2021 ජනවාරි 16 වන සෙනසුරාදා

ජනතාව වෙනුවෙන් අපි නගන හඬ නවත්වන්න ආණ්ඩුවට බෑ

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

 - සමගි ජන බලවේගය  පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

  • සැලුන් දොරවල් අපි ළඟ නෑ: හැබැයි පක්ෂය විවෘතයි
  • ප්‍රබල ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න අමාරු බව අපි දන්නවා
  • රන්ජන් ආණ්ඩුවට රිදෙන්න ගහපු ජනතා ප්‍රසාදය ඇති මන්ත්‍රීවරයෙක්
  • එජාපයට තවදුරටත් අනාගතයක් නෑ
  • රන්ජන්ට ලැබුණු දඬුවම අපට කම්පාවක්
  • හරින් ආණ්ඩුව අසාර්ථකයි කිව්වාම ජනාධිපතිවරයා කලබල වෙන්නෙ ඇයි?
  • සජබ ඇතුළේ චම්පික ගැන ප්‍රශ්නයක් නෑ

සමගි ජන බලවේගය පත්වෙලා අවුරුද්දයි. දැන් විපක්ෂයේ භූමිකාවත් සිදු කරනවා. හැබැයි මේ වෙනකොට විපක්ෂයට සෙනසුරා ලබලා වගේ ප්‍රශ්න පිට ප්‍රශ්න. මොකද මේ?

පක්ෂය පටන් අරන් ඉතාම කෙටි කාලයක් ඇතුළත ආසන 54ක් වගේ ලබාගෙන රටේ ප්‍රධාන පක්ෂය එක්ක කරට කර හිටගන්න අපට හැකි වුණා. හැබැයි මේ ආණ්ඩුව 2/3 බහුතරයක් තියෙන අති ප්‍රබල ආණ්ඩුවක්. ඉතින් එහෙම ආණ්ඩුවක් එක්ක හැප්පෙන එක ලේසි නෑ. ලක්ෂ 69ක් ලබාගත්ත ජනාධිපතිවරයකුත් ඔවුන් සතුව ඉන්නවා. 

ඒ කියන්නෙ ඉතාම අමාරුවෙන්ද විපක්ෂයේ කාර්යභාරය සිදු කරන්නෙ?

හිතන්න මේ රටේ ඇතිවෙලා තියෙන කොරෝනා වසංගතයත් එක්ක අපිට විශාල භූමිකාවක් කරන්න ඉඩකඩ සීමිතයි. ඒ නිසා අපේ දේශපාලන ව්‍යාපාරවලට තරමක බාධාවක් වෙලා තියෙනවා මේ තත්ත්වය. 

මේ ආණ්ඩුව කොරෝනා පාලනය කරන්න තමයි මේ උත්සාහ ගන්නෙ කියන්නෙ. ඒත් විපක්ෂයේ සහායක් නෑ කියලයි චෝදනාව. හැම එකටම විරුද්ධයිලු?

ආණ්ඩුව අසාර්ථකයි. මේ ආණ්ඩුව අවුරුද්දක් ඇතුළත විශාල බිඳවැටීම් සහ අප්‍රසාදයට පත්වෙලා ඉවරයි. අපිට ආණ්ඩුව ගැන විවේචන තියෙනවා. ඒ විවේචන තියෙන්නෙ ජනතාවගේ ප්‍රශ්නත් එක්කලා. එහෙම නැතුව පෞද්ගලික ප්‍රශ්න නෑ. අපි කරන්නෙ ජනතාව වෙනුවෙන් කතා කරන එක.

ඔබ කියන විදිහට ආණ්ඩුවත් එක්ක ඔබලා හැප්පෙන්නෙ ඉතාම අමාරුවෙන් වගේ. මොකද ආණ්ඩුවට බයද?

නෑනෙ. අපි ආණ්ඩුවට එරෙහිව සටන් කරලා තියෙනවා. එහෙම කිසිම බයක් නෑ. අපි පාර්ලිමේන්තුව තුළ වගේම ඉන් බාහිරත් අපි ආණ්ඩුවට විරුද්ධව සටන ගෙනියනවා. අපේ මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් බාහිර අය ඉතාම අගය කිරීම් කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක යම්කිසි අපහසුතාවයක් තියෙනවා විශාල දේවල් කරන්න. හැබැයි අපි උපරිම දේවල් මේ කාලය ඇතුළත කළා. 

ඔබලාගෙ සටන් සගයෙක් වෙච්ච රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා අධිකරණයේ දඬුවමට ලක්වුණා. ඇත්තටම ඔබ හිතන්නෙ මොකක්ද මේගැන?

