියාචනා අධිකරණය දුන්න තීන්දුවත් සමඟයි. නමුත් වෛද්‍ය සභාව එම ශිෂ්‍යාවට ලියාපදිංචිය ලබාදිය නොහැකිය යන ස්ථාවරය දැරුවා. උසස් අධ්‍යාන ඇමැති හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය ආඥා පනත හා උසස් අධ්‍යාපන පනත වෙනුවෙන් පෙනී නොසිටීම සහ ශිෂ්‍යාවට පක්ෂග්‍රාහීව සිටීම යන හේතූන් එම ශිෂ්‍යාවට ලියාපදිංචිය දෙන ලෙස නඩු තීන්දුව ප්‍රකාශයට පත්වුණා. ඒත් සමඟ රටපුරා රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇති වුණා. එහි ප්‍රතිපලයක් ලෙස අද වනතුරු දැඩි උද්ඝෝෂණ දක්නට ලැබෙනවා. මේ සටනට අනෙකුත් වෘත්තීය සංගම් හා දේශපාලන පක්ෂවල සහයත් ලැබී තිබෙනවා. ඔවුනුත් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ වනවිට සයිටම් විරෝධය ජනරැල්ලක් බවට පත්වෙලා.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කියන්නේ ඇයි?

සිවිල් අභියාචනා අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත්වූයේ ඒ වනවිට උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා තිබුණු කරුණු මතයි. එහිදීත් ඇතැම් කරුණු වසන් කර තිබුණා. නමුත් අද වනවිට රජය සයිටම් සිසුන් ප්‍රමාණවත් පුහුණුවක් ලබා නැති බවත් ඔවුන් ලබා ඇති උපාධිය පිළිබඳ සෑහීමකට පත්විය හැකි තත්ත්වයක නැති බවත් පිළිගෙන තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ දේවල් නියාමනය කිරීමේ බලය ඇති බවත් රජය පිළිගෙන තිබෙනවා. මේ කරුණු ත්‍රිත්වය උසාවියට දන්වා තිබුණේ නම් එම ශිෂ්‍යාවට ලියාපදිංචිය ලබා නොදෙන ලෙස තීන්දුව ලැබෙන්න ඉඩ තිබුණා. කෙසේ වෙතත් ඒ ලැබුණ තීන්දුව සම්බන්ධව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පතා තිබෙන නිසා විනිශ්චය කටයුතු සිදු කිරීමට රජයේ මෙම ස්ථාවරයන් උපකාරි වේවි.

සංගමය නිතරම ආණ්ඩුවත් එක්ක ගැටුම් ඇතිකරගන්න උත්සාහ කරන බවක් පේන්න තියෙනවා.

සංගමයේ සාමාජිකයන්ගේ සුභසාධනය නිසිලෙස සැලසෙනවා නම් සහ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අප සංගමයත් සමඟ සහයෝගයෙන්  රජය කටයුතු කරනවා නම් අපට ගැටුම් ඇති කරගැනීමේ වුවමනාවක් නැහැ. එවන් තත්ත්වයක් තුළ වෘත්තීය සමිතියක් ලෙස ඕනෑම රජයක් සමඟ අප සුහදව කටයුතු කිරීමට සූදානම්. විශේෂයෙන් රාජ්‍ය විරෝධීභාවයක් හෝ රාජ්‍ය ගැතිභාවයක් සංගමය දරන්නේ නැහැ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් සංගමය රජයත් සමඟ සහයෝගයෙන් කටයුතු කළත් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හෑල්ලුවට ලක්වන තුරු රජය බලා සිටියි නම් එහිදි ගැටීමක් ඇතිවීම වැළක්විය නොහැකියි. 

සයිටම් ආයතනය මීට අවුරුදු හයකට කලින් ආරම්භ වුණා. ඒ කාලේ පැවැති ආණ්ඩුවට විරුද්ධව පොඩි පොඩි දේවල් කළත් මේ තරම් ලොකුවට විරුද්ධත්වයක් පාන්න ඔබේ සංගමය ඉදිරිපත් වුණේ නෑ?

