2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

බැඳුම්කර ගනුදෙනුව මහ විශාල වංචාවක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතා

වැඩකරන ජනතාවගේ අයිතීන් සුරැකීම, විකල්ප ආර්ථිකය, නව ව්‍යවස්ථාව, වාම බලවේගයේ සමගිය තේමා කරගනිමින් මැයි පළමුවන දිනට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට සූදානම්ව සිටින ශ්‍රී ලංකා කොමියුනිෂ්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතා සමඟ දේශය කළ සාකච්ඡාවකි.

ලෝක ප්‍රජාව මැයි දිනය සමරන්නේ කම්කරුවන් විදියට එකතුවෙලා. ඒත් ලංකාවේ පක්ෂ වටා එකතුවෙලා නේද සමරන්නේ?

එය පසුකාලීනව විකාශනය වුණ ආකාරයක්. මුල් කාලයේ මැයි දිනය ආරම්භ කළේ වෘත්තීය සමිති විසින්. පසුකාලීනව දේශපාලන නායකත්වය යටතේ වෘත්තීය සමිති ගොඩනැගීමත් සමග ක්‍රමානුකූලව මැයි දිනය දේශපාලන පක්ෂවල දිනයක් බවට පත්වුණා.

එලෙස දේශපාලන පක්ෂවල දිනයක් බවට පත්වෙන්නේ ලංකාවේ කම්කරු නායකයෝ නැති හින්දා නේද?

අපි පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා කොමියුනිෂ්ට් පක්ෂයේ කම්කරු දිනයක් සමරන්නේ නැහැ. අපි පවත්වන්නේ ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ මැයි දිනයක්. අපේ පක්ෂය වෘත්තිය සමිතියට නායකත්වය දෙනවා වුණත් මැයි දිනයේදී ඉදිරියෙන් ඉන්නේ වෘත්තිය සමිතිය. අද පක්ෂ ක්‍රමයේ විකාශනත් එක්ක මැයි දිනය අනෙකුත් පක්ෂ අතර තරගකාරී මුහුණුවරක් ගෙන තියෙනවා. කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවට ඒ ඒ පක්ෂයේ ඡන්ද පදනමේ බලය උරගා බැලීමේ අවස්ථාවක් බවට පත්වෙලා. එම නිසාම පක්ෂය ඉදිරියට පැමිණ වෘත්තීය සමිති පස්සට තල්ලු වෙනවා. එමනිසා මේ ගමන ආපසු හැරවිය යුත්තක්. එහෙත් එය දුෂ්කර කාර්යයක්.

 අද මැයි රැලි වලදී පක්ෂය ඉස්සරහට ඇවිත් සමිති පස්සට ගිහින් 

ඒ.ඊ. ගුණසිංහ, බාලා තම්පෝ වැනි කම්කරු නායකයෝ දැන් බිහිනොවෙන්න හේතුව මොකක්ද?

ඒ එක් යුගයක්. ගුණසිංහලා නායකත්වය ගන්නේ දේශපාලන පක්ෂ ක්‍රමයක් නැති කාලදි. 1893 ලංකාවේ ප්‍රථම වර්ජනය මුද්‍රණකරුවන්ගේ වැඩවර්ජනය. ඒ වෙද්දි කම්කරුවෝ වෘත්තිය සමිතියක් හදන්නවත් කැමැත්තක් දැක්වුයේ නැහැ. පසුව අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන්න වෘත්තීය සමිති ගොඩනගන්නේ නීතීඥයෝ. මෙලෙස වෘත්තිය සමිති ව්‍යාපාරය ව්‍යාප්තවීමත් සමග කාලයේ අවශ්‍යතාවය ලෙස කම්කරු පන්ති නායකයක් පත්වෙනවා. අනතුරුව පක්ෂ ක්‍රමය ගොඩනැගී රටට නිදහස ලැබීමත් සමග පක්ෂ නායකත්වයෙන් ආණ්ඩු පිහිටුවන නිසා දේශපාලන පක්ෂ කම්කරු නායකත්වය හා වෘත්තිය සමිතියට වඩා ඉදිරියට එනවා. මෙය ලොව පුරා සිදු වුණ දෙයක්.

දේශපාලන පක්ෂ එකතුවෙලා වැඩ කරන ජනතාව බෙදාගත්තට හැමදාම වැඩ කරන ජනතාව කරන උද්ඝෝෂණ, වර්ජනවලින් පේන්නෙ ඔවුන්ගෙ ප්‍රශ්න තාම ඉවරවෙලා නෑ කියන එක නොවේද?

ජනතාවගේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අලුත් ප්‍රශ්න මතුවෙනවා. ප්‍රශ්න ඉවර වෙන්නෙ කම්කරු පන්තියේ ආඥාදායකත්වයෙන් යුත් සමාජවාදී සමාජයක් ඇති වුණාට පස්සේ.

ඒ කියන්නෙ මෙහෙම වැඩකරන ජනතාව මුහුණ දෙන ගැටලුවලට ඔය කිසිම පක්ෂයක් ආණ්ඩුවක් වග කියන්න ඕනි නැද්ද?

ප්‍රශ්න මතුවීම සමාජ ක්‍රමයේ හැටි. ලෝව පුරා සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින, ඌණ සංවර්ධික යන හැම රාජ්‍යයකම ප්‍රශ්න තිබෙනවා. කම්කරු පන්තියට අද භුක්ති විඳින වරප්‍රසාද අයිතීන් අරගල කරලා ලබාගත්ත දේවල්. පාලක පන්තිය බන්දේසියක දාලා දුන්න කිසිම දෙයක් නැහැ. විශ්‍රාම වැටුප්, අර්ථසාධක අරමුදල වැනි දේවල් ජයග්‍රහණ කළේ වමේ ව්‍යාපාරය. තව තව අලුත් ප්‍රශ්න ඉදිරියටත් එනවා. ඒවගේම කම්කරු අරගලත් පවතිනවා.

 ඡන්ද මේතරම් කල් යන්නේ ශ්‍රීලනිපයේ බල අරගලය නිසයි 

පැරණි වමේ ව්‍යාපාරය සටන් ජයගත්තේ තනි බලවේගයක් විදිහට. අද වම කෑලී කැලීවලට කාඩිලා ගිහින්. මේකෙන් වුණේ කම්කරු පන්තියේ ශක්තිය හීන වීම නෙවෙයිද? 

දෘෂ්ඨිමය කාරණා, න්‍යායාත්මක හේතූන්, ඇතැම්විට මනෝමූලික කාරණා නැතිනම් පෞද්ගලික කාරණා මත ලංකාවේ පමණක් නොව ලොව පුරාම වමේ ව්‍යාපාරය බෙදීම්වලට ලක්ව තිබෙනවා. පක්ෂ බෙදීම් තිබුණත් යටත්පිරිසෙයින් කම්කරුවන්ගේ ශක්තිය, සටන්කාමීත්වය පෙන්නන්න අඩුගානේ මැයි දිනයවත් එකට තියන්න ඕනෙ. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළෙත් මේ කියන කාරණාව සඳහන් කරමින් තමයි. ඒත් අද ජනතා විමුක්ති පෙරමුණත් කෑලි ගණනාවකට කැඩී ගිහින්.

ලංකාවේ දේශපාලන පක්ෂ මැයි දිනය සැමරීමේ දී කම්කරු පන්තියේ හැබෑ අරමුණ තුළ ඉන්නව ද?

පළමුව මැයි දිනය සමරන්නේ 1880 ඇමරිකානු කම්කරු අරගලය සිහිපත් කරන්න. එම අරගලයෙන් ලොව පුරා පැය අටේ වැඩ පැය අයිතිය දිනාගන්න පුලුවන් වුණා. දෙවනුව දිනාගත් අයතීන් රැකගැනීමටත් තෙවනුව නව අයිතීන් දිනාගැනීමටත් තමයි මැයි දිනය සමරන්නේ. ඒත් මෙවර ලංකාවේ මැයි දිනය පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උරගා බලන්න. මේ විදිහට රටේ තියෙන දේශපාලන තත්වයන්ට ගැලපීමට යාමෙන් කම්කරු පන්තියට සිදුවුණේ අහිතකර තත්වයක්.

ඉස්සරට වඩා දැන් කම්කරු සටන් ප්‍රවණතා වෙනස්වෙලා. හුඟක් වාමාංෂික පක්ෂ කම්කරු දහඩිය සුවඳ අඳුරන්නෙ නෑ. නව ප්‍රවණතාවලට අනුගත වෙලත් නෑ. ඒක නේද වැඩ කරන ජනතාව වමේ පක්ෂවලින් ඈත්වෙලා ඉන්නෙ?

