2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මම වගකීම බාරගන්නෙ නැහැ නවුරුහරි බාරගන්න ඕනෑ (බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය)

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74


මීතොටමුල්ලේ කුණු කන්ද මේ වෙනකොට නාය ගිහිල්ලා. මිනිස්සු විශාල පිරිසක් නැතිවෙලා. දැන් ඒ මරණවල වගකීම බාරගන්නවද?
ඇයි මම වගකීම බාරගන්නේ?

ඔබනේ මේ පළාතේ මහ ඇමැතිවරයා?
නෑ. මම වගකීම බාරගන්නේ නෑ.

කවුද එතකොට මේ අහිංසකයන්ගේ ජීවිතවල වගකීම බාරගන්නේ?
ඒක මම දන්නේ නෑ. කවුරු හරි බාරගන්න ඕන.

මම කසළවලට අත ගැහුවේ රැවුල වැවෙන්නත් කළින්

එහෙම කියන්න බෑනේ.  ඔබ මීට මාස 6කට කලින් මීතොටමුල්ල කුණු කන්ද ඉස්සරහා කිව්වා, මේ කන්ද අයිති දැන් අපිට කියලා.  එතකොට වගකීම බාරගන්න ඕනනේ?
ඔව්. බාරගත්තා. ඒත් නාගරික සංවර්ධන අධිකාරියෙන් අපිට බාරදුන්නේ නෑනේ.

හැබැයි  කුණු අයිති පළාත් සභාවටයි පළාත් පාලන ආයතනවලටයි නේද?
කුණු අපිට අයිති වුණාට මේ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය නිසා කැළි කසළ ප්‍රශ්නයේදී දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් නිසා තමයි මේ අර්බුදය ඇතිවුණේ.

මොකක්ද ඔය කියන අර්බුදය?
මෙහෙමනේ. ඉස්සර නාගරික සංවර්ධන අධිකාරිය හිටපු තැනක් තියෙනවා. විශේෂයෙන් ප්‍රදේශයට ලොකු ව්‍යාපෘතියක් ආවොත් නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය අරගෙන තමයි සිදුකරන්නේ. ඒ නිසා ඉස්සර පළාත් සභාවත්, පළාත් පාලන ආයතනයත්, නාගරික සංවර්ධන අධිකාරියත් අතර හොඳ සබඳතාවයක් තිබ්බා. ඒත් වත්මන් රජය මේ අමාත්‍යංශය පිහිටුවීමෙන් පස්සේ විශාල ගැටුමක් ඇතිවුණා. රටේ පරිපාලනයේ ගැටලු රාශියක් මතුවුණා. අද මේ ආණ්ඩුවට එල්ලවෙලා තියෙන චෝදනාවලින් එකක් තමයි මේ අමාත්‍යංශය.

ඒත් මේ අමාත්‍යංශය රජය පිහිටෙව්වෙ බස්නාහිර පළාත සංවර්ධනය කරන්නනේ?
ඒක පිහිටෙව්වයින් පස්සේ බස්නාහිර පළාත් සභාව එක්ක ඝට්ටනයක් ඇතිවුණා. මම හිතන්නේ නෑ මේ විෂය භාර අමාත්‍යවරයාට පළාත් සභාව ගැන දැනුමක් නෑ කියලා. ඒත් ඇතැම් තීන්දු තීරණ නිසා බස්නාහිර පළාත තුළ බරපතළ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි මේ කුණු කන්ද. මට ජනාධිපතිතුමා තමයි කිව්වේ මේ කුණු ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කියලා. 

