2017 මැයි 13 වන සෙනසුරාදා

ගෙදර දොරේ මිනීමැරුම්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

සංවිධානාත්මක අපරාධ ඕනෑම රටකට පොදුය. අපේ රටේද එසේමය. අපරාධ නඩු කතාකරන නීතිඥ මහත්වරුන්ට ඕනෑතරම් නඩු තිබෙන්නේත් පොලීසිවලට වැඩ වැඩිවන්නේත් ඇතැම් විට උසාවි භූමි තුළ පවා මිනීමරාගන්නේත් මෙවැනි සංවිධානාත්මක අපරාධ ඉහළ යෑමේ ප්‍රතිඵල හැටියටය. මේ බොහොමයක් අපරාධ කල්ලිවලට දේශපාලන ලොකු ලොක්කන්ගේ ආධාර උපකාර ලැබීමත් හේතුවෙන් ඔවුන්ගෙන් රටට සිදුවන හානිය කවදාවත් ඉවරයක් වෙන්නේත් නැත.

අප අද කතා කරන්නේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් නොවේ. ඒ සමඟම ඉහළ නගිමින් තිබෙන පෞද්ගලික ආරවුල් සහ ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිදුවන මිනීමැරැම් සංඛ්‍යාව සම්බන්ධයෙනි. පසුගිය සතිය තුළ පමණක් රටේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි මිනීමැරුම් ගණනාවක් වාර්තා විය. අපගේ සහෝදර ලංකාදීප පුවත්පතේ පසුගිය සතියේ පළවූ සිරස්තල කිහිපයක් මෙම තත්ත්වය කොතරම් උග්‍ර වීදැයි හෙළි කරයි. පහරදී බිරිය මරා ලොරියකින් රැගෙන යද්දී කොටුවෙයි, නිතරම ටෙලිෆෝනයේ එල්ලී සිටියාට සැමියා පිහියෙන් ඇන බිරිය මරලා, ගෙල කපා හිටපු සෙබළා මරලා මේ එවැනි සිරස්තල කිහිපයකි. මේ සමග වත්තල හැඳල ප්‍රදේශයේ විශ්‍රාමික පියකු මරා ගෙවත්තේම වළදමා තිබීමේ සිද්ධියක්ද රටේම කතාබහට ලක්වූයේත් පසුගිය සතියේමය. ඒ සමඟ මවක් සමඟ කුඩා දරුවකු මරා දැමීමේ පුවතක්ද වාර්තා විය. මේ සියල්ල එක මිටට ගත්කළ පවතින සමාජයේ බරපතළ ඛේදවාචකයක ලක්ෂණ පෙන්නුම් කරන බව පැහැදිලිය.

අපේ රට සාමාන්‍යයෙන් සැළකෙන්නේ දැඩි ආගමික නැඹුරැවක් සහිත රටක් වශයෙනි. ඒ ගැන ලෝක සමීක්ෂණයකින් පවා කප් ගැසුවේ ඊයේ පෙරේදාය. බැලූ බැලූ අත ඕනෑම හන්දියක් හන්දියක් ගානේ රුස් විහිදෙන බුදු පිළිමය. කතෝලික ආගමික පසුබිමක් සහිත පළාත්වල හැමතැනම කුරුස හන්දි පිරිලාය. දෙමළ, මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල කෝවිල්, පල්ලි බැලූ බැලූ අත තිබේ. නමුත් සමාජයේ හරස් කඩක් ගත් කළ අපරාධ වැහි වැහැලාය. කොතැනක හෝ බරපතළ වැරැද්දක් සිදුව තිබේ. මේ ගැන රටේත් මුළු මහත් සමාජයේත් අවධානය වහාම යොමුවීම අවශ්‍යය. නොපමාව මේ කාරණය කෙරෙහි සැලකිලිමත් නුවූවොත් ඉදිරි කාලයේදී විශාල සමාජ පරිහානියක් සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත. උදේ හවස බණ කියන, බණ අසන රටක එසේ විය යුතු නැත.

සිදුවෙමින් පවතින ඛේදවාචකයේ තරම ඉහත අප සඳහන් කළ මිනීමැරුම් කිහිපයට මූලික වූ හේතූන් පිළිබඳව විමසීමෙන් වටහාගත හැකිය. එක කාන්තාවකට පිහියෙන් ඇන මරාදමා තිබුණේ ඇය නිතරම මොබයිල් ෆෝන් එකේ එල්ලී සිටීම නිසා කේන්තියට පත් සැමියා විසිනි. ඔහු එය ක්ෂණික කෝපය නිසා සිදුකළ මිනීමැරුමක් විය නොහැක්කේ නගරයට ගොස් රුපියල් හතළිහක් දී පිහියක් රැගෙන විත් බිරියට ඇනීම හේතුවෙනි. මවත් පියාත් මිනීමරාගන්නා විට ඔවුන්ගේ එකම පුතා ඒ අවස්ථාවේ පැවැති කරාතේ තරගාවලියෙන් රන් පදක්කම් දිනා තිබිණි. සුළු කරුණකට මිනීමැරීම කොතරම් සුලබ කරුණක්ද යන්නට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. රන්පදක්කම් දිනූ පුතා තරග අවසන් කරන විට මව මරා දමලාය. පියා අත්අඩංගුවේය. මේ දරැවාගේ අනාගතය කෙබඳු එකක් වනු ඇතිද? රටේ සමාජයේ සියලු දෙනාටම ගැඹුරින් සිතන්නට යමක් මේ මිනීමැරැමෙන් ඉතිරි කර ඇති බව හොඳින්ම වටහාගත හැකිය.

