2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අපේ රටේ දැන් ආණ්ඩුවක්වත් විපක්ෂයක්වත් නෑ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 238

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

මේ ගතවෙන්නේ සිංහල දමිළ අවුරුදු සමය. ඔබ වහන්සේ හිතන විදිහට ජනතාවට සතුටින් අවුරුදු සැමරීමේ හැකියාවක් තිබෙනවද?

අලුත් අවුරුද්ද කියන්නේ ඉතිහාසය පුරාම සාමාන්‍ය ජනජීවිතයට නවමුභාවයක් ගෙන දුන්න කාලසීමාවක්. එය සිංහල හින්දු අලුත් අවුරුද්ද කියනවට වඩා ලාංකික අලුත් අවුරුද්දක් කියනවට මම කැමති. අවාසනාවකට සිංහල හා දමිළ ඇතැම් පිරිසක් විතරයි මේ අවුරුද්ද සමරන්නේ. මුස්ලිම් සහ කතෝලික යන පිරිස සමරන්නේ නැහැ. මේ අලුත් අවුරුද්ද වාර්ෂික කාර්තුවක් යාවත්කාලින කරගැනීමේ ශ්‍රී ලාංකික මංගල්‍යක් ලෙස දකිනවා නම් හොඳයි.

 බොහෝ නායකයන් ඉන්න තැන විනාශයන් සිදු වෙන්න පුළුවන් 

ඔබවහන්සේ ඔය කියන කාරණය ප්‍රායෝගිකද?

ප්‍රායෝගිකව ඇත්ත නොවුණත් ඇත්ත විය යුත්තේ එයයි. මෙය සිංහල දෙමළ හෝ හින්දු බෞද්ධ වශයෙන් ජනවර්ගික අලුත් අවුරුද්දක් ලෙස හඳුන්වනවාට වඩා ශ්‍රී ලාංකික අලුත් අවුරුද්ද යැයි කීමට විද්‍යාත්මක හේතු තිබෙනවා. අවුරුද්ද සමරනු ලබන්නේ සූර්ය සංක්‍රාන්තියත් සමඟ. සූර්ය සංක්‍රාන්තිය සිංහලයන් සහ හින්දූන්ට පමණක් සිදු වී මුස්ලිම් සහ කතෝලිකයන්ට සිදුනොවී තිබෙනවද? ජනවාර්ගික සංහිඳියාව පිළිබඳව ඉතාමත් බැරෑරුම් සාකච්ඡාවක යෙදෙමින් සිටින මේ මොහොතේ දී සූර්ය සංක්‍රාන්තිය සිදුවන්නේ ජනවර්ගයන් ඉහළින් නොව ශ්‍රී ලංකාව ඉහළින් බව තේරුම් කරදීමට හොඳම භාවිතයව මේ අලුත් අවුරුද්දයි.

ඒ කෙසේ වෙතත් රටේ පිරිසකට හෝ මේ අවුරුද්ද සතුටින් සැමරිය හැකි සමාජ ආර්ථික පසුබිමක් තිබෙනවද?

සතුටින් සමරන්න සුදුසු පසුබිමක් මේ කාලයේත් තියෙනවා. කොස්, දෙල් පොළොස් කන කෙසෙල්, කිරිබත් සමඟ අවුරුද්ද ගත කරන අයට නම් ගැටලුවක් නැහැ. ඒත් මේ කාලය වැඩිපුරම දියවැඩියාව ප්‍රවර්ධනය කරනු ලබන කාලසීමාවක්. අලුත් අවුරුද්ද සමරන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ දියවැඩියාව බෝකරන කේක්, බිස්කට් වැනි අධික සීනි, ලුණු සහිත ආහාර ගැනීමට තිබෙන අපහසුතාවය නිසා මිසක් වෙන හේතුවක් නිසා නම් නෙවෙයි. දියවැඩියා ප්‍රවර්ධන කාලසීමාව වන නිසා හැර අවුරුද්ද සමරන්න බැරි තරමට දුප්පත්කමක් රටේ නැහැ. 

වී ගොවියන්ගේ, එළවළු ගොවියන්ගේ ප්‍රශ්න ගොඩගැහිලා. ඒ අයට ආදායමක් නෑ කියනවා. අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන් කෑ ගහනවා ජීවන වියදම වැඩියි කියලා. ඔබ වහන්සේ හිතන විදිහට මේවට විසඳුම් මොනවද?

