2021 ජනවාරි 23 වන සෙනසුරාදා

කේක්ගෙඩිය පොඩියට කපනවට වඩා ගෙඩිය ලොකු කිරීමයි කළ යුත්තේ

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

 

  • අයි.එම්.එෆ්. ණය ගන්න ගියොත් රටට අවාසි කොන්දේසි දානවා
  • ආයෝජකයන් රටට ගේන්න මහන්සි වෙන්න ඕනෑ
  • විපක්ෂය හදන්නේ ජාත්‍යන්තරයේ අපිව කොටවන්න
  • ගිය ආණ්ඩුවට වඩා හොඳින් අපි රුපියල පාලනය කළා
  • ආනයන සීමා නිසා ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තිබෙනවා
  • සීනි වංචාවක් සිදුවෙලා නම් අපට විස්තර දෙන්න
  • වරායේ ගිවිසුම අත්සන් කළේ පසුගිය රජයයි

 

ඔබ පාර්ලිමේන්තුවට එන්නේ මේ වතාවේ. මේක අලුත් පරිච්ඡේදයක් ඔබට. ඔබට කොහොමද මේ දේශපාලන භූමිකාව දැනෙන්නේ?

මට දේශපාලනය හුරුයි. හේතුව මම ඉහළ පෙළේ දේශපාලකයන් ඇසුරු කරලා තියෙන නිසා. විශේෂයෙන් අගමැතිතුමා ජනාධිපති ධූරය දරන කාලෙත්, පසුව එතුමා ඉවත් වුණාමත් මට එතුමා සමඟ සමීප ඇසුරක් තිබුණා. ඒ කාලේ දේශපාලනඥයන් එක්ක කතාබහ කරලා වැඩ කරලා තියෙන නිසා මට මේ දේශපාලන ජීවිතය හුරුයි. අලුත් දෙයක් නෑ.

ඔබව රටේ මිනිස්සු දන්නේ මහ බැංකු අධිපති හැටියට. ඒත් අද ඔබ මුදල් රාජ්‍ය ඇමැති. මේ දෙකේ සමාන බවක් පේනවා. ඔබට කොහොමද මේ තනතුරු දෙකේ වෙනස පේන්නේ?

මේක හාත්පසින්ම වෙනස්. මොකද මහ බැංකු අධිපතිවරයා කියන්නේ රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථායීභාවයක රඳවාගෙන වැඩ කටයුතු කරන කෙනෙක්. විනිමය අනුපාත, පොලී අනුපාත ගැන අවධානයෙන් ඉන්න ඕන. හැබැයි මුදල් රාජ්‍යඇමැතිකම ඊට වඩා වෙනස්. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න, ව්‍යාපෘති බලන්න, රටේ මූල්‍ය ක්ෂේත්‍රය ගැන සැලකිලිමත් වෙන්න, රටට ආයෝජන ගෙන්නන්න, වගේ වැඩ රාශියක් තියෙනවා. හැබැයි මහ බැංකු අධිපතිවරයා වශයෙන් ලබාගත් පන්නරය, අත්දැකීම් මට මේ වැඩේ කරන්න උදව් වුණා. ඒක සුවිශේෂීයි.

ඔබ වැඩියෙන්ම ආස මොන තනතුරටද?

මම මහ බැංකු අධිපති ධූරයට හරි ආසයි. හැබැයි මගේ ජීවිතේ කිසි දවසක එකම තනතුරේ දිගටම ඉඳලා නෑ. මම කාලයත් එක්ක ඒ දේවල්වලින් බැහැර වෙනවා. මගේ අදහස තමයි ඒ තැන්වලට අලුත් අය එන්න ඕන. ඒ තනතුරු ගැන දුකක් නෑ මට.

ඔබට ආයේ මහ බැංකු අධිපති ධූරය බාරගන්න ආරාධනා කළේ නැද්ද කවුරුත්?

මට ගොඩක් අය ආරාධනා කළා. මේ රටේ ඉහළම නායකයා මට ඒ අරාධනාව කළා. හැබැයි මම හිතුවා එතැනින් පොඩ්ඩක් බැහැරවෙලා කටයුතු කළ යුතුයි කියලා.

