2017 මැයි 13 වන සෙනසුරාදා

ඩීල් එක ෆේල්ද?

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

ලංකාවේ දේශපාලනයට ඩීල් කතා හොඳට හුරුය. සමහර ඩීල් හේතුවෙන් ආණ්ඩු බිහිවිය. සමහර ඩීල් ආණ්ඩු කඩා දැම්මේය. දේශපාලන නායකයන්ට යන එනමං නැති කළේය. තනි පක්ෂය දෙකට තුනට කැඩුණේය. හිතපු නැති නායකයන්ද බිහිකළේය. 2015 ජනවාරි 08 වැනිදා ඡන්දයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ආණ්ඩුව ඇතුළෙන්ම බිහිවුණේත් ඩීල් එකක් ප්‍රතිඵලයක් හැටියටය. එහෙම ඩීල් එකකින් බිහිවුණු ආණ්ඩුවකට අවුරුදු දෙකහමාරක් යනවිට වෙන්න යන්නේ කුමක්ද? විශේෂයෙන්ම පසුගිය මැයි 01 වැනිදා රැලිවලින් පසුව.....

රළු මුහුදක ගමන් කරන්නට කොහොමත් නියමිතව තිබූ යහපාලන නැව දැන් රළු මුහුදක නොව කුණාටු සහිත රැලි පිට රැලි නගින මුහුදක ගමනක් ආරම්භ කර තිබේ. රළු මුහුද මහා කුණාටුවක් සහිත මුහුදක් බවට පත්වුණේ නිසැකවම පසුගිය 01 වැනිදා සවස්වරු වනවිටය. ඒ වෙලාවේ ආණ්ඩුවේ අභියෝගය පාරා වළල්ලක් වී ආපසු කැරකී ආණ්ඩුවටම වැදුණු බව සමහර විචාරකයන්ගේ මතය වී තිබේ. එය ඩීල් එකක ප්‍රතිඵලයක්දැයි කීමට තවම කල් මදිය.

නමුත් මහින්දගේ මැයි රැලියේ කම්පනයෙන් මිදීමට තවමත් ආණ්ඩුවට හැකි වී නැත. ඒ වෙනුවට ප්‍රශ්නය ගැටලුවක් වී එතැනින් එහාට දිවයන අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලිය. එදායින් පසුව ඇතැම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට තවදුරටත් තම හෘදය සාක්ෂියට එකඟව රජය තුළ සිටීම මහත් අපහසුවක් සේ දැනෙන බව ඔවුන් තම සමීප සගයන්ට කියා ඇත්තේ මේ නිසාය. එවැනි එක් රාජ්‍ය ඇමැතිවරයකු මාධ්‍යවේදියකුට කියා තිබුණේ අද හෙට නොවුණත් අගෝස්තු මාසය අවසන් වනවිට තමන් ඇතුළු 20කට ආසන්න මැති ඇමැති පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමඟ අසුන් ගැනීමට සූදානමින් සිටින බවය. කෙසේ වුවද තවත් සමහර ශ්‍රීලනිප ඇමැතින්ගේ අදහස ශ්‍රීලනිපය දෙකඩ වන තීන්දුවකට නොයා තනි පක්ෂයක් සේ සිටිමින් ශක්තිමත්ව කටයුතු කිරීම අවශ්‍ය බවය. 2020දී ශ්‍රීලනිප තනි රජයක් පිහිටුවා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. නමුත් එවැනි රජයක නායකත්වය ගන්නේ මෙත්‍රීපාලද මහින්දද යන ගැටලුව මේ සියලුදෙනා තුළම තිබේ. නීතියට අනුව තවදුරටත් ජනාධිපති පදවියට තරග කළ හැක්කේ මෛත්‍රීපාලට පමණි. මහින්දට තරග කළ නොහැක. නමුත් ශ්‍රීලනිප පාක්ෂිකයන් බහුතරයකගේ කැමැත්ත තිබෙන්නේ මහින්දටදැයි සෙවීමට ටෙස්ට් එකක් මැයි 01 වැනිදායින් පසුව තවදුරටත් අවශ්‍ය නොවේ. ගැටලුව ලිහාගන්නා තුරැ ශ්‍රීලනිපය දෙකඩ වීමේ අනතුර දිගටම පවතින බවට විවාදයක් නැත.

