2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

එන්නත ගැන දුර්මත එපා

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

කොවිඩ් වසංගතයට එරෙහි සටන අදියර කිහිපයකින් ක්‍රියාත්මක වීමෙන් පසුව දැන් එහි අවසන් අදියර වශයෙන් සැලකෙන එන්නත් ලබාදීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවද අවතීර්ණ වී සිටී. මෙය මෙරට පමණක් තත්ත්වය නොවන අතර ගෝලීය වශයෙන්ද පවතින තත්ත්වයයි. රැලි ගණනාවක් පසුකර පැමිණ ඇති කොවිඩ් වසංගතය ලොවටම මෙතෙක් එල්ල වී ඇති භයානකම පොදු තර්ජනය වශයෙන්ද සැලකෙයි. රෝගීන් සහ මරණ අධික වීම පමණක් නොව ඒ හරහා ගෝලීය ආර්ථිකයට සිදුව ඇති බරපතළ හානිය එයට හේතු වශයෙන් දැක්වෙයි. ශ්‍රී ලංකාවද එන්නත් කිරීමේ වැඩපිළිවෙළට ඇතුළු වෙන්නේ මේ පසුබිමේය.

එන්නත්කරණය ඇරඹීමට පෙර ඒ පිළිබඳ ලොකු විශ්වාසයක් පොදු මහජනතාව අතර ගොඩනැගී නොතිබිණි. ඒ ගැන එතරම් දැනුමක් නොතිබීමත් එන්නත්කරණය රට තුළ ක්‍රියාත්මක කිරීමට පෙර විවිධ ව්‍යාජ ප්‍රචාර සිදුව තිබීමත් ඊට හේතුවන්නට ඇත. කෙසේ වුවද ජනාධිපති සහ අගමැතිද කොවිඩ් මර්දන ජාතික වැඩපිළිවෙළේද තීරණවලින් පසුව එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමේ කටයුතු සම්පාදනය කිරීමේ වගකීම ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට පැවරීමෙන් පසුව සියල්ල ඉක්මන් විය. එන්නත රටට ලැබෙනවාද යන ප්‍රශ්නයට ක්‍රියාවෙන්ම පිළිතුරු ලැබිණි. රටේ ජනතාව තුළද එන්නත ලබාගැනීම පිළිබඳව සැබෑ උනන්දුවක් දැක්වීම ඇරුඹුණේ ඉන්පසුවය.

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලෙන් හොඳටම බැටකමින් සිටින රටකි. එයට හේතු වූ කාරණා ගණනාවක්ම තිබුණද වසංගතය හැකි ඉක්මණින් පාලනය කර ගැනීමට ඒ කාරණා පිළිබඳව යළි යළිත් කතා කිරීමෙන් ලැබෙන උදව්වක් නැත. අවශ්‍ය වන්නේ දැනට රෝගය පාලනය සඳහා මුළු ලොවම එක හඬින් පිළිගෙන තිබෙන එන්නත්කරණය සාර්ථකව දියත් කිරීමය. ඒ සඳහා රජය මගින් දැනට කරගෙන යන වැඩපිළිවෙළ රටේ ජනතාවට සෑහීමකට පත්වීමට හැකි මට්ටමක පවතින බව අපගේ වැටහීමය. එන්නත මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් මුලින්ම හඳුනාගෙන ප්‍රකාශයට පත්කර තිබූ බැවින් එය ඉදිරියට සිදුකරගෙන යාමට බාධාවක් නැත.

