2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මැයි ගිනියමේ දත් ගැලවීම

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190

මැයි දිනය කටේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ සංවිධායක ධූරය අහිමි කිරීම පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව පැහැදිලි ඉඟියක් ලබා දී තිබෙන බව බොහොමයක් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ජනක ශ්‍රීලනිපයේ උරුමක්කරුවෙකි. ඔහුට පාර්ලිමේන්තුව තුළ සමාන වන්නේ තවත් දෙදෙනකු  පමණි. ඒ මහින්ද සහ චමල්ය. බණ්ඩාරනායකලා, රාජපක්ෂලා ශ්‍රීලනිපය හදන්න මුලපුරද්දී එහි කැඳවුම්කරු සහ පළමු සම ලේකම්වරයා වූයේ ජනකගේ පියාණන් වූ ටී.බී. තෙන්නකෝන්ය. ඔහු ඒ කාලයේ රටම දැන සිටි කවියෙක් විය.
හරියට බැලුවොත් මේ උගුල්ලා තිබෙන්නේ ශ්‍රීලනිපයේ ඉස්සරහම දතකි. ඩිලාන් කළින් කියූ කතාවට අනුව මෙය රෙඩ් කාඩ් ගෙඩිය පිටින්ම පෙන් වූ අවස්ථාවකි. ජනක කියන්නේ තමන් දඹුල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම ශ්‍රීලනිපයේ ගමනක අවසානයේ ආරම්භය බවය. ඔහු මේ ඉවත් කිරීමත් සමඟ බෙහෙවින් සංවේදී තත්ත්වයකට පත් වූ බව පෙනී ගියේ තමන්ගේ පියා අද ජීවතුන් අතර සිටියා නම් ඔහු මියයනු ඇත්තේ මේ ගැන දැනගත් විගසම බවට කළ සඳහන එක්කය. ඒ සමඟ ඔහුගේ පුත් ප්‍රමිත ද සිය ධූරය අතහැරීම දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූයේ නැගී එන තරුණ දේශපාලනඥයකු වන ඔහුගේ ඉදිරි ගමනට මේ තීරණය කොතරම් දුරකට හානියක් සිදුකරනු ඇතිදැයි කුකුසක් මතු වූ බැවිනි.

ජනක තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් මුලින්ම දිව්රුම් දෙන්නේ 1994 අගෝස්තු 16 වැනිදා චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේය. පසුව 2000 සිට 2001 දක්වා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති වූ ජනක කැබිනට් ඇමැතිවරයකු වන්නේ 2004 වසරේදීය. ඒ පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා වශයෙනි. 2010 දී ඔහු ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති වශයෙන් 2015 අගෝස්තු දක්වා කටයුතු කළේය. ඉන් පසුව ඔහු ඔක්තෝබර් 06 වැනිදා 1999 වසරේදී සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට ගනු ලැබීය. අසනීප තත්ත්වයකින් පෙළෙමින් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිරභාරයට පත් වූ ඔහු පසුව නිදහස් කරනු ලැබීය.

ජනකගේ අස්කිරීම මහින්ද පාර්ශ්වයටද වැදුණු පහරක් විය. මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ පක්ෂයේ පතාක යෝධයන් ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් කරගෙන යන වැඩපිළිවෙළ නිසා පක්ෂය දෙකඩ වීමේ වගකීම පක්ෂ නායකයා බාරගත යුතු බවය. පසුගිය අවුරුදු දෙක මුළුල්ලේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විටින් විට ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරන බවත්, ශ්‍රීලනිප පාක්ෂික ඡන්දවලින් පත්කරගත් අතිශයින් ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම එජාපයේ ජය තහවුරු කිරීමක් බවත් මහින්ද තම නිවේදනයෙන් චෝදනා කරයි. මේ වන විට ආසන සංවිධායක ධූර අහිමි කරවනු ලැබූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ද මහින්ද තම නිවේදනයේ සඳහන් කර ඇත. ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදාන ගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරි, ඩී.බී. හේරත් සහ කාංචන විජේසේකර එම මන්ත්‍රීවරු වෙති.