මහ නගර අමාත්‍යංශයේ එක ප්‍රතිඵලයක් තමයි කුණු කන්ද

ජනාධිපතිතුමා කිව්වා නෙමෙයිනේ. ඔබ ජනාධිපතිවරයා ඉදිරියේ බාරගත්තනේ මේ කුණු ප්‍රශ්නය විසඳනවා කියලා. ඒක මට දෙන්න කියලා?
ඔව්. මම බාරගත්තා. එතුමා මට ඉක්මනින් කරන්න කිව්වා. නමුත් ආයෝජකයා ගෙනල්ලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න පර්චස් 60ක් ඉල්ලුවා නාගරික සංවර්ධන අධිකාරියෙන්. දිගින් දිගට ලිපි තුනක් යොමු කළා. නාගරික සංවර්ධන අධිකාරියට. කිසිම පිළිතුරක් ආවේ නෑ.

ඔබ මේ සම්බන්ධයෙන් චම්පික රණවක අමාත්‍යවරයාගෙන් විමසුවද?
අපි අහන්න ඕන අමාත්‍යවරයාගෙන් නෙමෙයිනේ. අධිකාරියෙන් අහන්න ඕන. අනික එතුමා දැනුවත්වෙලා හිටියේ. එතුමට තමයි අනික අපි ලිපි ලිව්වේ. ඒත් ප්‍රතිචාරයක් ආවේ නෑ.

ඔබ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කිව්වද?
එතුමා දැනුම්වත් කළා. අගමැතිවරයා දැනුවත් කළා. කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. එතනදී කිව්වා මේක කරන්න කියලා. ඒත් පරිසරය හදලා දුන්නේ නෑ. විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරිය උදවු කළේ නෑ. අපි ඒ අයට කිව්වා අවුරුදු 6කට විතරක් මේ ඉඩම දෙන්න කියලා. ඒත් දුන්නේ නෑ.

මෙච්චර දෙයක්  කරගන්න බැරුව ඔබ එහෙනම් ඇයි ලොකුවට කුණු කන්ද මගේ කියලා එදා බාරගත්තේ?
ඉතින් හරි. මේ රටේ පාලකයෝ කියද්දි මේකට ව්‍යාපෘතියක් ගේන්න කියලා මම එතනට ගියා. මම හිතුවේ නෑනේ මිනිස්සුන්ට කුහකකමක් ඇතිවෙයි කියලා. අනික එයාලා හිතුවෙත් නෑ මම වගේ පුංචි මිනිහෙක්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මේ සමහර අය කිව්වා මේක බාරගන්න එපා ඔබතුමාට නරක නාමයක් එයි කියලා. ඒත් මම අභියෝගවලට බය මිනිහෙක් නෙමෙයි. ඒකයි බාරගත්තේ. අඩුම තරමේ පුළුවන්ද බැරිද කියලා බලන්නවත් අවස්ථාවක් දෙන්න එපැයි. එහෙමවත් දුන්නේ නෑ. මේ කුණු කන්දේ අවදානම අපිට පෙනුණා. ගිය සතියේ කොළඹ නාගරික කොමසාරිස්වරයා මට ඇමතුමක් දීලා කිව්වා අවදානම ගැන.

මහින්ද ගැනවත් ගෝඨාභය ගැනවත් දැන් කතා කරලා වැඩක් නෑ

එහෙම කිව්වම සද්ද නොකර හිටියා?
එතුමා කිව්වා මේ කට්ටියට ගාණක් දීලා ඉවත් කරන්න ඕන කියලා. මම ඇහුවා කීයක්ද කියලා. ගෙවල් කුලී 15,000ක් දෙන්න කිව්වා. මම කිව්වා ඉල්ලන ගාණක් දීලා මේ මිනිස්සු අයින් කරමු අපි කියලා. මම මගේ අනුමැතිය දුන්නා. මොකද නගර සභාවේ නගරාධිපති නැති නිසා මූල්‍යමය ගනුදෙනුවලදී අනුමැතිය දෙන්න අවශ්‍යයිනේ. ඒ නිසා මම ඒක දුන්නා. ඕක දැනගෙන හිටියා සමහර අය. ඒත් ඒ අය ඒ මිනිස්සු එක්ක දේශපාලනය කළා. 15,000ක් වෙනුවට 25,000ක් ගන්න පුළුවන් කියලා ඒ අය මේ මිනිස්සුන්ව රැවැට්ටුවා.