රටක වැඩියෙන්ම බැණුම් අහන්නේ මුදල් ඇමැති. මොකක් හරි ආර්ථිකමය අවුලක් වුණොත් ඇඟිල්ල දික්වෙන්නේ ඔහුට. ඉස්සර ආර්ථිකය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඉතාම දරුණු තැනක තියෙන්නේ. කොහොමද මේ අභියෝගය දැනෙන්නේ?

දැනට තියෙන ලොකුම අභියෝගය තමයි මේ රට නැවත වතාවක් වර්ධනයට යොමු කරන එක. එහෙම නොවුණොත් රටේ ප්‍රතිලාභ ජනතාව කරා ගලා යන්නේ නෑ. හිතන්න කේක් ගෙඩියක් තියලා ඒක කැපුවම ඉන්න අයට දීලා මදි නම්, තව පොඩියට කපන්න වෙනවා. එතකොට බෙදෙන ප්‍රමාණය අඩුයි. හැබැයි කේක් එකේ ප්‍රමාණය වැඩි කළොත් හැමෝටම හොඳයි. ඒ නිසා කේක් එකේ ප්‍රමාණය වැඩි කරන්නම වෙනවා. අන්න එහෙම කරන්න වෙන්නේ ආර්ථිකය නිවැරදි ලෙස හසුරවලා. ආර්ථිකය නංවන්න හොඳ ආයෝජන ඕන. ආයෝජන වැඩිවෙන්න හොඳ ආයෝජන පරිසරයක් නිර්මාණය වෙන්න ඕන. ආයෝජන පරිසරයකට පොලී අනුපාතය අඩුවෙන්න ඕන, රුපියල ස්ථායී වෙන්න ඕන. රටේ පහසුකම් වර්ධනය වෙන්න ඕන. මේ දේවල් කරන්න හොඳ පිරිසක් ඉන්න ඕන. ඒ තමයි රටේ ශ්‍රම බලකාය. එතකොට අනෙකුත් ක්ෂේත්‍ර දියුණු වෙන්න ඕන. මේ එකකට එකක් සම්බන්ධයි. ඒ නිසා මේක දැවැන්ත වගකීමක්.

ඔය ගැන හැමෝම දන්නවා. ඒත් වෙන්නේ නෑනේ?

2006 – 2014 දක්වා අපි හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙලා අවධානය යොමු කරලා පිළියම් කළා. හොඳ ආර්ථික වර්ධනයක් ඇතිවුණා. අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 24 ඉඳලා ඩොලර් බිලියන 79 දක්වා වැඩි වුණා. ඒකට හේතු වුණේ අපි සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය කරපු නිසා. ඒක එක තැන හිරවුණා අවුරුදු පහක් තිස්සේ දෙයක් නොවුණු නිසා. දැන් මට තියෙන්නේ මුදල් ඇමැතිතුමා සමඟ එකතුවෙලා ඒ වර්ධනය ඇති කරන්න. ඒ වර්ධනය පවත්වාගෙන යන්න.

වර්තමාන ලෝක වසංගතයත් එක්ක ඔය වර්ධනය ගන්නත් වර්ධනය පවත්වාගෙන යන්නත් ලේසිද හිතන තරම්?

මම දන්නවා ඒක. ඒක ලේසි වෙන්නේ නෑ. ඒ ගැන මම හොඳටම දන්න කෙනා. ඒක ලේසි නෑ. එහෙම ලේසි වුණා නම් හැමෝටම කරන්න පුළුවන් වෙනවනේ. අපි ලේසි නැති දේවල් තමයි කරන්න උත්සාහ කරන්න ඕන. අපි හැමෝම මහන්සි වෙන්න ඕන ආයෝජකයෝ ගෙනල්ලා, ආයෝජකයෝ දිරිමත් කරලා මේ වර්ධනය පවත්වාගෙන යන්න.

මේ වෙනකොට ව්‍යාපාර වැහෙනවා, රුකියා අහිමි වෙනවා. මිනිස්සු ණය ගොඩක හිරවෙලා. මිනිස්සු බලන්නේ ඉක්මනින් ගොඩ එන ක්‍රමයක් සහනයක්. අන්න ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ආණ්ඩුව මොකක්ද අරගෙන තියෙන පියවර?

