2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

දේශපාලන කුණු යට ගිනිකන්ද

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

ගෝඩ්ෆාදර්ලා ගැන ලෝකෙට මුලින්ම අහන්න ලැබෙන්නේ අමෙරිකාවෙනි. මේ කියන “ගෝඩ්ෆාදර්”ලා කිතුනු දරුවන්ගේ ගෝඩ්ෆාදර්ලා නොව පාතාල නායකයන්ය. මේ පාතාල නායකයන් ගැන ත්‍රාසජනක, ක්‍රියාදාම නවකතා ඒ කාලයේ නිව්යෝක්, වොෂින්ටන් පේමන්ට්වල පුංචි පොත් කඩවල උණු කැවුම් මෙන් විකුණුනේ තුට්ටුවට දෙකටය. මාරියෝ පූසෝ නම් සුප්‍රකට නවකතාකරැ අතින් “ද ගෝඩ්ෆාදර්” නම් නවකතාව බිහිවුණේ එම ත්‍රාසජනක නවකතා ජනප්‍රියත්වයේ ඉහළම හිණිපෙත්තේ තිබියදීය. එය තවත් තුට්ටු දෙකේ පොතක් නොව ලොව මිලියන ගණනක් විසින් මිලදී ගනු ලැබූ හොඳම අලෙවි වාර්තා තැබූ නවකතා අතරේ අංක එකේ පොත හැටියට වසර ගණනාවක් වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. ඒ ඇසුරින් ලෝකපූජිත නළු මාලන් බ්‍රැන්ඩෝ ප්‍රධාන චරිතය රඟපෑ ගෝඩ්ෆාදර් චිත්‍රපටයද බිහිවිය. චිත්‍රපටයද එකසේ ජනප්‍රිය වූ අතර මාලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවා වශයෙන්ද චිත්‍රපටය හොඳම චිත්‍රපටය වශයෙන්ද ඔස්කා සම්මාන උළෙලේදී පිදුම් ලැබුවේය.

ගෝඩ්ෆාදර් නවකතාවට පසුබිම් වී තිබුණේ අමෙරිකාවේ හිටපු සුප්‍රකට පාතාල කල්ලි දෙකක කතාවය. මෙවැනි පාතාල කල්ලිවලට “මාෆියා” නම පටබැඳුණේද එම කතාවල ආභාෂයෙනි. මේ ගෝඩ්ෆාදර්ලාගේ මාෆියා කල්ලි වඩාත් ප්‍රචලිත වූයේ අමෙරිකාවේය. ඉන්පසුව එම පාතාල මාෆියා කල්ලි යුරෝපයේද හොංකොං, චීනය, ජපානය වැනි ආසියානු රටවලද ව්‍යාප්ත වුණේය. ලංකාවේද මේ වනවිට මාෆියා කල්ලි ගණනාවක් ක්‍රියාත්මකය.

මේ කියන ගෝඩ්ෆාදර්ලාගේ ඒ කාලයේ වෙනස් නොවුණු ගති ලක්ෂණ දෙකක් තිබිණි. ඉන් පළමුවැන්න ඔවුන් දේශපාලකයන්ට දක්වන සම්බන්ධතාවයි. දෙවැන්න මේ බොහෝදෙනා තම පාතාල කල්ලිවල අණසක පතුරුවා පහසුවෙන් මුදල් හම්බකර ගැනීමට මුලින්ම අතගැසුවේ තමන්ගේ බල ප්‍රදේශය අයත් වන නගරයේ කුණු ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවට වීමය.