එහෙම දැනුම්වත් කළා කිව්වට ඒ අය කියන්නේ එහෙම දෙයක් කිව්වේ නෑ කියලා?
අපි කිව්වා. අවදානම් කලාපෙන් ඉවත් වෙන්න කියලා.

ඔබ අනූව දශකයේ මේ රටට කාබනික පොහොර මලු හඳුන්වා දුන්න අයෙක්. එතකොට ඔබ ප්‍රාදේශීය සභාපති. දැන් ඔබ මහ ඇමැති. ජනාධිපතිතුමාගේ විශ්වාසවන්තම ගෝලයෙක්. එහෙව් ඔබ අරයා කරන්න දුන්නේ නෑ මෙයා කරන්න දුන්නේ නෑ කියලා නහයෙන් අඬනවා. වැඩක් කරන්න බලයක් නැද්ද?
ඒක තමයි ඔය චම්පික ඇමැතිතුමාලා, කැබිනට් එකේ සමහර ඇමැතිරු දේශපාලනයේ නැති කාලේ තමයි මම කසළ කළමනාකරණය පටන් ගත්තේ. මගේ රැවුලවත් වැවිලා තිබුණේ නෑ. ඒත් මම මහ ඇමැතිවෙලා මේක විසඳන්න හැදුවට හැමෝටම වුවමනාවක් ආවා කුණු කන්ද ගැන. මේක ආණ්ඩුවක් කිව්වට පක්ෂ දෙකක්නේ. ශ්‍රී ලංකා කාරයෙක් යෝජනාවක් ගෙනාවම යූ.එන්.පී. අය විරුද්ධ වෙනවා. ඒ නිසා ඒ අය බයවෙන්න ඇති අපි මේ වගේ දෙයක් කළාම එයාලට තැන නැතිවෙයි කියලා. අනික් මහ ඇමැතිවරුත් බලන් හිටියේ මම කරන කල්. ඊට පස්සෙ එයාලගේ පැතිවලටත් මේ වැඩේ කරන්න. ඒත් අවාසනාවට ඊට අවසරය දුන්නේ නෑ.

පක්ෂ දෙකම බලන් ඉන්නෙ කොයිවෙලේ ඕවර්ටේක් කරන්නද කියලයි

දැන් ඔබ මේ ප්‍රශ්න විසඳගන්න ජනාධිපතිගේ ඉඳලා කැබිනට් මණ්ඩලයට එනකල් කිව්වා. වැඩේ වුණේ නෑ. ඒ කියන්නේ මේ මරණවලට වග කියන්න ඕන ඔවුන් නේද?
නෑ. ඒ අය මේකට වගකිවයුත්තෝ වෙන්නේ නෑ. මට තිබ්බ වුවමනාව සාගල ඇමැතිතුමත් වජිර ඇමතිතුමත් දන්නවා. මගේ ළඟ හිටිය ඒ දෙන්නම කිව්ව. මල්ලි උඹට මේ ප්‍රශ්නය විසඳන්න උවමනාවක් තියන බව අපිට පේනවා. අපි ඒ ගැන ලොක්කටත් කිව්වා කියලා. ලොක්කා කිව්වේ අගමැතිතුමාට. ඒ විතරක් නොමෙයි මම ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටත් කිව්වා මට මේක විසඳන්න දෙන්න කියලා. එහෙම කියලා කැබිනට් එකට මේ වගකීම බාරගන්න කියලා කියන්න බෑ.

එතකොට වගකීම බාරගන්න ඕන බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයද?
නෑ එයාලා විතරක් නෙමෙයි. මේක වළක්වපු සියලු දෙනා වගකීම බාරගන්න ඕන.

