2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

පියසේනයන් ගැන පැහැබර මතකය

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 50

වර්ෂ අනූවක් ආයු වළඳා මෑතකදී අභාවප්‍රාප්ත වූ ඇස්. පියසේන මාධ්‍යවේදියා හා මිතුරා ගැන මතක සටහනක් ලියා තැබීම යෙහෙකැයි සිතුවෙමි. මා ඔහුව දිගු කලක් ඇසුරු කළා පමණක් නොව මා හිතමිත්‍ර නිමල් කරුණාතිලකගේ මස්සිනා වශයෙන්ද ඔහු සමඟ කුළුපගකමක් ඇති විය. පියසේන මහතා දිගු  කලක් මෙරටින් පිටවී සිටි නිසා ඔහු ළඟින් ඇසුරු කළ අය එතරම් විශාල නොවේ. එහෙත් ඔහු පිටරට ගතකළ කාලයේදී පවා ගුවන් විදුලිය, පුවත්පත් හා සඟරා හරහා මෙරට කියවන්නන්ට හා අසන්නන්ට සේවය කළේය. 

නිමල් කරුණාතිලක හා පියසේන යන දෙදෙනොම මුලින්ම මාධ්‍යයට සම්බන්ධ වූයේ වාමවාදී දේශපාලනය තුළිනි. පියසේන මුලින්ම ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධව කටයුතු කළා පමණක් නොව එම පක්ෂයේ දීප්තිමත් යුගයේදී සිංහල බසින් පක්ෂය පිළිබඳ තොරතුරු ලබාදීම තම කාර්යභාරය ලෙස සැලකීය. එකල ඔහු වැනි මාධ්‍යවේදීන්ට නායකත්වය දුන්නේ පානදුරේ හෙන්රි පීරිස්ය. පීරිස් “සමසමාජ” පුවත්පතේ කතුවරයා වූවා පමණක් නොව මුල් යුගයේ සමසමාජ මන්ත්‍රීවරයෙක්ද විය. බොහෝවිට ඔහු හා එච්.ජී.එස්. රත්නවීර වැනි ද්වි භාෂා වාමාංශිකයින් සිය නායකයින්ගේ කතා පරිවර්තනය කිරීමේදී තමන්ටම ආවේණික වූ උපහාසයත් හාස්‍යයත් එකතු කිරීමට මහන්සි ගත්තෝය. මා ශිෂ්‍යයෙකුව සිටි කාලයේ පීටර් කෙනමන් හා තිස්ස විජයරත්න වැනි කථිකයින්ගේ ඉංග්‍රීසි කතාවලට සවන්දී ඇත. බොහෝවිට පරිවර්තන මුල් කතාව තරම්ම රසවත් විය. එපමණක් නොව පීටර්, එන්.එම්. හා කොල්වින් වැනි නායකයින් පසුව සිංහලෙන්ම කතා කරන්නට පටන්ගත් විට කතා  පහසුවෙන් තේරුම්ගත හැකි සිංහලයක් ඔවුන් නිර්මාණය කළෝය. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසියෙන් “ස්කැබ්” යනුවෙන් හඳුන්වන ලද වැඩවර්ජන කඩන්නන්ට කොල්වින් යෙදුවේ “හොරිකඩයා” යන වචනයයි. දැන් එය වාමාංශික දේශපාලන වහරේ වැදගත් තැනක් උසුලයි. වරක් කොල්වින් ස්වාධීන අපේක්ෂකයන්ව ඇමතුවේ “ඔලු තුනේ බූරුවන්” හැටියටයි. බණ්ඩාරනායකට “සෙවල බණ්ඩා” යැයි නම් තැබුවේ සමසමාජ පාක්ෂිකයින්ය. එදා වාමාංශික මාධ්‍යවේදීන්ට බොහෝවිට “කට්ට කන්න” සිදුවිය. පියසේනගේ “ජනශක්ති” මෙන්ම නිමල්ගේ “මව්බිම” වැනි පුවත්පත්වලට තිබුණේ ඉතාම සීමිත ඉල්ලුමකි. එම පුවත්පත් පුන පුනා කියෙව්වේ පාක්ෂිකයින්ය. ඊට පිටත වෙලඳපොළක් තිබුනේ නැත. එසේ වුවද වාමාංශික පාක්ෂිකයින් මේ පුවත්පත් පන මෙන් රැකගත්තෝය. බසයේ, කොච්චියේ හා පාසැලේ විවේක කාලයේ එම වෘත්තිකයින් නොඉවසිල්ලෙන් තම පක්ෂ ප්‍රකාශන කියෙව්වෝය. වරක් මට නිමල් කරුණාතිලක කියූ පරිදි ඇතැම් දිනවල ඔවුන්ට නිරාහාරව සීටීමට පවා සිදුවිය. සති අන්තයේ මාතර බලා යන දොස්තර ඇස්.ඒ. වික්‍රමසිහ පෙරළා කොළඹ එනවිට ඔහුගේ වාහනයේ කොස් ගෙඩි පුරවාගෙන ආවේය. කොස් තම්බා ගෙන කමින් පවා තම සේවය නොකඩවා ඉටුකළ හැටි ගැන ඒ මාධ්‍යවේදීන් පසුකලෙක ආඩම්බර වූහ. 

