2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

නොකෙරෙන වෙදකමක් වූ ව්‍යවස්ථා වෙනස

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 69

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සෑම මැතිවරණයකදීම ඡන්ද වේදිකාවෙන් ලැබුණ ප්‍රධාන පොරොන්දුවකි. 1994, 1999, 2005 මෙන්ම 2015 ජනාධිපතිවරණවලදි ව්‍යවස්ථා සංශෝධනය ගැන මෙන්ම විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම ගැනද කප්පරක් පොරොන්දු රටට ලැබිණි. එහෙත් ඒ ඡන්ද වලින් බලයටපත් කිසිදු රාජ්‍ය පාලකයකු ව්‍යවස්ථා සංශෝධන පොරොන්දුව ඉටුකළේ නැත. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කළේද නැත. 2015 අවසන් වරට පැවති ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපතික්‍රමය අහෝසිකර යහ පාලනය ස්ථාපිත කරන බවට දුන් පොරොන්දුවද සාපේක්ෂව දියාරුවෙමින් පවතී. ඡන්ද කාලයේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ තමන් තරග 2015 ජනාධිපතිවරණය මෙරට අවසන් ජනාධිපතිවරණය විය හැකි බවය. ඉදිරි මැතිවරණයකට තමන් තරග නොකරන බවද සිරිසේන මහතා සඳහන් කළේය. එහෙත් දැන් වැඩ සිදුවන ආකාරයට ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ තවත් ජනාධිපතිවරණයක් ඉල්ලති. ජනාධිපති  සිරිසේන මහතාට නැවත තරග කරන්නැයි ආයාචනා කරති. මේ සියල්ලෙන් පෙනෙන්නේ වත්මන් පාලන තන්ත්‍රයද විධායක ජනාධිපතිධූරයේ රසය විඳින්නට තවදුරටත් මනාප බවකි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල දෙකතුනක් පාර්ලිමේන්තුවට පවරාදී තිබීම අගය කළ යුතුය. මහ මැතිවරණයකින් පසු වසර 4ක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිවීම, කැබිනට්ටුව පත් කිරීමේදී අගමැතිගේ නිර්දේශය අත්‍යවශ්‍ය කිරීම, විධායක ජනාධිපති යම් යම් නිශ්චිත කාරණා සඳහා අධිකරණයට කැඳවීමට නිතිමය හිමිකම ලබාදීම වැනි වගන්ති මගින් ඉතා සුළු වශයෙන් විධායක ජනාධිපතිධූරයේ බලතල සීමා කෙරිණි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන බහුතර ජනතාව අපේක්ෂා කළේ එය නොවේ.

