2021 ජනවාරි 23 වන සෙනසුරාදා

2021 රටේ ආර්ථික බලාපොරොත්තු

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විපක්ෂය කොතරම් අසුබවාදී අදහස් පළ කළත් ආණ්ඩුවේ ස්ථාවරය එයට වඩා වෙනස්ය. පසුගිය අඟහරුවාදා (19) මහ බැංකුව ප්‍රකාශ කළේ 2021 වසරේ රටේ ආර්ථික වර්ධනය 6%ක් වනු ඇති බවය. පොලී අනුපාත නොවෙනස්ව තබාගෙන ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තවදුරටත් ණය පහසුකම් සපයමින් රජයේ ඉලක්කය වන කෙටිකාලීන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරන බවද මහ බැංකු නිලධාරීහු පැවසූහ.

මහ බැංකුව අපේක්ෂා කරන 6%ක ආර්ථික වර්ධනය අයවැය මගින් ඉලක්ක ගත කර තිබූ 5.5%ක වර්ධනයට ද වඩා තරමක වැඩි අගයක් වෙයි. ලෝක බැංකුව මගින් පුරෝකථනය කර ඇති 3.3%ක වර්ධනයට වඩා බෙහෙවින් ඉහළ අගයකි.
ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබාදීම බැංකු සමඟ සාකච්ඡාවලින් පසුව සිදු කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වෙයි.

කෙසේ වුවද ඉක්මනින් ණය පහසුකම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කිසිදු ගිවිසුමකට සම්බන්ධ නොවීම රජයේ ස්ථාවරය වී තිබේ. ආධාර ලබාගැනීමේදී රටේ කටයුතුවලට මැදිහත් නොවන මූලාශ්‍රවල සහාය ලබාගැනීම මහ බැංකුවේ අපේක්ෂාවය. ඒ අනුව චීනය සමඟ ඩොලර් බිලියන 1.5ක මුදලක් හුවමාරු ක්‍රමය යටතේ ලබාගැනීමට නියමිත අතර ඉදිරි සති 02ක කාලය තුළදී එය ක්‍රියාත්මක වනු ඇත. චීන මහජන බැංකුව සමඟ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අවසන් අදියරේ පවතින අතර දැනටම බැංකුව මගින් මේ තීන්දුව ගෙන ඇතැයි සඳහන්ය. ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1ක මුදල් හුවමාරුව පිළිබඳ සාකච්ඡා තවදුරටත් සිදුවෙයි.

මේ අතර ශ්‍රී ලංකාවට එතෙරින් යොමුවෙන මුදල් ප්‍රේෂණ පසුගිය දෙසැම්බරයේදී ඉහළම අගයක් ගෙන තිබූ බවද මහ බැංකුව කියයි. එය ඩොලර් මිලියන 813ක් විය. වසර තුළදී ලැබුණු ප්‍රේෂණවල වටිනාකම ඩොලර් බිලියන 7.1ක් බවද සඳහන්ය.

ඩේලි එෆ්.ටී.

කොටස් වෙළෙඳපොළ ධම්මික පෙරේරා මහා ධනවතකු කරයි

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළම වාර්තා තබමින් ක්‍රියාත්මක වීමද රජය තුළ බලාපොරොත්තු ඉහළ නංවා තිබේ. කෙසේ වුවද සති දෙකක් තිස්සේ හොඳින්ම වර්ධනය වන කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අතුරින් ඉහළම ප්‍රතිලාභ හිමිකරගත් එක් ව්‍යාපාරිකයකු වන්නේ ධම්මික පෙරේරා මහතාය.

