2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පෙරළිකාර වෙනස්කම්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ඉදිරි සති දෙකක් වැනි කාලයක් තුළදී රටේ පරිපාලනයේ විශාල පෙරැළියක් වන වෙනස්කම් කීපයක් සිදුවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. පුවත්පත් කතුවරුන් සහ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (20) පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා තිබුණේය. පසුගිය මාස කිහිපය මුළුල්ලේම මෙවැනි අදහස් ගණනාවක් ප්‍රකාශයට පත් වී තිබුණද කාල වකවානුවක් සහිතව ජනාධිපතිවරයා විසින්ම මාධ්‍ය ප්‍රධානීන් හමුවේ මෙම ප්‍රකාශය සිදුකිරීම නිසා එයට වඩාත් වලංගු භාවයක් නිතැතින්ම හිමි වෙයි. කියන පරිදිම මෙකී වෙනස්කම් සිදුවනු ඇතැයි අපි සිතමු. 

ආණ්ඩුව සම්බන්ධයෙන් පෙරුළියක් ගැන කතා කරන විට ඇමැති පදවි මාරුව එහි අංක එකට ගැනෙන බව නොරහසකි. වැදගත් ආයතනවල මුල් පුටු පෙරළීම් ඊළඟ අංකයයි. රටේ පරිපාලනයේ අඩුලුහුඬුකම් ඇති බව දැනෙන විට ඒවා හදාගෙන පාලනය හරි පීල්ලට දමා ගැනීම ඕනෑම නායකයකුගේ උවමනාවය. ජනාධිපතිවරයාගේ අරමුණද එය විය යුතුය. 

අරමුණු එසේ වනවිට එය ජයගත හැකි ආකාරයට වෙනස්කම්ද සිදුවීම අවශ්‍යය. රට වැසියෝ නිසැකවම එසේ සිතති. අර ඇමැති මාරු වෙනවා, මේ ඇමැති විසි වෙනවා වැනි කතාබහ පසුගිය මාස කීපය පුරාම පැතිර ගියේ එම හේතුව නිසාය. ඒ ආකාරයට ධූර වෙනස් කිරීමක් සිදුවන්නේ නම් එහි වාසිය ලැබිය යුතු වන්නේ වෙන කිසිවකුටත් නොව රටවැසියාටමය. 

තමන්ගේ අභිමතය පරිදි රටේ කටයුතු සිදුනොවන විට ජනතාව කලකිරෙති. නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදට පේනවා සේ හැම දෙයකම වැරැද්දක් දකින්නට ඔවුහු පෙළඹෙති. ඒ අතරේ මීතොටමුල්ලේ ඛේදවාචකය වැනි සිදුවීම් තත්ත්වය තවත් බරපතළ තත්ත්වය හරවන බට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. පසුගිය දින කීපයේම ඒ බව හොඳින් බලාගන්නට, අසාගන්නට හැකිවිය. සිදුකිරීමට නියමිත වෙනස්කම් ගැන අප සළකා බැලිය යුත්තේ එම පසුබිමේ සිටිමිනි. 

මීතොටමුල්ලේ කුණුකන්ද කඩා වැටුණු දිනයේ සිට මේ දක්වාත් එහි වගකීම පිළිබඳව ඇමැතිවරුන්, බලධාරීන් අතර පවතින කඹ ඇදීම් කෙළවරක් නැත. රජය මාධ්‍ය සාකච්ඡාවක් තබා එහි වගකීම භාර ගන්නා බව ප්‍රකාශ කළද ඇමැතිවරුන් මහ ඇමැතිවරැන් අතර එකිනෙකාට චෝදනා කර ගැනීම් වල අවසානයක් නැත. මේ චෝදනා ප්‍රතිචෝදනා අතර ඇතැම් දෙනා කුණු කන්ද රන් ඉල්ලමක් බවට හරවාගන්නට තැත්කළ රහස් එළියට ඇදුණේය. ආණ්ඩුව තුළ වෙනස්කම් සිදුවිය යුත්තේ මතු අනාගතයේදී හෝ එවැනි ක්‍රියා වැළැක්වීමේ පියවරක් වශයෙනි. එසේ නොවී වඩා හිතවත් අයට තනතුරු වරදාන ප්‍රදානය කිරීමට පමණක් වෙනස් කිරීම් සිදුකිරීම ප්‍රයෝජනයක් නැත.