ප්‍රශ්න විසඳගන්න නම් ඥාන සම්පන්න පාලනයක් තියෙන්න ඕනේ. ප්‍රඥාගෝචර පාලනයකට එය කරන්න බැරිකමක් නැහැ. එළවළු පළතුරු අස්වැන්න නෙලන කාලෙට පිටරටින් ඒවාම ආනයනය කළොත් ජාතික ධනය පිටරටට යනවා. රටේ නිෂ්පාදන බාල්දු වෙනවා. රටට අවශ්‍ය ගස්ලබු සහ කෙසෙල් වගා කර අස්වැන්න ගන්න කාලෙදි පිටරටින් ගස්ලබු කෙසෙල් ආනයනය කළොත් රටේ අස්වැන්න විකුණන්නේ කාටද? රට පාලනය කරන ආර්ථික ඔස්තාර්ලාට හැකියාවක් තියෙන්න ඕනේ ආනයන අපනයනය පිළිබඳව සමබර දැක්මකින් පාලනය කරන්න.

ඔබවහන්සේ කියන්නේ රටේ ආණ්ඩුව හා විපක්ෂය යන දෙපාර්ශවයම තමන්ගේ වගකීම් හරියාකාරව ඉටු කරන්නේ නැහැ කියලද?

හොඳ වෙලාවට අපේ රටේ ආණ්ඩුවක්වත් විපක්ෂයක්වත් නැහැ.

 කැබිනට් එක වෙනස් කළාට සාලෙ වෙනස් වෙන්නෙ නෑ 

දැන් මේ රජය ඇතැම් සංකීර්ණ ගැටලුවලට ඍජු විසඳුම් ලබා නොදී මඟහරින බවක් පෙනී යනවා. සයිටම් ඊට හොඳම උදාහරණයක්. මේ වගේ තවත් ගැටලු ගණනාවක් තියෙනවා. ඔබවහන්සේ හිතන්නේ රජයට තීන්දු ගන්න අර්බුදයක් වෙලා තියෙන්නේ කොතනද?

ප්‍රශ්නවලට තියෙන්නෙ උත්තර. ගැටලුවලට තියෙන්නේ විසඳුම්. ගැටලුවලට උත්තර නෑ. ප්‍රශ්නවලට විසඳුම් නෑ. ප්‍රශ්නය ප්‍රශ්නයක් ලෙස හඳුනා නොගෙන ඊට විසඳුමක් සෙවීමෙන් හා ගැටලුවක් ගැටලුවක් සේ හඳුනා නොගෙන පටලවා උත්තර සෙවීමෙන් තමයි අර්බුද පැන නගින්නෙ. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ සහායක විරුද්ධ පක්ෂයට හෝ ආණ්ඩුවට විරුද්ධ යැයි පෙන්වාගනිමින් ආණ්ඩුවට යටින් සහාය දෙන සියලු දේශපාලන පක්ෂවලට මේ අර්බුද විසඳගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නෙ නැහැ.

කිසිම පක්ෂයකට අර්බුද විසඳන්න අසමත් වෙන්නෙ මොන හේතූන් නිසා කියලද ඔබ වහන්සේට හිතෙන්නේ?

හේතුව ප්‍රශ්න හා ගැටලු හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. රටක් අපහසුතාවට ලක්වන්නේ දූරදර්ශීව කටයුතු නොකිරීමෙන්. සංස්කෘත කියමනක් තියෙනවා “ණ යුක්තං කූප කණනං සංදීප්තේ වක්නිනා ගෘහේ”. මෙහි තේරුම “ගෙට ගිනි ගත්තහම ළිං කැපුවට වැඩක් නැහැ”. එබැවින් සංයුක්ත සැලැස්මක් රටට අවශ්‍යයි. සංයුක්ත සැලැස්ම ක්‍රියාකාරී සැලැස්මක් බවට පත්ව තිබිය යුතුයි. ක්‍රියාකාරී සැලැස්මේ හය මාසයක්වත් ඉදිරිය සැලැසුම් කළ යුතුයි. නමුත් අද තිබෙන දූරදර්ශී නොවන, සැලැස්මක් නැති, එකඟතා විරහිත, බහුනායක ලක්ෂණයන්ගෙන් සමන්විත රජයට ගමන් කරන්න ටිකක් අමාරුයි.

බහුනායකත්වය වැරැදි පාලන ක්‍රමයක් ලෙසද ඔබවහන්සේ දකින්නේ?

