2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ඉන්න ගමන් විපක්ෂය වෙන්න බෑ

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

  • තොප්පිය හරි අය දාගත්තට අපට කරන්න දෙයක් නෑ
  • රාජපක්ෂවරුන් බෙදන්න පුළුවන් කණ්ඩායමක් නොවේ
  • අමාරුවෙන් හදාගත් ආණ්ඩුව කඩන්න දෙන්නෙ නෑ
  • බැසිල් මහත්තයා පසුපස ඉඳගෙන අති විශාල වැඩක් කළා
  • ඇතුළෙ ඉඳන් විරුද්ධ වෙනකොට ඒකෙ හානිය පෙන්වීම අපේ අයිතියක්
  • කඩුව රත්තරන් කියලා බෙල්ල කපාගන්න බැහැනේ

කෙළින්ම මාතෘකාවට බැස්සොත් මොකද මේ පොදුජන පක්ෂයට එකපාරට වුණේ?

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ. මං නම් දන්න තරමින් මොනවත් වෙලා නෑ. 

නෑ මේ ඇමැතිවරු ඇමැතිවරුන්ට බණිනවා. මන්ත්‍රීවරු ඇමැතිවරුන්ට බණිනවා. මොකක්ද මේ එකපාරටම වුණේ?

එතන ඇත්තටම ප්‍රශ්නයක් ඇතිවුණේ එක එක අය පක්ෂය ගැන ප්‍රශ්න කතා කරන්න ගියා. ඇත්තටම කිව්වොත් ඒ අයට පක්ෂයෙ අයිතියක් නැති අය. අපි පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට ආණ්ඩුවට බැණලත් නෑ. විවේචනය කරලත් නෑ. ගහලත් නෑ. මොකද මේ ආණ්ඩුව අමාරුවෙන් හැදුවෙ අපි. ඒ නිසා ආණ්ඩුව රැකගත යුතුයි කියන තැන තමයි අපි ඉන්නෙ. අපි පක්ෂයේ දියුණුව වෙනුවෙන් තමයි ඉන්නෙ. 

දැන් ඔබ ඔය කියන්න හදන්නෙ මේ පක්ෂයට තියෙන ආදරයට මිසක් කාවවත් කේන්ද්‍ර කරගෙන එල්ල කරන ප්‍රහාරයක් නෙමේ කියලද?

අපි කාවවත් කේන්ද්‍ර කරගෙන නෑ. පුද්ගලයන් අරමුණු කරගෙන නෑ. අපිට පසුපෙළ මන්ත්‍රීවරු හැටියට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එ්ක තමයි ආණ්ඩුවෙ ඉන්නකොට ආණ්ඩුවෙ කාර්යභාරය කරනව මිසක් විපක්ෂයෙ කාර්යභාරය කරන්න අවශ්‍ය නෑ. ආණ්ඩුවෙ කවුරු වුණත් කැබිනට් මණ්ඩලය ඇතුළෙ ඉඳලා හරි මන්ත්‍රී කෙනෙක් වෙලා ඇවිල්ලා හරි විපක්ෂයෙ කාර්යභාරය කරන්න බෑ කියන ස්ථාවරයෙ අපි ඉන්නවා. ඒක කවුරු කළත් වැරදි දේ වැරදියි. 

අපි වටේ යන්න ඕනෙ නෑනෙ. කෙළින් කතා කරමු. මේ ප්‍රශ්නය ඇතිවුණේ විමල් වීරවංශ ඇමැතිවරයත් එක්ක සිදුකළ පුවත්පත් සාකච්ඡාවක් එක්ක. දැන් ඔබලා ඔය ගහන්නෙ විමල් කිව්ව දේ හරියට තේරුම් අරගෙනද? 

අල්ලපු ගෙදර මගේ මිත්‍රයා වෙන කසාදයක් කරගත්ත නම් හොඳයි කියලා මට කියන්න පුළුවන්ද? බෑ. ඒක සදාචාර සම්පන්න නෑ. ඒ පවුල හොඳින් ඉන්නව නම් ඒක ඇයි අපි බාධාවක් කරගන්නෙ. දැන් ඒ වගෙ සිද්ධියක්නෙ මේ වෙලා තියෙන්නෙ. එන්න ඒ වගේ දෙයක් කරන්න ගිහිල්ලා තමයි අද මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ. 