මේක අධිකරණයට සම්බන්ධ සිදුවීමක්. මොකද අධිකරණයට අපහාස කිරීම නිසා තමයි මේ දඬුවමට ලක් වුණේ. මේ තීන්දුව ලැබිලා ටිකදිනයි ගතවෙලා තියෙන්නෙ. අපි මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා ඉදිරි පාර්ලිමේන්තු කණ්ඩායම් රුස්වීමෙන් පස්සෙ තීරණය කරනවා. කෙසේ වෙතත් ඔහුගේ සිරගත වීම අපි හැමදෙනා කනගාටුවට පත්වෙන අවස්ථාවක් වගේම අපහසුතාවයට පත්වෙන අවස්ථාවක්. මොකද රන්ජන් කියන්නෙ ජනප්‍රිය චරිතයක්. ඉතින් අපි ඒ අඩුව පුරවන්නෙ කොහොමද කියන එක සහ ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද කියන එක අපේ නීතිඥවරුත් අනෙකුත් මන්ත්‍රීවරුනුත් කතා කරලා තීරණය කරනවා. 

දැන් ඔබ කියනවා මේක අධිකරණ ක්‍රියාදාමයක් කියලා. ඔබත් පිළිගන්නවද මේ නඩුව දේශපාලන වැඩක් කියලා?

ඔබ දකින්න ඇති පහුගිය දවස් ටිකේ ජෝසප් පරරාජසිංහම් ඝාතනයේ සැකකරුවකු වෙච්ච පිල්ලෙයාන්ට එරෙහිව නඩු පවරන්න සාක්ෂි නෑ කියලා නීතිපති අධිකරණයට දැනුම් දිලා තිබ්බා. පස්සෙ ඔහුව නිදොස් කොට නිදහස් කළා. ඒ වගේම රන්ජන් මන්ත්‍රීවරයට ඒ සතියෙම දඬුවම් දුන්නා. එක සතියේ මේ වගේ දේවල් වුණාම මිනිස්සුන්ට සැකයක් එනව.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිරගත වීම ඔබේ පක්ෂයට මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ. මොකද ඔහු වෙනුවෙන් තව මන්ත්‍රීවරයෙක් ඇතුළටත් එනවා?

රන්ජන් සිරදඬුවම් ලබාදීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත තියෙන්න පුළුවන්. හැබැයි පක්ෂයක් හැටියට අපි දකිනවා මේ නිසා විශාල පාඩුවක් අපිට සිද්ධ වුණා. මොකද අපිට හිටිය හොඳම කාර්යශූර මන්ත්‍රී කෙනෙක්. ඒ වගේම ආණ්ඩුවට විශාල ප්‍රහාර එල්ල කරපු ජනතාවගේ ප්‍රසාදයට නිතර ලක්වුණු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා අපිට විශාල පාඩුවක්. ඒ නිසා රන්ජන් කරපු කාර්යභාරය තව කෙනෙක්ට කරන්න අමාරුයි. 

නායකතුමා කොහොමද මේ සම්බන්ධයෙන් දරණ මතය?

ඔහු දැඩි ලෙස කම්පාවට පත් වෙනවා. මොකද රන්ජන් රාමනායක සම්බන්ධයෙන් ඔහු හොඳට දන්න කෙනෙක්. අපිත් එක්ක කිව්වෙ ඊළඟට රන්ජන් නිදහස් කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙන්න කියලා. 

දැන් මොකක්ද රන්ජන් වෙනුවෙන් ඊළඟට ගන්න යන්නෙ?

මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙච්ච නඩුවක් නිසා අපිට අභියාචනයක් ඉදිරිපත් කරන්න තැනක් නෑ. ඊළඟට කරන්න තියෙන එකම දේ තමයි ජනාධිපති සමාවක් ඉල්ලීම. නැත්නම් රන්ජන්ට දුන්නු දඬුවම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයකට යන එක. මොකක්ද කරන්නෙ කියලා තාම තීන්දුවක් නෑ හැබැයි. 

ඒ කියන්නෙ ඔබලා ජනාධිපති සමාවක් ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවද? අච්චර ආණ්ඩුව විවේචනය කරලා එහෙම ඉල්ලන්න පුළුවන්ද

ඇත්තටම සමාව ඉල්ලිය යුත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාගෙ එකඟතාවයක් ඇතුව. ඉතිහාසය ගත්තොත් ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් එස්.බී. දිසානායක මහත්තයට ලබා දුන්න දඬුවම. අනිත් එක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන්න දඬුවම. හැබැයි ඔය දෙකටම ජනාධිපති සමාව හම්බවුණා. එහෙම නිදහසක් දෙන්න හේතුව තමයි ඔවුන් වංචාව හොරකම දූෂණය වගේ චෝදනාවලින් තොරව ප්‍රකාශනයක් නිසා ඇතිවෙච්ච චෝදනා නිසා. ඒ නිසා ඒකට සමාවක් දීම එච්චර බරපතළ දෙයක් නෙමේ.