බහුනායක විනාශය කියා සංස්කෘත කියමනක් තියෙනවා. බොහෝ නායකයන් ඉන්න තැන විනාශයන් සිදු වෙන්නෙ පුළුවන්.

 ඕන හොරෙක් මැතිසබේට යවන ප්‍රජාතන්ත්‍රවාදයට මම විරුද්ධයි 

බහුනායකත්වය විනාශය හේතුවක් වෙයි නම් අපේ රටට පාර්ලිමේන්තු බලය සහිත ආණ්ඩුවකින් පාලනය වීම හොඳය කියන මතය වැරදිද?

මේ වෙද්දී විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඕනෙ කියලා අගිස්සක හිඳිමින් කෑගහන්නේ බෙදුම්වාදී මානසිකත්වයක් සහිත අයයි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අනුව පළාතක් පාලනය කරගන්න පුළුවන් වන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්න තාක් තුරු පමණි. එනම් විධායක ජනාධිපතිවරයාගේ නියෝජිත ආණ්ඩුකාරවරයා හරහා. පළාත්වලට ස්වාධීනතාවයක් නැතය කියා දෙයක් තිබේ නම් තියෙන්නේ ජනාධිපති ධූරය හින්දා ආණ්ඩුකාර ධූරය තුළින් පාලනය වන හින්දා පමණයි. ආණ්ඩුකාරයා නැමැති බැම්ම බිඳ දමන්න පුළුවන් විධායක ජනාධිපති ධූරය නැති කිරීමෙන්. එම නිසා බෙදුම්වාදීන් පමණයි ව්‍යවස්ථාදායක වෙනසක් ඇති කරමින් ජනාධිපතිවරයා ඉවත් කළ යුතු යැයි කියන්නේ.

නමුත් ස්වාමින් වහන්සේ සංහිඳියාවට බාධාවන කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින බවට සමාජයේ ඇතැම් පිරිසක් තර්ක කරනවා. ඒ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් ඇති නොවිය යුතුයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකරම මේ සියලු ගැටලුවලට විසඳුම් ගේන්න පුළුවන්.

මෙතුවක් කාලයකුත් ව්‍යවස්ථාවට විවිධ ප්‍රතිසංස්කරණ ගෙනාවත් ගැටලු විසඳගන්න බැරිවීම ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාව පෙන්නුම් කරන්නක් නෙවෙයිද?

මීට පෙර සිටි රාජ්‍ය නායකයෝ සියලු දෙනා උත්සහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර ජනවර්ග ගැටලුව විසඳන්න. කාටවත් ප්‍රශ්නය විසඳන්න වුවමණාවක් තිබුණේ නැහැ ප්‍රශ්නය තමන්ගේ ආදායම් මාර්ගයක් බවට පත් කරගන්නවා හැර. වාර්ගික අර්බුදය විසඳන්න ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. වැරැද්ද වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොවේ ගැටලු විසඳන්න වුවමනාවක් නැතිකම නිසයි. ප්‍රශ්නයක් විසඳිය යුත්තේ අගිස්ස සිට නොවේ ප්‍රශ්නයේ හේතුව හොයාගෙන ඒ තුළින්. ඔලුමාරු කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.. 

ඇතැම් රටවල අපි දැක්කා ජාතික ප්‍රශ්න මතුවුණාම ආගමික නායකයෝ පොදු බලවේගයක් විදිහට ඉස්සරහට එනවා. ඒත් ලංකාවේ එහෙම වෙන්නෙ නැත්තේ ඇයි?

ජාතික ගැටලු තිබුණු රටවල ආගමික නායකයෝ ඉදිරිපත් වුණ බවක් මම දැකලා නැහැ.

පිලිපීනය වියට්නාමය වැනි රටවල තිබුණා නේද?

ඒ රටවල ප්‍රශ්න ඇති කළෙත් ආගමික නායකයන්ම තමයි. අපේ රටේ ජාතික ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ වර්ගවාදයක් පිළිබඳ ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය ඇතිවෙන්නෙත් යුද්දයක් ඇතිකරවන්න ධනවාදී රටවලට තිබිච්ච ඕනෑකම නිසා. අදත් වර්ගවාදය පවත්වාගැනීමට වුවමනාව තියෙන්නේ ඒකී රටවලට. කොටින්ම කියතොත් සදාකාලිකව බටහිර විසින් නැගෙනහිර පාලනය කිරීමේ රහස් ඔත්තු සේවා ක්‍රමෝපායක් ලෙස රටවල් අස්ථාවර කිරීම සඳහායි එය පවත්වාගෙන යන්නේ. එසේ කරන රාජ්‍ය විසින්ම ආගමික නායකයන් ඉදිරියට නොඑන්නේ ඇයිදැයි ප්‍රශ්න කිරීම විහිලුවක්.