අප ඉහත සඳහන් කළ තවත් සිද්ධියකදී ඝාතනයට ලක්වී තිබුණේ 29 හැවිරිදි තරුණ කතකි. ඇය මරා දමා තිබුණේ 27 හැවිරිදි අනියම් සැමියා විසිනි. මරණකාරිය ඔහුගේ 13 වැනි අනියම් බිරිඳ බව පොලිස් පරීක්ෂණවලදී සොයාගෙන තිබිණි. මේ සැකකරු අනියම් බිරියන් ඇසුරුකර ඇත්තේ ඇඳුම් මාරැකරන ගාණටය. මෙවැනි මිනිසුන්ගේ ඇසුරට පත්වීමට සැදී පැහැදී සිටින කාන්තාවන් ඕනෑතරම් සමාජයේ බහුලවීම ලොකු ඛේදවාචකයකට පාර කපමින් තිබෙන බව පැහැදිලිය. මීළඟට අවාසනාවන්තම කාරණය වී තිබුණේ මේ යුවළට දාව ඉපැදී සිටි මාස 9ක දරු සිඟිත්තා බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීමය. ඉපැදී මාස 9කින් හව්හරණක් නොමැති තත්ත්වයට පත්වන මෙබඳු දරුවන්ගේ අනාගතය කොයි ආකාරයකට විසඳෙනු ඇත්දැයි සිතාගැනීම පවා බියකරු සිහිනයක් පමණක් බව පැවැසීම ප්‍රමාණවත්ය.

අද රටේ සිදුවෙමින් පවතින මෙවැනි ගෘහාශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් රටතුළ ඇතිවීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් අපි දකින්නෙමු. මේ රටේ විවිධ කාරණා සම්බන්ධයෙන් එහෙන් මෙහෙන් අටවා ගන්නා විවිධ සංවිධාන, සංගම් ආදිය තිබුණද සමාජයේ එක්තරා ස්ථරයක ඇතිවෙමින් තිබෙන සුළු දේටත් මිනීමරණ ආකල්පය වෙනස් කිරීමට සමත් කිසිදු සංවිධානයක් බිහි නොවීම කනගාටුවට කරැණකි. එය මෙහිදී සැලකිල්ලට ගැනීම අවශ්‍යය. මෙවැනි මිනීමැරුම් නැවැත්වීම පොලීසිවලට පමණක් සිදුකළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා පෙරමුණ ගත යුතුව තිබෙන විවිධ සංවිධාන තමන්ගේ වගකීම්වලින් බැහැරව සිටින තාක් මේ ගැටලුවට විසඳුමක් සොයාගැනීම අපහසු බව සඳහන් කරමු.

අතීතයේදී මෙවැනි අපරාධ මෙරටින් වාර්තා වූයේ ඈත ගම්දනව්වලිනි. එහෙත් දැන් දැන් සුළු කරුණකටත් මිනීමරණ සිදුවීම් නගරාශ්‍රිතව වැඩි වැඩියෙන් වාර්තා වෙමින් තිබේ. හරියට බැලුවොත් මේ බොහොමයක් මිනීමැරැම් එකම පවුලේ හෝ සමීප ඥාතීන් අතරේ සිදුවන ඒවා බව හඳුනාගත හැකිය. ඒවාට හේතුවී ඇත්තේ සුළු සිත් රිදීමක්, සැකයක් හො ක්ෂණික කෝපයක් වැනි එතරම් බරපතළ නොවන කාරණා බව පෙනෙන්නට තිබීම මෙහි ඇති ලොකුම ඛේදවාචකයයි. වළක්වා ගැනීමට හැකියාව තිබෙන ගෘහාශ්‍රිත මිනීමැරැම් සහ වෙනත් පෞද්ගලික මට්ටමේ අපරාධ මෙරටින් තුරන් කරදැමීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබේ. නොපමාව ඒ කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමුකිරීම අවශ්‍යය. එසේ නොවන තාක් මෙවැනි මිනීමැරැම් දිගින් දිගටම සිදුවනු ඇත.