කම්කරුවන් වමේ පක්ෂවලින් ඈත් වන්න ඓතිහාසික කරුණු ගණනාවක් බලපෑවා. සමාජවාදී කඳවුර බිඳවැටීමත් එක්ක ලොව පුරා වම දුර්වල වුණා. නමුත් නැවත යුරෝපයේ වමට නව පණක් ලැබෙනවා. ප්‍රංශ මැතිවරණයෙන් දක්ෂිණාංශික අපේක්ෂකයා, ජාතිකවාදී අපේක්ෂිකාවට වඩා ඉදිරියට එන්න වමේ අපේක්ෂකයාට හැකිව තිබෙනවා. සංක්‍රමණික ප්‍රශ්න, ගෝලීයකරණ ප්‍රශ්න වැනි අලුත් ප්‍රශ්න ඉදිරියේ නැවතත් යුරෝපයේ තුළ වමට ප්‍රබෝධයක් ලැබෙමින් තිබෙනවා.

ආණ්ඩුව පුංචි ඡන්දෙ තියන්න ආයෙ ආයෙ කල් අදිනවා. මෙහෙම පුංචි ඡන්දෙ ප්‍රමාද කරන්න මොකක්ද හේතුව?

එක් හේතුවක් තමයි මැතිවරණ ක්‍රමයේ සිදුකළ වෙනස් කම්. අලුත් මැතිවරණ ක්‍රමයට අදාල නීතීමය කාරණා මැතිවරණය කල්දාන්න එක් හේතුවක්. එහෙත් වසර දෙකකට වැඩිය කල් දාන්න හේතු වුණේ දේශපාලනික කාරණා. දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම, පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න තමයි මැතිවරණය කල්යන්න ප්‍රධාන හේතුව කියලා මම හිතන්නේ.

 කෝප් කමිටුවට මැති ඇමැතිවරුන් කැඳවා ප්‍රශ්න කිරීමේ බලය තිබිය යුතුයි 

රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් විදියට වාමාංශික නායකයෙක් විදිහට සයිටම් ප්‍රශ්නෙ කොහොම විසඳගන්න පුළුවන් කියලද ඔබ දකින්නෙ?

සයිටම් ආරම්භ කිරීමට අනුමැතිය ලැබුණේ කලින් ආණ්ඩුවෙන්. මෙය ආණ්ඩුවේ ප්‍රතිපත්ති හරියාකාරව ක්‍රියාත්මක නොකළ නිසා ඇති වුණ ගැටලුවක්. එම නිසා එහි දැනට ඉගෙන ගන්න ළමුන්ගේ අයිතිය ආරක්ෂා කිරීමත් යුතුකමක්. වෛද්‍ය සභාව ප්‍රමිතිය පිළිබඳව තීරණයක් නැතිකම තමයි බාධාවක් වෙලා තිබෙන්නේ. ආණ්ඩුව දැනට ප්‍රතිපත්තීමය තීරණයක් ගෙන තිබෙනවා ඔවුන්ට සායනික පුහුණුව දිය යුතුයි කියලා. එය නිවැරදියි. වාර්ෂිකව හත් අටදහසක සිසුන් සංඛ්‍යාවක් විදෙස්ගත වෙනවා අධ්‍යාපනයට. එයින් කෝටි ගණනක විදේශවිනිමය පිටට යනවා. විදේශයට යන්න බැරි දෙවැනි පෙළේ අය තමයි සයිටම් වැනි තැන්වලට යන්නේ. එම නිසා ඔවුන්ට අයිතියක් තිබිය යුතුයි

ඔබ කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අනුමැතිය ලැබිය යුතුය කියල ද?

පවතින තත්වය යටතේ රජයට දරන්න බැරිනම් ඇතිහැකි අයට හෝ යාමට පෞද්ගලික විශ්ව විද්‍යාල ඉඩකඩ ලැබිය යුතුයි. අප වැනි පුංචි ආර්ථිකයක් ඇති රටක සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත් නැති වුණොත් ඉදිරියේදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙයි. නමුත් හොඳම අධ්‍යාපන ක්‍රමය රජයේ අධ්‍යාපනයයි. දැනට වෛද්‍ය විද්‍යාල හැර අනෙකුත් අංශවල පෞද්ගලික විද්‍යාල තිබෙනවා. ඒත් වෛද්‍ය විද්‍යාලවලට පමණක් විරුද්ධ වීමට වෛද්‍ය විද්‍යාව කිහිප දෙනකු අතර තබාගැනීමේ පටු අදහසුත් තිබෙනවා. එම නිසා මෙම ප්‍රශ්නය විසඳන්න මධ්‍යස්ථ පොදු එකඟතාවකට පැමිණිය යුතුයි.