ලෝකය කෙසේ වෙතත් ලංකාවේ ආගමික නායකයෝ ඉදිරියට නොඑන්නේ පටු දේශපාලනයට අහුවීම හේතුවෙන්ද?

ඉතාම පැහැදිලිව උතුරේ හින්දු ආගමික නායකයෝ සහ අතිබහුතරයක් වූ මුස්ලිම් ආගමික නායකයෝ පටු දේශාපලනයට හසුවෙලා දේශපාලන අඬුබවට පත්වෙලා. සිංහල බෞද්ධ හාමුදුරුවරුන් පමණයි සාමය වෙනුවෙන් බෝධි පූජා හෝ තබලා තියෙන්නේ.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ලොකු ජයක් කියලා ආණ්ඩුව සැලකුවා. ඒත් ඒ කොමිෂන් සභාවලට ස්වාධීනව වැඩකරන්න පුළුවන් කියලා ඔබ වහන්සේ හිතනවද?

ස්වාධීනය යන කාරණයට වඩා කොමිෂන් සභා පත් කිරීමෙන් සිදුව තිබෙන්නේ එක් පුද්ගලයෙක් සතුව තිබූ බලතල පුද්ගලයන් ගණනාවකට පැවරීම පමණයි. එක් පුද්ගලයකුට ගැනීමට තිබුණු තීරණ දහදොළොස් දෙනෙක් එකතුවී ගැනීමට සිදුවීම හෙවත් එක් දිනකින් ගන්නා තීරණය මාසයක් දක්වා ප්‍රමාද කිරීමයි. කොටින්ම කියතොත් රාජ්‍යයාන්ත්‍රණය දුර්වල කිරීමේ උපක්‍රමයක් තමයි ස්වාධීන කොමිෂන් සභා.

ජනමත නායකයෙක් වශයෙන් මතවාදීමය කාර්ය භාරයක් ඉටුකරන ස්වාමින් වහන්සේ නමක් හැටියට මේ ඇමැති මණ්ඩලයේ වෙනස්කම් ඇතිවිය යුතු යැයි ඔබවහන්සේ සිතනවද? එහෙම නම් මොනවගේ වෙනස්කම් ද ඇති විය යුත්තේ?

මට හිතෙන්නේ රාජ්‍ය තන්ත්‍රමය වෙනස්විය යුතුය කියා. මක්නිසාද යත් මේ කැබිනට්ටුව වෙනස් කර වෙනත් කැබිනට්ටුවක් ගෙනත් තැබීමෙන් සිදුවන්නේ කැබිනට්ටුව පමණක් වෙනස්වීම මිසක සාලය වෙනස් නොවන නිසා.

මේ රටේ ඇතැම් දේශපාලනඥයන් කරන කියන කටයුතු නිසා පාර්ලිමේන්තුව පවා හෑල්ලුවට ලක්වෙනවා. මීට කාලෙකට පෙර පාර්ලිමේන්තුවේ තිබුණු හරවත් කතා, තර්ක දැන් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝදුරට සිද්ධ වෙන්නෙම බැන ගැනීම් අපහාස කරගැනීම් විතරයි. කොතනද හාමුදුරුවනේ වරද වෙලා තියෙන්නේ?

මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අභාග්‍යය. ඕනෑම කෙනකුට ඡන්දය ඉල්ලීමේ හැකියාව තිබීම සහ ඕනෑම කෙනකුට ඡන්දය ජයගැනීමට හැකියාව තිබීම. මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් මේ ප්‍රජාතන්ත්‍රවාදය රටක ප්‍රවර්ධනයට බලපාන්නේ නැහැ. මක්නිසාදයත් ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහසින් තමයි ඕනෑම කෙනෙක් ඡන්දය ඉල්ලන්න සහ දිනන්න පුළුවන් වෙන්නේ. එම නිසා ඕනෑම හොරෙකුට වංචාකාරයෙකුට පාර්ලිමේන්තුව යාමට ඉඩ දීම අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය බවට පත්වෙලා තියෙනවා. 

ඔබවහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයිද?

මේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් මම පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධියෙක්. 

♦ සකීෆ් සාම් තන්වීරි

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00