දැන් ඒ කියන්නෙ විමල් වීරවංශ ඇමැතිවරයට අනවශ්‍ය දෙයක් කතා කරලා මේක ඇතුළෙ ප්‍රශ්නයක් හදන්න වුවමනාවක් තිබ්බා කියලද ඔබ කියන්නෙ?

මං ඉස්සෙල්ලම කියන්න ඕනෙ විමල් වීරවංශ ඇමැතිතුමත් එක්ක මට පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම කිසිම ඇමැති කෙනෙක් එක්කවත් ප්‍රශ්නයක් නෑ. අපි නවක මන්ත්‍රීවරු. අපි ඇමැතිවරු කරන කියන දේවල් බලාගෙන ඉන්නෙ. ආණ්ඩුව ඇතුළෙ ඉඳලා ආණ්ඩුවට විරුද්ධව කතා කරනව නම් ඒකෙන් වෙන හානිය ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවනෙ. අපේ ප්‍රශ්නෙ විසඳගන්න තැන් තියෙනවා. කැබිනට් මණ්ඩලය තියෙනවා. මන්ත්‍රීවරුන්ගෙ රැස්වීම තියෙනවා. පක්ෂ නායකයන්ගෙ රැස්වීම තියෙනවා. ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. 2010 – 2015 ආණ්ඩුවෙ ප්‍රශ්න එළියට අරන් ගිහිල්ලා තමයි අපිට ඒ වගේ වුණේ. අන්තිමේ ආණ්ඩුව කඩා වැටුණා. හැබැයි ඒ අවුරුදු පහේ අපි නොයෙකුත් දුක් වින්දා. හිරේ විලංගුවෙ වැටුණා. ඊටපස්සෙ ආයි ජනතාවාදී ආණ්ඩුවක් හදලා එදා පරදින්න හේතු වුණු දේම ආයි කරනකොට බලන් ඉන්නද කියන්නෙ.

අපි දැක්කා විමල් ඇමැතිවරයා කියනවා ඔහු කළ ප්‍රකාශය වැරදියට තේරුම් අරන් ඉන්නෙ කියලා. අගමැති මහින්ද මහත්තයා කියනවා විමල් කිව්ව දේ එතුමා තේරුම් ගත්තා කියලා. දැන් ඒ කියන්නෙ දෙන්නා ප්‍රශ්නෙ විසඳගෙන ඉවරයි. හැබැයි පසුපෙළ මන්ත්‍රීවරු දිගින් දිගටම විමල්ට ගහනවා. මොකක්ද හේතුව?

නෑ. පසුපෙළ මන්ත්‍රීවරු කිසිම වෙලාවක විමල් වීරවංශ ඇමැතිවරයා කේන්ද්‍ර කරගෙන ප්‍රකාශයක් සිදු කළේ නෑ. අපි කිව්වෙ ආණ්ඩුවෙ ඉඳගෙන විපක්ෂයෙ කාර්යභාරය කිසිවකුත් කරන්න එපා කියලා. අපි ඉල්ලීම කළේ සමස්තයෙන්. හැබැයි තොප්පිය හරි අය දාගත්තට අපිට කරන්න දෙයක් නෑ. අපේ ගම්වල මිනිස්සු අපිව පාර්ලිමේන්තුවට යැව්වෙ ආණ්ඩුවකුත් හදලා. එතකොට නවක මන්ත්‍රීවරු හැටියට අපි මේ ආණ්ඩුව රැකගන්න එක වගකීමක් තියෙනවා. 

අපි දැක්කා ඔබේ පක්ෂයෙ මහලේකම් සාගර කාරියවසම් සහ තව මැති ඇමැතිවරු කිහිප දෙනෙක් කියනවා විමල් කළ ප්‍රකාශයට සමාව ගන්න ඕනෙ. නැත්නම් පක්ෂෙන් ඉවත්වෙලා යන්න ඕනෙ කියලා. දැන් ඒ කියන්නෙ විමල් එලවගන්නද ඕනෙ?

නෑ. මම නම් හිතන්නෙ නෑ අපේ ලේකම්තුමා පක්ෂයෙන් ඉවත්වෙලාම යන්න කිව්වා කියලා. හැබැයි අපේ ස්ථාවරය මම ආයෙ ආයෙම කියන්නෙ පාර්ලිමේන්තුවෙ ඇතුළෙ ඉඳන් විපක්ෂයෙ කාර්යභාරය කරන්න එපා. 

