2021 මාර්තු 06 වන සෙනසුරාදා

පාස්කු වාර්තාව : මෛත්‍රිපාල - ඥානසාර හිමි - හේමසිරි - පූජිත

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

මේ රටේ ප්‍රකාශයට පත්වූ පළමු කොමිෂන් සභා වාර්තාව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නොවේ. එහෙත් නිසැකවම මෙතරම් මතගැටුම්වලට හේතු වූ දේශපාලන වේදිකාව උණුසුම් කළ වෙනත් කොමිෂන් සභා වාර්තාවක් මින් පෙර නිකුත් වී නැත. මේ රටේ වඩාත්ම කතාබහට ලක්වූ '71 කැරැල්ල පිළිබඳ කරුණු සෙවීමට එවකට තිබූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව මගින් පත් කරන ලද අපරාධ යුක්තිය විනිශ්චය කොමිෂන් සභා වාර්තාවටද මේ තරම් ගල් මුල් එල්ල වූයේ නැත. එහෙම වුණත් ඒ කොමිෂන් සභාවට නඩු අසා චූදිතයන්ට දඬුවම් පැමිණවීමට පවා බලතල තිබිණි. පාස්කු කොමිසමට එවැනි බලතල තිබුණේ නැත.

එසේ තිබියදීත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැඩි ස්ථාවරයක රැඳී සිටිමින් කොමිෂන් වාර්තාව තදින්ම විවේචනය කිරීම රටේම අවධානය දිනාගෙන තිබේ. කළු ඉරිදාව, ලබන අප්‍රේල් 21ට කලින් මහමොළකරුවන් ඇල්ලීමට ලබාදුන් ඉලක්කය කාදිනල්තුමා රැඳී සිටින ස්ථාවරය හොඳින් පැහැදිලි කරයි. මේ හේතුව නිසා වඩාත්ම අපහසුතාවට පත්ව සිටින්නේ ආණ්ඩුව බවට සැකයක් නැත. 

ආණ්ඩුව බලයට පත්වීමේදී පාස්කු ප්‍රහාරය පසුපස සිටින සැබෑ වැරදිකරුවන් අල්ලා දෙන බවටත් විවිධ දේශපාලන බලවේගවලට මුවාවී කිසිදු වැරදිකරුවකුට නීතියෙන් ගැලවී සිටීමට ඉඩ නොදෙන බවටත් කළ ප්‍රකාශ පොහොට්ටු වේදිකාවේ උණුසුම් සටන් පාඨ බවට පත්වී තිබුණේය. පොහොට්ටු නායකයන්ට එහෙම කරන්න හේතුවක්ද තිබුණි. ඔවුන් විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරණයට සූදානම් වෙද්දී එවකට ආණ්ඩුවේ පාර්ශ්වකරැවන් අතර මුස්ලිම් දේශපාලන පක්ෂ ද විය. විපක්ෂයේ සිටි දෙමළ ජාතික සන්ධානය පිටතින් සිටිමින් ආණ්ඩුවට සහාය පළ කළා මිස විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ නැත. විපක්ෂ නායකයා වී සිටියේ සම්පන්දන්ය. ආණ්ඩුවේ රූකඩයක් බවට පත්ව තිබූ විපක්ෂය පාර්ලිමේන්තුවේ තමන්ගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කළේ නැත. පාස්කු ප්‍රහාරයේ පසුකම්පන මැඩපවත්වා ගැනීමට ආණ්ඩුවට මෙය විශාල වාසියක් විය. මුස්ලිම් පක්ෂ නායකයන්ගේ සහාය ලැබීමත් ආණ්ඩුවට ඕනෑ වූ විට කට වසාගෙන වගකීම පැහැර හැරි විපක්ෂයකුත් සිටි නිසා පාස්කු ප්‍රහාරයේ ප්‍රතිවිපාකවලට ආණ්ඩුවට මුහුණදීමට සිදුවූයේ නැත. නැත්නම් 2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය එල්ල වන විට ද කඩාහැලෙමින් තිබූ යහපාලන ආණ්ඩුව එම වසරේම නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේදී පරාජය වීමට පෙරම බිමට සමතලා වීමට පවා ඉඩ තිබිණි. මුස්ලිම් පක්ෂ නායකයන් කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රතිපත්තියත් විපක්ෂය නිහඬ වීමත් නිසා එය වැළකුණේය.