හරි දේ කරන්න ඕන. ගොඩක් අය කිව්වා ලෝක බැංකුවත් කිව්වා පිටරටින් එන ප්‍රේෂණ 20% අඩුවෙයි කියලා 2020 වෙනකොට. ඒත් අපි ඒක පිළිගත්තේ නෑ. අපි ඒ වෙනුවෙන් ගොඩාක් වැඩ කරගෙන ගියා. ඒ නිසා අපිට 6%ක වර්ධනයක් ඇතිකර ගන්න පුළුවන් වුණා. අනිත් එක ආනයනය, අමෙරිකානු ඩොලර් බිලියන 19යි 2019 දී තිබුණේ. ඒත් ඒක 2020 දී බිලියන දහයක් වෙනකල් අඩු කළා. ඒ නිසා කඩා වැටුණා කිව්වයින් පස්සේ අපි ඒක පස්සේ යන එක නෙමෙයි කරන්න ඕන. හැමෝම වර්ධනයක් කරන්න බැරිවෙයි කිව්වට අපි 2020 තුන්වැනි කාර්තුවේ වර්ධන වේගයක් ගත්තා. ඒ නිසා හැම අවස්ථාවකම අපි කරන ක්‍රමවේදය වෙනස් කරමින් ඉදිරියට යන්න ඕන.

ඔය ආර්ථික වර්ධනය හදාගැනීමේ අරමුණින් ඔබලා ආනයනය සීමා කළා, බදු පැනෙව්වා. දේශීය ගොවියා, නිෂ්පාදකයා ශක්තිමත් කරන්න කියලයි මේක කළේ කිව්වා. හැබැයි ආනයන සීමාවට අහුවුණු භාණ්ඩය රටේ නෑ. ඒක තිබුණත් මාර ගණන්. දැන් එතකොට අසරණ වෙන්නේ පාරිභෝගිකයා නේද?

සමහරවිට එවැනි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මම ඒක පිළිගන්නවා. හිතන්න යම් පුද්ගලයෙක් රුකියාවක් කරලා හොඳ තැනකට ඇවිත් ඉන්නකොට රුකියාව අහිමි වෙනවා. එහෙම වුණාම එයාගේ ජීවිතේ යම් වෙනස්කමක් කරගෙන යන්න ඕන. ඉස්සර වගේ බෑ. හැබැයි ඒක තේරුම් නොගෙන හිතන හිතන දේ කළොත් වෙන්නේ විනාශ වෙන එක. කොවිඩ් වසංගතය වෙලාවේ අපි දැක්කා අපේ රටාවේ වෙනසක් කරන්න. අපි ඒක කළා. ඒකනේ කිව්වේ ඩොලර් බිලියන 19ක තිබුණු ආනයනය අපි ඩොලර් බිලියන 10 දක්වා අඩුකර ගත්තා කියලා. එතකොට ඒ මුදල රට ඇතුළේ ආයෝජනය වෙන්නේ. එහෙම නොවුණා නම් ඩොලරය 200 පන්නන්න තිබුණා. තුන්සීයට ළං වෙන්න තිබුණා. එහෙම වුණා නම් ආනයනය සම්පූර්ණයෙන් නවතින්න තිබුණා. කවුද කැමැති ඩොලර් එකකට තුන්සීයක් දීලා භාණ්ඩ ගන්න. අන්න ඒ කාරණා අපි ඉදිරියෙදිම දැක්කා. ඒක නොවෙන්න තමයි අපි කටයුතු කළේ. අපි ඒ ප්‍රතිවිපාක බලලයි කටයුතු කළේ.

දැන් ඔබ කතා කරන මොහොත වෙනකොට ඩොලරයේ අගය 200කට ආසන්නයි. ඇයි එහෙම වුණේ? මේක ආණ්ඩුවට දරන්න බෑනේ තව ඉස්සරහට?