පසුගිය ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන ලද්දේ වත්මන් ජනාධිපතිවරයා විසින්. ඔහු ඉදිරියේ මේ සටන ඉතා පහසු වූ අතර ඔහු අපේ ඉල්ලීම්වලට සවන් දුන්නා. කමිටුවක් පවා පත්කර සොයා බලා සයිටම් ආයතනය නිත්‍යනුකූල නොවන බවත් ප්‍රමිතියෙන් තොර ආයතනයක් බවත් පිළිගත්තා. නමුත් අවසනාවකට රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවීමත් සමඟ ඒ හැසිරීම උඩුයටිකුරු වුණා. සාකච්ඡාවෙන් විසඳගන්න බැරි තත්ත්වයක් ඇති වී අවසානයට ගැටුම් නිර්මාණය වුණා

මේ ගැටලුවේදී සංගමය, සංගමයේ ස්ථාවරය කියනවා. ආණ්ඩුවත් විසඳුම් ඉදිරිපත් කරනවා. සිසුන් උද්ඝෝෂණ කරනවා. නමුත් මේ අර්බුදයෙන් ජනතාව පීඩාවට පත්වෙනවා. මෙහෙම අවුලක් ඇති කරලා බොරදියේ මාළු බාන්න මාන බලන පිරිසකුත් ඉන්නවා නේද?

යම් පිරිසක් බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවාය, ආණ්ඩුව අවුල් කරන්න උත්සාහ කරනවාය යැයි රජයට බියක් ඇත්නම් එයටද විසඳුම් දිය හැක්කේද රජය විසින්මයි. ජනාධිපති කොමිසමක් පත්කර රටට පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ නිර්දේශ කළ යුතුයි. තවත් කොමිසමක් පත්කර සයිටම් ආයතනයේ මෙතක් සිදුවූ වංචා සොයා බලා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සහ සිසුන්ට කළ යුත්තේ කුමක්ද යැයි තීරණය කළ යුතුයි. එවිට පාරේ සිටින සිසුන් දේශන ශාලාවට යයි. වෘත්තීය සමිතිවලට වුවමනාවක් නෑ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න. රජය මේ දැන් කරන්නේ කොළේ වහල ගැසීමක්. රජය මේ ආකාරයට හැසිරුණොත් උද්ඝෝෂණ දිගටම පවතීවි. අපද නිහඬව ඉන්නේ නැහැ.

ආණ්ඩු විරෝධී මේ සටන මෙහෙයවන්නේ විරුද්ධවාදී දේශපාලන කණ්ඩායමක් කියලත් චෝදනාවක් තියෙනවා.

එහෙම කියන්න පුළුවන්කමක් නැහැ.

බො‍හෝ සයිටම් විරෝධී රැස්වීම්වලදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ කතා පැවැත්වුවා. සයිටම් ආරම්භ කිරීමට එදා සහාය දැක් වූ අයත් එම වේදිකාවල සිටියා.

ඒකාබද්ධ විපක්ෂය එක් කණ්ඩායමක් පමණයි. ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය, ආණ්ඩුව පත්කිරීමට සහය දුන් ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා සටනට සහය දක්වනවා. රජයට පක්ෂද විපක්ෂද යන කාරණා අපට වැදගත් නැහැ. වැදගත් අරමුණ විතරයි.

වෛද්‍ය සංගමයේ වෘත්තීය ආචාර ධර්මයක් ලෙස සෙසු වෘත්තීය සංගම් සමඟ එකතු වී සටන් කරන්නෙ නැහැ. ඒත් සයිටම් සටනේදී වෘත්තීය සංගම් 100ක් සමඟ එකතුවෙලා තියෙනවා. ඒ කියන්නේ සංගමය සම්ප්‍රදායෙන් බැහැරවෙලා නේද?