ජනක ගැන විශේෂයෙන් සඳහන් කරන මහින්ද පවසන්නේ ඔහුගේ දිවංගත පියා ටී.බී. තෙන්නකෝන් ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයකු බවය. ඔහු 56 විප්ලවයේ පුරෝගාමියෙක් වූ බවය. ජනක සමඟ අස් කළ ලොහාන් වෙනුවෙන් මහින්ද කියා ඇත්තේ ඔහුගේ දිවංගත පියා ශ්‍රීලනිපයට කළ සේවය ගණන් ගෙන නැති බවය. ස්වේච්ඡාවෙන්ම ආසන සංවිධායක ධූර අතහැර ගිය ඩලස්, ජනක වක්කුඹුර හා රෝහණ දිසානායකගේ නම් ද මහින්දගේ නිවේදනයේ දක්වා තිබේ. ශ්‍රීලනිපයේ වත්මන් ලේකම් දුමින්ද දිසානායක සඳහන් කර තිබුණේ දුර්වල සංවිධායකයන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මැයි දිනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් කැපවීමක් නොපෙන්වීම නිසා ජනකත් ලොහානුත් ඉවත් කළ බවය. ඔහු විශේෂයෙන්ම සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමේ සටන සාර්ථක කරගැනීම සඳහා මුලපිරූ එක් ජ්‍යෙෂ්ඨයකු වන්නේ ජනක බණ්ඩාර බවයි. නමුත් ජනක බණ්ඩාර අප පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී එම කතාව ප්‍රතික්ෂේප කළේය. (එම සාකච්ඡාව වෙනම පළවෙයි.)

ඒ කෙසේ වුවද මෛත්‍රීපාල ශ්‍රීලනිපය අතහැර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා 2014 නොවැම්බර් 21 වැනිදා තමා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබිණි. එහි ඇමැතිවරයා වශයෙන් සභාව අමතමින් සිටි ජනක මාතලේ දිස්ත්‍රික්කයේ එක් නියෝජ්‍ය ඇමැතිවරයෙක් තමන්ටද දැනුම් නොදී තම ආසනයට ඇවිත් ඉඩම් ඔප්පු බෙදා දී ඇති බවට චෝදනා නැගුවේය. තමා මේ ගැන ජනාධිපතිවරයාට පැමිණිලි කළ විට ඒ පිළිබඳව සොයා බලා තීන්දුවක් දෙන බව පැවැසුවද අද වනතුරු කිසිදු තීන්දුවක් තමන්ට නොදුන් බවද පැවැසූ ජනක මෙසේද කිව්වේය.

“මේ ප්‍රශ්න පටන් ගත්තේ එතනෝල් හා මත්ද්‍රව්‍ය බිස්නස්කාරයෝ පාර්ලිමේන්තුවට ඇවිත් සිටීම නිසායි. මේකයි පරිහානියට හේතුව. අපේ පරිහානිය ඇරුඹුණේ ඒ නිසයි. මෙවැනි පරිහානි යුගයක ජීවත් වීමට සිදුවීම ගැන මම ඇත්තෙන්ම කනගාටු වෙනවා.” ඔහු මේ චෝදනාව නැගුවේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කල්ක්‍රියාව ගැනය. ඔහු මේ කතාව පාර්ලිමේන්තුවේ කරන අවස්ථාවේ කොළඹ නව නගර ශාලාවේ මෛත්‍රීපාල මාධ්‍ය හමුව පවත්වමින් සිටියේය. මේ සියල්ල දැන් අතීත සිදුවීම්ය. අද ජනක මහින්දට ළං වී කියන්නේ තමා ඔහුට සම්පූර්ණ සහාය පළකරන බවය. මහින්ද නියෝජනය කරන්නේ නියම ශ්‍රීලනිපය බවය. මහින්ද කියන්නේ ජනක ශ්‍රීලනිපයේ පතාක යෝධයකු බවය. ඔවුන් ඉවත් කිරීම පක්ෂය දෙකඩ කිරීමක් බවය. දේශපාලනයේ හැටි මෙහෙමය. ඔක්කොම කනපිට පෙරළෙන්න ගියේ බොහොම ටික කාලයක් පමණි.