හැබැයි ආණ්ඩුවෙන් චෝදනාවක් තියෙනවා මේකට රාජපක්ෂ ආණ්ඩුව වගකියන්න ඕන කියලා?
මෙතැන දැන් මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක් නෑනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති නෙමෙයි. එතුමා ජනාධිපති වෙනකොට මම මහ ඇමැතිත් නෙමෙයි. ඒනිසා මහින්ද ගැනවත් ගෝඨාභය ගැනවත් කතා කරලා තේරුමක් නෑ. ඒ අයට මේ කැළිකසළ ප්‍රශ්නය විසඳන්න අදහසක් තිබ්බේ නෑ.

එතකොට මේ ඇමතිවරු රාජපක්ෂලාට චෝදනා කරන්නේ මේ වැරැද්දෙන් ගැලවෙන්නද?
දැන් පසුගිය ආණ්ඩුවට ඇඟිල්ල දික්කරලා වැඩක් නෑ. දැන් මේ ප්‍රශ්නය අපේනේ. එතුමා පැරදිලා ගෙදර ගිහිල්ලා ඉවරයි. මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕන අපිනේ. මේ ආණ්ඩුවට තවත් කාලයක් තියෙනවා. මේ බස්නාහිර පළාතේ කැළිකසළ ප්‍රශ්නය විසඳන්න පළාත් පාලන ආයතනවලටයි, පළාත් සභාවටයි ලබාදෙන්න. මම ගෙනාපු ව්‍යාපෘතියට එංගලන්තයෙට එන්න කිව්වම මම ගියේ නෑ. යැව්වේ ඒ පිළිබඳ දැනුම තිබ්බ මිනිස්සු. එහෙව් මට දුන්නේ නෑ මේ ප්‍රශ්නය විසඳන්න. ලොක්කන්ට කියන්න තිබ්බා මේ ප්‍රශ්නය විසඳන්න මේ නීතිමය අවස්ථාව දෙන්න කියලා. නමුත් මෙයාලා මේ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ බූදලයක් බවට පත්කරගන්න ගියා. අපි වැඩකරනකොට චම්පික ඇමතිතුමාලා හිතලවත් නෑ.

අපි වැෙඩ් දුන්නනම් අනිත් මහ අැමැතිලත් සටනට බහිනවා

ඔබතුමාට පුදුම කළකිරීමක් නේද ආණ්ඩුව එක්ක තියෙන්නේ?
නෑ. මම ඔය කිසිකෙනෙක් එක්ක කළකිරෙන්නේ නෑ. මේ ආණ්ඩුව එක්ක කිසි කළකිරීමක් නෑ. මම කියන්නේ ජාතික ගැටලු විසඳන්න යනකොට බලය බෙදාදීමට හඳන ආණ්ඩුව වැඩි දේවල් නොකර ඒ ආයතනවලට වැඩකටයුතු කරන්න දෙන්න කියලයි මම ඉල්ලන්නේ.

දැන් බලාගෙන යනකොට මේ මිනිස්සුන්ගේ මරණවලට වගකියන්න කෙනෙක් නෑ. රුපියල් ලක්ෂයයිද මිනිස්සුන්ගේ ජීවිතේ වටිනාකම?
අවසානයේ මේ රටේ මොනදේ වුණත් යන්නේ දේශපාලනඥයෝ පිටින්නේ. මේකත් දේශපාලනය පිටින් තමයි යන්න වෙන්නේ. මම කියන්නේ කාටවත් ඇඟිල්ල දික්කරලා මේ ප්‍රශ්නය විසඳගන්න බෑ. දැන් අපි ගහගත්තා ඇති. මේ මිනිස්සුන්ගේ මරණවලට දෙන්න පුළුවන් විසඳුම තමයි මේ දැන්වත් මේ කසළ ප්‍රශ්නය විසඳන එක. ඒක වගකිවයුතු ආයතනයකට දෙන්න. ඒ සඳහා බස්නාහිර පළාත් පාලන කසළ කළමනාකරණ අධිකාරිය තියෙනවා. ඒක ලංකාවට එකයි තියෙන්නේ. නමුත් එයාලට පුළුවන් ලංකාවේම මේ ප්‍රශ්නය විසඳන්න. ඒ සඳහා මග පෙන්වන්නෙක් හැටියට මම ඉන්නවා. 