මේ රටේ ඇතැම් ඇමැතිවරුන් රටට පැමිණි විශාල ආයෝජන ගණනාවක් ආපසු හරවා යැවීමට ක්‍රියා කළ බවද අසන්නට ලැබිණි. එම ආයෝජන අතර මීතොටමුල්ල පමණක් නොව බස්නාහිර පළාතේම කුණු නවීන තාක්ෂණික ක්‍රම යොදාගෙන ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ බලශක්තිය නිපදවීම ඇතුළත් වූ ආයෝජනද තිබූ බවත් ඒවා මෙරටට හඳුන්වාදීමට නම් විශාල කොමිස් කුට්ටි තමන්ට ලැබිය යුතු බවට ඇතැම් ලොක්කන්ගෙන් සිදු කෙරුණු ඉල්ලීම් හේතුවෙන් ඒවා ආපසු හකුලාගෙන ගිය බවත් දැනගන්නට තිබේ. තම පෞද්ගලික අවශ්‍යතා ඉදිරියට දමාගෙන තමන්ගේ හත්මුතු පරම්පරාවේම බඩකට පුරවාගන්නා චේතනාවෙන් කටයුතු කරන මෙවැනි දේශපාලන ලොක්කන් පමණක් නොව ආයතන ප්‍රධානීන්ද ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට සූදානම් වන පෙරළියේ ඉලක්ක බවට පත්වීම අවශ්‍යය. වෙනස්කම් වඩාත් අර්ථවත් කළ හැක්කේ එවැනි දැඩි පියවර ගැනීමෙන් පමණි. 

එපමණක් නොවේ. මේ රජයේ ඇතැම් කටයුතු වලදී ප්‍රමුඛතා පටලවාගන්නා ආකාරයක්ද පෙනෙන්නට තිබේ. මෙරට පොලීසියේ ප්‍රධානම රාජකාරිය වන්නේ නීතිය හා සාමය රැකීම මිස බණ භාවනා කිරීම නොවන බව මේ රටේ පොලිස්පතිවරයා තවම තේරුම් ගෙන නැත. තමන්ට ලකුණු දාගැනීමට සිදුකරන මෙවැනි වැඩ සමස්ත පොලිසියම හෑල්ලු කරන බව පොලිස්පතිවරයා අවබෝධ කරගෙන නැත. පොලිස්පතිවරයා පත්කරනු ලබන්නේ රජයෙනි. ඔහු ප්‍රමුඛතා පටලවා ගෙන ක්‍රියා කරන විට එම ධූරයේද වෙනස්කමක් සිදුවන්නේ නම් යහපත් යැයි ජනතාවට හැඟීයාම පුදුමයක් නොවේ. 

මීතොමුල්ලේ ඛේදවාචකය මුළු රට තුළම බලවත් කම්පනයක් ඇති කළේය. එම කම්පනයෙන් මිදෙන්නට තවමත් හැකියාවක් ලැබී නැත. කුණුකන්දට යටවීමෙන් ජීවිත හානි වූ , තුවාල ලැබූ සහ දේපොළ අහිමි වූ සියලු දෙනා ගැන කතා නොකරන නිවෙසක් අද සොයාගැනීමට නොහැකිය. දුම්රියේ බස්රියේ කාර්යාලයේ මේ හැම තැනකම මීතොටමුල්ල ගැන නිරතුරුවම කතාබහ ඇති වූයේ කා තුළත් තිබෙන කම්පනය හේතුවෙනි. නමුත් අවසනාව නම් වළක්වා ගත හැකිව තිබූ මේ ඛේදවාචකය බලධාරීන් කීප දෙනකුගේ ධන ලෝබයේ සහ බල ලෝභයේ කඹ ඇදිල්ලක් නිසා පුපුරා හැලීමට ඉඩ හැර තිබීමය.

සංවර්ධනය පිළිබඳව ලොරි ගණනින් කතා කරන අපි කුණු කළමනාකරණය අතින් තවමත් සිටින්නේ ළදරු අවධියක බව රහසක් නොවේ. මේ විෂයයට අදාළ එක් විද්‍යාඥයකු ප්‍රකාශ කර තිබුණේ කුණු බැහැර කිරීම පමණක් නොව ප්‍රතිචක්‍රීකරණය කිරීම පවා දැන් යල් පැන ගිය සංකල්පයක් බවත් ලොවේ බොහොමයක් රටවල් තම රටවල කුණු නවීන තාක්ෂණික ක්‍රම යොදාගනිමින් ඉතාම ඵලදායි ආකාරයට කළමනාකරණය කරගන්නා බවත්ය. ලොවේ ජනගහණයට සාපේක්ෂව ඉතාම විශාල ඇමැති මණ්ඩලයක් සිටින එසේම ඉහළම වරප්‍රසාද විඳින මන්ත්‍රීවරුන් සිටින රටක කසළ ටික හරිහැටි කළමනාකරණය කරගන්නට නොහැකි වීම ගැන ලැජ්ජා විය යුත්තේ රටේ ජනතාව නොව රට කරවන සහ කරවූ මැති ඇමැතිවරැන්මය. ඉදිරියේදී සිදුකරන බව කියන වෙනස්කම් වලදී මේ කරැණුත් සැලකිල්ලට ගනිමින් ජනතාවට වඩාත් ප්‍රමුඛත්වය ලැබෙන පෙරළියක් සිදුකිරීම අත්‍යවශ්‍ය නොවේද?