එස්.බී. දිසානායක මන්ත්‍රීතුමා නිදහස් කළාම නැවතුණේ එවකට ආණ්ඩුවෙ. රන්ජනුත් එහෙම වෙයිද?

එස්.බී. දිසානායක මහත්තයා ජනාධිපති සමාව ලැබිලත් ටික කාලයක් දේශපාලනය කළා විපක්ෂයෙ ඉඳන්. ඔහු ගියේ 2010. හැබැයි එක දෙයක් තියෙනවා අනිවාර් යෙන්ම කිසිම දවසක රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා කිසිම දවසක පක්ෂය මාරු කරන්නෙ නෑ. ඔහු ගිය ආණ්ඩුවට විරුද්ධව විශාල සටනක් කරපු පුද්ගලයෙක්. ඔහු ජීවිතේටවත් ආණ්ඩුවට යන්නෙ නෑ. 

දැන් මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශකයකුත් ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයකුත් අතර යම්කිසි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. දැන් ඔබලා ඉල්ලනවා භාෂණයේ නිදහස ආණ්ඩුවෙන්. හැබැයි ජනාධිපති කරපු ප්‍රකාශයෙන් ඒ අයට ගන්න පුළුවන් නේද භාෂණයේ නිදහස කියලා?

ඔව් එහෙම කෙනකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් නම් ගම් සඳහන් කළා. මේ ආණ්ඩුව අසාර්ථකයි කියන්න ඔහු යොදාගත්ත වාග් ශෛලියේ ප්‍රශ්නයක් තමයි ඒකට හේතුව. ඊට වඩා ආණ්ඩුව ඔහු කළ කතාවේ අන්තර්ගතය හිතුව නම් හොඳයි කියලයි මම හිතන්නෙ. හැබැයි එහෙම හිතන්නෙ නැතුව වුණේ ජනාධිපතිවරයා කලබල වීම විතරයි. ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ හැම දෙනාටම ආරක්ෂාව. ඔහු අපේ රටේ ජනතාවගේ ආරක්ෂකයා. හැබැයි මම හිතනවා තවදුරටත් මේ ගැන වාද විවාදවලට යන්නෙ නැතුව අපි අපේ අඩුපාඩු හදාගෙන මේ ප්‍රශ්නය විසඳගෙන ඉස්සරහට යමු කියලා. අපේ මූලික අරමුණ ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනක්. 

ඒ කියන්නෙ ඔබ හිතනවද මේ ප්‍රශ්නෙත් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවෙන් විසඳාගත යුතුයි කියලා?

ජනාධිපතිවරයා එක්ක සමාදානයෙන් විසඳාගත යුතුයි කියන අදහස නෙමෙයි මම කියන්නෙ. මෙවැනි දේවල් නෙමෙයි මේ රටේ ජනතාවට මේ වෙනකොට අවශ්‍ය වෙන්නෙ. ජනතාව මේ තත්ත්වය උඩ විශාල අර්බුද ප්‍රමාණයකට මුහුණපාලා ඉන්නෙ. විශේෂයෙන්ම මේ කොවිඩ් ප්‍රශ්නෙ නිසා. ඒ නිසා අනම් මනම් නෙමෙයි ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ ඒ ප්‍රශ්න වෙනුවෙන් අවධානය යොමු කරන්න ඕනෙ. අපේ අදහස් පරස්පර වෙන්න පුළුවන්. ගැටලු තියෙන්න පුළුවන්. හැබැයි මෙහෙම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එකම අරමුණක් කරා යන්න ඕනෙ. 

ඉතින් එහෙනම් මොකටද පොලීසියට පැමිණිලි කළේ? මොකක්ද ඒකට ලැබුණු ප්‍රතිචාරය?

ප්‍රතිචාරය මොකක්ද කියලා නම් මම දන්නෙ නෑ. හැබැයි ලබන සතියේ පාර්ලිමේන්තු කණ්ඩායම රුස් වුණාම මේක සාකච්ඡා කරනවා. 

මොකද මේ එකට තරග කරපු චම්පික වෙනම ගමනක් යන්න හදන්නෙ? ඇතුළෙ ගැටුම්ද?