පසුගිය සඳුදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ශ්‍රීලනිප ඇමැතීන් ගණනාවක් තමන්ට තවදුරටත් රජය තුළ රැඳී සිටීමේ අපහසුකම දැනුම් දී ඇතැයිද සඳහන් වේ. යූ.එන්.පී. ඇමැතිවරුන් විසින් වාචිකව සිදුකරන කෙණෙහිලිකම් නිසා මේ අපහසුකම දිගින් දිගටම වැඩිවන බවද ඔවුන් ප්‍රකාශ කර තිබිණි. රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදයට තමන්ට වගකිව නොහැකි වුවත් රජය තුළ දිගටම රැඳී සිටියොත් එහි වගකීම තමන් පිටටද වැටීම වැළැක්විය නොහැකි වීම ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකළ මේ ඇමැති පිරිස එය වළක්වා ගැනීමට නම් ආර්ථිකය හරියට හසුරුවා ගැනීමේ පියවර ගැනීම ඉක්මන් කළ යුතු බවද කියා තිබේ. ඔවුන් කෙළින්ම පවසා ඇතැයි කියන්නේ එක්කෝ රජය හරි මඟට ගැනීමට ක්‍රියා කළ යුතු බවත් එය නොකළ හැකි නම් රජය අතහැර පසෙකට විය යුතු බවත්ය.

ඇමැතිවරුන් මෙසේ කීවත් ජනාධිපතිවරයා ඔවුන්ට කියා තිබුණේ ආණ්ඩුවේ එකමුතුකම රැක ගනිමින් ඉදිරියට යාම අවශ්‍ය බවය. බෝට්ටුව පෙරළා නොගත යුතු යැයි යන්න ඔහුගේ අවවාදය වී තිබිණි. රාජිත කැබිනට් ප්‍රකාශක තනතුරින් ඉවත් කළ යුතුය යන ඉල්ලීමට පිළිතුරක් වශයෙන් ශ්‍රීලනිපය වෙනුවෙන් කැබිනට් ප්‍රකාශක තනතුරක් ඇති කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ ආණ්ඩුවේ එකමුතුවට හානියක් නොවී වැඩකිරීම වෙනුවෙන් ඔහු තුළ තිබෙන කැපවීම හේතුවෙන් විය යුතුය.

ආර්ථික ප්‍රශ්නවලදී ශ්‍රීලනිප ඇමැතිවරැන්ගේ ලොකුම පැමිණිල්ල වී තිබෙන්නේ රජයේ පැත්තෙන් ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී තමන්ව අඳුරේ තබා ක්‍රියාකරන බවය. කොටින්ම ඔවුන්ගේ අදහස යූ.එන්.පී.ය තමන්ට කොළේ වසා ගේම් ගහන බවය. ආර්ථිකය සම්බන්ධයෙන් සියලු ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා මුදල්, ආර්ථික ක්‍රමෝපායික සහ මහජන ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය පදවි තුනම හොබවන්නේ යූ.එන්.පී. ඇමැතිවරුන් වීමත් ඔවුන් ගන්නා තීන්දු තීරණ තමන්ට නිවැරැදිව දැනුම් නොදීමත් මේ ඇමැතිවරැන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. එම ඇමැති පදවි දරණ රවී, මලික් සහ කබීර් තිදෙනාම යූ.එන්.පී.යේ නායකයාට ඉතාම සමීප ජ්‍යෙෂ්ඨයන් වීම නිසා ශ්‍රීලනිප ඇමැතිවරැන්ට සිදුවී තිබුණේ සද්ද වහගෙන සිටින්නටය. ඔවුන් ජනාධිපතිවරයාට මේ කාරණා කියන්න ඇත්තේ තවදුරටත් එසේ ඉන්න බැරිම තැන විය යුතුය. මේ ප්‍රශ්නය කැබිනට් රැස්වීමේදී රවීත් දයාසිරිත් අතර උණුසුම් සංවාදයක් බවට පත්වෙන්නේ එම පසුබිමේය.

ආණ්ඩුව ගන්නා ආර්ථික තීන්දු තීරණවලට ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් ලැබෙන සහාය පවතින්නේ ඉතාම පහළ මට්ටමකය. ද්විපාර්ශ්වික ගිවිසුම් එකක්වත් හරිහැටි ඉදිරියට ගෙනයාමට තවමත් ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ මේ හේතුවෙනි. කෙසේ වුවද සියලු තීන්දු තීරණ අවසන් නිගමනයක් නොමැතිව එහෙ මෙහෙ ඇදි ඇදී තිබීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හොඳ නැත.