එහෙම වුණත් එහි වාසිය උපරිමව පොහොට්ටුව අතට යාම වැළැක්වීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබු‍ණේ නැත. පාස්කු ප්‍රහාර සටන් පාඨය උඩ දමමින් ආණ්ඩුවට ගහන විට යහපාලන නායකයන්ට සිදුව තිබුණේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබෙන තුරැ බලා සිටීම පමණි. ඒ වන විට යහපාලන ආණ්ඩුවේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය ගැන කරුණු සෙවීමේ කොමිෂන් සභාව පත් කර තිබුණි. එයට සමගාමීව අගමැති රනිල් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට එහි සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කළේය. මෙය දේශපාලන ගේම් එකක කෑලි බව පැහැදිලි විය. ආණ්ඩුව ඇතුළේම ජනාධිපති - අගමැති පාර්ශ්ව දෙක අතර ගැටුම එළියේම ප්‍රදර්ශනය වීම එහි ප්‍රතිඵලය විය. එහෙත් මේ අතරේ පොහොට්ටුවට පාස්කු ප්‍රහාරය වෙස් වළාගත් ආශිර්වාදයක් වී තිබුණි. නමුත් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් විසින් එදා නැගූ හඬ මේ දෙපිරිසම හරිහැටි වටහාගෙන නැති බව කොමිෂන් සභා වාර්තාව එළියට පැමිණීමෙන් පසුව හොඳින්ම පැහැදිලි වෙමින් තිබේ. අද ආණ්ඩුව පමණක් නොව විපක්ෂයත් කාදිනල්තුමන්ගේ විරෝධයේ සිරකරැවන් බවට පත්ව සිටින්නේ ඒ හේතුවෙනි.

ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලබාදුන් එක් පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු වැරදිකරැවන් අල්ලාගන්නා බවය. ඔවුන්ට නීතිය හමුවේ කිසිම සමාවක් නොදෙන බවය. මේ පොරොන්දුව රට පුරාම සිටින කතෝලික ප්‍රජාවගේ ඡන්දය ලබාගැනීමට ආකර්ශනීය පොරොන්දුවක් විය. සාමාන්‍යයෙන් කතෝලික ජනතාවගේ බහුතරයගේ ඡන්දය යූ.එන්.පිය ප්‍රමුඛ සන්ධානයකට වැටෙන බව පොදු මතයයි. එම තත්ත්වය පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් වෙනස් විය. වත්මන් ජනාධිපතිවරයාට සහ පොදුජන පෙරමුණු ආණ්ඩුවට එසේ වෙනස් වෙමින් සහාය දුන් කතෝලික ජනතාවගේ බලාපොරොත්තු පාස්කු වාර්තාවෙන් ඉටුවී නැති බව කාදිනල්තුමා දැන් දරණ මතය වී තිබේ. දැන් ඇතිවී තිබෙන කලබගෑනියට හේතුව පාස්කු වාර්තාව කෙරෙහි කතෝලික පල්ලිය තබා තිබූ විශ්වාසය බිඳී යාමය.

එය ආණ්ඩුවට අනාගතයේදී දේශපාලනික වශයෙන් ගැටලු ඇතිකරන බව පැහැදිලිය. එහි තවත් පැත්තක් වන්නේ හිටපු ජනපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු විසින් පත් කළ කොමිසම මගින් වැරදිකරුවකු බවට පත් කර තිබීමය. ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නවාද නැද්ද යන්න නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇත. එහෙත් මේ හේතුව නිසා ආණ්ඩුවේ පාර්ශ්වයක් වන ශ්‍රීලනිපය දැඩි ලෙස විරසක වී සිටී. සන්ධාන ගතවීමේදී තමන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳ ආණ්ඩුවට දොස් පවරමින් සිටි ශ්‍රීලනිපයට මෛත්‍රීපාල මහතා වරදකරුවකු කිරීම අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් මෙන් විය. දැන් ආණ්ඩුවේ නායකයන්ට කාදිනල්තුමා පමණක් නොව ශ්‍රීලනිපයද පේෂ් කර ගැනීමට සිදුව තිබේ. මෙය ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝග සමඟ ලෙහෙසි කටයුත්තක් නම් නොවන බව පැහැදිලිය.