කල්යෑමේදී නිමල් හා පියසේන දෙමස්සිනාලා මැදමාවත හරහා දක්ෂිණාංශික දේශපාලනයට එක්වූහ. එයට පිටුවහලක් වූයේ ඩඩ්ලි සේනානායකගේ දේශීය හා ප්‍රජාතන්ත්‍රවාදී හුරුවයි. නිමල්, බණ්ඩාරනායකගේ සමීපතම හිතවතෙක් විය. 1956 විප්ලවය සංකේතවත් කරමින් ඔහු මාතලේ ආසනය ජයග්‍රහණය කළේය. පළවැනි වතාවටම මාතලේට අඩිය තැබූ නිමල් පරාජය කළේ ශ්‍රී.ල.නි.ප යේ සිට පිල් මාරු කළ බර්නාර්ඩ් අලුවිහාරේය. සිය ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ බණ්ඩාරනායක නිමල්ට මුදල් උප ඇමති මෙන්ම පක්ෂ ලේකම් ධූරය පැවරුවේය. දක්ෂ කථිකයෙක් ලෙස ශ්‍රි.ල.නි.ප වේදිකාව බබළවන ලද්දේ නිමල් විසිනි. එහෙත් පිලිප් ගුණවර්ධන ඇමතිකමින් පලවා හැරීමත් සමඟම නිමල්ද ඔහු සමඟ විරුද්ධ පක්ෂයේ වාඩි විය. නිමල් මට කලකට පසු කී පරිදි ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීවරුන් තිස් දෙනෙක් පමණ පිලිප් එක්ක යෑමට පොරොන්දු වී තිබුණද අවසානයේදී ඔහු සමඟ එක් වූයේ අට දෙනෙක් පමණි. ඉලංගරත්න සහ කලුගල්ල වැනි නායකයින් පොරොන්දු කඩ කරමින් පිලිප්ව අතරමං කළහ. උප ඇමතිකෙනෙක්වූ කළුගල්ලට ඉක්මණින් ඇමති තනතුරක් පිරිනමන ලදී. මේ හෙයියන්මාරු බලාගෙන සිටි පියසේන නව දිල්ලියේ අකිල භාරතී ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ සම්පදකයා හැටියට තනතුරක් ලබා විදේශ ගත විය. ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන සමඟ කිට්ටු සබඳතා ඇති කරගත් පියසේන ඉන්දු ලංකා ගණුදෙනු ගැන පමණක් නොව ඉන්දියානු දේශපාලනය ගැනත් හසල දැනුමක් ඇත්තෙකු විය. ඔහුට හින්දි හා දෙමළ භාෂා කතා කිරීමට හැකියාව තිබුණි. මේ ඉන්දියානු සම්බන්ධතා ගොඩනගාගන්නා අවදියේ ඔහුගේ පවුල නව දිල්ලියේ පදිංචිව සිටි නිසා සිය පුත් සුගීශ්වර සේනාධීරටද එම භාෂා කතා කිරීම හැකියාව ලබා ගැනීමට පුළුවන් විය. ඔහු දැන් ඉන්දියානු දේශපාලනය ගැන හොද දැනුමකින් සිය කෘති ඉදිරිපත් කරන ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකි.

පියසේනගේ දැනුම නිසා ඔහු චෙන්නායිහි ලංකා සහකාර තානාපති හැටියට පත්වීමක් ලැබීය. නිමල් සහ පියසේන යන දෙදෙනාගේම කැපී පෙනෙන ලකුණක් වූයේ ඔවුන් විදේශීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමඟ ඇති කරගත් කිට්ටු සම්බන්ධතාවයයි. පියසේන ඉන්දියාවේ දක්ෂතම මාධ්‍යවේදීන්ව ළඟින්ම ඇසුරු කළේය. ඔවුන් සමඟ ප්‍රිය සම්භාෂණ පවත්වමින්, අඩිපුඩි ගසමින්, විනෝද ගමන් යමින් ඔවුන් තුළ ලංකාව ගැන හොඳ හිත ඇති කිරීමට වැදගත් මෙහෙයක් කළේය. භාරතීය මාධ්‍යවේදීන් හා ශාස්ත්‍රඥයින් ලංකාවට ආවේ පියසේනගේ හැඳින්වීමේ ලිපියක් රැගෙනය. මා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අවධියේ අප දෙදෙනො එලෙස ලංකාවේ සිද්ධි ගැන වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට හොඳට සැලකීමට වගබලා ගත්තෙමු. 

පියසේන පෙනුමෙන් හැඩි දැඩි පුරුෂයෙකු වැනි විය. ඔහු තමාටම ආවේණික වූ ජාතික ඇඳුම ඇඳ ඇවිදගෙන යනවිට ප්‍රතාපවත් පෙනුමක් දැකගත හැකි විය. ඔහු ඉන්දියානු දේශපාලනය ගැන විශේෂඥයෙක් විය. ඉන්දියානු මාධ්‍යවේදීන් ලංකාවට පැමිණි විට අනිවාර්යයෙන් ඔහු හමුවී මෙරට කටයුතු ගැන උපදෙස් ලබාගත්තේය. ඔහුගේ මරණය සමගම මෙරට වර්ණවත්, දක්ෂ, හිතවත්, මාධ්‍යවේදීයෙක් නික්ම යන්නේය. පියසේන හා නිමල් කරුණාතිලක දෙමස්සිනාලාගේ දරුවන්ද මාධ්‍ය ලෝකයට දායාද වී ඇත. ඔවුන් ගෞරවාන්විතව එම වෘත්තියේ යෙදීම ප්‍රීතියට කරුණකි. 

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00