බටහිර සහ යුරෝපයේ පමණක් නොව ආසියාවේද කුණු ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුවට වෙන කිසිවකුට අත තබන්නට ඒ කාලයේ ගෝඩ්ෆාදර්ලා වෙන කිසිවකුට හෝ ඉඩක් දුන්නේ නැත. එයට අවශ්‍ය දේශපාලනඥයන්ද තමන්ගේ සාක්කුවට දමාගන්නා හැටිත් ඔවුහු දැන සිටියහ. නගරයක කුණු ඉවත් කිරීම කොයිතරම් සල්ලි හම්බකළ හැකි ඉල්ලමක්දැයි මේ ගෝඩ්ෆාදර්ලා උපදින විටම දැන සිටින්නට ඇත. පසුව කුණු කොන්ත්‍රාත්තු වෙනත් අයට විකුණා නිකම්ම සල්ලි හම්බ කළ මොවුන් ඊට වඩා පහසුවෙන් කළු සල්ලි හම්බ කළ හැකි මත්කුඩු, ජාත්‍යන්තර අවි ජාවාරම් ඇතුළු නොයෙකුත් ජාවාරම්වලට අතගැසීම නිසා කුණු කඳුවලින් සල්ලි හම්බකිරීම ඔවුන්ට අතහැරුණේය. හැබැයි ලංකාව වැනි ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවලට නම් කුණු යනු යහමින් සල්ලි ගරාගත හැකි ඉල්ලමක් වී තිබේ. කුණු කඳුවලට ඉව අල්ලන පාතාල කල්ලිවලට ඔක්සිජන් දෙන දේශපාලනඥයන් වෙනත් රටවල වගේම ලංකාවේද හිඟ නැත. මීතොටමුල්ලේ කුණු කන්ද කඩාවැටෙන තුරුම එකිනෙකාගේ බොටු තද කරගනිමින් ඇතැම් දේශපාලනඥයෝ කෑගසමින් සිටියේ තමන්ගේ කුට්ටිය සාක්කුවට නොවැටෙන්නේ නම් කුණු කන්ද කාගේ හිස මත පහත් වුණත් කමක් නැතැයි යන සිතුවිල්ලෙනි. අවසානයේ කුණු කන්ද කඩා වැටුණේ මිනිසුන්ගේ හිස මතට පමණක් නොවේ. ආණ්ඩුවද කරවටක් මඩ ගොහොරුවේ ගිල්වමිනි. තවමත් එම ගොහොරුවෙන් ගොඩ ඒමට ආණ්ඩුව දඟලමින් සිටී.

කුණු ප්‍රශ්නය මේ රටේ මෑත කාලයේ ලොකුවට කතා කෙරුණු මාතෘකාවක් වී තිබුණේය. පසුගිය මහා මැතිවරණයේදී මීතොටමුල්ලේ කුණු කන්ද කොළඹ ඇතැම් ඡන්ද අපේක්ෂකයන්ට හොඳ සටන් පාඨයක් වී තිබුණේය. මරික්කාර් සහ හිරුණිකා වැනි මන්ත්‍රීවරුන්ට ලොකු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්නට කුණු කන්ද ඉවත් කරන බවට දුන් කප්පරක් පොරොන්දු ද උදව් වුණි. එහෙම වුණත් කන්ද කඩා වැටෙන තුරැම එම පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී තිබිණි. හිරුණිකා කෙසේ වෙතත් මරික්කාර් නම් පසුගිය කාලය මුළුල්ලේම ඒ වෙනුවෙන් හඬක් නැගුවද ඊට වඩා ලොකු හඬවල් විසින් ඔහුගේ හඬ යටපත් කර තිබූ බවක් පෙනුණේය. 

පිටරට සිටි අගමැති රනිල් තම ගමන “කට්ෂෝට්” කර ලංකාවට පැමිණ කුණු කන්දෙන් හානියට පත් ජනතාව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන්නට ගිය ගමනේදී ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වූ මරික්කාර් හෝ දක්නට නොලැබීම කරළියේ ඇතැම් දෙනාගේ විමතියට හේතු වී තිබුණේය. රටේ මිනිසුන්ගේ හදගැස්ම හරි හැටි හඳුනාගැනීමට නොහැකිව කටයුතු කිරීමේ ප්‍රතිඵල නිදහසින් පසු බිහිවූ බොහොමයක් ආණ්ඩුවලට විඳවන්නට ලැබිණි. අද සිටින ඇතැම් දේශපාලනඥයන් එවැනි සිදුවීම්වලින් හෝ පාඩම් ඉගෙන ගන්නට උනන්දු නොවීම යහපත් ලක්ෂණයක් නොවන බව මෑතකදී එක් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තම හිතවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට ප්‍රකාශ කර තිබුණේ දැඩි කනස්සල්ලකිනි.