ඒකත් අපි දන්නවා. නොදන්නවා නෙමෙයි. මම මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඉන්නකොට අවුරුදු දෙකක් විතර මම රුපියල ස්ථායී මට්ටමක පවත්වාගෙන ගියා. එතකොට ආර්ථික ඔස්තාර්ලා කිව්වා මේක මෙහෙම තියන්න එපා, රුපියල පාවෙන්න ඉඩ අරින්න කියලා. අන්න එහෙම කිව්ව අය තමයි 131 තිබුණු රුපියල 185 දක්වා ඇදගෙන ගියේ. ඊට පස්සේ තමයි අපිට බාරදුන්නේ. ඒ වෙලාවේ අපි පුරෝකථනය කරලා තිබුණේ අපේ සංචිත ඩොලර් බිලියන 15 දක්වාවත් වැඩිවෙයි කියලා. ඒ වුණාට අපිට ලැබුණේ බිලියන 7.4 ක් පමණයි. එතකොට අපි මේ පටන් අරන් තියෙන්නේ අවදානම් තත්ත්වයකින්. අපි කොවිඩ් වසංගතය ආපු හැටියෙම අපි කිව්වා සමහර ආනයනවලට මුදල් පස්සේ ගෙවන්න කටයුතු කරන්න කියලා. අන්න ඒ පස්සේ ගෙවන ඒවා තමයි දෙසැම්බර් ජනවාරි වැටිලා තියෙන්නේ. ඒ නිසා යම් පීඩනයක් රුපියලට ඇවිත් තියෙනවා. හැබැයි ඒ තත්ත්වය තාවකාලිකයි.

මේ රුපියලට වෙලා තියෙන දේ ගැන මොකද හිතෙන්නේ? 

ඇත්තටම ඒ තත්ත්වය ගැන මට සතුටක් නෑ. මොකද රටේ තියෙන ණය ප්‍රමාණය එක්ක රුපියල තව අධිප්‍රමාණ වෙන්න ඕන. ආර්ථික කටයුතු ඉක්මනින් කරන්න අමාරුයි. ඒකට යම් කාලයක් යනවා. සමහර තීන්දුවල ප්‍රතිඵල විඳින්න මාසයක් දෙකක් යනවා. දැනට පොඩි පීඩනයක් ආවත් ඉතා කෙටි කලකින් ඒක වෙනස් කර ගන්න පුළුවන් කියලා මම බය නැතුව කියනවා.

විපක්ෂය කියනවා තව මාස හයක්වත් අරන් යන්න බැරි තරම් ආණ්ඩුව සල්ලි නැතිව ඉන්නේ කියලා. ඇත්තටම ආණ්ඩුවට සල්ලි නැද්ද ඉස්සරහට යන්න?

ඒ අය ඔය කතාව කිව්වා ගිය අවුරුද්දේ මාර්තු මාසෙත්. කොවිඩ් වසංගතය එක්ක ආපු ප්‍රශ්න එක්ක මේ අය  කිව්වා තව මාස හයයි ආණ්ඩුවට යන්න පුළුවන් කියලා. ඒත් අපි හොඳට කරගෙන ගියා. එයාලගේ කාලයට වඩා රුපියලත් හොඳින් පාලනය වුණා. එයාලගේ කාලයේ රුපියල සෑම අවුරුද්දකම 6.8කින් අවප්‍රමාණ වුණා. හැබැයි ඒ තත්ත්වය අපි වෙනස් කර ගත්තා. මගේ අදහස තිබුණේ 2020 දී රුපියල අධිප්‍රමාණ කර ගන්න. ඒත් ප්‍රශ්න නිසා අවප්‍රමාණ වුණා. ඒත් 2.6කින්. අපිට පුළුවන් වුණා සම්පූර්ණයෙන් වෙනස් කරන්න තිබුණු තත්ත්වයෙන්. අපේ දැන් අරමුණ මේ වර්ධනය පවත්වාගෙන යාම.

විපක්ෂය කියන්නේ සල්ලි නැති නිසා තමයි වරායේ නැගෙනහිර පර්යන්තය පවා විකුණන්නේ කියලා. රාජ්‍ය දේපල විකුණන තැනකද ඔබලත් ඉන්නේ?