මම දන්න තරමින් එහෙම ගැටලුවක් නෑ. චම්පික මහත්තයා හෙළ උරුමයෙන් අයින් වෙලා අපේ පක්ෂයට බැඳෙන්න කැමැත්ත පළ කරලා තිබ්බෙ. නායකතුමත් මහලේකම්තුමත් අතර සාකච්ඡාවක් තිබ්බා. ඔහු හෙළ උරුමයෙන් ඉවත් වුණේ සමගි ජන බලවේගයේ පූර්ණකාලීනව වැඩ කරන්න. විශේෂයෙන් කියන්න ඕනෙ සමගි ජන බලවේගය ඇතුළෙ එතුමා අනාගතයේ ඉහළ තනතුරක් දරනවා. 

මොකක්ද ඒ තනතුර?

ඒක දැන්ම කියන්න බැහැ. අපි වෙලාවට කියන්නම්. අපි අපිත් එක්ක වැඩ කරන අයට අවස්ථා දෙකක් දෙනවා. එකක් ඍජුව අපේ පක්ෂෙත් එක්ක වැඩ කරන්න. නැත්නම් වෙනත් පක්ෂයක ගනුදෙනු කරනවා නම් සමගි ජන බල සන්ධානය එක්ක එකතු වෙලා සන්ධාන ගතවෙන එක. අපි ඒ සඳහා අපේ පක්ෂෙටත් සන්ධානෙටත් ව්‍යවස්ථා දෙකක් හදලා තියෙනවා. 

එහෙනම් ඔය චම්පික රණවක අලුත් කණ්ඩායමක් හදන් කොහෙද යන්න හදන්නෙ?

එතුමා ඒ අපේ පක්ෂෙට සම්බන්ධ නැති අනෙකුත් අය එකතු කර ගැනීම සඳහා සිදු කරන වැඩ කටයුත්තක්. ඒක වෘත්තීයවේදීන්ගේ වේදිකාවක්. ආරවුලක් නෑ අපි අතර. අපි හැමෝම එකමුතුව වැඩ කරනවා. සමහර මාධ්‍ය මේක උලුප්පලා පෙන්නන්න හදනවා. 

එක්සත් ජාතික පක්ෂය අලුත් තනතුරු වෙනස් කරලා අලුත් ගමනක් යන්න සූදානම් වෙලා තියෙනවා. මොකද හිතන්නෙ මේ අලුත් තනතුරු පත් කිරීම ගැන ඔබ හිටිය පක්ෂයෙ?

එජාපය වැටිලයි තියෙන්නෙ පරණ තත්ත්වෙනුත් පහළට. මිනිස්සු ඉල්ලන්නෙ පක්ෂයේ නායකත්වයේ වෙනසක්. නමුත් ඔවුන් මිනිස්සුන්ට දෙන්නෙ නායකත්වය එහෙම්ම තියලා අනෙකුත් තනතුරුවල වෙනසක්. ඒවා රටේ ජනතාව පිළිගන්නෙ නෑ. ඒ නිසානෙ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි එක මන්ත්‍රීවරයෙක්ටවත් පාර්ලිමේන්තු යන්න බැරි වුණේ. මොකද හේතුව අධි තක්සේරුවෙන් හිටියෙ. හැබැයි නිකම් හම්බවෙච්ච මන්ත්‍රීකමටවත් කෙනෙක් පත් කරලා නෑ. එජාපයට තවත් අනාගතයක් නෑ. ඔය තත්ත්වය ගැන මම 2015 ජනාධිපතිවරණයෙදි කිව්වා. ඒ කිව්වා වගේම පක්ෂය 2020 දි නැත්තටම නැතිවුණා.

ඔබත් එක්ක එකට හිටිය සාමාජිකයො තවම එජාපයේ ඉන්නවා. ඔවුන්ට ඔබේ පක්ෂයෙ දොරටු විවෘතද?

සමගි ජන බලවේගය ඇතුළෙ සැලුන් දොරවල් නම් නෑ. නමුත් අපි විවෘත කරලා තියෙනවා එජාපයේ මහජන විශ්වාසය ගෞරවය තියාගත්ත පුද්ගලයන්ට අපේ පැත්තට එන්න. එවැනි පුද්ගලයො තාම ඒ පැත්තෙ ඉන්නවා. සජිත් ප්‍රේමදාස නායකතුමා කියලා තියෙනවා එවැනි අය එකතු කර ගත්තට ප්‍රශ්නයක් නෑ කියලා. 

ඇත්තද කියන්නෙ එජාපයේ ජ්‍යෙෂ්ඨයො දෙදෙනෙක් ඔබලගෙ පැත්තට එන්න හදනවා කියලා?

අපි සාකච්ඡා කරගෙන යනවා. ඉදිරියේදි ප්‍රබලයො කීප දෙනෙක් අපිට එකතු වෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. ඔය මහජන විරෝධතා තියෙන චෝදනා තියෙන කිසිම කෙනෙක්ට අපේ පක්ෂයේ ඉඩ නෑ. මොකද මහජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නෙ අලුත් ගමනක්. 

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00