කැබිනට් රැස්වීමේදී ජෝන් සෙනෙවිරත්න සමග වචන හුවමාරැවක පැටලුණු රාජිත තමන් ආණ්ඩුව හැදීමේදී මුහුණදී සිටි අනාරක්ෂිත තත්ත්වය ගැන කරුණු කිව්වේ මේ රජය බලයට ගෙන ඒමට ජීවිතය පවා අවදානමකට ගත් බව ප්‍රකාශ කරමිනි. රජය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව කියමින් ඔහු මෙසේ සඳහන් කර තිබිණි.

අපේ පවුලේ අය හිටියෙ හැංගිලා. ඒ වගේමයි ජනාධිපතිවරයාගේ පවුලේ අයත්. ඔවුන් එළියට ආවේ මැතිවරණයෙන් පස්සේ. මේ නිසා අපි දන්නවා මේ රජයේ වැදගත්කම. මේ ආණ්ඩුව අමාරැවේ වැටෙනව දකින්න අපට අවශ්‍ය නැහැ. මේ නිසායි මම ඔය කරැණු කිව්වේ.

දයාසිරි ජයසේකරද තමන් මේ ආකාරයට නින්දා අපහාස විඳින්නට සූදානම් නැති බව කිව්වේ තමන් මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට වැඩකළ බවද සඳහන් කරමිනි. තමන් රජයට එක්වූයේ ඒ සඳහා කෙරැණු ආරාධනාවක් අනුව බවද ඔහු සඳහන් කළේය.

එහිදී රවි කරුණානායක සඳහන් කළේ මෙය යූ.එන්.පී. ආණ්ඩුවක් බවය. නමුත් එතැනදී ජනාධිපතිවරයා මැදිහත් වී ප්‍රකාශ කළේ මේ රජය සම්මුති රජයක් වශයෙන් සැලකීම අවශ්‍ය බවය. ආණ්ඩුවේ අයිතියට රණ්ඩු කරමින් දෙපැත්තක ගමන් කරනවාට වඩා සමගිව ඉදිරියට යාම අවශ්‍ය බවය. ජනාධිපතිවරයා එහිදී මෙසේ සඳහන් කර තිබිණි.

මේක යූ.එන්.පී. ආණ්ඩුවක් නොවේ. මා ජනාධිපති පදවියට පත් කිරීම සඳහා යූ.එන්.පී.ය කටයුතු කළ බව සත්‍යයක්. මේ රජය සැලකිය යුත්තේ එක වස්තුවක් හැටියටයි.

මැයි දිනයෙන් පසුව තවත් ප්‍රතිඵලයකින් වඩාත් හානි පැමිණී ඇත්තේ ශ්‍රීලනිපයටය. උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා ආරක්ෂක සේවා, පරිසර සහ පළාත් සභා කටයුතු විෂයයන් දැරූ ඇමැතිවරයා වූ කේ.එච්. නන්දසේන ඉවත්කොට එම පළාත් සභාවේ එජනිස මන්ත්‍රීවරයකු වන එච්. හේරත් බණ්ඩා මහතා පත්කිරීම දැන් එම පළාත් සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අතට පත්වන තරමට දුරදිග යමින් තිබේ. මේ ඉවත් කිරීමත් සමඟම පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා, යෞවන කටයුතු ඇතුළු විෂයයන් භාර ඇමැති ධුරය දැරෑ එස්.එම්. රන්ජිත් සමරකෝන් එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ නන්දසේන ඉවත් කිරීමට විරෝධය ප්‍රකාශ කරමිනි. ඔහු මහින්දගේ පාලන කාලයේ උතුරැමැද ප්‍රධාන ඇමැති වශයෙන්ද කටයුතු කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ සොහොයුරා ද වෙයි.

දැන් එස්.එම්. චන්ද්‍රෙස්න පවසන්නේ උතුරුමැද පළාත් සභාවේ පාලන බලය ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ලැබිය යුතු බවය. එම පළාත් සභා එජනිස මන්ත්‍රීන්ගෙන් බහුතරය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බවත් මේ නිසා අද හෙටම එහි බලය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එස්.එම්. චන්ද්‍රසේන පැවැසුවේ සිය නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

මේ අතර ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක කියා තිබුණේ නන්දසේන ඉවත් කළේ ඔහු ඊළඟ පළාත් සභා ඡන්දයට ඉදිරිපත් නොවන බව කියා සිටීම නිසා බවය. තම බිරිඳගේ අසනීප තත්ත්වය නිසා එසේ ඉදිරිපත් නොවන බව ඔහු කියා ඇති බවත් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභාවේ කාලය අවසන් වන නිසා එම තීන්දුව ගත් බවත් ඔහු කියා තිබුණේය.

