2017 මැයි 20 වන සෙනසුරාදා

සම්මුතිවාදී ආණ්ඩු කියන්නෙ වචන ටිකක් විතරයි

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

- එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක

ඔබ මේ දිනවල නිශ්ශබ්දව සිටින්නේ නඩුවක් තියෙන නිසාද? නැත්තම් නව දේශපාලන බලාපොරොත්තුවක් හිතේ තිබෙන නිසාද?

කොහොමටත් මේ කාලේ දේශපාලන හැලහැප්පීම් ගොඩක් තිබෙන කාලයක්. මේක නොනගතේ කිව්වොත් හරි. නව දේශපාලන ප්‍රවේශයකට ප්‍රවිශ්ට වෙන්න අවස්ථාව නෙමෙයි. තව හිතන්න බොහෝ දේවල් තියෙනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මිනිස්සු හිතන තැනකට ඇවිත් තියෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නේ නව ක්‍රමයක් ගැන. ඒ නිසා මට හිතෙන්නේ ඒක බලාගෙන ඉන්න එක තමයි වටින්නේ.

දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද? පාක්ෂිකයෙක්ද?

ඇත්තටම පාක්ෂිකයෙක්. සාමාජිකයෙක් කිව්වොත් අවුරුද්දෙන් අවුරුද්දට සාමාජිකත්වය අලුත් කරන්න ඕනනේ. මම අවුරුදු තිහක් තිස් පහක් පක්ෂය සමඟ හිටිය කෙනෙක්. ඒ වගේම අවසාන මොහොත වනතෙක් දේශපාලන කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයකු හැටියට. නමුත් මම පසුගිය ජනාධිපතිවරණයේදී ගත්ත තීන්දුවත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපුවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුව. මම ඒකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ අවස්ථාවේ දී මට වාසිදායක ලෙස තීන්දුවක් ලැබුණා. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන්වත් පාක්ෂිකත්වයෙන්වත් නෙරපීමක් සිදුකරලා නෑ. කොහොම වුණත් දැනට මම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක් හැටියට පෙනී සිටිනවා.

ඡන්ද කල් දැමීම මහ මෝඩකමක්

ඔබ එජාපයෙන් අයින්වෙලා මහින්ද රාජපක්ෂ රජය සමඟ එකතු වුණා. ඊටපස්සේ අලුත් පක්ෂයක් හදාගෙන නායකයෙක් වුණා. එහෙම කරපු ඔබට හෘද සාක්ෂියට අනුව පාක්ෂිකයෙක් කියන්න පුළුවන්ද? 

මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ නෑ. පහුගිය ජනාධිපතිවරණයේදී වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් නායකයෙක් ඉදිරිපත් කළේ නෑ. ඒකට පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ගෙනාවා. ඒ වෙලාවේ පක්ෂ අභ්‍යන්තරයේ තිබ්බ ගැටුමත් එක්ක මට පොදු අපේක්ෂකයාට එකඟ වෙන්න හැකියාවක් තිබ්බේ නෑ. ඒ නිසා මෙතන තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා ලේකම් අතර ප්‍රශ්නයක්. එහිදී මම එම පක්ෂයේ සභාපතිවරයගේ පැත්ත ගත්තා. ඒකෙන් කියවෙන්නේ මම එජාපයෙන් ඉවත් වුණා කියන එක නෙමෙයි. 

ඔබේ පාක්ෂිකකම පක්ෂයට විතරක් නෙමෙයි නායකයටත් තිබ්බා කියන එක අපි පක්ෂ අභ්‍යන්තර ගැටලුවලදී දැක්කා. එහෙම හිටිය ඔබ කොහොමද පක්ෂ නායකයාට ද්‍රෝහි වුණේ?

