2017 මැයි 06 වන සෙනසුරාදා

ලෝකෙට පුළුවන් නම් ඇයි අපට බැරි?

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

කොළඹ නිවෙස්වල එකතුවන කසළ සියයට 30කින් අඩුකරගන්නැයි කොළඹ මහ නගර සභාවට දැනුම් දීමක් සිදුකෙරී තිබේ. බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයා විසින් මේ දැනුම්දීම සිදුකර ඇත්තේ සතිපතා එම නගර සභාවේ කසළ ගෙනයාමේ ප්‍රගතිය විමසා බලන බවට අනතුරු ඇඟවීමක් ද කරමිනි. මෙම අවවාදාත්මක උපදේශයේ හොඳ නරක ගැන කිසියම් අගැයීමක් කිරීම අවශ්‍ය බව අපගේ අදහසය.

පසුගියදා පැවැති මැයි රැලිවල පුරාජේරු කතාවලින් තරමක් දුරට “හයිජැක් නොකරන්නට පසුගිය සතිකිහිපය මුළුල්ලේම රටේ ප්‍රධානම මාතෘකාව වී තිබුණේ කුණු කසළය. සිකුරාදා (05) පැවැති වැඩ වර්ජනද එම මාතෘකාවේ සැර බාලකළත් තවමත් රටේ හොඳම මාතෘකාව වී තිබෙන්නේ කුණු බවට විවාදයක් නැත. මේ නිසා කොළඹ ගෙවල්වල කුණු කසළ එක්රැස්වීම සියයට 30කින් නැතහොත් ආසන්නව තුනෙන් එකකින් අඩු කරගත යුතු බවට සිදුකෙරුණු දැනුම් දීම රටටම අදාළ වන බව කිව යුතුය.

ගෙවල්වල කුණුවලින් තුනෙන් එකක් අඩුකර ගැනීම යනු රට පුරා කුණු ගොඩගැසීම තුනෙන් එකකින් අඩුවීමකි. එය ක්‍රියාත්මක කළහැකි නම් වෙලාවේ හැටියට මසුරං වටිනා වැඩකි.
මේ වැඩේ සිදුකළ හැකි ක්‍රමවේදයක් ද අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයා කියාදී තිබිණි. ඊට අනුව නිවෙස්වලින් නගර සභාවට කසළ බාරගත යුතුවන්නේ වර්ග කිරීමෙන් පසුවය. කුණු රැගෙන යාමට පැමිණෙන රථවල සේවකයන්ට ඒවා වර්ග කිරීමට වේලාවක් නැත. මේ නිසා වර්ග කිරීම සිදුකළ යුතුවන්නේ ගෙහිමියන් විසිනි. එහි වැරුද්දක් නැත. තමන්ගේ නිවෙසේ කුණු කසළ එකතු වන අවස්ථාවේම ඒවා වර්ග කර වෙන්කර තැබීම අමාරු වැඩක් නොවේ. ඊට මහලොකු කාලයක් වැයවන්නේද නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම පමණි. කැපවීමක් තිබීම පමණි.

මීළඟට ලබා තිබූ උපදේශය වූයේ අදාළ නිවෙස්වල අඩුම වශයෙන් අතිරේක පර්චස් එකක බිම් කඩක් තිබේ නම් එවැනි නිවෙස්වලින් කසළ බාර ගතයුතු නැති බවයි. එයනම් තරමක අමාරු වැඩක් බව බැලූ බැල්මටම පෙනීයයි. අනුන්ගේ ගෙමිදුල්වල දිග පළල මනින්නට යාම නම් සුදුසු වැඩක් නොවේ. බොහෝ විට කුණු ගෙනයාම පිණිස රථ හෝ කරත්තයේ සමඟ සේවක පිරිස් පැමිණෙන විට නිවෙස්වල සිටිනුයේ කාන්තාවන් පමණි. සමහර විට වයෝ වෘද්ධ පුද්ගලයන් පමණි. ඇතැම් විට කුඩා ළමයි සහ ඔවුන් බලාගන්න වැඩිහිටියන් පමණි. එවැනි අවස්ථාවක ගෙදර තිබෙන වැඩිපුර පර්චස් දෙක පිළිබඳව සොයා බලන්නට යාම “කුණු වැඩක් හැටියට ඕනෑ කෙනකුට තේරුම් යාමට ඉඩ තිබේ. එසේ වුවොත් වර්ග කරන ලද කුණු කසළ වෙනුවට වඩාත් හොඳින් වර්ග කරන ලද කුණු වචන බාරගන්නට සිදු වීමටත් ඉඩ තිබේ.