ආණ්ඩුව ඉදිරියේ දැන් තිබෙන්නේ එක් කුණු කන්දක් නොවේ. දේශපාලන කුණු කඳු කීපයක් මැද ආණ්ඩුව හිරවී ඇති බවක් පෙනෙන්නට තිබේ. සයිටම් ප්‍රශ්නය තවමත් විසඳී නැත. දවසින් දවස කල්යන පළාත් පාලන ඡන්ද ලොකු හිසරදයක් බවට පත්ව තිබේ. ජී.එස්.පී.ප්ලස් ලැබෙයිද නොලැබෙයිද යන්නද ගැටලුවකි. එය නොලැබුණොත් ආර්ථික අර්බුදය තවත් දැඩි වනු ඇති බවට සැකයක් නැත. රැකියා උත්පාදනයක් සිදුනොවීම, ආයෝජන නොලැබීම, හම්බන්තොට වරාය, එට්කා වැනි ගිවිසුම් අත්සන් කිරීම දිනෙන් දින කල්යාම පමණක් නොව යූ.එන්.පි.යත් ශ්‍රීලනිපයත් අතර මතබේද දිගින් දිගටම උත්සන්න වීම රජයේ ඉදිරි ගමනට හරස් වන බවක් පෙනෙන්නට තිබේ. පක්ෂ දෙකේම මැති ඇමැතිවරුන් කීපදෙනකු දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවත් මේ හේතුව නිසා ඉදිරියේදී පක්ෂ දෙක තුළම විවිධ කල්ලි ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බවත් සමහරුන්ගේ මතය වී තිබේ. කුණු කන්ද කඩා වැටෙන්නේ මේ සියලු ගැටලු මැද්දටය.

මේ අතර මෛත්‍රීපාල ජනාධිපතිවරයා මුහුණදෙන තවත් ගැටලුවක් වන්නේ මහින්ද පාර්ශවයෙන් එල්ලවන පීඩනයට මුහුණ දීමටය. මැයි දිනයට සෙනග එකතු කිරීම පක්ෂයේ දෙකඩ වීමේ සීමා ඉරක් දක්වා පුළුල් වීමට ඇත්තේ විශාල ඉඩකඩකි. මහින්දගේ පාර්ශ්වයට පක්ෂයේ බිම් මට්ටමේ පවතින සහයෝගය අවතක්සේරු කොට කටයුතු කිරීම දැන දැනම අමාරුවේ වැටීමක් වීමට ඉඩ තිබේ. මෙහිදී මහින්ද පාර්ශ්වයේ කට්ටියද අධිතක්සේරුවකින් කටයුතු කරන්නට ගොස් කටයුතු වරද්දා ගැනීමටද අවස්ථාවක් ඇත. මහින්ද හිටපු නායකයකු වශයෙන් රටේ ජනතාවගේ විශ්වාසය සහ ආදරය දිනාගෙන සිටියද ඔහු වටේ සිටින ඇතැම් ගෝලබාලයන් ගැන එම ජනතාවගේ තුට්ටුවක විශ්වාසයක් නැත. පුවක් මලෙන් ආවා සේ තමන් සුපිරිසුදු චරිත යැයි පෙන්වන්නට ගොස් කීපදෙනකුම මේ වනවිට සායම යවාගෙන සිටින බව පැහැදිලිය. එසේම විමල්ගේ සිරගත වීම සහ උපවාස සිද්ධියේදී ජනතාවගෙන් ලද ප්‍රතිචාරය මහින්දත් ඔහුගේ අනුගාමිකයනුත් අතර ඇති ජනප්‍රියත්වයේ පරතරය හොඳින්ම පෙන්නුම් කරන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි. ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පිරිහෙන තරමට මහින්ද පාර්ශවයට ඔළුව උස්සන්නට හැකිවන්නේ ඔවුන් ඒ ගැන අවබෝධයකින් ක්‍රියා කළොත් පමණය.