මේ කතාව කියන්න ගියොත් දීර්ඝ කතාවක්. මම දිගු කලක් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය නායකයෙක් බලාපොරොත්තුවෙන් හිටියේ. 1994 පරාජයෙන් පස්සේ 1999 තිබ්බ ජනාධිපතිවරණයත් 2005 තිබ්බ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වුණා. ඊටපස්සේ 2010 සහ 2015 ජනාධිපතිවරණ දෙකක් ආවා. ඒ දෙකටම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ නෑ. ඒක මම දකින්නේ ලොකු අඩුවක් සහ එජාපයට සිදුකළ අවමානයක් හැටියට. කොහොම වුණත් ලේකම්වරයා හැටියට ඉන්නකොට මම උත්සාහ ගත්තෙම රනිල් වික්‍රමසිංහ මහත්තයාව අපේක්ෂකයා කරන්න. අවසානයේදී තමයි මේ වෙනස ඇතිවුණේ.

දැන් හදල තියෙන්නෙ ඇමැතින්ට සැප ගන්න ක්‍රමයක්

 

එතකොට අවුල පටන් ගත්තේ කොතනින්ද?

මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා කියලා පොරොන්දුව මත තමයි සජිත්ව එයට එක් කරගත්තේ. ඒකෙදි සජිත්ට නියෝජ්‍ය නායක තනතුරක් පවා දෙන්න වුණා. ඒ ඌව පළාත් සභා මැතිවරණයේදී. ඔන්න ඔතනදී තමයි මගේ අවුල පටන් ගන්නේ. සජිත් අවුරුදු තුනහමාරක් නායකතුමා සමඟ එජාප රැස්වීමකට ගොඩවුණේ නෑ. ඔහු වෙනම වැඩපිළිවෙළක් අරගෙන ගියා. ඒක ලොකු හිසරදයක් වුණා අපිට. ඒ නිසා ජනාධිපතිවරණය දිනන්න නම් සජිත්ගේ එකතුව අවශ්‍යයි කියන එක මම පෙන්වා දුන්නා. අන්න ඒකත් එක්ක තමයි පක්ෂ අභ්‍යන්තර ගැටුම මට විරුද්ධව පටන් ගත්තේ. ඔහුව නියෝජ්‍ය නායකයා කළා කියලා දෙතුන් දෙනෙක් විරෝධය පෑවා. ඒ සෑම දෙයක්ම ආවේ මට. ඒක තමයි මූලික හේතුව. පොදු අපේක්ෂකත්වයට මම කැමති නෑ. හැබැයි ඔහු දින්නා. ඒත් මම දැනගත්තා කවදාහරි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට අත්වන ඉරණම ගැන.

ඔබ කතා කරද්දි කියන්නේ පක්ෂයට ආදරෙයි කියලා. විපක්ෂයේ ඉන්නකොට ඔබ ඇතුළු පිරිස කිව්වේ පක්ෂය කඩන්නේ මහින්ද කියලා. පක්ෂයට ආදරේ කරපු ඔබ කොහොමද හිත හදාගෙන මහින්දව තෝරගත්තේ?

ඇත්තටම මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හරි කියලා කොයි මොහොතකවත් කියන්නේ නෑ. ඒකේ බරපතළ වැරදි තිබ්බා පමණක් නෙමෙයි. ඒ නිසාම තමයි පහුගිය කාලයේ සිවිල් සංවිධාන විරුද්ධ වන තත්ත්වයට පත්වුණේ. හැබැයි මම ඔහුට සහයෝගය දැක්වූයේ දේශපාලන ස්ථාවරයක ඉඳගෙන කියන්නේ ඔහු දින්නායින් පසුව නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන එක, හොරකම, දූෂණය, වංචාව අවම කරන එක ගැන වගේ සහතිකයක් මත තමයි ඒ තීන්දුව ගත්තේ. ඒ වගේ කවුරුවත් සුද්ධ නොකරන්නත් ඔහු මට අවසරය දුන්නා. ඒ අවස්ථාවේදී තේරුණා එතුමටත් ඒ දේවල් ගැන අදහසක් තිබ්බා කියන එක. ඒවා පොරොන්දු වෙන්න පුළුවන් නමුත් ඔහු ඒ ගැන මා සමඟ කතා කළා. ඒ නිසයි මම සහයෝගය දක්වන්න එකතු වුණේ. හැබැයි එකක් අදටත් දකුණේ ජනතාවගෙන් බහුතරයක් පිළිගෙන තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන එක පිළිගන්න ඕන.