එය සම්ප්‍රදායක් නොවේ. අද මෙන්ම එදත් තීරණාත්මක අවස්ථාවල වෘත්තීය සමිති හා ප්‍රගතිශීලි බලවේග සමඟ එකතු වී තිබෙනවා. 88/89 රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සටනේ දී පවා අභයාරාමය මුල්කරමින් සංගම් ගණනාවක් සමඟ එකතුවෙන් ක්‍රියාත්මක වී තිබෙනවා.

බෝම්බ ගහලා මරාගන්න තරමට මේ ප්‍රශ්නය යන්න කලින් ප්‍රශ්නය විසඳගන්න සංගමය ඉදිරිපත්වෙන බවකුත් පේන්න නැහැ.

අපි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සයිටම් සටනේ සිටින සියලු පාර්ශවයේ එකඟත්වය ඇති ඒකාබද්ධ ලියවිල්ලක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. සයිටම් ආයතනය සිසුන් බඳවා ගැනීම නැවැත්වීම, උපාධි ප්‍රදානය නැවැත්වීම, දැනට සිටින සිසුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග සොයා බැලීමට කමිටුවක් පත් කිරීම, අවම ප්‍රමිතිය ගැසට් කිරීම යන කාරණා එහි සඳහන් කර තිබුණා. නමුත් ඒ ගැන සාකච්ඡා කිරීම නවත්වා අපිව නොසළකා හැර තනි මතයට වැඩ කළා. සාකච්ඡා කඩාකප්පල් කළේ අපි නොව රාජිත සහ කිරිඇල්ල යන ඇමැති දෙදෙනා.

එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් කියා තිබුණා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පදවියෙන් වෛද්‍ය පාදෙණිය මහතා ඉවත් විය යුතුයි කියා. එමෙන්ම ප්‍රමිතිය යන කාරණාව හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රය අකර්මණ්‍ය කරන්න අයිතියක් නැතැයි ද කියා තිබුණා. ඒ ගැන ඔබේ අදහස මොකද්ද?

විවිධ පුද්ගලයන්ට විවිධ අදහස් කියන්න පුළුවන්. එසේ කියන්නේ අතීතයේ දූෂිතයන්. විවිධ අල්ලස් ලබාගත් පුද්ගලයන්. වෛද්‍ය සභාවේ වසර ගණනාවක් නිලතල දරා තමන්ගේ වගකීම් ඉටු නොකළ ඔවුන් දැන් නින්දෙන් ඇහැරී වත්මන් සභාපතිවරයා ඉවත්විය යුතු යැයි චෝදනා කරනවා.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය මාස හතරක් තිස්සේ බලහත්කාරයෙන් නවත්වාගෙන තිබීම හා රොගීන් ප්‍රාණ ඇපයට ගැනීම යන චෝදනාවෙන් සංගමයට ගැලවෙන්න බැහැ නේද?

අහිංසක රෝගීන් බිල්ලට ගෙන තිබෙන්නේ රජය මිසක් ශිෂ්‍යයෝවත් අපිවත් නොවේ. විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමැති හා සෞඛ්‍ය ඇමැති යන දෙදෙනා රෝගීන්ගේ ජීවිත සුදුසුකම් නැති වෛද්‍යවරැ අතට දීම තමයි රෝගීන් බිල්ලට ගැනීමක් ලෙස අපි සළකන්නේ. මෙසේ දිගුකාලීනව රෝගීන් බිල්ලට දීමට එරෙහිව අපි වර්ජනය කළ යුතු වෙනවා. එසේ අපි සටන් කිරීමේදී රෝගීන් තාවකාලිකව පමණක් බිලිවෙනවා. 

සයිටම් ආයතනයේ ප්‍රමිතිය හොඳ නෑ කියලා ඔබ අනම්‍ය චෝදනාවක් එල්ල කරනවා. එතැනදි වෛද්‍ය ශිෂ්‍යයන් වශයෙන් රෝගීන් සම්බන්ධ වන ප්‍රමාණය අඩුයි කියලයි ඔබ කියන්නේ. එසේ නම් රජරට හා නැගෙනහිර වැනි විශ්වවිද්‍යාලවල සිසුන්ට ඔය කියන රෝගීන් ප්‍රමාණය හමුවෙනවද?