ශ්‍රීලනිපය ඇතුළේ පවතින බල අරගලයට මෙවර මැයි දිනය ඉතාම තීරණාත්මක වන ආකාරයක් මේ සිදුවීම් අනුව පෙනෙන්නට තිබේ. එකම පක්ෂයක් මේ ආකාරයට දෙකට බෙදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරගනිමින් මැයි දිනය දෙපැත්තක පැවැත්වීම ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ බලවත් කනස්සලට හේතු වී තිබේ. පසුගිය අවුරුද්දේ මහින්දලා කිරුළපන මැයි රැලිය තබද්දී මෛත්‍රීපාලලා තම රැලිය තිබ්බේ ගාල්ලේය. මේ නිසා කිරුළපන රැලියට පැමිණ තම මුහුණ පෙන්නූ සමහරු ඊළඟට කොට්ටාවට ගොස් හයිවේ එක දිගේ පැය එකහමාරකින් ගාලු රැලියට ගිය බවත්, තවත් පිරිසක් ගාලු රැලියේ ලොකු ලොක්කන්ට මුහුණු පෙන්වා හයිවේ එක දිගේ කොට්ටාවට ඇවිත් කිරුළපන රැස්වීමේ ලොක්කන්ට මුහුණ පෙන්වූ බවත් ප්‍රසිද්ධ රහසක් විය. නමුත් මෙවර එයට ඉඩක් නැත. කොළඹ ගෝල්ෆේස් පිටියේ සිට මහනුවර ගැටඹේ පිටියට යා හැකි හයිවේ එකක් නැත. කෙටි මාර්ගයක්ද නැත. මේ නිසා ගොල්ෆේස් රැලියට එන පිරිස් එතැනත්, ගැටඹෙට යන පිරිස් එතැනත් රැඳෙනවා හැර කරන්නට දෙයක් නැත. සෙනග එකතු කිරීමේ යුද්ධයෙන් ජයගන්නේ කවුදැයි හරියටම බලාගත හැකිවන්නේ හෙට (01) දිනයේදීය. කුමන පිටියට සෙනග ඇදුණත් එම සෙනග ශ්‍රීලනිපයේ අත ලකුණ දෙකට මැදින් ඉරාගෙන යාමක් වීම වැළැක්විය නොහැක.

මේ අලකලංචි මැද්දේ එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා සංවිධායක පදවි අහෝසිය ගැන උත්තර බැන්දේ බ්‍රහස්පතින්දා (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. ඔහු ප්‍රකාශ කළේ ක්‍රියාකාරී නොවන පුද්ගලයන් සංවිධායක පදවිවලින් ඉවත් කළ යුතු බවය. “අපි සමහර සංවිධායකවරුන් ඉවත් කළා. ක්‍රියාකාරී නොවන අය ඉවත් කරනවා. පුද්ගලයන් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැබළෙන්නෙ නැහැ. පුද්ගලයන් බැබළෙන්නේ පක්ෂය නිසයි.” ඇමැතිවරයා එහිදී කිව්වේය. ඔහු රජයට තදින්ම පහර ගසන වෙබ් අඩවි ගැනද සඳහන් කළේය. “මේ රටේ තරම් මඩ ගහන්න, අපහාස කරන්න, ෆේස් බුක් තියෙන රටක් තුන්ලෝකෙම නැතුව ඇති. දේශපාලනඥයන්ටත් ඔහේ මඩ ගහනවා. මේ තත්ත්වය මෙහෙම තිබුණොත් රටේ උගත්, වැදගත්, කිසිම කෙනෙක් දේශපාලනයට එන එකක් නැහැ. මඩවලට ඔරොත්තු දෙන අය විතරක් දේශපාලනයේ රැඳේවි. ඒක රටට හිතකර නැහැ.” යැයි ඇමැතිවරයා කියා තිබුණි.