කෙසේ වුවද නිවෙස්වලින් කසළ බාරගන්නා ප්‍රමාණය අඩුකිරීම සඳහා එම ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නැයි නගර සභාවේ නිලධාරීන්ට දැනුම් දීමටද අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබිණි. එය නම් වටිනා අදහසකි. ඇතැම් නිවෙස් හිමියන්ට කසළ ප්‍රමාණය අඩුකර ගැනීමට කොතරම් අවශ්‍යතාවක් තිබුණද එය හරිහැටි කරගන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් නැත. නගර සභාවේ නිලධාරීන්ට එවැනි අවස්ථාවලදී ඔවුන් දැනුවත් කිරීමට මැදිහත් විය හැකිය. ඒ සඳහා වැඩපිළිවෙළවල් සංවිධානය කළ හැකිය. කොළඹ පමණක් නොව මුළු රටේම කුණු කසළ ගැටලුවලට තදින්ම මුහුණ දෙන ජනාකීර්ණ නගරවල මෙවැනි දැනුවත් කිරීම් සිදුකළ හැකිනම් එහි ප්‍රතඵල අයහපත් නොවනු ඇති බව අපගේ විශ්වාසයයි.

මේ රටේ මෙතරම් බරපතළ කුණු කසළ ගැටලුවක් පවතින බව මීතොටමුල්ල කන්ද කඩා වැටී මහා ව්‍යසනයක් වනතුරැ බොහෝ දෙනා දැන සිටියේ නැත. කොටින්ම තමන් විසින් සිතාමතා හෝ එසේ නැතිව හෝ ඉවත හෙළන කුණු කවදා හෝ තවත් කෙනතුගේ මාරයා වනු ඇතැයි මේ කිසිම කෙනකු නොසිතූ බව සහතිකය. නමුත් දැන් කුණු කසළ මාරයා හැම නිවසකම දොරට තට්ටු කරමින් සිටී. එයට මුහුණදී එම ගැටලුවෙන් ජයගන්න ක්‍රමයක් සෙවීම රටේ වගකිය යුතු සියලු වැසියන්ගේ යුතුකමකි. ඒ වෙනුවෙන් කැපවීම ජාතික අවශ්‍යතාවකි.

කුණු කසළ ප්‍රශ්නවලින් බැට කන එකම රට ලංකාව නොවේ. ලොවේ මහ බලවත් රටවල් සේම ඉතා දිළිඳු, සංවර්ධනයක් නොසිදු වූ රටවල්වලට පවා කුණු කසළ යනු ගැටලුවකි. එහෙත් බලවත් එසේම සංවර්ධනය වූ සහ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් තමන්ගේ කුණු සාර්ථකව කළමනාකරණය කරන බව රහසක් නොවේ. එම කළමනාකරණ ක්‍රියාදාමය රටින් රටට වෙනස් වන බවද දැන සිටීම අවශ්‍යය.
අමෙරිකාවේ එය සිදුවන්නේ එක් ආකාරයකටය. ජපානය ඉහළ තාක්ෂණික ක්‍රම භාවිත කරන විට ඉන්දියාව ඊට වෙනස් ක්‍රම අනුගමනය කරයි. යුරෝපීය රටවල කුණු කසළ කළමනාකරණය ඉතාම දියුණු තලයක පවත්වාගෙන යයි. සාර්ථකව තම රටේ කුණු කළමනාකරණය කරගන්නා එවැනි රටවල් ප්‍රතිචක්‍රීකරණය සහ බලශක්තිය නිපදවා ගැනීම වැනි ඵලදායි ක්‍රම හරහා කුණු කසළ ආර්ථික සම්පත් බවට පත්කරගෙන සිටී. අපට එතරම් හපන්කම් සිදුකිරීමට තවම නොහැකි බව සැබෑවකි. එහෙත් එය කොතැනකින් හෝ ආරම්භ කිරීම අවශ්‍යය. ඒ සඳහා හොඳම පියවරක් වනුයේ නිවසේ කුණු කසළ නිවෙසේදීම කළමනාකරණය කරගැනීමය. තුනෙන් එකක් කසළ ගෙදරදීම විනාස කර දැමීය හැකිනම් එය හොඳම ආරම්භක පියවරක් වනු ඇත්තේ එබැවිනි.

අපේ රටේ පහසුවෙන් විසඳා ගතහැකි බොහෝමයක් ප්‍රශ්න වනකරගන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින් බව නොරහසකි. පෞද්ගලිකව එකිනෙකා අතර පවතින මතගැටුම් ද එක් අයකු පරයා අනෙකා ඉස්මතු වීමට පවතින තරගයද විසින් මේ තත්ත්වයට මගපාදා තිබේ. කුණු කසළ ප්‍රශ්නයද එසේය. එයට “ලොරි ටෝක් දීම පමණක් ප්‍රමාණවත් නැත. අඩුම වශයෙන් නිවෙසේ කුණු කළමනාකරණය සඳහා මහජනතාව පෙළඹවීමට දේශපාලනඥයන් එක පියවරක් හෝ ඉදිරියට තබන්ෙන් නම් එය“ලොරි ටෝක් දහසකට වඩා වටිනා බව සඳහන් කළ යුතුය.      

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00