දැන් ඔබලා සමස්තය කියලා ගන්නවා. හැබැයි දැන් මේ වැරුද්ද කළා කියන්නෙ විමල් වීරවංශ ඇමැතිවරයා. ඇයි ඔහුට ඍජුව කියන්න බැරුව සමස්තයක කතාවක් කියන්නෙ?

දැන් ඔබතුමා කියනවනෙ විමල් වීරවංශ ඇමැතිතුමාගෙ වැරැද්ද කියලා. මොකක්ද ඔබ කියන වැරුද්ද. 

දැන් මං මේ කතාව මෙහෙම කියන්නම්කො. විමල් ඇමැතිවරයාට පොදුජන පක්ෂය ගැන කතා කරන්න අයිතියක් නෑ කියලා සාගර කාරියවසම් මහතා කියනවා. ඔබ කියනවා පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලන්නෙ ආණ්ඩුවෙ කාර්යභාරය කරනව මිසක් විපක්ෂයෙ කාර්යභාරය ඉටු කරන්න එපා කියලා. ඉස්සෙල්ලා මට කියන්න ආණ්ඩුවෙ ප්‍රශ්නයක්ද නැත්නම් මේක පක්ෂයෙ ප්‍රශ්නයක්ද?

එළියෙ ඉඳන් බලනකොට ඕන කෙනෙක්ට පේනවා මේ වෙලාවෙ විපක්ෂය දුර්වලයි කියලා. ඒ නිසා මේ ආණ්ඩුවට වැඩිපුරම ගහන්නෙ ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙනමයි. ඒක දේශපාලනය කරන ඕනම කෙනකුට දැනෙන්න ඕනෙ හා පෙනෙන්න ඕනෙ. අන්න ඒකයි අපිට තියෙන කනගාටුව. මතකනෙ 20 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවෙ විරුද්ධ වුණේ ආණ්ඩුවෙ අයමයි. සංවාද වෙනයි. ඒත් ජනමතයක් හැදුවෙ එළියෙ අපේ ආණ්ඩුවෙ ඉන්න පිරිසක්. 

ඉතින් ආණ්ඩුව විවේචනය කරලා ආණ්ඩුව කඩාගෙන තමන් ඉන්න ආණ්ඩුව විනාශ කරගන්න එහෙම කැමැති අයත් ඉන්නවද? කාටද එහෙම වුවමනාව?

ඉතින් ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නෙ. අපි කියන්නෙ එහෙම දේවල් කරන්න එපා කියලා. අමතක කරන්න එපා ^71 ඉඳලා 77 ආණ්ඩුව කාලෙ විශාල කාර්යභාරයක් වමේ දේශපාලන පක්ෂ කළා. ඊටපස්සෙ වමේ පක්ෂ එළියට ගිහිල්ලා ශ්‍රී ලංකා එක නැති කරන්න කරන්න පුළුවන් හැමදේම කළා. වම හිතුවා මැතිනිටයි පක්ෂෙටයි ගහන්න ගහන්න වම ශක්තිමත් වෙයි කියලා. හැබැයි 77 ප්‍රතිඵලය ආවම ශ්‍රී ලංකා එකත් වමත් පොළොවෙ ගහලා තිබ්බෙ. ඒ නිසා ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ආණ්ඩුවට ගහන එක හොඳ දෙයක් කියලා හිතනව නම් ඒක මිත්‍යාවක්.

දැන් ඔබ ඔය ඉතිහාස කතා කිව්වෙ මේ ආණ්ඩුවටත් ගහන්නෙ ආණ්ඩුවෙ ඉන්න වමේ පක්ෂ කියලද?

නෑ මම එහෙම කියන්නෙ නෑ. මම කිව්වෙ මේ එදා පක්ෂ කරපු සිද්ධිය. 

සාගර කාරියවසම් මහලේකම්තුමා දවසක් කිව්වා විමල් වීරවංශ ඇමැතිතුමාගෙ ෆේස්බුක් කුලී හේවායො දාලා මඩ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒක ඇත්තද?

විමල් ඇමැතිතුමාගෙද නැද්ද කියලා මම දන්නෙ නෑ. හැබැයි ආණ්ඩුවෙම කණ්ඩායමක් අපිට ෆේස්බුක් හරහා මඩ ගහන බව පේනවා. 

ඉතින් මෙච්චර දේවල් කරන්න මොකක්ද හේතුව?

