2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ජැටියේ ගැටය

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

“කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශීය සමාගමකට විකුණන්නෙ නෑ. කළමනාකරණය, මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ පැවැරීමට තීරණය කර නෑ. රජය නැගෙනහිර හා බටහිර අංගණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.”

පසුගිය බදාදා (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මේ කතාව කියන විට ඉන්දියාවේ විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සිටියේ ශ්‍රී ලංකාවේය. ආචාර්ය ජයශංකර් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඉන්පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී ඔහු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පණිවුඩයක් දෙමින් කිව්වේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතුවන බවය. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම ඉන්දියාවේ බලාපොරොත්තුව බවද සඳහන් කළේය. 13 වැනි ව්‍යවස්ථාව අහෝසි කිරීමට ශ්‍රී ලංකාව අරමුණු කරගෙන සිටී නම් එයට ඉන්දියාවේ අනුමැතියක් හිමි නොවනු ඇති බවට පණිවුඩයක්ද එම කතාවේ ගැබ් වී තිබිණි.

ඉන්දියාවේ විදේශ ඇමැතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මතක් කරදී එක්සත් ශ්‍රී ලංකාවක් ඇතුළේ බලය බෙදිමක් සඳහා වන උතුරේ දෙමළ නායකයන්ගේ ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටින බව කියන විට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදෙස් සමාගමකට නොදෙන බව පාර්ලිමේන්තුවේදී කිව්වේ අහම්බයෙන්දැයි කියන්නත් බැරිය. ඒ වුණත් ඉන්දියාවේ අදානි සමාගම සමඟ නැගෙනහිර ජැටියට අදාළව ගිවිසුමකට සූදානමින් සිටි ආණ්ඩුව හදිසියේම එසේ නොකරන බව ප්‍රකාශ කළේ ඊට විරෝධය දක්වමින් වරායේ සේවකයන් කලබල කිරීම නිසා නම් විය නොහැකිය.

වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කොට පවත්වාගෙන යාම සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීමට මීට පෙර ආණ්ඩුවේ අවධානය යොමු වී තිබිණි. කලින් තිබූ යහපාලන ආණ්ඩුව කාලයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවත් ජපානයත් සමඟ එකඟතාවකට එළඹී ගිවිසුමක්ද සකස්කර තිබුණේය. එම ගිවිසුම්වල පිටපත්ද අග්‍රාමාත්‍යවරයා එදින පාර්ලිමේන්තුවේ සභාගත කළේය. එය ශ්‍රී ලංකාවට අවාසිදායක එමෙන්ම දේශීය සම්පත් විදෙස් රටවලට විකුණුන හිටපු ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව සැකසූ එකක් බවට වත්මන් ආණ්ඩුව ඒ කාලයේ යහපාලන ආණ්ඩුවට දැඩිව චෝදනා කළේය. ඒ අවස්ථාවේදි යහපාලන ආණ්ඩුව නැගෙනහිර ජැටිය විකුණන බව කියමින් වරායේ සේවකයන් විරෝධය පළකරද්දී මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ තමන් බලයට පැමිණි පසු නැගෙනහිර ජැටිය විකිණීමට ඉඩ නොදෙන බවය. දේශීය සම්පත් පිටරටට විකුණන බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව නැගූ හඬ මැතිවරණවලදී ශක්තිමත් සටන් පාඨයක් බවට පත්විය. එයට රටේ සෙසු දේශප්‍රේමී සංවිධානද පොහොට්ටුවට සහාය දැක්වූ මහ සඟරැවනේ හඬද එක්වූ විට යහපාලන ආණ්ඩුවට කටඋත්තර නැති විය. පොහොට්ටු වේදිකාවේ සිටි විමල් වීරවංශ පැවසුවේ නැගෙනහිර ජැටිය විකිණීමට තීන්දු ගන්නා කැබිනට් මණ්ඩලයක තමන් කවදාවත් නොසිටින බවය.