රාජ්‍ය දේපල විකුණනවා කියන්නේ අපිට අයිතිය අහිමිවීම. හම්බන්තොට වරාය ගැන කිව්වේ ඒක විකුණන නිසා. ඒකේ අයිතිය අපිට අහිමි වුණා. නැගෙනහිර ජැටිය ගැන ශ්‍රී ලංකා රජය ඉන්දියාව, ජපානය එක්ක සාකච්ඡා තිබිලා තියෙනවා. ඒ සියලු සාකච්ඡා තිබිලා තියෙන්නේ ගිය රජයත් එක්ක. එතකොට ඒ අය යම් එකඟතාවයකට ඇවිත් තිබුණා අපේ රජය එනකොටත්. ඒ නිසා ජාත්‍යන්තර ගිවිසුම් එකපාර අනෙක් පැත්ත හරවන්න බෑ. හොඳ වෙලාවට එම්.සී.සී ගිවිසුම අත්සන් කරලා තිබුණෙ නෑ. බැරි වෙලාවත් අත්සන් කරලා තිබුණා නම් අපිට අවලංගු කරන්න බෑ.

ඒ කියන්නේ නැගෙනහිර ජැටිය ගැන ගිවිසුම් ගැහුවේ ඉස්සෙල්ලා ආණ්ඩුවද?

නැගෙනහිර පර්යන්තය ගැන ගිවිසුම් පසුගිය රජය අත්සන් කරලා ඉවරයි. ඒ අය පස්සේ ඇවිත් කියනවා උඹලට පුළුවන් නම් දැන් අයින්වෙයන් කියලා. විපක්ෂය හදන්නේ ජාත්‍යන්තර වශයෙන් අනෙක් රටවල් අපි එක්ක තරහා කරවන්න. අපිට ඒක කරන්න බෑ. අපි ඒ රටවල් එක්ක තරහ නෑ. යම් දේවල් එකඟවෙලා තියෙනවා නම් සමහර දේවල්වලට එකඟවෙන්න වෙනවා. මතකනෙ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට සටන් විරාම ගිවිසුම තිබුණා. එත් අපිට ඒකෙන් අයින් වෙන්න අවුරුදු දෙකක් ගියා.

ඒත් ඔබතුමාලා ජපානේ එක්ක අත්සන් කළ සැහැල්ලු ගුවන් දුම්රිය ව්‍යාපෘතිය නතර කළානේ. දැන් කෝටි ගාණක් ගෙවන්න වෙලානේ?,

ඒක කෙරුවා නම් ඊටත් වඩා අමාරුයි. ඇත්තටම අපි රටවල ණය ගන්න දැන් පෙළඹෙන්නේ නෑ. මම මහ බැංකුවෙන් යද්දී විදේශ ණය තිබුණේ 40%. දේශීය ණය තිබ්බේ 60% යි. ඒත් ගිය ආණ්ඩුව ආපු ගමන් ඒක 50/50 කළා. සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ නිසා අවදානම වැඩියි ඉස්සරහට. ඒ නිසා ඇතැම් ව්‍යාපෘති කල් දාන්න වෙනවා. දළ දේශීය නිෂ්පාදනය ඉක්මවලා ණය ගත්තා නම් අපි ණය උගුලක හිරවෙනවා. ඒ නිසා අපි මේවා අධ්‍යයනය කරලා කරන්නේ. අපිට ඕන නෑ ජපානය එක්ක තරහ වෙන්න. අපි ජපානයට කිව්වා මේ ව්‍යාපෘතිය කළොත් අපේ රටට ඒ ණය ප්‍රමාණය බරක් කියලා.

ඔබ කිව්වට හැමෝම කියන්නේ අපි චීන ණය උගුලේ හිරවෙලා කියලා. ආර්ථිකය පාලනය කරන්නේ චීනය කියලා කියන්නේ?