රටේ මැයි දිනය ආසන්න වන විට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වන ශ්‍රීලනිපයේ අභ්‍යන්තර බල අරගලය තීරණාත්මක පැත්තකට හැරෙමින් තිබෙන්නේ ඒ ආකාරයටය. මේ ගැටුම සමතයකට පත්කර පාර්ශව දෙක සමගි කරවීමට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් උත්සාහ දරමින් සිටින්නේ මේ පසුබිමේය. ඔවුන්ගේ වෑයම වී තිබෙන්නේ පාර්ශව දෙක එකතු කොට ඇතිවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකර ගැනීම බව කියයි. එයට හරහට හිටින්නේ එවැනි සමගියක් කතා කිරීමට පෙර යූ.එන්.පී.ය සමඟ සියලු සබඳකම් අත්හැරීම අවශ්‍ය බවය. එහි අනෙක් අරුත ආණ්ඩුව අතහැරිය යුතු බවය. එවැනි එකඟතාවකට ආණ්ඩුවේ තනතුරු දරණ මැති ඇමැතිවරුන් කොයිතරම් දුරකට කැමැතිවේදැයි කීම අපහසුය. මේ රජය පවත්වාගෙන යන්නේ ශ්‍රීලනිපයේත් යූ.එන්.පී.යේත් එකඟතාවයකිනි. එම එකඟතාව එක් පාර්ශ්වයක උවමනාවට කඩ කළ නොහැක. නමුත් ඩිලාන් ඇමැතිවරයා කියා තිබුණේ පක්ෂ දෙකේ සමගි සම්මුතිය අගෝස්තු 17 වැනිදාට ඉවරවෙන බවය. ඒ ආකාරයට කටයුතු සිදුවෙයි නම් මේ ඇමැතිවරුන්ගේ මෙහෙයුමත් ඒ කාලයේදී ක්‍රියාත්මක කරවා ගැනීමට සමහරුන් තුළ උවමනාවක් තිබිය හැකිය.
මේ කරුණු කෙසේ වුවත් මැයි දිනය ශ්‍රීලනිපයට නම් තීරණාත්මක වන බව ඉතාම පැහැදිලිය. බර වෙන්නේ කොයි පැත්තට දැයි පාක්ෂිකයන්ට කිසියම් ඉඟියක් ඉන් ලැබෙනු ඇත. මේ අතර ජනාධිපතිවරයා විසින් සිදුකරන බව කියන ඇමැති මාරුව දැන් යහපාලන රජයේ අළුයට ගිනිපුපුරු බවට පත්වෙමින් තිබේ. සිදුවීමට නියමිත විෂය මාරුව පිළිබඳව අගමැතිවරයාට ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙන බවද සඳහන් වෙයි. රටේ අර්ථිකය පිළිබඳව ජනාධිපතිවරයා එදා ප්‍රශංසා මුඛයෙන් කතා කළත් මුදල් ඇමැති විෂයයේ මාරුවක් සිදුවීම නියතයක් බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. විදේශ ඇමැති විෂයය සම්බන්ධයෙන්ද බොහෝ කටකතා පවතින අතර ඇතැම් විචාරකයන්ගේ මතය වෙනත් තනතුරු වෙනස් වීම් කෙසේ වෙතත් මේ විෂයයන් දෙකේ අන්‍යොන්‍ය හුවමාරුවක් සිදුවිය හැකි බවය. නමුත් මෙවැනි විෂය මාරුවකට යූ.එන්.පී.යේ කැමැත්තක් නැති බව විටින් විට ප්‍රකාශයට පත්වී තිබේ. ඇමැති මාරුව අඬුව තිබෙද්දී අත පුච්චාගැනීමක් වීමටත් ඉඩ තිබෙන බව සමහරුන් කියන්නේ ඒ නිසාය. දිනේෂ් නම් බ්‍රහස්පතින්දා (27) පැවැති මාධ්‍ය හමුවකදී කියා තිබුණේ ඇමැති සංශෝධන කල් යන්නේ රටේ පවතින දේශපාලන අවිනිශ්චිතභාවය නිසා බවය. මෙය රටට එතරම් හොඳ නැති බවද ඔහු කියා තිබුණි. 

ඇමැති මාරුව තවදුරටත් කල් යනු ඇතිදැයි ලබන සතිය වන විට බලාගත හැකිවනු ඇත. පසුගිය සතියේ කැබිනට් රැස්වීමේදී පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ පවතින උද්ඝෝෂණ, විරෝධතා මැඩපැවැත්වීම සඳහා නව හමුදා තනතුරකට පත්කළ යුතුයැයි ජනාධිපතිවරයා කර තිබූ යෝජනාව රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ මේ පසුබිමේය. දිනෙන් දින වැඩිවෙමින් පවතින උද්ඝෝෂණ හේතුවෙන් රටේ ඉදිරි ගමනට එල්ල වී ඇති බාධා මඟහරවා ගැනීම සඳහා සරත් ෆොන්සේකාට හැසිරවිය හැකි බලකායක් නිර්මාණය කළ යුතු බවට අදහසක් කැබිනට් රැස්වීමේදී මතුවී තිබූ බව කියති.