විධායක ජනාධිපතික්‍රමයේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතා බලය දරන කාලයේ විධායක ජනාධිපති ධූරය ගැන පලකළ ප්‍රකට අදහස් අපට අදත් මතකය. තමන්ට මේ රට කරන්නට අවශ්‍ය වන්නේ ත්‍රිවිධ හමුදාවත් හොඳ දොස්තර කෙනෙකුත් විතරක් යැයි වරක් ජේ.ආර්. කීය. එසේම විධායක ජනාධිපතික්‍රමයෙන් කළ නොහැක්කේ ගැහැනියෙකු පිරිමියෙකු කිරීම පමණක් බවද ඔහු සඳහන් කළේය. රටේ පරිපාලන නීතිය හා මූල්‍ය නීතිය විය යුත්තේ ඒ.ආර්.එෆ්.ආර්. නොව ජේ.ආර්. යැයිද ඔහු පැවසීය. මේ සියලු ආඩම්බර කතා වලින් ගම්‍යවන්නේ විධායක ජනාධිපතික්‍රමයේ තිබෙන අධිපතිවාදයයි. එසේම මුවහත්වූ වියපත්වූ දේශපාලන පන්නරයක් ඇති නායකයකු අත මෙබඳු බලයක් තිබුණාට කමක් නැත ගන්න සාධාරණීකරණය කරන්නට ජේ.ආර්. ජයවර්ධන මහතා එක් වරක් තවත් අපූරු අදහසක් උපුටා දැක්වීය. එම අදහස ඊට කලින් ජුවාම් පාවුළු පාප්තුමා පලකළ පාඨයකින් සකසාගෙන තිබිණි. එය උපුටා දැක්වූ ජේ.ආර්. කීවේ වීනා වාදකයා වියපත්වන තරමට විනා වාදනය මියුරු වනු ඇත කියාය. මේ ආකාරයේ විවිධ කතා මගින් විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘවරයා මෙම ක්‍රමයේ සැඟවුණ ක්‍රියාන්විතය ප්‍රකට කළේය. ඒ අතරම යට කී ලෙස ඔහු ව්‍යංගයෙන්‍ ඇඟවූයේ තමන් වැනි බොහෝ කරුණු කාරණා දත් ඇසූපිරෑ අයෙකු අත මේ තරම් බලතල කන්දරාවක් තිබුණාට වරදක් නැත කියායි. එහෙත් ජේ.ආර් විධායක ජනාධිපතික්‍රමය තමන්ගේ පටු දේශපාලන අරමුණ උදෙසා කදිමට භාවිත කළේය. මන්ත්‍රීන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගැනීම, ජනමත විමසුමක් තබා ජනාධිපතිවරණය කල් දැමීම, සිරිමාවෝ බණ්ඩාරනායක, විජය කුමාරණතුංග වැනි ජනප්‍රිය දේශපාලන චරිත මර්දනයට විධායකයේ බලතල උපයෝගී කරගැනීම හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට දේෂාභියෝගයක් ගෙන ඒම වැනි බොහෝ කරුණු කාරණාවලදී ජේ.ආර්ට පිහිට වූයේ විධායක ජනාධිපති ක්‍රමයයි. ඊට පසු බලයට පත් සෙසු නායකයන්ද අඩු වැඩි වශයෙන් විධායක බලය පාවිච්චි කළබව අපි දනිමු. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට  පත්වූයේ අතිශය ජනප්‍රිය නායිකාවක ලෙසය. ඇය රටට ලබාදුන් මූලික ප්‍රතිඥාව වූයේ 1995 ජුලි 15ට පෙර විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවටය. ජ.වි.පෙ එදා (ප්‍රගතිශීලි පෙරමුණ ලෙස) මේ ගැන ලිඛිතව ඇයගෙන ප්‍රතිඥා ලබාගත්තේය. 1994දී එක් පාර්ලිමේන්තු ආසනයක වැඩි ඡන්දයකින් පැවති චන්ද්‍රිකා ආණ්ඩුව විධායක ජනාධිපතික්‍රමය සහිතව ජේ.ආර්ගේ බහුභූත ව්‍යවස්ථාව අහෝසිකරන්නේ යැයි කී විට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීයකුට කීවේ එයාට කියන්න පුළුවන්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. එහෙම කළොත් එතුමිගෙ ආණ්ඩුව තියෙන්නෙ හරියටම සතියයි කියාය. ජේ.ආර්. ජයවර්ධන මහතා කුමන අරමුණකින් මෙම කතාව කීවාදැයි අපි නොදනිමු. එහෙත් එදා විධායක ජනාධිපත්‍රකමය අහෝසි කළේ වත් ආණ්ඩුව වැටුණේවත් නැත.

මහින්ද රාජපක්ෂ මහතා 2005 බලයට ආවේද විධායක ජනාධිපතික්‍රමය අවසන් කරන්නට ප්‍රතිඥා දෙමිණි. එහෙත් ඔහුද එය කදිමට රසවිඳි නායකයෙකි. දෝෂාභියෝගයකින් අගවිනිසුරුවරිය ඉවත් කළ මහින්ද වාර දෙකකට සීමාකර තිබූ විධායක ජනාධිපතිධූරයේ ආයු කාලය (18 වැනි සංශෝධනය මගින්) අසීමිත වාර ගණනක් එක් තැනැත්තෙකුට බලයට පත්වීමට ඉඩ ලැබෙන පරිදි වෙනස් කළේය. නමුත් ඔහුට උතුරේ යුද්ධය 2009දී හමාර කරන්නට බලය හා ජවය ලැබුණේ විධායක ජනාධිපතික්‍රමයෙන් බව මහින්ද මෙන්ම මහින්ද සමග එකඟ නොවූ යම් යම් දේශපාලන භවතුන්ද පිළිගත් සත්‍යයකි. කෙසේ හෝ දැන් සිටින්නේ මහින්දගේ අනුප්‍රාප්තිකයා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය. සුපුරුදු ලෙස වත්මන් රජයද නව ව්‍යවස්ථාවක් සම්පාදනයට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්කර ඇත. මෙයට පෙර ව්‍යවස්ථාවේ බලතල අඩුකරන්නට සර්ව පාක්ෂික සමුළු තේරීම් කමිටු ගණනාවක් පැවති සෑම රජයක්ම පත්කළේය. ප්‍රේමදාස රජයේ මංගල මුණසිංහ තේරීම් කමිටුව, චන්ද්‍රිකා රජය පත්කළ දිනේෂ් ගුණවර්ධන තේරීම් කමිටුව, මහින්ද රාජපක්ෂ රජය කැඳවූ සර්වපාක්ෂික සමුළුව හා පත්කළ තේරීම් කාරක සභාව ගැන අප කාටත් හොඳින් මතකය.