ජනතාවගෙ නාඩි වැටෙහ විදිය ආණ්ඩුවට දැනිලා නෑ

ඔබ කියන්නේ ප්‍රතිපත්ති නිසා එකඟ වුණා කියලා. ඒත් එජාපය එදා චෝදනා කළේ මුදලට සහ ඇමැතිකම්වලට එකතු වුණා කියලා. ඇත්තටම මොනවද හම්බවුණේ?

මම සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔය චෝදනාව එජාපයේ ඉඳලා ගිය හැමෝටම සිදුකළා. නම් ගම් කියන්න ගියොත් ලැයිස්තුවක් තියෙනවා. මේක මේ දේශපාලනයේ සාමාන්‍ය සුපුරුදු චෝදනාවක්. එකක් කියන්න ඕන. මම ඒ වගේ මුදලට හෝ තනතුරුවලට ගියා නම් අද මට මේ වගේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න වෙන්නේ නෑ. හැබැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයට ඒ වෙලාවේ අවශ්‍ය වුණා මෛත්‍රීපාල මහත්තයගේ පුරප්පාඩුවට මාව පත් කරන්න. ඒ මේ කළින් සිදුකරගත්ත ගිවිසුමක් නෙමෙයි.

ඔබට හිතෙන්නේ නැද්ද මේ ගත්ත තීන්දුව නිසා දේශපාලන පාර වැරදුණා කියලා?

යම්කිසි ආකාරයක දේශපාලන පසුබෑමක් සිද්ධ වුණා. ඒක පිළිගන්න ඕන කාරණයක්. දෙවැනි එක මම එක පැත්තකින් සතුටු වෙනවා ඒ මේ යන ක්‍රමයට දායක නොවීම නිසා මගේ හිත නිදහස් කියලා. මම එක්සත් ජාතික පක්ෂයට තවම ආදරෙයි. හැබැයි මේ දේශපාලන ක්‍රමයට කැමති නෑ. මම කැමති පාක්ෂිකයන්ට සලකන, හොයන බලන, දූ දරුවන්ට රැකවරණයක් තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට.

ඒ දවස්වල ඔබ නායකතුමා ගාවට ගිහින් ෂේප් කරපු අය දැන් කතා කරනවද?

මට කතාබහ කරන යාළු මිත්‍රයොත් ඉන්නවා. අහක බලන් යන අයත් ඉන්නවා. ඒ දෙකම කියන්න ඕන. වර්තමාන සමහර ඇමැතිවරු ඉන්නවා මට කතා කරන මගේ දුක සැප අහන ඒ වගේ දුක්වෙන අය. ඒ වගේම මා ගැන බලාපොරොත්තු තියන් ඉන්න අයත් ඉන්නවා. අත දීලා ගොඩගත්ත සමහර අය ඉන්නවා අහක බලන් යන.

ඔබ පක්ෂයේ මහ ලේකම් වුණා. ඇමැති වුණා. අවසානයේ හිරේ ගියා. දැන් ගෙදර. මේවා දරාගන්න පුළුවන්ද?

දේශපාලනඥයෙක් හැටියට ඒ දේවල් දරාගන්න පුළුවන් වෙන්න ඕන. මම අවාසනාවන්ත අත්දැකීම ලැබුවේ දවස් 51ක් හිරේ හිටිය දවස් කීපයේ. ඒක දේශපාලන ප්‍රශ්නයක්. මොකද දේශපාලන වේදිකාවක් මත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉතිහාසයේ කවරදාකවත් මේ වගේ නීතිය ක්‍රියාත්මක වෙලා තියනවද? ආණ්ඩුවේ ඉන්න එක්තරා ඇමැති කෙනෙක්ට මට තියෙන චෝදනාවම තියෙනවා. නමුත් ඔහුට කිසිම පියවරක් නෑ.