මීතොටමුල්ල කුණු කන්ද ජීවිත කිහිපයක්  එක්ක නැවතුණා. දැන් දැන් තවත් නැත් කිහිපයක කුණු ප්‍රශ්නෙ හින්දා උද්ඝෝෂණ මතුවෙලා. මේ කුණු ප්‍රශ්නය විසඳන්න කොහොමද ප්‍රවේශයක් ගන්නෙ?

කිසිම පක්ෂයක් ආණ්ඩුවක් දැක්මත්, ප්‍රතිපත්තියක්, සැලැස්මක් ඇතිව මේ ප්‍රශ්න දෙස නොබැලීමේ හේතුවයි මේ. මේ වෙච්ච ඛේදවාචකය ආශිර්වාදයක්. කාර්මීකරණයත් එක්ක කුණු ප්‍රශ්න මතුවෙනවා. කුණු ප්‍රශ්නය පරිසරය, ගෝලීය උෂ්ණත්වය හා සම්බන්ධ ජාතික අර්බුදයක්. මේ සිද්ධ වෙච්ච ඛේදවාචකයෙන්වත් හොඳ දෙසකට විසඳුම් ලැබෙයි කියලා හිතනවා. තාක්ෂණික වශයෙන් ජාතික මට්ටමේ ප්‍රතිචක්‍රීකරණයට යා යුතුයි.

ඔබ කෝප් කමිටු සභාපති විදියට හිටපු කාලෙ කෝප් කමිටු වාර්තාවට මොකද වුණේ?

1979 සිට කෝප් කමිටුව ක්‍රියාත්මක වුණා. කෝප් කමිටුවෙන් 2010 දක්වා අවුරුදු 31කදී ඉදිරිපත්ව තිබුණේ වාර්තා පහක් සහ විමර්ශන කර තිබුණේ 650යි. 2010 - 2015 අවුරුදු පහක් මම කමිටුවේ සභපතිව හිටියා. ඒ කාලය තුළ වාර්තා හයක් මම ඉදිරිපත් කළා. විමර්ශන 700ක් සිදු කළා. කමිටුවේ කාර්යභාරය වාර්තාව ඉදිරිපත් කිරීම පමණයි. ඒවා ක්‍රියාත්මක කිරීම පැවරෙන්නේ විධායකයට.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් විදියට ආන්දෝලනාත්මක බැදුම්කර ජාවාරම ගැන මොකද කියන්න තියෙන්නෙ?

මේක සුවිශේෂි සිද්ධියක්. මීට පෙර මෙහෙම දෙයක් සිදු වෙලා නැහැ. මෙතන විශාල වංචාවක් සිදුවෙලා තියෙන බව පැහැදිලියි. මහබැංකුවේ බලතල තිබෙන්නේ මූල්‍ය මණ්ඩලයට. මූල්‍ය මණ්ඩලයේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු අධිපතිවරයා මූල්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තොරව තනිමතයට ක්‍රියාකරලා තිබෙනවා. මේවා සම්බන්ධයෙන් මුල් විමර්ශනය සිදු කළේ මම. අර්ජුන මහේන්ද්‍රන් ඇතුලුව සාක්ෂිකරුවන් 44ක් විමර්ශනය කළා. නමුත් ඒවා මම සභාපතිව සිටි කාලය තුළ පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා. එහෙත් මට කොමිෂන් සභාව අවස්ථාවක් ලබා දුන්නා මගේ නිරීක්ෂණ හා සාක්ෂි සටහන් ඉදිරිපත් කරන්න. 

කෝප් කමිටුවේ දැන් තියෙන ක්‍රමය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද? 

කෝප් කමිටුවෙන් මීට වඩා දෙයක් කරන්නත් බැහැ, මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ තියෙන සීමිත බලතලත් ඒක. කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම් පැවරෙන්නෙත් විධායකයට. එමනිසා කෝප් කමිටුවට මීට වඩා බලතල හිමි විය යුතුයි. කෝප් කමිටුවට ඇමැතිවරයෙක් කැඳවීමේ බලයක් නැහැ. බලතල තියෙන්නේ නිළධාරීන් සම්බන්ධව විතරයි. මැති ඇමතිවරු කැඳවීමේ ප්‍රශ්න කිරීමේ බලතලත් කමිටුවට ලැබිය යුතුයි.

I සාකච්ඡා කළේ 
සකීෆ් සාම් තන්වීරි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00