2017 මැයි 13 වන සෙනසුරාදා

සයිටම් සටනේදි වෛද්‍ය සංගමය හරි!

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වත්මන් අධ්‍යාපන පෞද්ගලීකරණය, සයිටම් අර්බුදය සහ වෙනත් අර්බුද සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි. 

පවතින රජය ආර්ථික සමාජයීය දේශපාලන යන සෑම දිශාවකින්ම අර්බුද ගණනාවක පැටලවිලා කියලා පේන්න තියෙනවා. ඔබ හිතන්නේ රජය මේ විදිහට අවුල් ඇති කරගන්නේ ඇයි?

අර්බුදවල පැටලීමට හේතු දෙකක් තිබෙනවා. පළමුව සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණයන් පිළිබඳ පැහැදිලි වැඩ සැලැස්මක් බලයට ඒමේදි හෝ බලයට පැමිණි අවුරුදු දෙකහමාර තුළ දියුණු කරන්නට බැරිවීම. දෙවැන්න සමාජ බලවේග සමඟ සාකච්ඡාමය ගනුදෙනුවකින් ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රහාරාත්මකව මුහුණ දෙමින් ප්‍රශ්න විසඳීමට යාම. මේකට හොඳම උදාහරණය සයිටම් ප්‍රශ්නය, ටෙලිකොම් සමාගමේ මෑන්පවර් කම්කරු ප්‍රශ්නය, මහබැංකු බැඳුම්කර ප්‍රශ්නය. එනම් ගැටලු කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම යන හේතු නිසා තමයි මූලික වශයෙන් මේ ආණ්ඩුව අද තිබෙන අයහපත් අර්බුදකාරි තත්ත්වයක ඉන්නේ.

දැන් මේ හැම ගැටලුවක්ම කේන්ද්‍රගත වන තැනක් බවට පත්වෙලා තියෙනවා සයිටම් අරගලය. සයිටම් ගැටලුව හේතු කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කරන්න සූදානමක් තියෙන බවට වාර්තා වෙනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

හැම ප්‍රශ්නයක්ම ගොනවෙනවා කියන්න බැහැ. නමුත් දම්වැලේ දුර්වලම පුරුක. එනිසා කැඩෙන්න ඉඩ තිබෙනවා. එතකොට ආණ්ඩුව මහන්සි ගත යුත්තේ ඒ දුර්වල පුරුක හරිගස්සගන්න. දැන් සයිටම් ප්‍රශ්නය පිළිබඳ ගැටලුව අපි හිතන විදිහට පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ප්‍රශ්නයකට ලඝු කරන්න බැහැ. මේ වටා බැඳුණු තවත් ප්‍රශ්න තිබෙනවා. පළමුව නිදහස් අධ්‍යාපනය භාණ්ඩයක් ලෙස විකිණීමට දානවද? දැනට යම් ප්‍රමාණයකට දාලා තිබෙනවා. එය තවත් එහාට ගෙනියනවාද කියන කාරණය. දෙවනුව මේ ප්‍රශ්නය බැඳෙන්නේ සමාජයේ ස්ථරයන් අතර තිබෙන සමතුලනයන් සම්බන්ධයෙන්. අ.පො.ස උ.පෙළින් ඉහළම ලකුණු ගත් සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවාගනු ලබනවා. සයිටම් කියන්නේ මේ නිර්ණායකයට හුඟක් ආසන්නව විශ්විද්‍යාලයට බඳවා නොගත් විශාල සිසුන් සංඛ්‍යාවක් සිටිද්දී ඒ අය අතහැර සල්ලි තිබේද නැද්ද යන පදනමින් වෙනත් කොටසක් ඇතුළත් කරගන්නා තැනක්. එය කොයිතරම් සාධාරණද? සීමිත සම්පත් තිබෙන රටක මේ අසාධාරණය ඉතාම බරපතළ අසාධාරණයක්.

අඩු ප්‍රතිඵල ගන්න ළමයි රජයේ විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වෙනවා දුෂ්කර පළාත්වලින්. එතැන අසාධාරණයක් නැද්ද?

කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය වැනි විද්‍යාල සමාන කරන්න බැහැ කිලිනොච්චියේ තිබෙන පාසලක් සමඟ. එසේ සමාන කරන්න නම් අපිට පුළුවන් වෙන්නේ මේකට කිසියම් අවස්ථාවක් දීමෙන්. ඉන් කියවෙන්නේ නැහැ හැමදාම පාසල් අතර විෂමතාවය තබාගත යුතු බවට. සමහර විට දුෂ්කර යැයි කියන පළාත්වලත් ඉතා හොඳ පාසල් තිබෙනවා. ඒවාටත් එවැනි සැලකිල්ලක් දීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් යෝජනා කර තිබුණේ ප්‍රමිතිකරණය පාඨශාලා අනුව සිදුකිරීමට. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන ඉතාම නොදියුණු පාසලටත් අර අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිපත්තිය කිසියම් ප්‍රමාණයක් වෙනස් කළ යුතුයි. ඉන් අර්ථවත් වෙන්නේ නැහැ සයිටම් සාධාරණ බව. සයිටම් මගින් සාධාරණත්වය ලබාදෙන්නේ රජයේ අඩුපාඩු නිසා දුර්වල පාසල්වල දරුවන්ට නොව රජයේ වාසි ලබන මුදල් තිබෙන මිනිස්සුන්ට. මේක සාධාරණ මූලධර්මයක් නෙවෙයි. අප වගේ රටවල්වල පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වුවමනා නැහැ ගුණය රැකගන්න. එම නිසා මම හිතන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා නිවැරදිව තමයි මේ ප්‍රශ්නය දිහා බලන්නේ. 

සයිටම් ප්‍රශ්නයේදී මූලික වෙන්නේ මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීම නොව එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය යන කාරණය. වයඹ, රජරට වැනි විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අපි ඔබ මේ කතා කරන ප්‍රමිතිය තිබෙනවාද? ඒවායේ අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් ද?

ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නයට උත්තරය ඒ වෙනස්කම් නැති කිරීමයි. වෙනස්කම් නැති කරන්න ඒ විශ්වවිද්‍යාලවලට හොඳ ශික්ෂණ රෝහල් ලබා දී එම විශ්වවිද්‍යාලවල විශේෂ පහසුකම් ලබාදීමයි. යම්කිසි පීඨයක් ආරම්භ කර සෑහෙන්න කාලයක් ගිය පසු ඒ තුළ සම්ප්‍රදායන් බිහිවෙනවා. ඒ නිසා සයිටම් සාධාරණ කිරීමට රාජ්‍ය වෛද්‍ය පීඨ අතර තිබෙන වෙනස්කම් ඉදිරිපත් කරන්න බැහැ. ඒ වුණත් රාජ්‍ය වෛද්‍ය පීඨ හැම එකකම සායනික පුහුණුව සමඟ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම කරන්න බැහැ. අනුරාධපුර ශික්ෂණ රෝහල පවා ඒ සමඟ සසඳන්නවත් බැහැ.

දියුණු ධනේෂ්වර යුරෝපා රටවල්වල වගේම සමාජවාදි රටවල්වලත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවා. එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇයි අප රටට නුසුදුසු?

ඔය කියන පෞද්ගලික ආයතන බොහොමයක් සැබැවින්ම පෞද්ගලික ආයතන නෙවෙයි. එම පෞද්ගලික ආයතන ලාබය පෙරදැරි කරගත් ඒවා නොවේ. ඒවා පොදු සංගතයන්. ලාබය අපේක්ෂා නොකරන පොදු ආයතන ලෙසයි සැලකෙන්නේ. ලෝකයේ ලොකුම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හදන්න මුල්වන්නේ ගොවි පවුලක්. සිය පුතා හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අතරතුරදි මරණයට පත්වූ නිසා. එයින් පේන්නේ ඒවා ලාබයට හදපු විශ්වවිද්‍යාල නොවන බවයි. එම නිසා එම විශ්වවිද්‍යාල ඉන්දියාව, පකිස්ථානය ලංකාව වැනි රටවල හතු පිපෙන්නාක් මෙන් බිහිවන විශ්වවිද්‍යාල සමඟ සැසඳීමට යාම සාධාරණ නැහැ. එමෙන්ම මෙතෙක් පෞද්ගලික අංශයට අධ්‍යපන අවස්ථාව දුන් රටවල් පවා මේ යුගයේ දී ඉන් ඉවත්වී නැවත රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ගමන් කරන බව පේනවා. මේ සඳහා හොඳම නිදසුන ජර්මනියයි. මේකෙන් පේන්නේ අධ්‍යපනය පිළිබඳ ලෝක ප්‍රවණතාව එක් පැත්තකට යද්දී අපි විරුද්ධ පැත්තට ගමන් කරනවා. මෙය අඩු දියුණු රටවලට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසි විය හැකියි. 