ඒක තමයි අපිත් හොයන්නෙ මොකක්ද හේතුව කියලා. 

එක පක්ෂයෙ ඉඳලා එක ආණ්ඩුවෙ ඉඳලා මොකක්ද මේ වෙන්නෙ කියන එක දන්නෙ නැද්ද?

මෙහෙමයි. එක එක අයට එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේකනෙ අපේ ආණ්ඩුව තේරිලා තාම මාස හයයි. එක පැත්තකින් ගෝලීය වසංගතයකට මුහුණ දෙමින් ඉන්නෙ. මේ සියල්ල මැද ආණ්ඩුව ඉතාම අභියෝග රැසකට මුහුණදීලා ඉන්නෙ. ඒ වගෙ වෙලාවක ආණ්ඩුව ඇතුළෙ අර්බුද තියාගෙන බැහැනෙ. රට බේරගන්න එපායැ. ආණ්ඩුව ඇතුළෙ අර්බුද හදලා රටට වාසියක් වෙන්නෙ නෑනෙ. අපි මේ වෙලාවෙ ජනාධිපතිතුමාට සහයෝගයක් දෙන්න ඕනෙ. මෙහෙම රණ්ඩු වුණාම හානියක්නෙ වෙන්නෙ. 

හැබැයි විමල් වීරවංශ ඇමැතිතුමා වෙනුවෙන් පෙනී ඉන්න බොහොමයක් දෙනා කිව්වා එතුමා තමයි නුගේගොඩ මහින්ද සුළඟ සංවිධානය කරලා මහින්ද රාජපක්ෂ එහෙම වේදිකාවට ගොඩකරනකොට මේ කතා කරන කිසි කෙනෙක් වේදිකාවෙ හිටියෙ නෑ කියලා. ඒ ගෞරවය එතුමාට අයිති විය යුතුයි නේද? 

ඉතින් අපි ඒ ගෞරවය ගත්තෙ නෑනෙ. හැබැයි මේ ආණ්ඩුවෙ කොටස්කාරයො අපි. ඒ කියන්නෙ අපි සියඹලා ගෙනාවෙම නැද්ද? ඔබ කියන්නෙ කඩුව රත්තරං කියලා බෙල්ල කපාගන්න කියලද? අපිට ජනවරමක් හම්බවෙලා තියෙන්නෙ. අපි ඒක රැකගන්නෙ නැතුව නුගේගොඩ ජන රැලිය ගැන කිය කියා ඉන්නද කියන්නෙ. මේ ජනවරම දුන්නෙ රට ඉදිරියට ගෙනියන්න මිසක් රණ්ඩු වෙන්න නෙමෙයි. 

දැන් ඔබ කියන්නෙ මේක විමල් වීරවංශ ඇමැතිතුමාගෙ ප්‍රශ්නයක් නෙමෙයි?

ඔහුව කේන්ද්‍ර කරගෙන නෙමෙයි අපි මේක කියන්නෙ. අපි කියන්නෙ සියලු දෙනාටම. 

විපක්ෂයෙ අය කියනවා ආණ්ඩුවෙ කණ්ඩායම් තුනක් ඉන්නවලු. ඒ ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන කණ්ඩායම වශයෙන්. එහෙම කණ්ඩායම් තියෙනවද?

ඔය කතා කරන්නෙ රාජපක්ෂවරු බෙදීමේ අරමුණ තියෙන මිනිස්සු. හැබැයි මතක තියාගන්න රාජපක්ෂවරු බෙදන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා ගැන කතා කළොත් එතුමා මන්ත්‍රී ධූරයක් නොදැරුවත් මේ ආණ්ඩුව බලයට ගේන්න කරපු කාර්යභාරය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒක අමතක කරන්න බෑනෙ අපිට. ගෝල්ෆේස් එකට ලක්ෂ ගණනාවක ජනතාවක් ගෙනල්ලා ඒ රැස්වීම සංවිධානය කරපු එතුමා එදා වාඩිවුණේ රැස්වීම් පේළියෙ පස්වැනි පේළියෙ. එතුමා තිරයෙන් පිටුපස ඉඳලා කරපු දේවල් අති විශාලයි. පොහොට්ටුව ගොඩනැගුවෙ එතුමා. 

ඔබලා ලිපියක් අත්සන් කරලා දුන්න නේද බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු එන්න ඕනෙ කියලා. මොකද ඒකට වුණේ?