තවත් අතෙකින් මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තමන් සතුව බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ ශක්තිය මත පමණක් පිහිටා තමන්ගේ සියලු බලය තක්සේරු කරන්න යාම අනුවණකමකි. 2014 පසුව මේ රටේ අලුතින් ඡන්ද හිමිවූ ලක්ෂ ගණනාවක් මේ වනවිට රට පුරා විසිර සිටිති. 2020 වනවිට මේ සංඛ්‍යාව ලක්ෂ 10කට පමණ ආසන්නව ඇත. ඔවුන්ගේ ආකර්ශනය ලබාගැනීමට නම් මහින්දගේ වටේ සිටින පරණ සෙට් එක පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. වයස 18ත් 25ත් අතර තරුණ ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙළක් තවමත් ඒකාබද්ධ විපක්ෂය තුළින් දිස්වන්නේ නැත. දිනේෂ්ලා කොයිතරම් කෑගැසුවත් ඒ හඬ අලුත් ඡන්දවලට කිසිදු ආමන්ත්‍රණයක් කෙරෙන්නේ නැත. එක් දේශපාලන විචාරයකු මෑතකදී කියා තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ සමහරුන්ගේ ක්‍රියාකලාපයෙන් පෙනෙන්නේ කොයිවෙලේ ආණ්ඩුවත් සමඟ එකතුවිය හැකිදැයි සිතමින් ඇතැමුන් කටයුතු කරන බවය. එය හැමදෙනාටම අදාළ නොවන බවත් ඒ සමඟ පැවැසිය යුතුය.

මහින්ද පසුගිය දිනක ඉන්දීය මාධ්‍යයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ද අලුත් ඡන්ද ආකර්ශනය කරගත හැකි කිසිවක් කියා තිබුණේ නැත. ඔහු එහිදීද තදින්ම කියා තිබුණේ තමා කළේ ඉන්දියාවේද යුද්ධය බවය. මේ කතාව 2009 සිටම කියන කතාවය. එය ජාත්‍යන්තරයට පමණක් නොව ලංකාවටද දැන් අලුත් කතාවක් නොවේ. ලෝකයේ කිසිම දේශපාලන පක්ෂයක් එක තැන නවතින්නේ නැත. රටේත් ලෝකයෙත් පෙරළිවලට හසුවෙමින් ඉදිරියට පක්ෂයක් ඇදගෙන යාමට නම් අලුත් අදහස්වලට අලුත් චරිතවලට තැනක් ලැබීම අවශ්‍යය. නැත්නම් අවසානයේ මහින්දගේ ජනප්‍රියත්වය සහ ආකර්ශනය එහෙමම තිබියදී ඔහු නායකත්වය දෙන කණ්ඩායම එක තැන පල්වීම වැළැක්විය නොහැකිය. අනෙක් අතට මෛත්‍රීපාලත් මහින්දත් දෙපැත්තකට වී ජනතාවට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ශ්‍රීලනිපයට සිදුවනු ඇත්තේ යූ.එන්.පී.ය ජනප්‍රියත්වයෙන් පහත වැටෙන තුරු බලා සිටීමටය.

කුණු කන්ද හරහා දේශපාලනය කතා කරන බොහෝ දෙනකුගේ අදහස් වී තිබුණේ රටට අලුතින් සිතන, හොරමැරකම් දූෂණ ක්‍රියා පිටුදකින අලුත් දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය බවය. ශ්‍රීලනිපයේ වේවා යූ.එන්.පී.යේ වේවා එවැනි නැගී එන තරුණ නායකත්වයක් පෙනෙන්නට නැති බව මේ බොහෝ දෙනාගේ මතය වී තිබිණි. ඒ කියන දේ කොතරම් දුරට ප්‍රායෝගිකදැයි කීම අමාරුය. නමුත් සිදුවෙමින් පවතින බොහෝ දේ පිළිබඳව තරුණ පරපුර අතර දැඩි විරෝධාකල්ප බිහිවෙමින් පවතින බව පෙනේ. ලංකාව තාක්ෂණික වශයෙන් ලබා ඇති දියුණුව හේතුවෙන් සෙසු ලෝකය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට තිබෙන හැකියාව නිසා කොතරම් ප්‍රශ්න තිබුණත් දැන්ම තරුණ නැගිටීමක් සිදුවීමට ඇත්තේ ඉතා සුළු ඉඩකඩකි. නමුත් වැඩිහිටි දේශපාලනඥයන්ගේ අවංකභාවය ඔවුන් අතින් ඉදිරියේදී නිසැකවම ප්‍රශ්න කිරීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ තත්ත්වයන් ගැන යහපාලන ආණ්ඩුවේ නායකයන්ගේ අවධානය යොමුවීම ඉතාම වැදගත්ය.