හොඳින් කාලය මැන කටයුතු කරන ව්‍යාපාරිකයකු වශයෙන් පිළිගැනෙන ධම්මික පෙරේරා මහතාට ජනවාරි 21 (බ්‍රහස්පතින්දා) සුවිශේෂ දිනයක් විය. 21-01-21 වශයෙන් දිනය සටහන් වූ එදින ඔහුගේ ප්‍රබලම ව්‍යාපාරික ආයතනයක් වන හේලීස් සහ ඊට අනුබද්ධ සමාගම් 08ක් එදින ඉහළම කොටස් මිල අගයක් වාර්තා කළ ආයතන 10 අතරට පැමිණියේය. හේලීස් කොටසක අගය රුපියල් 202.50කින් (35.06%) ඉහළ ගිය අතර එදින අවසන් වන විට කොටස අගය රුපියල් 780.00ක් වී තිබිණි. ඔහු සතු වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ කොටසක අගය රුපියල් 11.00කින් (24.72%) ඉහළ ගිය අතර කොටසක අගය දිනය අවසානයේ සඳහන් වූයේ රුපියල් 55.50ක් වශයෙනි. ඩිප් ප්‍රඩක්ට්ස් රුපියල් 135.00ක් විය. එය 30.61%කින් ඉහළ යාමකි. එහි කොටසක අගය දිනය අවසානයේ රුපියල් 576.00ක් විය. ධම්මික පෙරේරාගේ එම ආයතන හැර එල්.ඕ.එල්.සී. ආයතනය ද ඉහළ අගයක් සටහන් කළේය. කොටසක අගය රුපියල් 49.25කින් ඉහළ ගොස් අවසන් අගය වශයෙන් රුපියල් 281.00ක් සඳහන් විය.

ඩේලි එෆ්.ටී.

නත්තල් සාදයේ වෙඩි තැබූ දේශපාලනඥයා

මධ්‍යම පළාතේ ‘රිවර්’ නමක් ඇති හෝටලයක පසුගිය වසර අග භාගයේ සාදයක් සූදානම් විය. කොවිඩ් මැද්දේ වුවද එයට සෑහෙන පිරිසක් සහභාගි වී සිටියහ. වැඩිහිටියන් සේම ළමෝද ඒ අතර සිටියේ එම සාදයට නත්තලේ මිහිරද එකතු කර තිබූ බැවිනි. නත්තල් සංගීතය පමණක් නොව නත්තල් පප්පා කෙනෙක් ද සමඟ සාදය ජයට පැවැත්වෙමින් තිබිණි.

හදිසියේම සාදය ඇන හිටියේය. එතැනට පැමිණ සිටි ගිය ගිය තැන කොකු දාගන්නා අයකු වශයෙන් ප්‍රසිද්ධ තරුණ දේශපාලනඥයකුට කේන්ති යාම ඊට හේතු වී තිබුණි. සාක්කුවෙන් ඇදගත් පිස්තෝලය උඩට හරවා ඔහු වෙඩි පිට වෙඩි තැබුවේ සාදයට පැමිණ සිටි පිරිස පමණක් නොව ඔහුගේ ආරක්ෂක භටයන් ද අසරණව ගල්ගැසී බලා සිටියදීය.

එතැන සිටි එක් පුද්ගලයෙක් පැවසුවේ මෙය මේ දේශපාලනඥයා වසර ගණනාවක් තිස්සේ සිදු කරන ජනප්‍රිය ක්‍රීඩාවක් බවය. “රිවර්” අසල හෝටලයේ සාදයෙන් පසුව එතැනින් නික්ම ගිය ඔහු ඊළඟට නැවතුණේ තවත් බැබළෙන රෙස්ටුරන්ට් එකකය. එතැනට පැමිණ සිටි විපක්ෂ දේශපාලනඥයකු සමඟ බහින්බස් වීමක් ඇතිකර ගත්තේය. එයින් හටගත් කේන්තිය ඔහු පිටකළේ සාක්කුවෙන් ඇදගත් පිස්තෝලයෙන් අහසට වෙඩි ගණනාවක් තැබීමෙන් පසුවය.

දැන් මේ දේශපාලනඥයා පිළිබඳව සියලු දෙනා සිටින්නේ මහත් බියකිනි. ඔහුට කෙනකු නිහඬ කිරීමට පවා හැකි බව ඔවුහු කියති.

සන්ඩේ ටයිම්ස්