1947 වසරේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ නිර්දේශය පරිදි ව්‍යවස්ථා විශාරද ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් විසින් නිදහස් ලංකාවට මුලින්ම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළේය. මේ රටට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස දීම ගැන විමර්ශනයට පත්කළ සෝල්බරි කොමිසමේ නිර්දේශ පදනම් කරගත් 1947 ව්‍යවස්ථාව වෙස්ට් මිනිස්ටර් පාලන ක්‍රමය (කැබිනට් හා පාර්ලිමේන්තු ක්‍රමය) පිළිගත් ව්‍යවස්ථාවකි. 1947 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූයේ එම ව්‍යවස්ථාවයි. අහෝසිකොට නීති විශාරද ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා සැදූ ජනරජ ව්‍යවස්ථාව සම්මත කළේය. ඒ සමඟ ශ්‍රී ලංකාව ජනරජයක් වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජන නියෝජනය කළ නාම මාත්‍ර නායකවරයා වූ අග්‍රාණ්ඩුකාරයා වෙනුවට නාම මාත්‍ර ජනාධිපතිධූරයක් ඇතිවිය. අපේ රාජ්‍ය පාලනධූරාවලියට ජනාධිපති ධූරය එක්වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාවන් සමඟය. 

ජනරජ ව්‍යවස්ථාවට ආයුෂ තිබුණේ වසර 6ක් පමණය. 1978දී එය අහෝසි කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එ.ජා.පය බලයට පත්විමෙන් පසුවය. 1977 මහ මැතිවරණයෙන් අගමැති ධූරයට පත්වූ ජේ.ආර්. 1978 නව ව්‍යවස්ථාවක් පනවමින් අගමැතිධූරයෙන් විධායක ජනාධිපතිධූරයට මාරු විය. ජේ.ආර්ගේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක් පත්කර තිබූ අතර ජේ.ආර්ගේ මෙහෙයැවීමෙන් රාජ නීතිඥ එච්.ඩබ්. ජයවර්ධන ලලිත් ඇතුළත් මුදලි ජ්‍යෙෂ්ඨ නීතිඥ මාර්ක් ප්‍රනාන්දු (පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) වැනි බුද්ධිමතුන්ගේ මණ්ඩලයක් විසින් ජේ.ආර්ගේ ව්‍යවස්ථාව කෙටුම්පත් කළේය. සංශෝධන 19කට භාජනය වූ ජේ.ආර්ගේ ව්‍යවස්ථාව දැන් වසර 39ක් ආයු වළඳා තිබේ. 1994 සිට වසර 23ක්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ප්‍රතිඥාවෙන් සෑම මහා මැතිවරණයක ජනාධිපතිවරණ වේදිකාවක්ම ගිගුම් දුනි. විදේශීය සංවිධාන දේශපාලන විශාරදයන් විද්වතුන් මෙන්ම නොයෙක් රාජ්‍ය නොවන සංවිධාන විසින්ද අනේකවාරයක් විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව පෙන්වා දෙමින් එය වහා වෙනස්කළ යුතුයයි කීය. සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම තමන් විපක්ෂයේ සිටියදී ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි මොර ගසන නමුත් බලය ලත්විට විපක්ෂයේ සිටියදී කියූ දෙය අමතක කර ජනතාවට කොකා පෙන්වති.

ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ගැන අප උනන්දුවෙන් කතා කළාට එහි ඇතැම් සංවේදී කොටස් සංශෝධනය සිතන තරම් පහසු නැත. විශේෂයෙන්ම බලය බෙදීම අර්බුදයට ගිය විෂයකි. යම් යම් දේශපාලන පක්ෂ කිසිසේත්ම බලය බෙදීමකට විරුද්ධය. දැනට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවලට පවරා තිබෙන බලතල පවා කප්පාදු කළ යුතු යයි ඔවුහු සිතති. ඒ අතර උතුරු නැගෙනහිර පළාත් වල දේශපාලන නායකයන්ගේ ප්‍රාර්ථනය දැනට තිබෙනවාට වඩා වැඩි බලයක් පළාත් සභාවලට ලබාගන්නටයි. තිබෙන බලතල තෝරා බේරාගන්නේ නැතිව සමහර අන්තවාදී නායකයෝ රට ෆෙඩරල් කළ යුතු යැයිද යෝජනා කරති. 2009දී උතුරේ යුද්ධය හමාර කළාට පසු පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එවක ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිංට කීවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාදුන් බලතල වලට වැඩි යමක් තර්ටින් ප්ලස් (13+) ලෙස සුළු ජාතීන්ට ප්‍රදානය කරන බවකි. එහෙත් පසුගිය කාලයේ එල්ල වු විරෝධතා නිසා මහින්දලාගේ තර්ටින් ප්ලස් කතාව ඉබේම ලොස් විය.