එහෙම වුණත් ආණ්ඩුව බලයට පත්වී ටික කලකින්ම යහපාලන ආණ්ඩුව ඉන්දියාව සහ ජපානය සමඟ ගැසූ ගිවිසුම ඉවත දමා ඒ වෙනුවට ඉන්දියාවේ සමාගමක් වන අදානි සමාගම සමඟ ගිවිසුමකට එළඹීමට පිඹුරුපත් සැකසුවේය. ඒ ගැන දැනගත් වරාය සේවකයෝ යළිත් තම විරෝධය පළකරමින් සටනට බැස්සාහ. නැගෙනහිර ජැටිය විකුණන කැබිනට්ටුවක තමන් නොසිටින බව කී විමල් වීරවංශ ඇමැතිවරයා අද පේන්නටත් නැතැයි ඇතැම් සමිති නායකයෝ චෝදනා කළහ. නැගෙනහිර ජැටිය විදෙස් සමාගමකට නොදෙන බව අගමැතිවරයා කියද්දීත් වරාය සේවකයෝ දිගටම මේ උද්ඝෝෂණ කරගෙන යති.

විදෙස් රටක් සමඟ හෝ සමාගමක් සමඟ හෝ යහපාලන ආණ්ඩුව එළඹුණු සෑම ආයෝජන ගිවිසුමක්ම රටේ සම්පත් විකුණා දැමීමක් හැටියට ලේබල් ගසා දේශපාලනය කළ වත්මන් ආණ්ඩුවට දැන් විදෙස් රටවල් සමඟ ආයෝජන ගිවිසුම්වලට එළඹීම පහසු වන්නේ නැත. ආයෝජන ව්‍යාපෘතියක් යනු සම්පත් විකිණීමක් නොවන බවටත් ලොවේ සෑම දියුණු වෙමින් පවතින රටක්ම තමන්ට වඩා දියුණු රටවල් සමඟ ආයෝජන ගිවිසුම්වලට එළඹී තම රටවල් තුළට විදෙස් මුදල් ගලා ඒමට පාර කපා ගන්නා බවටත් ජනතාවට අවබෝධ කරදීම පහසු නොවන බව දැන් රජය තේරුම් ගෙන සිටිනවා වන්නට පුළුවන. එහෙත් රජය බලාපොරොත්තු වන්නේ සංවර්ධන ඉලක්ක කරා යාමට ශ්‍රී ලංකාව තුළින්ම අවශ්‍ය ධන සම්පත් සොයා ගැනීම නම් එය මිරිඟුවක් පමණක් බව සැබෑ තත්ත්වයයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කිසිම විදේශීය සමාගමකට නොදෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරක් හැටියටය. ඒ පිළිතුර ලබාදෙන විට ඉන්දියාවේ විදේශ ඇමැතිවරයා ලංකාවට පැමිණ සිටීම අහම්බයෙන් සිදුවූවක් විය හැකිය. එහෙත් ඔහු ලංකාවට ලබාදුන් පණිවුඩය සමඟ ගලපන විට මේ සිදුවීම් දෙකේ සම්බන්ධයක් තිබිය හැකි බව අවබෝධ කරගැනීම දුෂ්කර නැත.

කොහොම වුණත් ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ දක්වන උනන්දුව පිළිබඳව සලකා බලන විට අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර ඉන්දියාවේ සිත් රිදවීමක් වීමටද ඉඩ තිබේ. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඉන්දියාවේ මාධ්‍ය ප්‍රකාශ කර තිබුණේ එහි එක් අරමුණක් වන්නේ දැනට ඇනහිට තිබෙන නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (නැගෙනහිර ජැටිය) සංවර්ධන ව්‍යාපෘතිය යළි පණගැන්වීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවීම බවය. 2021 නව වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉහළ පෙළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් ඉන්දීය විදේශ ඇමැතිගේ ගමන යෙදීම විශේෂ වැදගත්කමක් හැටියටද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි. රාජපක්ෂ සොහොයුරන්ගේ ශ්‍රී ලංකා ආණ්ඩුව “ඉන්දියා ෆස්ට්” ප්‍රතිපත්තියේ දිගටම සිටින බව ප්‍රකාශ කරන නමුත් රට තුළ චීන බලපෑම දිගටම වර්ධනය වන තත්ත්වයක් පවතින බවද එම වාර්තා පෙන්වා දී තිබිණි.