ඔය කතාව හැමෝම කියනවා. මෙහෙමයි. ණය උගුලක් නම් චීන, බ්‍රිතාන්‍ය කියලා ණය උගුල් නෑ. උගුල නම් උගුලක්ම තමයි. අපේ මුළු ණය ප්‍රමාණයෙන් 10%ක් විතරයි චීනෙන් අරන් තියෙන්නේ. අනෙක් සීයට 90 වෙන රටවල් සහ දේශීය ණය. ඒ නිසා චීන ණය නෙමෙයි මේ. අනික චීනය ආයෝජනයත් කරනවා. ඒ නිසා චීනය නිසා ණය උගුලක නෑ. ඒක පසුගිය රජයේ අගමැතිතුමා කියන්න ගත්ත කතාවක්. ඒ කතාව නිසා අපිට අවාසිත් වුණා. ඒ නිසා ඔය කතාව මම පිළිගන්නේ නෑ. මම මහ බැංකුවේ අධිපති වෙනකොට රටේ දළ දේශීය නිෂ්පාදනයත් එක්ක බලද්දී ණය ප්‍රතිශතය තිබුණේ 91%ක. ඒත් මහින්ද මහත්තයා යනකොට ඒක 70%ට ගෙනාවා. නැවත අපි බාරගන්නකොට 90% වෙලා. ඒ නිසා අපිට අභියෝගයක් තියෙනවා.

විපක්ෂයෙන් බරපතළ චෝදනවක් කළා සීනී ආනයනයේදී වංචාවක් වෙලා තියෙනවා. ඒක මහ බැංකු වංචාව හා සමානයි කියලා. මොකක්ද මේ වංචාව?

ඕකට හොඳ උත්තරයක් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා දුන්නා. එතුමා එහෙම දෙයක් තියෙනවා නම් සියලු තොරතුරු අපට ලබා දෙන්න කියලා අභියෝගයක් දුන්නා. අපි එහෙම දෙයක් වුණා නම් හොයනවා. ඒ නිසා නිකම් චෝදනා නොකර අපිට දෙන්න සාක්ෂි එක්ක. අපි බලන්නම්.

ඔබ මුදල් රාජ්‍ය ඇමැතිවරයා හැටියට මේ ගැන සැකයක් නැද්ද?

මට සැකයක් ඇතිවෙන්න හේතුවක් නෑ. එහෙම සැකයක් එන්න සාක්ෂි ඕන. සාක්ෂි ලබා දුන්නොත් මම සැකයක් හදාගන්නම්. මොකද අපි ඇස් පියාගෙන ඉන්නේ නෑ වැරුද්ද දැක්කොත්.

අවසාන වශයෙන් අහන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද? ගිවිසුමකට යනවද? නැද්ද?

අයි.එම්.එෆ් එකත් එක්ක ගනුදෙනු කරලා තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ මම. මම 2007 දී අයි.එම්.එෆ් එකත් එක්ක බිලියන 2.7ක ගනුදෙනුවක් කළා. එතනදි කිසිම අවාසිදායක කොන්දේසියක් නෑ කියලා මට සහතිකව කියන්න පුළුවන්. තවමත් ඒක ඒ අයගේ වෙබ් එකේ තියෙනවා. මගේ මතය දැන් අයි.එම්.එෆ් එකේ ව්‍යාපෘතියක් රටට අවශ්‍ය නෑ මේ වෙලාවේ. එහෙම කරගත්තොත් අපි යන මඟට බාධාවක් වෙන්න පුළුවන්. මොකද රාජ්‍ය අංශය දුර්වල කරන කොන්දේසි දාන්න පුළුවන්. පොලී අනුපාතය වැඩි කරන්න කියයි. රුපියල අවප්‍රමාණ කරන්න කියයි තව. ඒ වගේ කොන්දේසිවලට එකඟ වුණොත් රටට වෙන හානි ගැන අපි දන්නවා. ඒ නිසයි අපි අයි.එම්.එෆ් එකත් එක්ක මේ වෙලාවේ ගනුදෙනුවකට යන්නේ නැත්තේ. අපිට අවශ්‍ය වෙලාවට කරනවා. හැබැයි ඒ වගේ වෙලාවට අපි ශක්තිමත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ වෙලාවේ එවැනි දෙයක් අවශ්‍ය නෑ කියලයි මගේ මතය.

 ගයාන් ගාල්ලගේ