එසේ වුවද මෙවැනි වැඩපිළිවෙළකදී සිදුවන පරිදිම දැන් විවිධ ක්ෂේත්‍රවලින් ප්‍රමුඛත්වය ඉල්ලන බවද සඳහන් වෙයි. රටට එන්නත ගෙනෙන තුරුම ඒ පිළිබඳව සැකපහළ කර තිබූ පිරිස්ද ඒ අතර සිටින බවත් දැනගන්නට තිබේ. නමුත් එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා පටලවා නොගැනීම මේ කාර්යය භාරව සිටින බලධාරීන්ගේ වගකීමය. වෛරසය වඩාත්ම සමාජය තුළට ගෙන යා හැකි බවට සැලකෙන අවදානම් සහගත රාජකාරිවල නිරත පිරිස්වලට ලැබිය යුතු ප්‍රමුඛත්වයේ වෙනසක් සිදුවිය යුතු නැත. එසේම වෛරසය තදින්ම පැතිර යන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටද ආයතනික මට්ටමින් පොකුරු බිහිවූ ස්ථානවලටද වැඩි අවධානයක් යොමුකිරීමද අවශ්‍ය යැයි අපි සිතමු. එන්නත් කිරීම සිදුවන අතරවාරයේ වැඩිපුර අවදානමට ලක්වී ඇති ඉහත සඳහන් ස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමෙන් රෝගය පැතිර යාමට තිබෙන ඉඩකඩ බොහෝදුරට පාලනය කරගත හැකිවනු ඇතැයි අපි සිතමු.

මෙහිදී වඩාත්ම අවධානය යොමුකළ යුතු වන්නේ මේ එන්නත්කරණය සිදුවන්නේ වෛරසයේ අලුත් ප්‍රභේද පවා තැනින් තැන හමුවීම නිසා රටේ ඇතැම් ප්‍රදේශ “ලොක්ඩවුන්” කළ යුතුද යන්න සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන අවස්ථාවක දී බවය. කෙසේ වුවද කොවිඩ් මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේ ලොක්ඩවුන් වුවහොත් රටපුරා අමාරැවෙන් හෝ ක්‍රියාත්මකව පවතින ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාර හකුලා දැමීමට සිදුවනු ඇත. එසේම දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින ව්‍යාපාර තවදුරටත් බිත්තියටම හේත්තු වනු ඇත. මෙවැනි දුෂ්කරතා වළක්වා ගැනීමට එන්නත හැර වෙනත් ගත හැකි ක්‍රියාමාර්ගයක් අපට නැත.

වසංගත රෝග විද්‍යා අංශය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ 17 වැනිදා පෙරවරුව වනවිට 1,96,163 දෙනකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබූ බවය. දිනකට ආසන්න වශයෙන් තුන්දහසකට එය ලබාදෙන බවද එහි සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මුලින්ම දිය යුතු බවට හඳුනාගත් ක්ෂේත්‍රවල පිරිස්වලට ජනවාරි 29 වැනිදා සිට ලබාදීම ඇරඹූ එන්නත මේ වනවිට මහජනතාවටද ලබාදීම ඇරඹී තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. කොවිඩ් ආසාදිත පිරිස 80,000ක අගයට කිට්ටු කරමින් තිබියදී එන්නත් වැඩපිළිවෙළ හෝ නොතිබුණා නම් අපේ රට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටීමට ඉඩ තිබිණි. එය දැන් මගහැරී ගොස් තිබීම සැමදෙනාගේම යහපතට හේතු වෙයි.

එන්නත් වැඩපිළිවෙළ රටපුරා ක්‍රියාවට නැංවෙමින් තිබියදී ඒ පිළිබඳව විවිධ කටකතා පැතිරවීමෙන් ජනතාව වැළකී සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එන්නත පිළිබඳව කතා කිරීමට සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරු මේ රටේ විශාල ප්‍රමාණයක් සිටිති. ඒ අතුරින් වැඩි දෙනෙකු මේ වනවිටද එන්නත ලබාගෙන සිටින බවද ප්‍රකාශ වී තිබේ. මේ රටේ මුල්ම එන්නත විදගත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ එන්නත ලබාගැනීමට කිසිදු බියක් හෝ සැකයක් ඇතිකර නොගත යුතු බවය. අයි.ඩී.එච්. රෝහලේ ප්‍රධානියකු එසේ කියන විට එන්නත පිළිබඳ දුර්මත ප්‍රචාරය කරන අයට ජනතාව කන්දිය යුතු නැත. කිසිදු එන්නතක් හෝ ඖෂධයක් සියයට සීයක් සාර්ථක නොවන අතරම ඉතා සුළු ප්‍රතිශතයකට අසාත්මිකතා හෝ සංකූලතා ඇතිවිය හැකි බව යථාර්ථයයි. කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන්ද එහි වෙනසක් නැත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00