පවතින්නේ ජාතික රජයක්. නමුත් මේ රජය පවත්වාගෙන යෑමේදී බරපතළ මතභේද මතගැටුම් ඇතිවෙන තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හැබෑවට මේ මතභේද මතගැටුම් අඩුකරගෙන ක්‍රියාත්මකවීමට නොහැකිද?

මතභේද මතගැටුම් සමථයට පත්වෙන්න නම් පොදු ගුණාකාරයක් තිබිය යුතුයි. මේ ආණ්ඩුව ප්‍රතිසන්ධිය ලැබූ දවස සිටම පොදු ගුණාකාරයක් නැහැ. මේ දැන් වෙලා තිබෙන්නේ ප්‍රතිදානයන් කියන පගාව මත පොදු ගුණාකාරයක් හදමින් මේ ජාතික ආණ්ඩුව ගෙනයාමක්. මෙහිදි ප්‍රතිදානයන් කිනම් පැත්තකට බර වෙයිද යන්න මත පොදුගුණාකාරය අවුලට ලක් වෙනවා. අද ජෝන් සෙනවිරත්නයි රාජිත සේනාරත්නයි අතර තියෙන ගැටුම ඇවිලෙන්නේ ඒ නිසයි. සුසිල් ප්‍රේමජයන්තත් ඉතාමත් ඍජු ලෙස ඉන්දියානු සමාගම්වලට ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි දීමට එරෙහි ප්‍රකාශ නිකුත් කළා. හැබැයි ජෝන් සෙනෙවිරත්න හෝ සුසිල් ප්‍රේමජයන්ත යන අයට ස්ථිරව ඇමැතිකමක් ලැබෙනවා නම් එසේ කරන්නෙත් නැහැ. මෙවැනි කප්පම් ප්‍රතිදානයන් මත මේ ආණ්ඩුව පැමිණීම හේතුවෙන් මතභේද බේරගන්න පුළුවන්නේ වෙන්නෙ නෑ. හැමෝටම වඩා වැඩි ප්‍රතිදානයන් සඳහා එකිනෙකා සටන් කිරීම දකින්න පුළුවන්.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා කැබිනට් මණ්ඩලය මාරු විය යුතුයි කියලා. එසේ නොමැතිව ඉදිරියට යා නොහැකියි කියලා එක් පාර්ශවයක් කියනවා. ඒත් යූ.එන්.පීය හාත්පසින් විරුද්ධ මතයක් දරනවා. ඔබ හිතන විදිහට ඇමැතිමණ්ඩල විෂයයන් මාරු කරලා අර්බුදවලට විසඳුම් හොයන්න පුළුවන්ද?

ඇමැති මණ්ඩලය වෙනස් කිරීමෙන් පොදු ගුණාකාරයක් හදාගන්න බෑ. ඇමැති මණ්ඩලය වෙනස් කිරීමෙන් බොහෝවිට තමන්ගේ බලය අඩුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය සිතනවා. මේ ඇමැති මණ්ඩලය පත්කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට. බල කේන්ද්‍රණය තිබෙන්නේ අගමැතිවරයාගේ එජාපයටමයි. එම නිසා ඇමැති මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමේ මේ බලතුලනයේ එ.ජා.ප. බලය ක්‍රමානුකූලව අඩුකර බලය වැඩි කිරීම එක් අරමුණක්. මෛත්‍රීපාල සිරිසේන ජනපතිට අවශ්‍ය මහින්ද රාජපක්ෂ පිලට තවත් හෝදා යන කොටස බේරාගැනීමයි. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය එ.ජා.ප. නිසා මේ බලවේගයට බලය පවත්වාගැනීමේ හැකියවක් නැහැ. ඒ නිසාම මේ උගතෝකෝටිකය විසඳාගැනීමේ නිවට ප්‍රයත්නයක් ලෙස කැබිනට්ටුව සංශෝධනය කිරීම දක්නට පුළුවන්. එයින් අර්බුදය වැඩිවෙන්න පුළුවන්. 

තවත් පැත්තකින් මේ රජයට විරුද්ධව රාජ්‍ය සම්පත් විකුණනවා, රට කෑලිකෑලිවලට කඩනවා, රට ඉන්දියාවට විකුණන්න යනවා වගේ චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවලට සැබෑ පදනමක් තිබෙනවද?