කරුණු කෙසේ වුවද නන්දසේන ඉවත් කෙරැණේ මැයි දිනයේ තවත් එක් ප්‍රතිඵලයක් වශයෙන් බවට සැකයක් නැත. උතුරුමැද පළාත් සභාව ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් 33කුගෙන් සමන්විතය. එජනිස මන්ත්‍රී සංඛ්‍යාව 21 දෙනෙකි. මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීන් සංඛ්‍යාව 18ක් බව ඔවුහු සඳහන් කරති. ඔවුන් මහ ඇමැතිධුරය තමන්ට අවශ්‍ය බව පවසන්නේ එම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත තමන්ට ඇති බව සඳහන් කරමිනි. ඔවුන් එසේ කිව්වත් පළාත් සභා ආඥා පනත අනුව මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළ පමණින් මහ ඇමැති ධුරය වෙනස් කිරීම අවශ්‍ය නොවේ. මහ ඇමැති ධුරය සම්බන්ධව තීන්දු ගත හැක්කේ පක්ෂ නායකයාට සහ පක්ෂයේ ලේකම්වරයාටය. නමුත් ඔවුන්ගේ කැමැත්ත තිබුණත් මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත නැතුව පළාත් සභාව පවත්වාගෙන යාම අසීරැ වෙයි. මේ නිසා එස්.එම්. චන්ද්‍රෙස්න ඇතුළු පිරිසගේ ඉල්ලීම ඉටුවනු ඇතැයි පැවැසීම අපහසුය. නමුත් පළාත් සභාව පවත්වාගෙන යාම නම් මෙතැනින් එහාට පහසු වෙන්නේ නැත. වෙනෙකක් තබා මේ සටහන තබන විට අස්වූ ඇමැති රන්ජිත් සමරකෝන්ගේ ධුරයට පත් කිරීමට වෙනත් නමක් යෝජනා වී තිබුණේ නැත. ඒ සඳහා කිසිවකුත් කැමැත්තක් නොදැක්වීම ඊට හේතුව වී තිබිණි.

උතුරුමැද සේම මධ්‍යම පළාත් සභාවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තම ධුරයෙන් අස්වීමත් සමඟ කැළඹී තිබේ. ඔහු ඉවත්වූයේ තම පියා වූ ජනක බණ්ඩාර තෙන්නකෝන්ට දඹුල්ල සංවිධායක ධුරය අහිමි කළ දවසේය. දැන් පැවැසෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරැන් එජනිස කණ්ඩායමෙන් ඉවත් වී ස්වාධීනව සිටින බවය. මේ නිසා මධ්‍යම පළාත් සභාවේ බලයද තීරණාත්මක ලෙස වෙනස් වීමට ඉඩ තිබෙන බව පැහැදිලිය. එයත් මැයි දිනයේ ප්‍රතිඵලයකි.

කැබිනට් ඇමැතිවරුන්ගේ හැල හැප්පීම්, පළාත් සභා පුටු පෙරුළීම් මේ සියල්ල මැයි දිනයට පසුව ලැබුණු ප්‍රතිඵල වුවද ඒ සඳහා වූ පෙළගැස්ම කාලයක් තිස්සේ සිදුවෙමින් තිබිණි. ඒ ගැන හරි අවබෝධයකින් ආණ්ඩුවේ දෙපාර්ශ්වයම කටයුතු කළ බවක් පෙනෙන්නට නැත. සයිටම් අර්බුදය එක පැත්තකින්ද බැඳුම්කර වංචාව හේතුවෙන් පැනනැගුණු විරෝධය තවත් පැත්තකින්ද ආණ්ඩුවට පීඩනය එල්ල කරද්දී තමන්ගේ ගැලවිල්ලට ආණ්ඩුව යොදාගත් එක් උපක්‍රමයක් වූ ඇමැති මාරුවක් සිදු කිරීමද දැන් නොකෙරෙන තැනට තල්ලු වෙමින් තිබෙන බව පැහැදිලිය.  රාජිත කියා තිබුණේ ඇමැති මාරුවක් ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කර නැති බවය. එය මාධ්‍ය මගින් එළියට දැමූ කතාවක් බවද ඔහු කියා තිබුණේය.