එසේම ඥානසාර හිමිට, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු පැවරීමට කර ඇති නිර්දේශද මතභේදවලට තුඩුදී තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය ඉල්ලා කෑගැසූ සියලු කණ්ඩායම් මෙසේ කොමිෂන් සභා වාර්තාවට විරෝධය පෑම රටේ දේශපාලනයේ අමුතු හැරවුමකි. කොමිසම වැඩියෙන්ම ඉල්ලූ කතෝලික සභාව මුලින්ම විරුද්ධ වූ අතර මහ සඟරුවන ඇතුළු බෞද්ධ කණ්ඩායම්ද විරෝධය පළ කර තිබේ. සිද්ධිය වන විට එකට සිට දැන් දෙකට බෙදී සිටින යූ.එන්.පියේ නායකයන්ද එයට විරුද්ධය. ජවිපෙ ද ප්‍රකාශ කරන්නේ කොමිෂන් වාර්තාවෙන් යුක්තිය ඉටුවී නැති බැවින් ඒ වෙනුවෙන් සටන් කරන කතෝලික ප්‍රජාවට තමන් සහාය දක්වන බවය. ආණ්ඩුව ඇතුළේම විවිධ පාර්ශ්ව ශ්‍රීලනිපය ද ඇතුළුව විරුද්ධය. එයට අලුතින්ම එක්ව ඇත්තේ මුස්ලිම් විද්වත් කණ්ඩායමකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.එම්. සුහේර්, ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ගත්කතුවරයකු වන ලතීෆ් ෆාරුක් ඇතුළු විද්වතුන් පිරිසක් පසුගියදා නිකුත් කළ ප්‍රකාශයකින් දැක්වුණේ පාස්කු ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව සිද්ධියට අදාළ වැදගත් කාරණා පිළිබඳ හෙළිදරව් කර ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් කාදිනල්තුමන් විසින් දක්වන දැඩි කනස්සල්ල සමඟ තමන්ද එකතු වන බවය. එක් මරාගෙන මැරුණු බෝම්බකරුවකුගේ බිරිඳ වන පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා නම් වන තැනැත්තියට රටින් පැන ඉන්දියාවට යාමට බෝට්ටුවක් ලබාදීම පිළිබඳව හෝ ඇය ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කර ඇයගෙන් ප්‍රශ්න කිරීමට වාර්තාවෙන් කිසිදු නිර්දේශයක් ලබා නොදීම හෝ විශාල හිඩැසක් බවද ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන්ය. මුස්ලිම් නමකින් යුත් බෝම්බකරුවකු විසින් පිපිරීම සිදු කළ කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් පල්ලිය යළි ගොඩනංවා ආශිර්වාද ගැන්වූ 2019 ජූලි 21 වැනිදා කාදිනල්තුමන් විසින් සිදු කළ දේශනය ජාත්‍යන්තරය තුළ පවා ප්‍රසිද්ධියට පත්වූ බවද ඔවුන් පෙන්වා දී තිබේ. “පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එය ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් පමණක් නොවේ. හුදෙක් තමන් තුළ ඇති ඉස්ලාම් දහමට සම්බන්ධ න්‍යායයන් හේතුවෙන් පමණක් තරැණයන් පිරිසක් පාස්කු ඉරිදා ඛේදවාචකය නිර්මාණය කළ බව මා සිතන්නේ නෑ” යැයි කාදිනල්තුමාගේ එම දේශනයේ සඳහන් බවද ඔවුහු කියති.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාව මේ වැනි අර්බුදයක් ඇතිකරනු ඇතැයි එම කොමිසම පත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතාවත් අඩු තරමින් සිතන්නට නැත.

 ශශීන්ද්‍ර