19 වැනි සංශෝධනය ජනතාව ඇන්දවීමක් පමණයි

කබීර් හෂීම් ඇමැතිතුමා ඔබට කිව්වද පක්ෂ තනතුරක් බාරගන්න කියලා නැවත?

මට පසුගිය නඩු වාරයට මහාධිකරණයට ගිය අවස්ථාවේ පක්ෂයේ වර්තමාන මහ ලේකම් කබීර් හෂීම් ඇමැතිතුමාත් ඇවිල්ලා හිටියා. එතුමා ඒ වෙලාවේ කිව්වා නැවත එන්න. ඇවිත් මගේ වගකීම හරි අරගෙන කමක් නෑ, වැඩ කරන්න කියලා. මම සතුටු වෙනවා ඔහු එහෙම කිව්ව එක ගැන. අඩුම ගාණේ එතුමටවත් තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ වටිනාකම කියන එක ගැන සතුටු වෙනවා.

1993 දකුණු පළාත් සභාවේ පෙරළියත් සමඟ 1994 දී එජාපයට බලය අහිමි වෙනවා. මෑතක ඌව පළාතේ පෙරළියත් සමඟ 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණයට පාර කැපෙනවා. දැන් නැවත පළාත් සභා තුළ පෙරළියක් ඇතිවෙලා. මේක කොහොම බලපෑමක් වෙයිද?

ඇත්තටම දශක තුනක මගේ දේශපාලන අත්දැකීම් අනුව කියන්නේ මේ හමන්නේ දේශපාලන සුළි කුණාටුවක්. වරින් වර, වරින් වර දේශපාලනයේ ගමන් මාර්ගය ජනතාවට දැනෙනවා. මෙහෙමනේ, ආණ්ඩුවක් ගත්තම මිනිස්සුන්ට දැනෙන යමක් වෙන්න ඕන. නමුත් මේ ආණ්ඩුව විශාල ශක්තිමත් ආණ්ඩුවක් නෙමෙයි. ඒක තේරැම් ගන්න ඕන. ඒක හදාගන්න ඔවුන්ට ඕනතරම් වෙලාව තියෙනවා. තවම පරක්කු නෑ. ඒ නිසා ජනතාවට සිදුකළ යුතු වැඩ කොටසක් රජය හදාගන්න ඕන. දේශපාලනමය වශයෙන් පළාත් සභාවල ඇතිවෙලා තියෙන තත්ත්වය ආණ්ඩුවට දැඩි ලෙස අවාසිසහගතයි. පළාත් පාලන මැතිවරණ කල් දැමීම හරහා ආණ්ඩුව කරගත්තේ ලොකු මෝඩකමක්. මේ කාරණා මුල් කාලයේදී කළා නම් ආණ්ඩුවට දේශපාලන ශක්තිමත්භාවයක් ගන්න තිබ්බා.

ඔබ කියන්නේ සම්මුතිවාදී ආණ්ඩු ක්‍රමය රටට ගැලපෙන්නේ නැද්ද?

සම්මුතිවාදී ආණ්ඩු කියන්නේ වචන ටිකක් විතරයි. සමහර න්‍යායන් තියෙනවා න්‍යායාත්මකව හොඳයි හැබැයි ප්‍රායෝගික නෑ. කොහෙද සම්මුතිවාදී ආණ්ඩුවක් තියෙන්නේ. වරින් වර ශ්‍රීලනිප ඇමැතිවරු කියන කතා එක්ක බලද්දි එහෙම ආණ්ඩුවක් නෑ. ජාතික ආණ්ඩු සංකල්පයයි ඒ ගැන කතිකාවතයි ගමේ නෑනේ. තවම ශ්‍රීලනිපයයි, එජාපයයි අතර තියෙන වෙනස ගමේ තියෙනවා. උඩින් ඇමැතිවරු එකතුවෙලා හිටියට ගමේ පාක්ෂිකයට ඒක දැනෙන්නේ නෑ. දැන් මේ කරලා තියෙන්නේ ඇමැතිවරුන්ට සැප ගන්න ක්‍රමයක් විතරයි. මහන්සි වුණ මිනිස්සුන්ට කිසිදෙයක් නෑ. ඒ නිසා විශාල කඩාවැටීමක් ඉදිරියේ තියෙනවා.