ව්‍යවස්ථා සංශෝධනයට අද තිබෙන ප්‍රධාන බාධකය වන්නේ අවිශ්වාසය සහ සැකයයි. උතුරේ සහ දකුණේ අන්තවාදී මතදරන පිරිස් ඒ ඒ සමාජයන් තුළ සැකයේ බීජය කදිමට වපුරා ඇත. ඒ ඒ දේශපාලන පක්ෂ අතර ද කිසිම විශ්වාසයක් තිබෙන බවක් නොපෙනේ. නිදහසින් පසුව ප්‍රථම වරට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වී පවත්වාගෙන යන වත්මන් රජයේ තීරණ සම්බන්ධයෙන් පක්ෂ දෙක කරන කඹ ඇඳීම නිසා ව්‍යවස්ථාවද සැබෑ නොවන සිහින ගොන්න වෙත තල්ලු වෙමින් පවතී. විධායක ජනාධිපති ධූරයේ බලතල කොපමණ අහෝසිකළ යුතුද රාජ්‍ය ආගම සම්බන්ධ වගන්ති කවර ආකාර විය යුතුද? රාජ්‍යයේ ස්වභාවය කුමක්ද? පළාත් සභාවවලට වැඩි බලතල දෙන්නේ නම් එය කෙසේ කළ යුතුද? ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුද? වැනි ප්‍රශ්න ගැන ප්‍රධාන පක්ෂ අතර කිසිම එකඟතාවක් නැත. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ රැස්වීම්ද දිනෙන් දින කල්යමින් පවතී. එයින් කරන ලද යෝජනා ගැන ඇත්තේ වාද විවාද පමණය. සාධනීය යමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. 

රටේ දිනෙන් දින උග්‍රවන ආර්ථික ප්‍රශ්න විසින් අන් සියල්ල යටපත් කර තිබේ. බැඳුම්කර වංචාව වැනි මූල්‍ය ගනුදෙනු අද සමාජයේ ප්‍රධාන කතිකාවන් බවට පත්ව ඇත. කොටින්ම කිවහොත් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සහමුලින්ම ව්‍යාකූල වී ගොසිනි. රජයේ ප්‍රධාන දේශපාලන හවුල්කරුවන් වන එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ දේශපාලන වේදිකා වලදී එකිනෙකාව පාරට්ටු කරති. මේ ආණ්ඩුව වැඩිකල් නොයන බව රජයේ ඇමැතිවරැම කියන්නට පටන්ගෙන ඇත.  අමු අමුවේ දූෂණ චෝදනා ලත් සමහර මැති ඇමැතිවරු යහපාලනය අපට දේශනා කරති. හොඳ දේශපාලකයන් දුර්මුඛ වී බකන් නිලා සිටින තත්ත්වයට පත්ව ඇත. රජය අපේක්ෂා කළ ආයෝජන නොලැබීම, ආර්ථික ව්‍යාපෘති යෝජනාවලට පමණක් සීමා වීම කැපී පෙනේ. 20 වසරකට වැඩි කලක් විපක්ෂයේම සිටි එ.ජා.පයේ මැති ඇමැතින් පවා තමන්ගේ ඡන්ද දායකයන්ට යමක් කරගන්නට බැරි වූ බව කියමින් මැසිවිලි නගති. පසුගිය දිනවල මාතලේ හා කොළඹ ප්‍රදේශ ගණනාවක එ.ජා.ප බල මණ්ඩල රුස් කරන්නට යාමේදී ආරවුල් හටගත්තේ පාක්ෂිකයන්ගේ කලකිරීම මේ සීමා ඉක්ම යමින් තිබෙන නිසාය. 

ආර්ථික අතින් ගත් කළ රටේ උද්ධමනය දිනෙන් දින ඉහළ යමින් තිබේ. රැපියලද අවප්‍රමාණය වෙයි. භාණ්ඩ මිල ගණන් දරා ගැනීමට අපහසු තරම්ය. පොල් ගෙඩිය රු. 80/-ට රු 90/- විකිණෙන රටක ජනතාව සමඟ ව්‍යවස්ථා සංශෝධන වැනි මාතෘකා ගැන කතා කරන්නට යාම හිල්කූඩෙන් වතුර අදිනවා වාගේ වැඩකි. එනිසා ආණ්ඩුව දැන් ප්‍රමුඛතාව දී ඇත්තේ ව්‍යවස්ථාව සංශෝධනයට නොව ආර්ථිකය නගා සිටුවීමටය. ඊට පසු අපේ දේශපාලන නායකයන්ගේ සිතුම් පැතුම් අනුව ව්‍යවස්ථාව ගැන ඕනෑ නම් බලන්නට පිළිවන. එසේ නැතිනම් ඊළඟ මැතිවරණ වේදිකාවේත් ව්‍යවස්ථා පොරොන්දුව රටට අලෙවි කරන්නට පිළිවන. එතෙක් මේ විරාමය අපි ගෙවා දමමු.

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00