ඉන්දියාවට විතරක් නෙවෙයි චීනයටත් සම්පත් විකිණෙනවා. සති කිහිපයකට පෙර චීන ආයෝජකයන් වතුකරයේ රජයට අයත් වතු නිරීක්ෂණය කරන්න ගොස් තිබෙනවා. මේ ලෙස විදේශකයන් විශාල ලෙස සම්පත්වලට ඇඟිලි ගසමින් ඉන්නේ. මෙය ආර්ථික විතරක් නොව දේශපාලන ව්‍යාපෘතියක කොටසක්. විදේශ ඇඟිලි ගැසීම්වලින් මිදෙන්න මේ ආණ්ඩුව උත්සාහ කළත් එය මීට පෙර ආණ්ඩු ගත්තු උත්සහයන්ට වඩා වෙනස්. මීට පෙර ආණ්ඩු ඉන් මිදී සම්පත් රුකගන්න මහන්සි වුණා මීට වඩා. මොණරාගල, හම්බන්තොට, දිස්ත්‍රික්කවල අතිවිශාල භූමියක් විදේශිකයන්ට දී තිබෙනවා. මේ දෙන ස්ථාවර දීමනා නැවත ගන්න පුළුවන් වේද යන්න ප්‍රශ්නයක්. ආර්ථිකය දඩමීමා කරගෙන රටේ දේශපාලන ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක තිබෙනවා. 

හුඟක් අය චෝදනා කරනවා මේ ආණ්ඩුව පත් වීමේ මූලික වගකීම ඔවුන් ඉටු නොකිරීම පිළිබඳව. ඔබ මේ ගැන මොකද්ද කියන්නේ?

ආණ්ඩුව පත්කළ මූලික අරමුණක් ජනතාවට තිබෙනවා යැයි කියන්න බැහැ. මේ ආණ්ඩුව ජනතාව පත්කළේ යුද්ධය නිම වීමෙන් පසු තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැගිය හැකි යැයි සිතමින්. දෙවනුව පහුගිය ආණ්ඩුව විසින් දෙමළ සහ මුස්ලිම් ජනතාවට සිදුකළ අසාධාරණකම් නොවැළැක්වීම සහ ඇතැම්විට ඒවාට උල්පන්දම් දීම නිසා ඒ ආණ්ඩුවෙන් තමන්ට වැඩක් නැතැයි සිතා නව පාලනයක් බලාපොරොත්තු වීම. දූෂණය වැළැක්වීම අරමුණක් වුණා නම් කවුරුත් එ.ජා.පයට ඡන්දය දෙන්නෙත් නෑ. ඔක්කොම දූෂකයෝ. දූෂණ මර්දනය වගේම ඉහත කී අරමුණු තාම විසඳිලා නෑ.

මේ ආණ්ඩුවේ ඔබ දකින සාධනීය ලක්ෂණ මොනවද?

ෆේස්බුක්වල නම් තිබෙනවා කහ ඉර සුදු කළා කියලා. ඒ හැරෙන්න සමස්තය විශ්ලේෂණ කිරීමෙන් මම හිතන්නේ මේ ආණ්ඩුවේ මට පේන සාධනීය කිසිවක් නැති බවයි.

මැයි දින රැලිවලින් පසුව දේශපාලනික වශයෙන් රටතුළ ඊළඟට ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ඔබට අදහස් ප්‍රකාශ කළ හැකිද?

දැන් තිබෙන දේශපාලන බලග්‍රහමණ්ඩලය අනුව ලංකාවේ ඊළඟ ආණ්ඩුවත් මෙවැනිම ආණ්ඩුවක්. ඇතිවෙන්න පුළුවන් මෛත්‍රී රනිල් ආණ්ඩුවක්. මැයි දිනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ බලවේගයේ ආණ්ඩුවක් ඇතිවීමේ ඉඩකඩත් මතුව තිබෙනවා. ඒකෙන් රටට අතිවිශාල වූ යහපතක් වෙන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය වන්නේ දේශපාලන බලග්‍රහ මණ්ඩලය වෙනස් කරන විදිහේ ක්‍රියාදාමයක්. සමස්තය ගත්තහම දේශපාලන බලග්‍රහ මණ්ඩලයේ ගුණාත්මක බල වෙනස්කමක් ඇතිවීමෙන් පමණයි සමාජයට යහපත් වන්නේ. ඒ සඳහා සමාජයේ පහළ තීරැවේ බලයක් ඇති විය යුතුයි.

 සකීෆ් සාම් තන්වීරි
සේයාරුව l සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00