ඉස්සර කතාවක් තියෙනවා එජාප ආණ්ඩුවක් ආවොත් අතමිට සරුවන යුගයක් කියලා. ඒ යුගය දැන් ලබලා කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම නැහැ. මේ රටේ මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂය ගැන තිබුණා. ඒකට හේතුව තමයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇතිකරපු ආර්ථික සාමාජයීය පරිවර්තන වෙනස තමයි තවමත් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ. එදා මහා විප්ලවයක් රටේ කළා. කෘෂිකර්ම විප්ලවයකුත් කළා මහවැලි ව්‍යාපාරය හරහා. ඒ නිසා හිරවෙලා තිබ්බ ආර්ථිකය වෙනස්වෙලා මිනිස්සුන්ගේ අතට සල්ලි යන්න ගත්තම මිනිස්සුන්ට දැනුණා. දැන් වර්තමානය ගත්තම මිනිස්සුන්ට, ආයෝජකයන්ට තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු වෙලා. ඒ නිසා දැඩි පීඩනයක් තියෙනවා. ඉදිරියේදී ගන්න තීන්දු තීරණ එක්ක තමයි ජනතාව තීරණය ගන්නේ.

ජී.එස්.පී. ප්ලස් ලබාගැනීම ආණ්ඩුවේ ජයග්‍රහණයක්

ඔබතුමාට පේන හැටියට ආණ්ඩුවට වැරදිලා තියෙන්නේ කොතැනද?

මූලික දේ තමයි මිනිස්සුන්ගේ වුවමනා සහ හැඟීම් පිළිබඳව ආණ්ඩුවේ නායකයන්ට දැනෙන්නේ නෑ. එහෙම දැනෙනවා නම් කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට අනුව ආණ්ඩුව වෙනස් වෙන එක. එහෙම දෙයක් වෙන්නේ නෑනේ. ඊළඟ කාරණය තමයි තමන් බලයට පත්කරන්න උරදීපු මිනිස්සු අමතක කිරීම. ඒක ලෙහෙසි පහසු වරදක් නෙමෙයි. තුන්වන කාරණය මේ ආණ්ඩුව ඉදිරිය ගැන හිතන ආර්ථික දර්ශකය වෙනස්. රටේ දේවල් විකුණලා දාලා රටක් ගොඩගන්න හිතනවා නම් ඒකත් වැරදියි. මම කියන්නේ නෑ, කරන්න බැරි හැමදේම බාරගෙන කරන එක හරි කියලා. ඒත් මෙහෙම ගියොත් රට බංකොළොත් වෙච්ච වලව්වක් බවට පත්වෙයි.

ඔබ එහෙම චෝදනා කළාට මේ ආණ්ඩුව විශාල කටයුත්තක් සිදුකරලා තියෙනවා. 19 වැනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමම මදිද?

19 ගැන හොඳ නරක දෙකම කතා කරන්න පුළුවන්. හැබැයි 19න් මිනිස්සු ඇන්දුවා කියන එකයි මට තේරෙන්නේ. එකක් කිව්වා ස්වාධීන කොමිසන් සභා ඇති කළා කියලා. දෙවනුව කියන්න ගත්තා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කළා කියලා. හරි දැන් කියන්න 19යෙන් ස්වාධීන කොමිසන් සභා පිහිටුවා ඇත්නම් ඇයි මැතිවරණ ප්‍රමාද වෙන්නේ. මැතිවරණ කියන්නේ ජනතා අයිතියක්. ඒක ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා නම් කොමිසමට බලතල තියෙන්න ඕන ස්වාධීන තීන්දු තීරණ ගන්න. අධිකරණ සේවා කොමිසමට තියෙනවාද? නෑනේ. විනිසුරුවරුන් තවමත් පත් කරන්නේ ජනාධිපතිගේ නිර්දේශ මතනේ. ව්‍යවස්ථාදායක සභාව ගත්තමත් එහෙමයි. එයාලා පත් කරන්නෙත් තමන්ට කැමති අයනේ. ජනාධිපති මහජනයාට වගකියන්න ඕන කියන කතාවත් අමු අමුවේ බොරුවක්. 

