2017 මැයි 20 වන සෙනසුරාදා

සයිටම් පීඩාව

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

කොළඹ නගරය පසුගිය බදාදාත් බ්‍රහස්පතින්දාත් රටේම කතාබහට ලක්විය. බදාදා සරසවි සිසුන්ගේ දැවැන්ත විරෝධතා පාගමනත් ඊට එල්ලවූ කඳුළු ගෑස් ප්‍රහාරයත් එම කතාබහට කටගැසුම් සපයද්දී බ්‍රහස්පතින්දා ඇද හැළුණු මහාවැස්සත් වැල්ලවත්තේ සිදුවූ ගොඩනැගිල්ලක් කඩාවැටීමත් මාතෘකාව විය. සරසවි සිසුන්ගේ පාගමන කොළඹ නගරයේ හදවත බඳු කොටුව, පිටකොටුව සහ කොල්ලුපිටිය අවට රත්කරද්දී පොලීසියද ඊට සමගාමීව රත්වී සිටි බව පෙනී ගියේ එල්ල කෙරුණු කඳුළු ගෑස් ප්‍රමාණයේ තරම දකිද්දීය. ඊට පසු දින ඇදහැළුණු මහා වර්ෂාව නොවන්නට තවමත් එම විරෝධයේ දුම් ගුලි හැමතැනම සැරිසරන්නට හොඳටම ඉඩ තිබිණි.

වැස්ස ගැන කතාව පසෙකට කර සරසවි සිසුන්ගේ විරෝධතා පාගමනත් ඊට එල්ල වූ පොලිස් කඳුළු ගෑස් ප්‍රහාරයත් ඒවාට පසුබිම් වන කාරණාත් පිළිබඳව කතාබහ කිරීම වැදගත්ය. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබිය යුතු සිසුන් මහපාරේ උද්ඝෝෂණය කිරීමත් සතියකට දෙකකට වරක් පාගමන්, විරෝධතා පෙළපාළි පැවැත්වීමත් ඉතාම හුරුපුරුදු දසුන් බවට පත්වෙමින් තිබේ. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනද එසේමය. එක් වර්ජනයක් අවසන් වන්නේ ඊළඟ වර්ජනයට දින යොදා ගනිමිනි. බොහෝ සරසවි සිසුන් සහ වෛද්‍යවරුන් මාරුවෙන් මාරුවට විරෝධතා ව්‍යාපාර සහ වැඩවර්ජන සිදුකරන්නේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ඉල්ලීම් පෙරට දමාගෙනය. පසුපසින් වෙනත් ඉල්ලීම් තිබිය හැකිවුවද සයිටම් ගැටලුව සඳහා සාධාරණ විසඳුමක් ඉක්මණින්ම අවශ්‍ය බවට එකී විරෝධතා සහ වර්ජන මගින් බල කෙරෙමින් තිබෙන බව යථාර්ථයයි.

සරසවි සිසුන් විසින් කොළඹ නරගයේ ජන ජීවිතයද වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ ජීවිතද ප්‍රාණඇපයට ගනිමින් සිදුකරන අරගලය හේතුවෙන් මෙරට ජනතාව මහත් පීඩාවකට පත්වෙමින් සිටීම අවාසනාවන්ත තත්ත්වයක් බව කිව යුතුය. ශිෂ්‍යයන් සහ වෛද්‍යවරුන් දෙපිරිසම පවසන්නේ වෛද්‍ය වෘත්තියේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා තමන් මේ අරගලය සිදුකරන බවය. ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් අනාගතයේදී බිහිවීම වළක්වා ගැනීමත්, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව රැකගැනීමත් මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමක් හැටියට ඔවුහු හඳුන්වති. එය සත්‍යයයකි. අරගලයකින් තොරව බොහෝවිට අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැත. නමුත් එසේවූ පමණින් රටේ ජනතාවගේ නිදහස සහ ආරක්ෂාව මේ ආකාරයට පීඩාවට පත්කිරීම සහ අනතුරේ හෙලීම කොතරම් දුරකට සාධාරණ දැයි යන ගැටලුව අපට ඇතිවෙයි. සටනක් දිනාගැනීම සඳහා ඔවුන්ට තිබෙන අයිතියට අපි අභියෝග නොකරමු. එයට අපි ගරු කරමු. නමුත් නිරතුරුවම මහජනතාව පීඩාවට ලක්වන ආකාරයට කටයුතු කිරීම යට ඇත්තේ සයිටම් ගැටලුවට විසඳුමක් සොයාගැනීම පමණක්ද යන ප්‍රශ්නය ද පැන නගින්නේය. රටේ මහජනතාව තුළද ඒගැන සාධාරණ සැකයක් පහළ වීම ගැන පුදුමවිය යුතු නැත.

මහජන පීඩාව පසෙකින් තබමු. නමුත් සයිටම් ගැටලුවට කාටත් එකඟ වියහැකි විසඳුමක් වහාම අවශ්‍යව තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඔවුන්ට එක්වී සිටින සියලු කොටස්කරුවන් තමන්ගේ හයිහත්තිය පෙන්නුවා දැන් ඇතිය. ආණ්ඩුවද ඊට නිසි විසඳුමක් සෙවීම තමන්ට අයත් නොවන රාජකාරියක් ගාණට දමා සිටි කාලය හොඳටම ඇතිය. කටමැත දොඩන මැති ඇමැතිවරුන්සේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් නිලධාරීන්ද සද්ද වසාදමා ගැටලුවට විසඳුමක් සෙවීමට කැපවීමට කාලය පැමිණ තිබේ. මෙහිදී ඉදිරියට තබා ඇති එක පියවරක් හෝ ආපස්සට ගැනීමට මේ දෙපාර්ශවයම ඉදිරිපත් නොවන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. නමුත් අපගේ අදහස වන්නේ දෙපාර්ශවයම කැපකිරීමට සූදානම් වීම අවශ්‍ය බවය. නම්‍යශීලී ප්‍රතිපත්තියකට මාරුවිය යුතු බවය. එසේ නුවුවොත් වැඩි දවසක් යන්නට පෙර රටේ මහජනතාවගේ ඉවසීමද සියලු සීමා ඉක්මවා යාමට ඉඩ තිබේ.

මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳව රටපුරා ප්‍රබල කතිකාවන් ඇති කිරීමටත් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳව නව මානයක් ඇති කරගැනීමත් සයිටම් ප්‍රශ්නය විසින් පාරක් කපා තිබේ. එය සයිටම් අර්බුදයේ එකම යහපත් ප්‍රතිඵලය බව අපගේ හැඟීමය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රමිතීන්ට අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීම වරදක් නොවන බව මෙරට විද්වතුන් බහුතරයකගේ මතය බව ඒගැන මාධ්‍යයේ පළවන අදහස් අනුව පෙනී යයි. පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍ය නොවන බව තමන් කිසිවිටෙක පවසා නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් අප පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. ඔවුන්ගේ ඉල්ලීම විද්වත් කොමිසමක් පත්කොට ඒ හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරුඹීම පිළිබඳව තීන්දු ගැනීම අවශ්‍ය බවය. රජයද මේ අවස්ථාවේදී දැඩි අනම්‍ය ප්‍රතිපත්තියක නොපිහිටා මැද මාවතකට ප්‍රවේශ වන්නේ නම් සයිටම් ගැටලුවට විසඳුමක් සොයාගැනීම අපහසු නොවනු ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00