අපි ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් තාමත් එතුමා කැමැත්ත පළ කරලා නෑ. අපි 120ක් විතර අත්සන් කරලා දුන්නා. තවම යහපත් ප්‍රතිචාරයක් නෑ. 

මෙහෙම ඇහුවොත් අද අගමැතිතුමා නිකම් හරි පක්ෂ නායකත්වය අත්හැරියොත් ඔබ හිතන්නෙ කවුද ඊළඟ නායකයා විය යුත්තෙ?

ඒ එතුමාගෙ තීන්දුව. මම දන්නවා මගේ ඇඟිල්ලෙ තරම. මට ඉදිමෙන්න පුළුවන් තරමක් තියෙනවා. ඒ නිසා මට මේ ගැන එක වචනයක්වත් කියන්න බෑ. අනික එහෙම ප්‍රශ්නයක් දැනට මතුවෙලත් නෑනෙ. ඇයි මේ නැති ප්‍රශ්නයක් ඔළුවෙ දාගන්නෙ. මේ කඳවුර ගොඩනැගෙන්නෙම මහින්ද රාජපක්ෂ කියන මහා දැවැන්ත චරිතයත් එක්ක. එතුමගෙ නම තමයි ඒ කාලෙත් වික්කෙ. දැනුත් විකුණන්නෙ. ඒ දැවැන්ත චරිතය තවමත් අපිත් එක්ක ඉඳගෙන අපිට ආරක්ෂාව හෙවණ දෙද්දි ඇයි එහෙම දෙයක් ගැන හරි හිතන්නෙ. 

සමහර අය නම් කියන්නෙ මේ ප්‍රශ්නය ආණ්ඩුවෙ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවන්න කරපු විජ්ජාවක් කියලා. ඒ කියන්නෙ ජන මනස නොමග යවන්න වගේ?

නෑ නෑ එහෙම දෙයක් නම් නෑ. එහෙම මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න මේ වගේ ප්‍රශ්නයක් අපි දාගන්න වුවමනා නෑ. හැබැයි හැමෝම එක දෙයක් තේරුම් ගන්න ඕනෙ. මේ වගේ ඉතාම අසීරු මොහොතක මේ වගේ ප්‍රශ්න නෙමෙයි ජනතාව එක්ක ඉඳගෙන ජනතාවට ශක්තියක් වෙලා ඉදිරියට යන ගමනකුයි අවශ්‍ය. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් රාජපක්ෂවරු සමඟ කතා කරලා විසඳගන්න පුළුවන්. ඒ සඳහා ඔවුන් ඕනෑම අවස්ථාවකදි ඉඩ දෙනවා. 

ඔබලා මේ ප්‍රශ්න අගමැතිතුමා හරි ජනාධිපතිතුමා හරි හම්බවෙලා කතා කරන්න හැදුවෙ නැද්ද?

අගමැතිතුමාව හම්බවෙන්න අපිට දිනයක් දීලා තියෙනවා ලබන සතියෙ. පසුගිය සතියෙ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආව වෙලාවෙ අපි ඉල්ලීමක් කළා එතුමාව හම්බවෙන්න. ඒකට පිළිතුරක් හැටියට පාර්ලිමේන්තු දිනයක අවස්ථාව ලබාදෙනවා කියලා දැනුම් දීලා තියෙනවා ඉදිරියෙදි. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයවත් අපි හම්බවෙන්න දාගෙන ඉන්නෙ. එතුමත් අපිට කියලා තියෙනවා පාර්ලිමේන්තු දිනයකදි හම්බවෙමු කියලා. මං නැවතත් කියනවා අපිට මේ තියෙන ප්‍රශ්නෙ පුද්ගලයෙක් එක්ක නෙමේ. අපිට තියෙන එකම ප්‍රශ්නය අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවක් කඩා වට්ටන්න යන එක ගැන. එහෙම කරලා නැවත අර අඳුරු අතීතෙට යන්න හදනවා. ඒ නිසා හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ ආණ්ඩුවෙ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළෙ විසඳගනිමු.එළියට බැහැලා විපක්ෂයෙ කාර්යභාරය ඉෂ්ඨ කරන්න ගියොත් අපි අර ලක්ෂ හැට නමයෙ ජනතාවට කරන අසාධාරණයක්.

 ගයාන් ගාල්ලගේ