2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

විමල්!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

විමල් පොහොට්ටුවේ නායකත්වය ගැන ඇතිකළ දේශපාලන ආරවුලේ ගිනිදලු වරින්වර තවමත් මතුවෙයි. ඔහු සමඟ එකට එකතුව සිටින පොහොට්ටුවේ පාර්ශ්ව පක්ෂවල නායකයන් විමල්ගේ බුලර්ස් පාරේ පිහිටි නිල නිවෙසේදී පැවැති සාකච්ඡාවද මාධ්‍යයේ කතාබහට ලක්විය. එයට පොහොට්ටුවේ කිසිදු සාමාජිකයකු සහභාගි නොවීමද කැපී පෙනුණේය. මේ සාකච්ඡාව විමල්ගේ මතභේදාත්මක ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව පැවැති අතර එක් රෑපවාහිනී චැනලයකට එය “බ්‍රේකිං නිව්ස්” එකක් වී තිබිණි.

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව එක් අමාත්‍යවරයකු කියා තිබුණේ ඊළඟ මන්ත්‍රී රැස්වීමේදී විමල්ට බොහොමයක් ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවනු ඇති බවය. එහෙත් එම රැස්වීමට විමල් සහභාගි වනු ඇත්දැයි යන්න ප්‍රශ්නයකි.

විමල් දේශපාලනයට අතපොත් තැබූ ජනතා විමුක්ති පෙරමුණේ එක් කැපී පෙනුණු ලක්ෂණයක් වී තිබුණේ එහි සාමාජිකයකු අතින් බරපතළ වැරැද්දක් සිදුවූ විට ඒ පිළිබඳව “ස්වයං විවේචනයක” යෙදීමට ඉඩ ලබාදීමය. පක්ෂයේ ඉතාම චතුර කථිකයා වුවද විමල්ටද එම සම්ප්‍රදායෙන් ගැලවීමට එම පක්ෂය තුළ සිටියදී හැකියාවක් නොතිබිණි.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ නායකත්වය උසුලද්දී වරක් විමල්ට ස්වයං විවේචනයක යෙදීමට සිදුවිය. එවැනි ස්වයං විවේචනයක යෙදිමට විමල්ට සිදුවූයේ පක්ෂයේ විනය නීතියක් වූ මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම කඩකළ බැවිනි. තමන් යළිත් වරක් එම නීතිය කඩ කිරීම සිදු නොකරන බවට විස්තරාත්මක ලිපියකින් ලිඛිතව පක්ෂයට දැනුම් දීමට විමල්ට සිදුවිය. ජවිපෙ වචනවලින් කිවහොත් ඉන්පසුව විමල් “පුනරුත්ථාපනය” විය.

විමල් දැන් ජවිපෙ නැත. ඒ නිසා ප්‍රංශයේ ඉස්තරම් බ්‍රැන්ඩි දැමූ වයින් වීදුරුවකින් “චියර්ස්” කීමට ද විමල්ට තහනමක් නැත. මේ නිසා පොහොට්ටු සන්ධානයේ සාමූහික වගකීම කඩකළ බවට බරපතළ චෝදනා එල්ල වූ විමල්ට “ස්වයං විවේචනයක” යෙදීමට නම් සිදුනොවූවත් ඔහුට සන්ධානයෙන් එල්ල වෙන පීඩනයෙන් ගැලවීමක්ද නොවනු ඇත.

කෙසේ වුවද ශ්‍රිලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා පසුව කළ පහත සඳහන් ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මේ අරගලයේ ගිනිසිලු තවමත් පත්තු වෙන බවය. “ලක්ෂ 69ක් ඡන්දදායකයන් තුළ (ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට සහාය දැක්වූ) මහත් බලාපොරොත්තු තිබුණා. ආණ්ඩුවට මේ බලාපොරොත්තු ඉටුකර දීමට නොහැකි වුණොත් අප සියලුදෙනාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. සංධානයේ යහපත සඳහා තීරණ ගැනීමේ අවස්ථාවක් අපටද ලබාදිය යුතු වෙනවා.”

- සන්ඩේ ටයිම්ස්

අලි සබ්‍රිගේ කතාවලට කොකු දාන කට්ටිය

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා තමන් කරනු ලබන ප්‍රකාශ ඇතැම් විට විකෘති කර පළකරන බව පසුගියදා මාධ්‍යයට කියා තිබිණි. තමන්ගේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා විවිධ ලාභාපේක්ෂාවෙන් ඇතැම් පිරිස් එය සිදුකරන බවද ඔහු පුවත්පතක් කළ විමසීමකදී කළ එම ප්‍රකාශයේ සඳහන් විය.

