2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ලංකාවේ රඟදෙන කලාපීය බල අරගලය

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂගේ දිගුකාලීන මිත්‍රයෙකි. ඔහු පමණක් නොව පාකිස්තානයේ හිටපු රාජ්‍ය නායකයන් සියලුදෙනාම මෙරට නායකයන් සමඟ සබඳතා පැවැත්වූයේ දැඩි මිත්‍රශීලී ආකල්පයකිනි.
ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව ගැටලුවලට මුහුණදුන් හැමවිටම පාකිස්තානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. එරට නියෝජනය කළ මහ කොමසාරිස්වරු ඇතැම් විට තමන්ගේ සීමාවලින් පිටතට පවා යමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළහ. ඉන්දියාව ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ කකුලෙන් අදින විට පාකිස්තානය හැමකල්හිම යහපත් මිත්‍රයෙක් විය. එසේම බටහිර රටවල් ශ්‍රී ලංකාවේ බෙල්ල හිර කිරීමට කැසකවන විට පාකිස්තානයේ එම ග්‍රහණය බුරැල් කර ගැනීමට ශ්‍රී ලංකාවට අත දුන්නේය.

යුද්ධය පැවැති කාලයේදී පාකිස්තානයේ යුද අවි ගබඩාවල දොරටු ශ්‍රී ලංකාවේ හමුදාවල පරිහරණයට විවෘත වී තිබිණි. නවීන කාලතුවක්කුවල පටන් මල්ටි බැරල් රොකට් ලොන්චර් දක්වා යුද්ධය ජයගැනීමට යොදාගනු ලැබූ බර අවි ශ්‍රී ලංකාවට ලැබුණේ පාකිස්තානයෙනි. ශ්‍රී ලංකාවේ හමුදාවලට හොඳම පුහුණුවක් ලබාදුන් රටවල් අතර පාකිස්තානය ඉදිරියෙන්ම සිටියේය. චීනයද යුදමය උපකරණ සැපයීමේදී ශ්‍රී ලංකාවට විශාල සහායක් ලබාදුන් රටක් වූ බවද සඳහන් කළ යුතුය. එසේම යුද්ධය නිමවීමෙන් පසුව එහි ප්‍රතිඵලය දරාගත නොහැකි වූ ඇතැම් බටහිර සහ යුරෝපීය බලවතුන් ඔවුන් පිනුම් ගසමින් සිටින භූ දේශපාලන භූමිකාව තුළ ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා හරහා වෙට්ටු දමන විට පාකිස්තානය ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ රටක් විය. මේ බොහොමයක් අවස්ථාවල ඉන්දියාව නිහඬව සිටි බවද මෑතකාලීන ඉතිහාසය පෙන්වා දෙයි.

මෙවන් ජාත්‍යන්තර මිතුරකුට රතු පලස් එළීමට ශ්‍රී ලංකාව දෙවරක් සිතිය යුතු නැත. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබාදීමට සූදානම් වන්නේත් මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා ඇරියුම් ලබන්නේත් මේ පසුබිම යටතේය. එය අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්ෂ මහතා විසින් පාකිස්තාන් අගමැතිට සිදුකෙරුණු ආරාධනයකි. පාකිස්තානය වැනි ශ්‍රී ලංකාවට හිතවත් රටක රාජ්‍ය නායකයකුට පාර්ලිමේන්තුව ඇමතීමට ඇරියුමක් සිදුකිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දක්වන ඉහළම ගෞරවයයි. එහෙත් අවාසනාවකට මෙන් මේ ඓතිහාසික අවස්ථාව දැන් අවලංගු කරනු ලැබ තිබේ. ප්‍රකාශිත හේතුව වන්නේ කොවිඩ් වසංගතය නිසා මන්ත්‍රීන් සියල්ල එකවර කැඳවීමේ අපහසුව නිසා මෙය අවලංගු කළ බවයි.