අනුරාධපුර රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල මෙරට තිබෙන විශාලතම රෝහල්වලින් ‍දෙකක්. ඒවායේ සිටින සියලු ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරු, රෝගීන් සංඛ්‍යාව සහ තිබෙන තාක්ෂණික පහසුකම් ප්‍රමාණයටත් වඩා අධිකයි. නමුත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අර්ධකාලීනව සේවය කරන සීමිත විශේෂඥ වෛද්‍යවරැ සංඛ්‍යාවක් සහ සීමිත රෝගීන් සංඛ්‍යවක් සිටින නිසා ප්‍රමිතිය ඉතාමත් පහළයි.

ඔය කියන ප්‍රමිතියට අනුව වෛද්‍යවරුන් බවට පත්වුණු සමහර වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපවල තිබෙන ප්‍රමිතිය ගැන ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. පහුගියදා හම්බන්තොට රෝහලේ සිදුවූ සිදුවීම එක් උදාහාරණයක්

ඕනෑම වෘත්තීයක් සම්බන්ධයෙන් නොසැලකිල්ල අත්වැරදීම් පිළිබඳ චෝදනා එල්ල වෙනවා. වෛද්‍ය සභාව පරීක්ෂණ පවත්වන්නේ, පුහුණු ලබා දෙන්නේ, විභාග දැඩි ලෙස පවත්වන්නේ, ප්‍රමිතිය ගැන මේ තරම් කතා කරන්නේ ඒවා නියාමනය කිරීමට සහ අවම කිරීමටයි. විභාග ලිහිල් කිරීම නිසා මෙවැනි  සිදුවීම් සුලබ වේවි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ ඔබ පෞද්ගලික වෛද්‍ය සේවයට විරුද්ධ නැහැ?

සංගමය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ යැයි කිසිම තැනක සඳහන් කර නැහැ. සාමාජිකයන් අතර විවිධ මත තිබෙනවා. එනිසයි අපි කියන්නේ රජය මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර විධිමත් අධ්‍යයනයක් කළ යුතුය. එම කොමිසම ඉදිරියේ ඕනෑම අයකුට සාක්ෂී දීමට කරුණු ඉදිරිපත් කිරීමට පුළුවනි. රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අවශ්‍යද යන්න එම කොමිසම තීරණය කරයි. නෙවිල් ප්‍රනාන්දු මහතාට සිහිනයක් තිබුණාට, රාජිත ඇමැතිට කැමැත්තක් තිබුණාට, එස්.බී දිසානායක ඇමැතිට වුවමනාව තිබුණට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම වැරදියි.

ඔබ මේ සටන ගෙනයන්නේ මේ රජය පෙරළලා වෙනත් රජයක් ගෙන එන න්‍යාය පත්‍රයකට අනුව කියා චෝදනාවක් එල්ල වෙනවා.

ඉතිහාසය පුරාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පක්ෂ දේශපාලනයේ නිරත වී නැහැ. රජයට පක්ෂව හෝ විපක්ෂව, රජයක් පත්කිරීමට හෝ ඉවත් කිරීමට කටයුතු කර නැහැ. මේ රජය සම්බන්ධයෙන්ද සංගමයේ ස්ථාවරය එයයි. මේ රජය රැකගන්නවත් පෙරළන්නවත් අපට වුවමනාවක් නැහැ. නමුත් එකඟ නොවන කාරණාවලදී සංගමය රජයට විරුද්ධව වැඩ කරමින් බලවේග රැස් කිරීමට පසුබට වන්නේ නැහැ. එහිදී රජය පෙරළුණත් රැකුණත් අපට කමක් නැහැ. අපේ අවසාන අරමුණ සටන ජයගැනීම පමණයි.

♦ සකීෆ් සාම් තන්වීරි
සේයාරුව I සුමුදු හේවාපතිරණ