ආණ්ඩුව සහාය දක්වන පාර්ශ්වවල සහාය එම අදහසට ලැබුණත් සෙසු පාර්ශ්වවලින් එයට නැගුණේ ලොකු විරෝධයකි. ජ.වි.පෙ. කියා තිබුණේ මෙය මිලිටරි පාලනයක පළමු පියවර කියාය. එවැනි පදවියක් ඇති කළොත් ඊට එරෙහිව තමන් සටන් කරන බවද කියා තිබුණි. දිනේෂ් කියා තිබුණේ තමන්ට ආණ්ඩු කළ නොහැකි බව ආණ්ඩුව විසින්ම පිළිගෙන තිබීම නිසාම මර්දනය දියත් කිරීමට සරත් ෆොන්සේකා සියලු සේනාංකවල ප්‍රධානියා බවට පත්කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

කෙසේ වුවද ඊට පසුව ආණ්ඩුව කියා තිබුණේ ෆොන්සේකාට හමුදා බලයක් දෙන තීන්දුවක් නොගත් බවය. හමුදාවට ඉහළින් කිසිම තනතුරක් නැති බවත් කැබිනට් මණ්ඩලය එවැනි කිසිදු තීරණයක් ගෙන නැති බවත් මහින්ද අමරවීර කිව්වේය. එස්.බී. ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී කළේ විහිළුවක් බවය. විශේෂ ඒකකයක් පිහිටුවා එය සරත් ෆොන්සේකාට බාරදෙන අදහස තමන් දුටුවේ විහිළුවක් ලෙස බවත් ඊට එහා දෙයක් තමාට නොදැනුණ බවත් ඔහු කීය. එසේ නම් කැබිනට් ප්‍රකාශක රාජිතට විශාල වැරදීමක් සිදුව තිබෙන බව පැහැදිලිය. ජනාධිපතිවරයා සැහැල්ලුවෙන් පවසන කාරණාවක් “සීරියස්” විදියට මාධ්‍යයට කියාදැමීම හොඳ වැඩක් නොවේ. ඔහු මේ ප්‍රකාශය කළ පසුව මාධ්‍යවේදීන් දැඩිව ප්‍රශ්න කර තිබුණේ මේ රටේ කර්තෘවරැන් ඝාතනය වූයේ, මාධ්‍යවේදීන්ට පහරදුන්නේ, මාධ්‍යවේදීන් අතුරුදන් කරනු ලැබුවේ ඔහු හමුදාපති ධූරය දැරූ කාලයේ නොවේද කියාය. එයට රාජිතගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත.

මේ අතර එම ප්‍රකාශයට සහාය දක්වමින් කතා කළ ඇමැතිවරු පිරිසක්ද වෙති. තලතා අතුකෝරළ ප්‍රකාශ කර තිබුණේ එවැනි ඒකකයක් අවශ්‍ය බවය. රජයේ වැඩපිළිවෙළ සිතාමතා කඩාකප්පල් කර දැමීමට ක්‍රියා කරන කොටස් මැඩපැවැත්වීම අවශ්‍ය බවත් කියා තිබූ තලතා මැයි 1 වැනිදාට පසුව බලාගනිමු යැයි ද කියා තිබුණාය. විජිත් විජයමුණි අගමැතිවරයා එස්.බී. ළඟ සිටියදීම කියා තිබුණේ එය කැබිනට් තීරණයක් බවත් ෆොන්සේකාට වැඩේ බාරදී ඇති බවත්ය. මෙවැනි හතරබීරි කතා නිසා ආණ්ඩුවේ තීන්දු තීරණ පිළිබඳව දෙවරක් නොව කීපවරක්ම සිතා බැලීමට රටේ ජනතාව පෙළඹී සිටීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් කියන්නේ මේ ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා බවය. මේ කතාබහ සියල්ලෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව තමන්ගේ යහපාලන ප්‍රතිපත්ති දෙස හැරී බලන්නට පෙළැඹී සිටින බවය. මේ වන විට විවිධ කාරණා හේතුවෙන් පෙළගැසෙමින් තිබෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අවසානයේ පාලනය කරගත නොහැකි මට්ටමකට පෙරළෙනු ඇති බවට ආණ්ඩුවට හිතවත් සමහර පාර්ශ්ව පෙන්වා දී තිබේ. යහපාලන ප්‍රතිපත්ති යැයි පවසා නිහඬව සිටීම විපක්ෂයේ ඇතැම් කොටස් ආණ්ඩුව දුර්වල වී බව හුවා දැක්වීමට උපයෝගී කරගෙන ඇති බවද පෙන්වා දී තිබේ. මේ තත්ත්වය දැන්ම වළක්වා නොගතහොත් විපක්ෂයේ ඇතැම් කොටස්වලට අවශ්‍ය අවස්ථාවකදී රටම මහා වැඩවර්ජනයකට පොළඹවා ගැනීමේ ඉඩකඩක් ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