ඒ අතර මෙවන් දේ සිදුවන්නේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ බලවත් රාජ්‍ය අතර පවතින සීතල යුද්ධයේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව සිටින නිසාද යන්න සලකා බැලිය යුතු වෙයි. යුද්ධය පැවැති කාලයේ පාකිස්තානය ශ්‍රී ලංකාවට යුද අවි සපයමින් හමුදා පුහුණුව ලබාදෙමින් සමීපව කටයුතු කරමින් සිටියදී ඉන්දියාව කටයුතු කළේ කිසියම් දුරස්ථභාවයක් තබාගෙනය. එයට ලොකුම හේතුව වූයේ  එරට තමිල්නාඩුවේ කෝටි පහකට අධික දෙමළ ජනතාව සැනසීම සඳහාය. උතුරේ යුද්ධය ඔවුන්ට වඩාත් සංවේදී කාරණාවක් වූයේ එසේ නැළවෙන දෙමළ ජනතාවගේ ඡන්දය ඉන්දීය ආණ්ඩුවේ බලය ගැනීමේ සහ බලය රැකගැනීමේ ලොකුම තුරැම්පුවක් වී තිබීම හේතුවෙනි. ඉන්දිරා කොංග්‍රසය බලය අතැතිව සිටියදී කොටින් විසින් රජීව් ගාන්ධි මරාගන්නා තෙක් මේ නැළවීමත්, ඡන්දය ගැනීමත් ගහට පොත්ත මෙන් තිබුණි. රජීව් ඝාතනය කළ අවස්ථාවේ (1991 මැයි 21) විශ්‍රාම සුවයෙන් පසුවූ ජේ.ආර්. ජයවර්ධන කිව්වේ ලංකාවේ කොටි ත්‍රස්තවාදය ඉන්දියාවේ දොරකඩම පුපුරා ගිය බවය. ඉන්දියාවේ කෙණෙහිලිකම් වලට ජේ.ආර්. තම පාලන කාලය තුළදී දැඩිව මුහුණදෙමින් සිටි බවත් 1987දී අත්සන් කෙරැණු ඉන්දු-ලංකා ගිවිසුම එහි අග්‍ර ප්‍රතිඵලයක් බවත් රහසක් නොවීය. කෙසේ වුවද රජීව්ගේ ඝාතනයත් සමඟ ඉන්දියාවේ ස්ථාවරය වෙනස් විය.

ඉන්දියාව ඊළඟට දිගින් දිගටම උත්සාහ කළේ උතුරේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් කොටින්ට එරෙහිව රහසිගතව දැල එළීමය.  එය පහසු නොවූයේ ඒ වනවිට මේ රටේ යුද්ධය ඉන්දියාවේ සීමාවෙන්ද ඔබ්බට ගොස් ජාත්‍යන්තරකරණය වී තිබීම හේතුවෙනි. මේ නිසා අවස්ථාව එනතුරු බලා සිටීම හැර ඉන්දියාවට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඒ අවස්ථාව ආවේ මහින්ද රාජපක්ෂ 2005දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය.

ඉන් වසර 04කට පසුව මහින්ද යුද්ධය ඉවර කළේ ප්‍රභාකරන් මරා දමමිනි. අමෙරිකාව සහ යුරෝපයම එකතු වී යුද්ධය නවත්වන්නැයි බලකරද්දී මහින්ද ඉන්දියාවට ගොස් ඒ රටේ මාධ්‍යවලට කිව්වේ “අපි මේ කරන්නේ ඉන්දියාවේ යුද්ධය” කියාය. එය ජයග්‍රහණය කරනතුරු යුද්ධය නොනවත්වන බවද මහින්ද එදා කිව්වේ ඉන්දියාවේ එවකට බලයේ සිටි ගාන්ධිලාගේ සිතුවිලි පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයකින් යුතුවය.

මේ සියලු අවස්ථාවලදී පාකිස්තානය ශ්‍රී ලංකාවේ මිතුරෙක් වශයෙන් දිගටම සිටියේය. ඉන්දියාවට යටි හිතින් කොතරම් අවශ්‍ය වුණත් ශ්‍රී ලංකාවේ යුද්ධයට ක්‍රියාකාරීව සහාය දීමක් කළ නොහැකි වූයේ තමිල්නාඩුවේ බලපෑම් හේතුවෙනි. ඉන්දියාව කළේ මහින්දට යුද්ධය කරගෙන යාමට ඉඩදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ල වෙමින් තිබූ පීඩනයේ බර සැහැල්ලු කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමය. මේ නිසා යුද්ධය නවත්වන්නැයි සිදුකෙරුණු බලපෑම් හැර බටහිරින් සහ යුරෝපයෙන් වෙනත් පීඩනයක් එල්ලවීමද පාලනය විය. ප්‍රභාකරන් ඉවර කරනතුරු ඉන්දියාව ශ්‍රී ලංකාවේ යුද්ධයට ඇඟිලි ගැසුවේ නැත. එය ශ්‍රී ලංකාවට ලබාදුන් නිහඬ සහයෝගයක් විය.