මේකවත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවොත් හොඳයි නේද? විසඳුමක් දෙයි නේද?
දැන්නම් එතුමට මේ ගැන හොඳ අවබෝධයක් ලැබිලා ඇති. ඔව් එතුමා හොඳ විසඳුමක් දෙයි. මේ යහපාලන ආණ්ඩුවේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ජනාධිපතිගේ තීන්දුවනේ. එවගේ මේකටත් එහෙම තීන්දුවක් දෙයි.

කුණු ප්‍රශ්නය ගත්තාමත් ආණ්ඩුවේ අනිත් වැඩ ගත්තාමත් ශ්‍රී ලංකා එකයි, යු.එන්.පී එකයි ඉන්නෙම අවි අමෝරාගෙන මොකද ඒ?
මෙහෙමනේ. මොනදේ කිව්වත් මේ පක්ෂ දෙක මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක. ඔය කියන විදිහට මේ පක්ෂ දෙක එකතු කරන්න අමාරුයි. දෙගොල්ලම බලන්නේ කොයිවෙලේද ඔවර්ටේක් කර්න්නෙ කියල. ඒනිසා මේවා හිත්වලින් එකතු කරන්න බෑ. කට්ටිය එකටහිටියට හිතන්නේ ඊළඟ ඡන්දය දිනන්නේ කොහොමද කියලා.

එ.ජා.ප.ය නම් කියන්නේ ඡන්දය කල්දාන්නේ ඔබලාට පක්ෂය එකතු කරගන්න බැරුව කියලා?
ඒ ගැන එයාලා කලබල වෙන්න ඕන නෑ. මම දන්න මෛත්‍රීපාල මහත්තයයි, මම දන්න මහින්ද මහත්තයයි පක්ෂයේ අනාගතය වෙනුවෙන් ඕන දෙයක් කරන දෙන්නෙක්. එක්සත් ජාතික පක්ෂය බලාගෙන ඉන්නෙම අපි දෙගොල්ලෝ දෙපැත්තට කරන්නනේ.

කතාකළොත් ශ්‍රී.ල.නි.ප. ජනතාවාදී. ඒත් මේ මහජනතාවගේ ජීවන බර දැනෙන්නේ නෑ. සද්ද නොකර ඉන්නවා?
ගොවියෙක්ගේ පුතෙක් හැටියට ජනාධිපතිතුමාට ඕක දැනෙනවා. එතුමා ජාත්‍යන්තරය ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගන්න යන්නේ. අනික ජනාධිපතිතුමා මේ ණය උගුලෙන් රට බේරලා තමයි නතර වෙන්නේ. එතුමා ඉතිහාස ගතවෙන්නේ ඒ නිසා. පොඩ්ඩක් ඉවසලා ඉන්න එදාට අපි මාධ්‍යටත් එන්න කියලා කියන්නනම්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හදිසි වෙන කෙනෙක් නෙමෙයි. එතුමා නිසිකලට, නිසි මොහොතේ තීන්දු තීරණ ගනීවි.

ඒ කියන්නේ ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප.ය රෙඩ්කාඩ් පෙන්නන්න ලෑස්තියි?
මේ රටේ බහුතර කැමැත්ත තියෙන්න ජනාධිපතිතුමාට. එතුමාට තමන්ට තිබුණු විධායක බලතල පවා අඩුකර ගත්තා. ජනතාව කියන්නේ අපිට මේවගේ ජනාධිපති කෙනෙක් හිටියට කමක් නෑ කියලා. වෙනම ආණ්ඩුවක් හදන්න කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ. ඒ නිසා අපි ජනතාවගේ කීමට කන්දෙන්න ඕන ඉදිරියේදී.

 ගයාන් ගාල්ලගේ