ඉදිරි සති දෙක ඇතුළත රජයේ ආයතනවල ප්‍රධානීන්ගේත් කැබිනට් මණ්ඩලයේත් වෙනසක් කරන බව ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (20) පුවත්පත්කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති හමුවේදී කර තිබූ සඳහන සලකා බැලිය යුත්තේ මේ පසුබිම යටතේය. රාජ්‍ය අංශය කෙරෙහි තිබෙන නොයෙකුත් විවේචන සැලකිල්ලට ගනිමින් මේ වෙනස්කම් සිදුකරන බවද ජනාධිපතිවරයා කියා තිබුණේය. වෙසක් පොහොයට පෙර කැබිනට් වෙනස සිදුකරන බවද කියා තිබිණි.

මෙම හමුවේදී ජනාධිපතිවරයා වරාය නගර ව්‍යාපෘතිය ඉතිහාසයේ කළ ලොකුම පාවාදීමක් වශයෙන් කළ සඳහන රජයේ ව්‍යාපෘතිවලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම ගෙන යන ආණ්ඩුව රට විකුණනවා යන සටන් පාඨයට පිළිතුරක් බව සමහරුන්ගේ මතයයි. පැවැති රජය එයින් අක්කර 200ක් සින්නක්කරව ලබාදීමට ගෙන තිබූ තීන්දුව චීනය සමඟ සාකච්ඡා කර 99 අවුරුද්දට බදු පදනම යටතේ ලබාදීම සඳහා වෙනස් කරගත් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේය. කෙසේ වුවද හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන පාර්ශ්ව දෙක ලොකු කඹ ඇදීමක නිරතව සිටීම ගැන කිසිවක් එහිදී සඳහන් වූයේ නැත.

මෙහිදී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදීව අදහස් දැක්වීම කැපී පෙනුණේය. විවේචන එල්ලවෙමින් තිබුණත් රටේ ආර්ථිකය දැන් නියම තැනට පැමිණ ඇති බවත් ආර්ථිකය ශක්තිමත් සහ ස්ථාවර බවත් කියා තිබූ ජනාධිපතිවරයා විදේශ වත්කම් සම්බන්ධයෙන් තිබූ ගැටලු දැන් විසඳී ඇතැයිද ඩොලර් බිලියන 5ක විදේශ වත්කම් ශ්‍රී ලංකාව සතු යැයිද සඳහන් කර තිබිණි. ශ්‍රීලංගම සේවකයන්ගේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. නොගෙවා හිඟ තිබූ රුපියල් බිලියන 12කින් බිලියන 6ක් වත්මන් ඇමැතිවරයා ගෙවා දැමූ බවද ඉතිරි මුදල්ද ඉක්මනින්ම ගෙවා දමන බවද ජනාධිපතිවරයා කිව්වේය. වැරැදි කරන රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවද කිව් මෛත්‍රීපාල මහතා මීතොටමුල්ල ඛේදවාචකය සොයා බැලීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරයකුගෙන් යුත් කොමිසමක් පත් කරන බවද කීය. මසක් ඇතුළත එහි වාර්තාව ලබාගෙන වරදකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් සඳහන් විය.