මේ අද ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මුහුණ දෙමින් සිටින බල පොරයේ වින්දිතයකු බවට පත්වීමේ ඉතිහාසයේ ගමන් මගේ කොටසකි. මෙයට එක්විය යුතු බොහෝ කරැණු කාරණා තිබුණත් මෙරට දේශපාලනය තුළ සිදු වූ පෙරළි කිහිපයක් ද අද මුහුණ දී තිබෙන තත්ත්වයට මග පාදා තිබේ. එහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ කලාපයේ භූ දේශපාලනය තුළ ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යා යුතුව තිබූ සමබරතාව වත්මන් රජය අතින් ගිලිහී යාමය. එය එක්වරම සිදු නොවූවද යුද්ධය ජයගැනීමෙන් පසුව රටේ වෙනස් විය යුතුව තිබූ ඇතැම් ආකල්ප ක්‍රමානුකූලව හෝ වෙනස් කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩු උනන්දු නොවීමේ ප්‍රතිඵල අද දිගහැරෙමින් තිබේ.

යහපාලන රජයේ කොතරම් වැරදි තිබුණද ඔවුන් ජාත්‍යන්තර දේශපාලනය තුළ කළ “ගේම් ගැසීම” නිසා රටට වසර කිහිපයක් ජාත්‍යන්තර බලපෑම් වලින් නිදහස්ව සිටීමට අවස්ථාව ලැබුණේය. එම වසර කිහිපය තුළදී රාජපක්ෂවරුන්ට වුවද ජාත්‍යන්තරයෙන් ලොකු පීඩනයක් එල්ල වූයේද නැත.

එහෙත් යහපාලනය පරදවා බලයට පත්වූ විගසම ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් ඉවත්වීම රජයට පාරා වළල්ලක් වන ලකුණු පහළ වෙමින් තිබේ. එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත්වූයේ කිසිම විකල්ප වැඩපිළිවෙළක් නොමැතිව වීම අවාසියක් විය. ඇතැම්විට රාජපක්ෂ රජය ඉන්දියාවේ සහ චීනයේත් පාකිස්තානයේත් සහයෝගය ඇතිව ජිනීවා සටන දිනා ගැනීමට සැලැස්මක් තිබුණා නම් එයට නිසි ඉලක්කයක් නොතිබූ බව පැහැදිලිය. එහෙම ඉලක්කයකට සූදානම් වෙනවා නම් ලංකාව ඉන්දියාවේ හොඳ හිත පලුදු කරගන්නේ නැත. මෙයට හොඳම උදාහරණය කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අර්බුදයයි. එහිදී තමන්ට සිදුවූ අවමානය ඉන්දියාව කිසි ලෙසකින්වත් අවතක්සේරු කර නැති බව හොඳින්ම පෙනෙන්නට තිබේ.

මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ නැගෙනහිර ජැටියේ ගැටලුව ඇතිවනතුරු ශ්‍රී ලංකාව සමඟ දැඩි ලෙස මිත්‍රත්වයකින් කටයුතු කළ ඉන්දියාව රටට වඩාත් අවශ්‍යම මොහොතක විරසක වීමය. චීනය සමඟ අසීමිතව සබඳතා පැවැත්වුවද ශ්‍රී ලංකාවට වඩාත් භූගෝලීය වශයෙන් සමීප බලවතුන් වන්නේ ඉන්දියාව සහ පාකිස්තානය බව යථාර්ථයයි. ඉන්දියාව පසුගිය වසර වනතුරු තම පීඩනය ලංකාවට එල්ල නොකළත් දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී තිබේ. එය කොතරම් තදින් ක්‍රියාත්මක වන්නේද යන්නට හොඳම උදාහරණය පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්ට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇමැතීමට තිබූ අවස්ථාව නොලැබී යාම බවට අනුමාන කළ හැක.

ලංකාවේ මේ රඟදෙන්නේ කලාපීය බල අරගලයේම තවත් එක් පරිච්ඡේදයකි. මෙහිදී අමෙරිකාවද ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසකි. පාකිස්තානය එක් පැත්තකින්ද චීනය තවත් පැත්තකින්ද බලා සිටී. කලාපීය භූ දේශපාලනය නම් අච්චාරුවේ ශ්‍රී ලංකාව ගස්ලබු කෑල්ලක් වෙමින් සිටින බව හැම අතින්ම පෙනෙන්නට තිබේ.

 ශශීන්ද්‍ර

 

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00