මේ සමඟ ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය උපුටා දැක්වූ තවත් මාධ්‍ය වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර නැගෙනහිර ජැටිය සම්බන්ධ අවබෝධාත්මක ගිවිසුමේ අවසන් අදියරට පැමිණ තිබේ. එය කල්මැරීමට ඉඩ නොදී ඉදිරියට ගෙන ආ යුතු බවට පණිවුඩයක්ද ජයශංකර් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ලබාදෙනු ඇතැයිද සඳහන්ය. ඒ සමඟම ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන ඩොලර් බිලියනයක මුදල් හුවමාරු පහසුකම සැපයීම පිළිබඳව සාකච්ඡා වනු ඇති බවද කියා තිබිණි.

ඉන්දියා විදේශ ඇමැතිවරයා පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ ද්විපාර්ශ්වික කරැණු ගැන විස්තරාත්මකව සඳහන් කළේ නැත. ඒ වෙනුවට ඔහු තදින්ම කතා කළේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරැ කරමින් දෙමළ ජනතාවට යුක්තිය සාධාරණය, අභිමානය සහ ගෞරවය රකින එක්සත් ශ්‍රී ලංකාවක් ගැනය. වාර්ගික සහජිවනය දිරිගන්වන දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවය. අර්ථාන්විත බලය බෙදීමක් සඳහා ශ්‍රී ලංකාවේ රජය කැපවෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවය.

දෙරටක් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී වඩා වැදගත් වන්නේ ප්‍රකාශිත කරුණුවලට වඩා අප්‍රකාශිත කරුණුය. ලංකාවේ දේශපාලනයේ මහා පොදු සාධකය වන ජනවාර්ගික අර්බුදය අල්ලාගෙන කේවල් කිරීම ඉන්දියාවේ එක් දේශපාලන උපක්‍රමයකි. එය අතීතයේදී පවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉන්දියාවට අවශ්‍ය දේශපාලන කාරණා ඉටුකරවා ගැනීමට යොදාගනු ලැබූවකි. එම සාධකය වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ හිස ඔසවන චීන බලපෑම පාලනය කර ගැනීම දක්වා දිගුවෙමින් තිබේ. 

හම්බන්තොට වරාය චීනයටම සින්න වීම ඉන්දියාවේ නොසතුටට හේතු වී ඇති බවත් එය බැලන්ස් කරගැනීම සඳහා ඉන්දියාවට ආයෝජන මට්ටමින් හෝ ශ්‍රී ලංකාව යම් “දොළ පිදේනියක්” දිය යුතු බවත් සැබෑ කතාවය. ඉන්දියාව හදිසියේම එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමක් ගැන කතා කරන්නේ මේ “දොළ පිදේනිය” ප්‍රමාද වීම වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් විය හැකිය. නැගෙනහිර ජැටිය විකුණනවාට වරායේ සේවකයන් දක්වන විරෝධය පෙන්වා එම ව්‍යාපෘතිය තවදුරටත් කල්දැමීම ඉන්දියාවේ මාධ්‍ය ශ්‍රී ලංකාවේ වත්මන් රජය හඳුන්වන ආකාරයට “රාජපක්ෂ සොහොයුරන්ගේ”උපක්‍රමයක් විය හැකිය. මේ උපක්‍රම මැද කොළඹ වරායේ ජැටියේ ගැටයෙන් කවුරු ජයගනීදැයි කියන්න තව ටික කලක් බලා සිටිය යුතුය.

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00