2015 දී රජය පිහිටුවූ දා පටන් තමන්ට අවශ්‍ය වූ වෙනස්කම්, ප්‍රතිසංස්කරණ, සංවර්ධන යෝජනා ක්‍රම ඉදිරියට තල්ලු කරගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව බොරුවක් නොවේ. එක් එක් පාර්ශ්වවලින් ඒවාට විරෝධතා එල්ල විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවෙන් බලාපොරොත්තු වූ ඇතැම් කරුණු අදහස් කරගෙන තිබූ පරිදි ක්‍රියාත්මක කළ නොහැකි විය. එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ තවම එකඟතාවක් ඇති කරගැනීමට හැකි වී නැත. මේවාට හේතු වූයේ රජයේ තීරණවලට එරෙහිව විශාල වශයෙන් විරෝධතා පැන නැගීමය. ඊළඟට රජය කීපවරක් උත්සාහ කළද හම්බන්තොට වරාය ගිවිසුමද අත්සන් කරගැනීමට හැකියාවක් ලැබී නැත. මේ මෑතකදීම ත්‍රි^මලේ තෙල් ටැංකි සම්බන්ධ යෝජනාවද රජයට හකුලා ගැනීමට සිදුවූයේ තෙල් සංස්ථා වැඩවර්ජනය හේතුවෙනි. අවසානයේ අගමැතිවරයාට සිදුවූයේ තමන් එවැනි ගිවිසුමකට ඉන්දියාවේදී අත්සන් නොකරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමටය. සයිටම් ප්‍රශ්නයද එසේමය. ඒ සඳහා විසඳුමකට යා හැකි යෝජනා ගණනාවක් රජය ලබාදුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට අනුකූලතාවක් නොදක්වයි. රටේ වෛද්‍ය පීඨ සියලු ඉගැන්වීම් නවතා දමා දැන් දින 120ක්ද ඉක්මවා ගොසිනි. එහෙත් විසඳුමට කවුරුත් එකඟ නැත. මේ පසුබිම යටතේ කැබිනට් රැස්වීම අතරතුරදී ජනාධිපතිවරයා විහිළුවට මෙන් කළ බව කියන ප්‍රකාශය අල්ලාගෙන ඇමැතිවරුන් රැස්වීම ඇතුළතදී ද එකිනෙකා විහිළු කරගත් බව දැනගන්නට තිබේ. නමුත් මෙවැනි කතාවක් එළියට ආ විට එය විහිළුවක් නොවන බව දැනගෙන කටයුතු කිරීම වඩාත් සුදුසුය.

මේ අතර බොහෝ කරුණු මැද පීඩනයක සිටි ආණ්ඩුවට ජී.එස්.පී. ප්ලස් ලබාගැනීමට තිබූ ලොකුම බාධාව ඉවත් කරගන්නට ලැබීම විශාල සහනයක් වනු ඇත. ශ්‍රී ලංකාවට එම පහසුකම ලබාදීමට විරෝධය පළ කර යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡන්ද 317කින් පරාජයට පත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දා (27) ය. මෙය නිසැකවම රජයට ජාත්‍යන්තරයෙන් ලැබුණු වටිනා චරිත සහතිකයකි. රජයේ ඉදිරි ගමනට ඔවුන්ගේ සහාය ලැබෙන බවට ලොකු ඉඟියකි. මේ සහනය ලබන ජූනි මාසයේදී ලබාගැනීමට දැන් ශ්‍රී ලංකාවට හැකියාව තිබේ. වෙනත් බාධාවක් නැතිවුවහොත් මේ සහනය හේතුවෙන් රටේ ආර්ථිකයට ඉදිරි දෙවසරක කාලය තුළදී විශාල ඉදිරි ගැම්මක් ලැබෙනු ඇත.

ආණ්ඩුවට නම් නිසැකවම ජී.එස්.පී. සහනය පෙනෙනු ඇත්තේ අඳුරු වලාවකින් මතුවන රිදී රේඛාවක් හැටියටය. මෙවැනි රිදී රේඛා තව තවත් මතුවනු ඇතැයි ආණ්ඩුව සිහින දකිමින් සිටින බවට නම් සැකයක් නැත.

I ශශීන්ද්‍ර