“මා කරන සම්පූර්ණ ප්‍රකාශයක වාක්‍යයක් හෝ දෙකක් පමණක් උපුටාගෙන ඔවුන් මට විවිධ චෝදනා එල්ල කරනවා. මා නොකියූ දේ පිළිබඳව පමණක් නොව කියන්න හිතලවත් නැතිදේට පවා ඔවුන් මට චෝදනා කරනවා. මම ඇත්තෙන්ම ඔවුන්ට උත්තර දෙන්න යන්නෙ නෑ. මගේ වැඩකටයුතු කිරීමට තිබෙන වටිනා කාලය එයින් අපතේ යන නිසා. මෑතක සිට මා කියන හැමදේම වෙනත් වේදිකාවල වැරදි ලෙස අර්ථකථනය කරන බව මා දකිනවා. එයට එක් උදාහරණයක් මෑතකදී පාර්ලිමේන්තුවේදී සිදුවුණා. එහිදී මට ප්‍රශ්නයක් යොමුකර තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මගින් රටේ සියලුදෙනාටම එක හා සමානව සියලුම නීති ක්‍රියාවේ යෙදවිය යුතු බව ඔබ දන්නවාද? කියා. ඊළඟට මගෙන් විමසුවා ඔබ දන්නවාද එම ව්‍යවස්ථාවේම සඳහන් 16 වැනි වගන්තිය මගින් ඉහත සඳහන් නීතිය බලාත්මක වීමෙන් වළක්වා තිබෙන බව? කියා.

16 වගන්තිය ඇතුළු කර තිබෙන්නේ එම ව්‍යවස්ථාව පනවනු ලබන අවස්ථාවේ රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන විශේෂ නීති දිගටම ක්‍රියාත්මක වීමේ අවකාශය සලසාදීමටයි. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබූ අවස්ථාවේ රට තුළ විවිධ ජනවර්ගවල ඇතැම් විෂය සම්බන්ධයෙන් විශේෂ නීති ක්‍රියාත්මක වෙමින් පැවතුණා. මගේ පිළිතුරේදී මම කිව්වේ විශේෂ නීති ගණනාවක් රටේ ක්‍රියාත්මකව පවතින බවයි. 16 වැනි වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කළොත් එවැනි සියලුම විශේෂ නීති බල රහිත වෙනවා. තේසවලමේ නීතිය උඩරට නීති සහ මුස්ලිම් නීති තිබෙනවා. මා කිව්වේ 16 වැනි වගන්තිය ඉවත් කළොත් එවැනි විශේෂ නීති බෞද්ධ විහාර හා දේවාලගම් පනතද ඇතුළුව අහෝසි වී යන බවයි. මා කිව්වේ එය නොකළ යුතු සහ කළ නොහැකි බවයි.

මගේ කතාව අවසන් වූ සැණින් එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඉවත් කළ යුතු බවට මා යෝජනා කළැයි ප්‍රකාශ වුණා. මා කවදාවත් එහෙම කිව්වේ නෑ. එහෙම අදහසක්වත් මා ළඟ නැහැ. ඇත්තෙන්ම කිසිම කෙනෙකුට එහෙම කරන්නත් බෑ. මොකද මේක බෞද්ධ රටක් නිසා. ඒ වගේම කියන්න ඕනෑ මම අධිකරණ ඇමැති වූ පළියටම කැමැති හෝ අකමැති නීති මට වෙනස් කළ නොහැකි බවයි. මට එහෙම බලයක් නෑ. නීතියෙන් වෙනස් කිරීම සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. මට තනිවම පවතින නීති සංශෝධනය කිරීමට හෝ අලුත් නීති හඳුන්වාදීමට හෝ හැකියාවක් නෑ.”

“මා කුඩා කළ සිට පුරුදු පුහුණු වූ ආචාර්ධර්ම තිබෙනවා. මා මුස්ලිම් ජාතිකයෙක් වගේම මම ශ්‍රී ලාංකිකයෙක්. පළමු ශ්‍රේණියේ ඉඳන් මම ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. බෞද්ධ ධර්මයේ උගන්වන උතුම් ආචාරධර්ම මගේ ජීවිතයේත් කොටසක්. මම කිසිවකුටත් වෛර කරන්නේ නෑ. අන් අයට වඩා මම සුපිරි පුද්ගලයෙක් කියලා හිතන්නෙත් නෑ.”

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00