රාජිත එසේ කිව්වත් ජනාධිපතිවරයා පසුගිය දිනයක පුවත්පත් කතුවරැන් සහ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ වෙසක් පොහෝ දිනට පෙර රජයේ ප්‍රධාන පුටු පෙරළි කීපයක් සිදුවන බවය. ඇමැති මාරැවද සිදුවන බවට ඔහු ප්‍රබල ඉඟියක් කළේය. පසුගිය දින කිහිපයේදී කරළිය පසුපස ලොකුම කතාබහක් තිබුණේ සිදුවන ඇමැති මාරැව සම්බන්ධයෙනි. ඇමැති මාරුව පසුගිය 09 වැනිදා සිදුකිරීමට නියමිත වූ බවද අගමැතිවරයා චීනයේ සංචාරයක යෙදීමට නියමිත බැවින් මේ මොහොතේ අමාත්‍ය ධුරවල වෙනසක් සිදු නොකරන්නැයි යූ.එන්.පී.ය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද ප්‍රකාශ විය. ඇමැති මාරැව නොකෙරෙන වෙදකමක් වන බවට දැන් හැම අතින්ම ඉඟි පහළ වෙමින් තිබේ.

රටේ ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී එය සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරැවය. මේ නිසා අගමැතිවරයාගේ කැමැත්ත ලැබෙන තුරැ ඇමැති ධුර මාරැවක් සිදුකිරීමට හැකියාවක් නැත.
මැයි දිනයෙන් පසුව සිදුවෙන්නට ඉඩ තිබූ දේශපාලන පෙරුළි කීපයක් මෙසේ තාවකාලිකව යට යාමට වෙසක් උළෙලද හේතුවක් විය. එයට සමගාමීව සිදුකෙරැණු ඉන්දීය අගමැති මෝදිගේ සංචාරයද එයට බලපාන්නට ඇත. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුව, මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ඉන්දීය අගමැතිවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදී බුදුදහම සහ දෙරට අතර පවතින මිත්‍ර සම්බන්ධතා අපූරැවට සංකලනය කරමින් සාරගර්භ දේශනයක් කළේය. ඔහු වරින්වර බුදු වදන්ද ගෙනහැර දැක්වීය. ජනාධිපති මෛත්‍රීපාල විසින් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකටද මෝදි සහභාගි වූ අතර හැටන් හි ඉන්දීය ආධාරවලින් ඉදිවූ රැපියල් කෝටි පන්සියයක් වැයකොට ගොඩනංවන ලද රෝහල විවෘත කිරීමට සහභාගි වීම සඳහා නුවරඑළියටද ගියේය. මෝදි මෙම සංචාරය තුළදී හිටපු ජනපති මහින්ද සහ සොහොයුරැ ගෝඨාභය හමුවීමද විශේෂ සිදුවීමක් විය. එම හමුව මෝදිගේ සංචාරයේ න්‍යාය පත්‍රයට අඩංගු නුවූවද මහින්ද කළ ඉල්ලීමට මෝදි සුහදව ප්‍රතිචාර දක්වා තිබීම විශේෂ සිද්ධියක් විය.

දැන් මොදිගේ ගමනත් වෙසක් උළෙලත් අවසන්ය. මෝදි පිටත්ව ගිය වහාම ජනාධිපති සහ අගමැති අතර හදිසියේම සාකච්ඡාවක් පැවැති බවද එය අගමැතිගේ චීන සංචාරයට සම්බන්ධ බවද දැනගන්නට තිබේ. චීනයේදී හම්බන්තොට වරායට සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. කෙසේ වුවද පසුගිය 09 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී තීන්දු කර ඇත්තේ හම්බන්තොට වරාය ගිවිසුමේ අවසන් තීන්දුව ගැනීමේ බලය ජනපතිට පැවැරීමටය. අගමැතිගේ චීන ගමනින් පසුව එහි තත්ත්වය කුමක්දැයි හරියටම බලාගත හැකිවනු ඇත. මේ හැල හැප්පීම් මැද ආණ්ඩුව ක්‍රියාකරන විදිය හරිද වැරැදිද යන්න ජනතාව තීන්දු කරනු ඇත්තේ ඊළඟට පැවැත්වෙන මැතිවරණයේදීය. එම ඡන්දයට පෙර කවුරැ කා සමඟ ඩීල් දා ගනීදැයි හිතා ගැනීමත් අපහසුය.

 ශශීන්ද්‍ර

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00