ඒත් ගිය ආණ්ඩුවට ගන්න බැරිවුණු ජී.එස්.පී. ප්ලස් සහනය කොහොම හරි ගත්තනේ මේ ආණ්ඩුව?

ඇත්තටම ඒක ලැබීම හොඳයි. ඒක කර්මාන්ත ව්‍යාපාරවල තරගකාරී වෙළෙඳපොළට ප්‍රවිශ්ට වීමේ සහනයක් තියෙනවා. ඒකේ අනික් පැත්ත තමයි මේ ලැබීම හරහා මිනිස්සුන්ට සැප ලැබෙයි කියලා හිතනවා නම් එහෙම දෙයක් වෙන්නේ නෑ.

ඔබ හිතන්නේ මොකක්ද දැන් එජාපය කළ යුත්තේ කියලා?

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පිරිස් විශාල කලකිරීමකට පත්වෙලා ඉන්නේ. ආණ්ඩුවේ නායකයන් ඒක පිළිගන්න සූදානම් නෑ. හැබැයි මැති ඇමැතිවරු මන්ත්‍රීවරු කතා කරනකොට කියනවා, මට දවසකට අඩුම ගාණේ මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් කතා කරනවා. ඔවුන්ගේ හැඟීම් තේරෙනවා. තවමත් පරණ විදියට දුක්ගැනැවිලි මට කියනවා. පහුගිය දවසක සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිතුමා කතා කළා. බලන්න ඔහුගේ ප්‍රකාශයෙන්ම තේරෙනවානේ ආණ්ඩුවට යම්කිසි අනතුරු ඇඟවීමක් කියලා. මෙහෙම කතා කළාට පහළ මට්ටමේ අය කතා කරන්නේ නෑ. ඔවුන් මැතිවරණයේදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි මැතිවරණයේදී ඡන්ද භාවිතය පහළ මට්ටමකට වැටෙනවා. ඒ නිසා බිම් මට්ටම හැකි ඉක්මනින් සකස් කළ යුතු වෙනවා. නැත්තන් ඡන්ද දැමීමට මිනිස්සු අදිමදි කරන්න පටන් ගනී.

හදිසියෙවත් මෛත්‍රී සහ මහින්ද එකතු වුණොත් තිස්සට මොකද වෙන්නේ?

මම කිව්වනේ මුලදිම මම එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක්. හැබැයි මම නිතර කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිව හෑල්ලු කරන්න එපා කියලා. මොකද ඔහුට විශාල ජන බලයක් තියෙනවා. ඔහු ජනප්‍රියයි. හේතුව ඔහු තමයි විරුද්ධ පක්ෂය නියෝජනය කරන එකම මතවාදය. වෙන කිසිම ජනාධිපතිවරයකුට මෙහෙම දෙයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී ඔහු ඉදිරිපත් කරන සහ ඔහු සහයෝගය දක්වන අපේක්ෂකයෙක් තමයි ගොඩ යන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වේ.

ඔබ බලය ඇතිවත් බලය නැතිවත් දේශපාලනය කළා. හිරේ විලංගුවේ වැටුණා. මේ ගමන තුළ අමතක නොවන සිද්ධියක් තියෙනවද?

බහුතර මිනිස්සු පිරිසක් එකතු වෙන්නේ බලය නිසා. ලොකුම අත්දැකීම තමයි බන්ධනාගාර ගත කළාම මාව බලන්න එන්න සමහරු බය වුණා. හැබැයි බය නැතුව ආපු අයත් හිටියා. කොහොම වුණත් ළඟින් ආශ්‍රය කරපු කීප දෙනෙක් ටිකෙන් ටික ඈත්වෙනවා මම දැක්කා. ඒ ගැන මම පසුතැවෙන්නේ නෑ. 

♦ ගයාන් ගාල්ලගේ
සේයාරුව l සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00