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකදී ජනාධිපතිවරයා කියා තිබුණේ එම ක්‍රමය අහෝසි කිරීමට සහ බලතල අඩුකිරීමට යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබෙන බවත් එම යෝජනා දෙකටම තමා කැමැති බවත්ය.
මෙම සාකච්ඡාවේදී පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ ජනාධිපතිවරයා රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්ව සිටින බවය. පැහැදීමකින් සිටින බවය. එම කරුණු දැක්වීම්වලින් වඩාත්ම සතුටට පත්වනු ඇත්තේ අන් කවරකුවත් නොව රවී කරුණානායක මුදල් ඇමැතිවරයායි. ඇත්තෙන්ම මේ රජයේ කැබිනට් මාරුවක් පිළිබඳව වූ කතාබහට මුල පිරුණේද රවීගෙනි. බොහෝ දෙනකු ඒ දිනවල ප්‍රකාශ කර තිබුණේ රවි මුදල් ඇමැතිකමින් ඉවත් කෙරෙන ආකාරයේ කැබිනට් සංශෝධනයකට යා යුතු බවය. මේ කතාව බොහෝදුරට මුලින් කියැවුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසකගෙනි. බන්දුල ගුණවර්ධන මෙහිදී රවීට එරෙහිව ප්‍රධාන කථිකයෙක් විය. නමුත් ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වන්නේ ඇමැති මාරුවක් සිදුවුණත් මුදල් ඇමැති ධූරයේ වෙනසක් සිදුනොවීමට ඉඩ ඇති බවය. නියම තැනට පැමිණ ඇති ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් රටේ පවතින විට මුදල් ඇමැතිවරයාගේ ධූරය වෙනස් කිරීම තවදුරටත් මාතෘකාවක් නොවන බව තේරුම් ගැනීම අවශ්‍යය.

කෙසේවුවත් ජනාධිපතිවරයා ඉදිරි සති දෙක තුළ සිදුකරන වෙනස්කම් ගැන කළ කතාව මැති ඇමැතිවරුන් සහ ආයතන ප්‍රධානීන් මහත් කැළඹීමකට ලක්කර ඇති බව නම් රහසක් නොවේ. ආයතන ගණනාවක ප්‍රධානීන් තමන්ට සබඳතා ඇති ඇමැතිවරුන් හමුවන බවද ඒ සමඟ මැති ඇමැතින්ලා ගණනාවක්ම අගමැති සහ ජනාධිපති හමුවීමට වේලාවක් ඉල්ලා ඇතැයිද දැනගන්නට තිබේ. නමුත් අගමැතිවරයා නම් ඉදිරියේ යෙදී ඇති තීරණාත්මක ඉන්දීය සංචාරය හේතුවෙන් කාර්යබහුලව සිටී. එම ඉන්දීය ගමනට පෙර ඇමැතිවරුන්ට ඔහු හමුවීමට අවස්ථාවක් ලැබේද යන්න නම් සැක සහිතය.
මේ අතර පසුගිය සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතා වේගයෙන් වෙනස් අතට හැරුණේය. පසුගිය අඟහරුවාදා (18) වනවිට විදෙස් ආයෝජකයන් බිලියන ගණනින් කොටස් මිලදී ගැනීමට පෙළඹී සිටි අතර වසර තුනකට පසුව ඉහළම පිරිවැටුම සටහන් වීමද සිදුවිය. බ්‍රහස්පතින්දා (20) දවසේ ගනුදෙනු නිමාවූයේ මාස 6කට පසුව ඉහළම පිරිවැටුම වාර්තා කරමිනි. එහිදී විදෙස් ආයෝජකයන් විසින් රුපියල් මිලියන 697.5ක කොටස් මිලදී ගෙන තිබූ අතර බදාදා එම ප්‍රමාණය රුපියල් බිලියන 4.32ක් වී තිබුණි. එය 2014 මැයි 09 වැනිදාට පසුව වාර්තා වූ ඉහළම පිරිවැටුමය.

හිටි අඩියේම කොළඹ කොටස් වෙළෙඳපොළට ඉහළ වර්ධනයක් පැමිණියේ කෙසේදැයි තවම පැහැදිලි නැත. එහෙත් මෙය සිදුවූයේ අගමැතිවරයාගේ සාර්ථකව අවසන් වූ ජපන් සංචාරයත් සමඟ බව පැහැදිලිය. ජපානය ලංකාවේ ඉහළම ආයෝජකයෙක් වන්නේය.

කෙසේ වුවද කුණු කන්ද කඩා වැටීමෙන් සසලව ගිය ආණ්ඩුව ඉදිරි සති දෙක තුළදී ජනපතිවරයා සිදුකරන්නට යන වෙනස්කම් සමඟ ගිනි කන්දක් බවට පෙරළේදැයි කියන්න දන්නේ නැත.

♦ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00